ගමන් බලපත්‍ර 10ක්‌ සහ නම් 24 කින් පෙනී සිටි K-P

මැලේසියාවේ පෙට්‌රොනාස්‌ තෙල් සමාගමේ ඉංජිනේරුවකු ලෙසින් ජස්‌ලි බෙන් ජාමත් නැමැත්තෙක්‌ තායිලන්තයට පැමිණියේය. ඔහුගේ ගමන් බලපත්‍රයේ හා වීසා බලපත්‍රයේ එකී නම සඳහන් විය. ජස්‌ලි බෙන් ජාමත් යනු කවුද? ඒ කොටි ජාත්‍යන්තර ආයුධ ජාලයේ ප්‍රධානි කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන්ය.

කේ. පී. නමැත්තා කාලිද් සෙයිද් මොහමඩ් නමින් ඊජිප්තු ගමන් බලපත්‍රයක්‌ද ලබාගෙන තිබිණි.

එසේම මැලේසියාවේ එනුහෝල්ඩින්ස්‌ සමාගමේ හා පොයින්ට්‌ පෙඩ්රෝ සමාගමේ අධ්‍යක්‍ෂ ලෙසින් ද ඔහු කටයුතු කළේය. ඔහුට නම් 24 ක්‌ විය. ගමන් බලපත්‍ර 10ක්‌ ද තිබිණි. ශ්‍රී ලාංකික ඉන්දීය ස්‌විස්‌, මැලේසියානු ගමන් බලපත්‍ර ද ඒ අතර විය. ඔහුගේ තායි බිරිය වූ නතාවාදී සුද්සනෝ කීපවිටක්‌ම ඔහුව බැලීමට වන්නියට පැමිණුනි. සිංගප්පූරුවේ සිටි බැංකුවේ ගිණුමක්‌ද කේ. පී. ට තිබුණි. මැලේසියාවේදී අත්අඩංගුවට ගත් කේ. පී. ට මෙරටදී සම්භාවනීය අමුත්තන්ගේ සැලකිළි ද හිමි විය. සෙල්වරාජා කුමරන් පත්මනාදන් හෙවත් කේ. පී. හෙවත් තර්මලිංගම් හෙවත් තුච්ඡ යන නම්වලින් පෙනී සිටී. කේ. පී, 2009 අගෝස්‌තු මස මැලේසියාවේ ක්‌වාලාලම්පූර්හි ටූනේ හෝටලයේදී කොටි ක්‍රියාකාරීහු දෙදෙනකු සමග රහස්‌ සාකච්ඡාවල නිරතව සිටියදී අසු විය.

මේ ක්‍රියකාරීහු දෙදෙනා කවුද?

ඉන් එක්‌ අයෙක්‌ කොටි පොලිස්‌පති නඩේසන්ගේ සොහොයුරු වූ බාලසිංහම් බාලෙන්ද්‍රන්ය. අනිත් තැනැත්තා නඩේසන්ගේ පුත්‍රයායි.

තම චන්ද්‍රිකා ජංගම දුරකථනයේ ඇමතුම් මැලේසියානු බුද්ධි සේවාවට ලැබී තිබූ බව කේ. පී. දැන සිටියේ නැත.

මුල්ලිවයික්‌කාලේ බංකරයක තිබූ රහස්‌ ලිය විලිවලින් කේ. පී. ගේ ජංගම දුරකථනයේ අංකය මෙරට බුද්ධි අංශවලට ලැබිණි.

මේ දුරකථන අංකය විගස මැලේසියානු බුද්ධි සේවාවට සපයනු ලැබීය.

ටූනේ හෝටලයේ ආලින්දයේ සිටි කේ. පී. ට එකවරම දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඊට ප්‍රතිචාර දැක්‌වීමට කේ. පී. ආලින්දයේ සිට ඈතට ගියේය.

එහෙත් තමා මැලේසියානු බුද්ධි සේවාව යෙදවූ උගුලකට ගොදුරු වන බව කේ. පී. සිතුවේ නැත.

තමා මැලේසියාවේ සිටින බව දන්නේ කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් පමණක්‌ යෑයි ඔහු විශ්වාස කළේය.

මේ අතර බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කොටි ක්‍රියාකාරීන් දෙදෙනා පැය 1 1/2 ක්‌ තිස්‌සේ හෝටලයේ රැඳී සිටියත් කේ. පී. පැමිණියේ නැත. ඒ වනවිට මැලේසියා බුද්ධි අංශ සහ ශ්‍රී ලංකා බුද්ධි අංශ එකතු වී රහස්‌ මෙහෙයුමක්‌ දියත් කර තිබිණි.

මේ මෙහෙයුම වූයේ කේ. පී. අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමයි. කේ. පී. අසු වූයේ ඔහුගේ ජංගම දුරකථනය නිසාය. මුලතිව්හි කොටි බංකරයක තිබී සොයාගත් කේ.පී. ගේ ජංගම දුරකථන අංකය මැලේසියානු බුද්ධි අංශවලට ලබාදීමට ශ්‍රී ලංකා බුද්ධි අංශ ක්‍රියා කිරීම නිසා කේ. පී. ගේ ජංගම දුරකථන අංකයේ සංඥ නිකුත් වන්නේ ක්‌වාලාලම්පුරයේ මුස්‌කු අබ්දුල් රහමන් පාරේ පිහිටි ටුනේ හෝටලයෙන් යෑයි අනාවරණය විය.

මැලේසියාවේ සිට ගෙන එනු ලැබූ කේ. පී. සිදු කළ අපරාධ සම්බන්ධව ඔහුට නඩු පවරා දඬුවම් කළ යුතුව තිබුණත් පසුගිය රජය ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට ක්‍රියා කළේ නැත. කොටි ජාත්‍යන්තර ජාලය සතුව ජිනීවාහි ස්‌විස්‌ බැංකුවක ඩොලර් බිලියනයක මුදලක්‌ ඇති බව කේ. පී. හෙළි කළත් ස්‌විස්‌ රජය සමග රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා එකී අති විශාල මුදල් සම්භාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නිසි පියවර ගැනීමක්‌ සිදු නොවිණි.

එහෙත් ඉරණමඩු හංදියට සැතපුමක්‌ ඈතින් පිහිටි තිරුවයිආර ප්‍රදේශයේ අක්‌කර හයක කුටියක පිහිටි නිවහනක වාසය කිරීමට ඔහුට ඉඩ දෙනු ලැබීය.

මේ නිවහනේ කලින් සිටියේ කොටි දේශපාලන නායක සුප්පයියා පරමු තමිල් සෙල්වන් ය. කේ. පී. මේ නිවහනේ සිට අනාථ ළමුන් රැකබලා ගැනීමේ ව්‍යපෘතියක්‌ දියත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ බිහිසුණු ත්‍රස්‌තවාදී ක්‍රියා රැසකට වගකිවයුතු කේ. පී. මෙලෙස නිදහසේ ක්‍රියා කරද්දී ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු වෙනත් ත්‍රස්‌ත ක්‍රියා සිදු කළ කොටින් රැසකට නඩු පවරා ඇත.

මේ පසුබිම මැද ඉන්දීය රහස්‌ පොලිසියේ විමර්ශන කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණ කේ.පී. ගෙන් ප්‍රශ්න කරනු ලැබීය. ඉන්පසු 2011 දී ඉන්දීය රහස්‌ පොලිසියේ තවත් කණ්‌ඩායමක්‌ මේ රටට පැමිණ රජිව් ගාන්ධි ඝාතනය ගැන ප්‍රශ්න කළේය.

කේ. පී. ඊට ප්‍රතිචාරය දක්‌වා ඇත්තේ සියලු ඝාතන මෙහෙයුම් දියත් කළේ පොට්‌ටුඅම්මාන් බවත් ඒ සඳහා රහස්‌ අයවැය ගිණුමක්‌ තිබූ බවයි.

කොටි සංවිධානය ආර්. ඩී. එක්‌ස්‌ පුපුරණ ද්‍රව්‍ය ලබා ගත්තේ ඉන්දියාවෙන් බවත් කේ. පී. තවදුරටත් හෙළි කළේය.

මේ තත්ත්වය මත කේ. පී. මෙරට බුද්ධි අංශ රැවටීමටද ක්‍රියා කළේ 2003 වසරෙන් පසු කොටි ජාත්‍යන්තර ජාලයේ කටයුතු ගැන තමා කිසිදු තොරතුරක්‌ දන්නේ නැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

එහෙත් කේ. පී. ගැන තොරතුරු රැසක්‌ බුද්ධි අංශවලට අනාවරණය විය. ඔහු කොටි නෙට්‌ ජාලය මෙහෙයවනු ලැබීය. තායිලන්තය, සිංගප්පූරුව, කාම්බෝජය, ලාඕසය වියට්‌නාමය, බල්ගේරියාව, ප්‍රංශය, නෝර්වේ, කැනඩාව ඇතුළු රටවල් රැසක කේ. පී. කටයුතු කළේය. "මම තායිලන්තයට යන අවස්‌ථාවේ ප්‍රභාකරන් මට ආයුධ 400 ක ලැයිස්‌තුවක්‌ දුන්නා. කේ. පී. ට දෙන ලෙසයි ප්‍රභාකරන් පැවසුවේ. කේ. පී. ඒ වනවිට බැංකොක්‌ හෝටලයක සිටියා යෑයි කරුණා කියා සිටියේය.

1996 වසරේ ඔහු ගෝල්ඩන් බර්ඩ් නමැති කොටි නාමෙන් අවි ආයුධ විශාල තොගයක්‌ ගී්‍රසියේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ බව වාර්තා විය. 1994 ජුනි 21 දා ඔහු ෂන්මුගම් කුමාරන් නමින් ඩොලර් 50,000 ක්‌ සිංගප්පූරුවේ සිටි බැංකුවේ ගිණුමකට බාර කළ බව අනාවරණය විය. 1996 දී ඔහු කාම්බෝජයට ගොස්‌ කටර්රූඡ් සංවිධානයෙන් මිසයිල ලබාගැනීමටද ක්‍රියා කර ඇත. සාම සාකච්ඡා අවස්‌ථාවලදී ඔහු රේඩාර් උපාංග සහ සන්නිවේදන උපාංග මිලයට ගෙන කොටි නියෝජිත කණ්‌ඩායමට බාර දුන් බවද හෙළි විය.

වරක්‌ ඔස්‌ටේ්‍රලියානු පුවත්පත සමග පැවැති සාකච්ඡාවකට සහභාගි වූ කේ. පී. ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමට තීරණය කළේ ප්‍රභාකරන් බවත් ඊට හේතුව ඉන්දීය සාම හමුදාව ශ්‍රී ලංකාවට එවීම යෑයිද කීවේය.

ප්‍රභාකරන් තමන්ගේම අය මැරුවා ඔහු ඒකාධිපතියකු ලෙස කටයුතු කළා" යෑයි කේ. පී. පළ කළේය.

ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් පසු කේ. පී. අනාථ ළමුන් බලා ගැනීමේ මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියේය.

කේ. පී. පිළිබඳව ගෝලීය ද්‍රවිඩ සංසදය හා විශ්වනාදන් රුද්රකුමාරන්ගේ රටින් බැහැර ඊළාම් රාජ්‍යය මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

ඊට හේතූන් කිහිපයකි. කොටි ජාත්‍යන්තර ජාලයේ මුදල් බැර කර ඇත්තේ කොතැනකදැයි කේ.පී. දනී. ඒ බව කොටි ඩයස්‌පෝරාව ද දනී.

ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ කොටි නායකයාගේ තොරතුරු මෙන්ම කොටින්ට උදව් කළ හා යුද අවි සැපයූ රටවල් ද කෙ.a පී. දන්නා බව පැහැදිලිය.

නෝර්වේ රාජ්‍යය පවා කේ. පී. ගේ ජාත්‍යන්තර චන්ද්‍රිකා දුරකථන ජාලය දැන සිටි බව හෙළි විය.

බංගලාදේශයේ කෘෂි රසායන සමාගමක භාවිත කළ ස්‌ලින් වර්ගයේ කෘෂි රසායන ඉහින කුඩා යානා දෙකක්‌ ඉන්දුනීසියාවට යවා එම යානා කොටි නැවකින් ශ්‍රී ලංකාවේ මුලතිව් වෙරළට එවීමට ක්‍රියාකළේද කේ. පී. යෑයි හෙළිවිය.

මෙම ස්‌ලින් යානාවලින් එක්‌ යානාවක්‌ කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ දී ප්‍රහාර එල්ල වී කඩා වැටුණි.

එකී යානාවේ තිබූ අනුක්‍රමික අංකය පිළිබඳ විමර්ශනය කළ චෙක්‌ බුද්ධි සේවාව එම යානා බංගලාදේශයට අලෙවි කළ බව සොයාගෙන ඇත. මෙවන් පසුබිමක්‌ මැද කේ. පී. ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු යෑයි ජනතා විමුක්‌ති පෙරමුණ හා හෙළ උරුමය ඉල්ලා ඇත.

කේ. පී. යනු මෙරට සිවිල් ජනතාව, හමුදා භටයන් ඝාතනය කිරීමට මුල්වූ ත්‍රස්‌තයායි.

මෙරට බුද්ධි අංශ මුලතිව්හි බංකරයක තිබී සොයාගත් තවත් රහසිගත තොරතුරුවලින් හෙළි වූයේ සිංගප්පූරුවේ සිටි බැංකුවේ ගිණුමකින් කේ. පී. ඩොලර් 310,000 ක්‌ බල්ගේරියානු විදේශ බැංකුවට මාරු කර තිබූ බවයි.

මේ නිසා කේ. පී. සතුව විදේශ බැංකු රැසක ගිණුම් ඇතැයි අනාවරණය වී තිබේ. එහෙත් මේ ගිණුම ගැන මෙතෙක්‌ හෙළි වී නැත. කොටි සංවිධානයේ අවි ආයුධ එළියට ගැනීමේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කළ කේ. පී. ගේ බොහෝ ක්‍රියාදාමයන් රහසක්‌ව පවතී.

කොටි සංවිධානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක්‌ කැනඩාව ඇතුළු රටවල් රැසක ඇති බව කේ. පී. දනී. එහෙත් ඒ තොරතුරු මෙතෙක්‌ හෙළි වී නැත. මෙතෙක්‌ ශ්‍රී ලංකා නාවික හමුදාව කොටි ජාලයෙන් සොයාගෙන ඇත්තේ එක්‌ නැවක්‌ පමණකි. එය ඉන්දුනීසියාවේ සුරබයා වරායේ සිට නාවික හමුදාව විසින් මෙරටට ගෙන එනු ලැබීය.

එහෙත් කොටි සතුව නැව් අටක්‌ තිබූ අතර ඉන් හතරක්‌ නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේදී විනාශ කිරීමට ක්‍රියා කෙරුණි.

මේ හැර වෙරළින් පිටත බැංකුවල රහස්‌ බැංකු ගිණුම් රැසක්‌ ද කේ. පී. සතුව ඇතැයි හෙළි විය.

මේ අතර කොටි ජාත්‍යන්තර ජාලය වසරකට ඩොලර් මිලියන 300 ක්‌ පමණ උපයා තිබිණි. එයින් වැඩි කොටසක්‌ වැය වූයේ අවි ආයුධ සඳහායි.

වන්නි මෙහෙයුම අවසානයේදී රුපියල් මිලියන 1400 ක අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබිණි. මෑතකදී ජනතා විමුක්‌ති පෙරමුණ පැවසුවේ කොටින්ගේ පැවැත්මට ඇමරිකාව සහාය වූ බවයි. ඇමරිකානු එම් -16 අවි සහ ඇමරිකානු හමුදාව භාවිත කරන පණිවුඩ හුවමාරු සංඥ ද හමුදා බලධාරීහු සොයාගෙන තිබිණි.

එම උපාංගවල අනුක්‍රමික අංකවලින් එකී අවි හා උපාංග මිලයට ගත්තේ කවුරුන්දැයි හෙළි වේ. එහෙත් ඇමරිකානු බලධාරීහු එය විමර්ශනය කළේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.