මෛත්‍රී - මහින්ද - චන්ද්‍රිකා එකතු කරන්න
පක්‍ෂය ඇතුළේ මෙහෙයමුක්‌

තරුණ මන්ත්‍රීවරු 22 ක්‌ ලියුමකුත් දීලා



අලුත් ආණ්‌ඩුවේ ඇමැතිවරු වැඩ බාරගෙන අමාත්‍යාංශ යටතේ තිබෙන ආයතනවලට ප්‍රධානීන් පත්කර, වැඩ කරන්නට පටන් ගත් පසුගිය සතිය ආකාර කීපයකින්ම අපට වැදගත් සතියක්‌ම විය. අමාත්‍යාංශ 60 ගණනක තිබූ විෂය පථ අමාත්‍යාංශ 40 කට පමණ ලඝූ කොට ආයතන බෙදා වෙන් කිරීම අලුත් මෛත්‍රී - රනිල් හවුල් ආණ්‌ඩුවට ලේසි වුණේ ද නැත. හුඟක්‌ම අමාරු වූයේ ඒ ඒ අමාත්‍යාංශවලට අයත් ආයතන හා විෂයයන් බෙදා වෙන්කර දැක්‌වීමේදී ගැටලු හා අභියෝග මතුවීමයි. සමහර විෂයයන් අමාත්‍යාංශ අනුව වෙනස්‌ කිරීමේදී කලකිරී සිත් අමනාප කරගෙන දේශපාලන තීන්දු පවා ගන්නට ගිය ඇමැතිවරු පිළිබඳව ද අපට පසුගිය සතියේ අසන්නට ලැබිණි. කෙසේ වෙතත් මේ සියල්ල තාවකාලිකව දින සියයේ පාලනයක්‌ සඳහා ඇති කළ වෙනස්‌කම් පමණකියි කියා ගැටලු සමනය කර ගන්නට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකිවිය. එහෙත් ගැටලුව වූයේ මෛත්‍රීපාල ජනපතිතුමාත්, චම්පික රණවක, රතන හිමි, රාජිත සේනාරත්න වැනි කිහිප දෙනෙක්‌ හැරුණු විට එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළේ සිටි බොහෝ දෙනකුට මෙය තාවකාලික ආණ්‌ඩුවක්‌ බව නොවැටහීමය. සමහර මැති ඇමැතිවරු බලය අතට ගෙන සමහර රාජ්‍ය ආයතනවල පාලනය බාරගෙන වෘත්තීය සමිති හා සේවකයෝ ඉස්‌සර කරගෙන වැඩ කළේ මෙය ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් ඡන්දයෙන් පත්වුණ අලුත් පාර්ලිමේන්තුවකින් සැදුම්ලත් ආණ්‌ඩුවක්‌ හැසිරෙන ආකාරයටය. මේ පිළිබඳ පසුගිය සතියේ මධ්‍යස්‌ථ දේශපාලන විශ්ලේෂකයන් තුළ පවා මතුව තිබුණේ එක්‌තරා මට්‌ටමක කලකිරීමකි.

මැදමුලනට යන සෙනඟ
තවමත් අඩු නැතිලු


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිකමෙන් විශ්‍රාම ගියේ ජනවාරි 9 වැනිදා පාන්දරය. එදා එසේ සමුගෙන නිලධාරි මණ්‌ඩලයට ආයුබෝවන් කියා ඔහු ගියේ මැදමුලන මහගෙදරටය. එදා ඒ මොහොතේ පටන් රටේ ජනතාව වැල නොකැඩී මහින්දව බලන්නට මැදමුලනට යන්නට පටන් ගත්හ.

දැන් මේ වන විට මහින්ද ජනපතිකමෙන් සමුගෙන සති 3 ක්‌ ද ගතවී හමාරය. එහෙත් සති අන්තවල ඔහු මැදමුලනට ගිය විට හිටපු ජනාධිපතිතුමන්ව බලන්නට හා සුවදුක්‌ විමසන්නට යන ජනතාවගේ අඩුවක්‌ නොවීය. සමහරු තම සදාදරණීය නායකයාව බලන්නට ගම්වලින් බස්‌ පුරවාගෙන ගියේ හාල්, පොල්, තුනපහ කළමනා ද රැගෙන වීම මෙහි තිබූ විශේෂත්වයයි. මේ අතරතුර පුළුල් දේශපාලන අරමුණු සහිත පිරිසක්‌ ද සිටියහ.

"අනේ සර්.... දැන් අපිට නැතිවුණේ එකට එකතුවෙලා ඉන්න ගෙදරක්‌. දේශපාලන පක්‍ෂයක්‌. අපට තිබුණ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දැන් අයිති කාටද කියලා පැහැදිලි නෑ. සර් මැදිහත් වෙලා අලුත් පක්‍ෂයක්‌ හදන්න. අපිට හෙවණට ඉන්න ගෙයක්‌ හදන්න. අපි ඔක්‌කොම එනවා ඒක ඇතුළට...."

ජනතාව එසේ කීවත් ජනාධිපති මහින්ද ඒ සියල්ල ඉවසුවේ ඔවුන්ගේ ද හිත් නොරිදවමිනි.

වෙනම පක්‍ෂයක්‌ හදන්න
මහින්දට ආරාධනා


මේ අතර දේශපාලනිකව පැමිණ ජනාධිපති මහින්දට වෙනම පක්‍ෂයක්‌ හදන්නට ආරාධනා කළ පිරිස්‌ ද සිටියහ. ඔවුන් කීවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ආණ්‌ඩුවේ පක්‍ෂයක්‌ වී ඇති බැවින් දැන් විපක්‍ෂයේ කාර්යභාරය කරන්නට වෙනම පක්‍ෂයක අවශ්‍යතාව පැනනැගී ඇති බවකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඡන්දය දුන් ලක්‍ෂ 58 ක්‌ වූ ජනතාවක්‌ රටේ සිටින නිසා ඒ ජනතාවට නායකත්වය දීම පැහැර නොහරින මෙන් ඒ පිරිස මහින්දගෙන් ඉල්ලා සිටියහ.

දිනේෂ් - විමල් - වාසු - උදය
වෙනම විශේෂ හමුවක්‌


විපක්‍ෂයේ දේශපාලන කටයුතු ඔය අයුරින් ඇදී යද්දී එහි සිටින පෙරළිකාරීන්ට ප්‍රශ්නයක්‌ වූයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෛත්‍රී පිල සමඟ එකට ඉදිරියට යැමට නොහැකි වීමයි. මේ නිසා ඔවුන් නිරතුරුවම කටයුතු කළේ විපක්‍ෂය ආණ්‌ඩු පක්‍ෂයට සම්බන්ධ නොකොට වෙනම බලපෑම් කණ්‌ඩායමක්‌ ලෙස තබාගැනීමටය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වත්මන් රජය සමඟ කටයුතු කිරීම නොරිස්‌සූ ඔවුහු එය දුටුවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මුළුමනින්ම එජාපයට පාවාදීමක්‌ හැටියටය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සිටින නියම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාක්‍ෂිකයන්ට වෙන කරන්නට විකල්ප ක්‍රියාමාර්ගයක්‌ නොවීය. ඊට හේතුව දැන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා ආණ්‌ඩුවේ නායකයා වී තිබීමයි. මැදිහත් පාක්‍ෂිකයෝ මෙතැනදී මුහුණපෑවේ මහත් උභතෝකෝටික ප්‍රශ්න මාලාවකටය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෛත්‍රී සිය නායකයා ලෙස සලකා කටයුතු කිරීම නිසා වඩාත්ම අපහසුතාවට පත් පිරිස අතරේ ප්‍රමුඛයා වූයේ විමල් වීරවංශය. දිනේෂ් ගුණවර්ධනට ද මේ ක්‍රියාදාමය තුළ බරපතළ දේශපාලන හා ප්‍රතිපත්තිමය විවේචන තිබිණි. වාසුදේව නානායක්‌කාරට ද එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එකපෙළට එකට හිටගැනීමට ලොකු හිරිකිතයක්‌ තිබිණි. උදය ගම්මන්පිලට ද ඊට වඩා ප්‍රශ්න තිබිණි.

මේ නිසා මේ ප්‍රධානියෝ හතරදෙනා පසුගිය සතියේ කොළඹදී වෙනමම හමු වී සාකච්ඡා කළේ ඊළඟට අපි කුමක්‌ කරමුද කියාය.

දැන් ශ්‍රී ලංකා එක නිතැතින්ම ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ බවට පත්වෙලා. ඒක නිසා ඔවුන්ට කවදාවත් විපක්‍ෂයේ භූමිකාව දැන් ඉටුකරන්න අයිතියක්‌ නෑ. හැකියාවකුත් නෑ. දැන් අපි "හැබෑ විපක්‍ෂයේ භූමිකාව" ඉටුකරන්න මොනවද කරන්නේ. නායකයෝ හතරදෙනා කතා කළේ ඒ ගැනය.

එහෙම බැහැ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මේ රටේ ජනතාව 58 ලක්‍ෂයක්‌ ඡන්දය දීල තියෙනවා. ඔවුන් ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගෙනිහින් එක්‌සත් ජාතික පක්‍ෂයට පාවාදෙන්න නොවෙයි. කවුද මේ ඡන්දය දීපු ලක්‍ෂ 58 ක ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්නේ. කවුද ඔවුන්ට නායකත්වය දෙන්නේ. අපි කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ජනතා අභිලාෂයන් මඟහරින්න බෑ.

එසේ කියමින් සාකච්ඡා කළ එම නායකයන්ගේ මතය වූයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ලක්‍ෂ 58 ක ජනතාව අමතක කර කටයුතු කරන්නේ නම් සන්ධානයේ නියෝජිත පක්‍ෂ හැටියට තම තමන්වත් එකතු වී වෙනම පෙරමුණක්‌ ගොඩනඟාගෙන කටයුතු කළ යුතු බවය. ඒ සඳහා ඉදිරියේදීත් දිගින් දිගටම සාකච්ඡා කර වැඩ කරන්නට යොදාගත් නායකයෝ සිව්දෙනා විසිර ගියහ.

විමල් - දිනේෂ් - වාසු
මහින්ද හමුවෙලා


පසුගිය සඳුදා හවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවන්නට දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා වාසුදේව නානායක්‌කාර පැමිණියහ. මහින්ද රාජපක්‍ෂ මේ දිනවල කොළඹ පැමිණි විට නතරව සිටින්නේ පාර්ලිමේන්තු පාරේ කථානායක චමල් රාජපක්‍ෂගේ නිල නිවසේය. ඒ සුවිසල් මන්දිරය මහින්ද රාජපක්‍ෂට කවදත් විවෘත තැනක්‌ විය. හමුවීම්වලට හා ලොකු රැස්‌වීම්වලටත් එහි ඕනෑ තරම් ඉඩකඩ තිබීම නිසා බොහෝ විට මහින්දගේ මෙවන් හමුවීම් කෙරුණේම එතැනය.

දිනේෂ්, විමල් හා වාසු පැමිණියේම මහින්දට ලොකු ආරාධනයක්‌ කරන්නටය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හිමිවීම තුළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අත් වූ ඉරණම දිනේෂ් විස්‌තර කළේය. සන්ධානයට ඡන්දය දුන් ලක්‍ෂ 58 ක ජනතාවට ගොනුවීමට තැනක්‌ අවශ්‍ය බව පෙන්වා දුන් ඔහු කීවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නැවත අත්පත්කර ගැනීමට හැකියාවක්‌ නොමැති නම් සන්ධානය තුළ සිටි දේශපාලන පක්‍ෂවලට එක්‌කාසු වී වැඩ කළ හැකි අලුත් දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවීම අවශ්‍ය බවකි. ඒ සඳහා නොපමාව ඉදිරිපත් වී වැඩ කරන්නැයි මේ පිරිස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඔයගොල්ලන්ගේ යෝජනාව ගැන මට හුඟක්‌ අය කිව්වා. නමුත් මේ වෙලාවේ මම වෙනම බලවේගයක්‌ ගොඩනඟන්න හැදුවොත් වෙන්නේ ලොකු හානියක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉන්න ජනතා බලවේගය දෙකඩ වීම මේ වෙලාවේ රටේ දේශපාලන අනාගතයට හොඳ නැහැ. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කරන්නයි අපි පියවර ගන්න ඕන. ඒක දෙකඩ කරලා වෙනම දේශපාලන පක්‍ෂයක්‌ හදන්න අපිට බෑ. මට නම් ඒ ගැන හිතන්නවත් බෑ. අපි තව ටිකක්‌ ඉවසමු.

ජනාධිපති මහින්ද ලබාදුන් ඒ උත්තරය නම් කිසිලෙසකත් මේ තිදෙනාගේ හිත සුව පිණිස වූයේ නැත.

විමල්ලා හා දිනේෂ්ලා විසිර ගිය පසු මහින්ද හමුවන්නට බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග පැමිණියේ සිය දියණිය ද සමඟය. මහින්ද රාජපක්‍ෂ ඒ වන විට උද්ගතව ඇති තත්ත්වය ප්‍රසන්නට පැහැදිලි කළේය.

එක එක යෝජනා ගණනාවක්‌ම තියෙනවා. වෙනත් පක්‍ෂයක්‌ හදන්න කියලයි සමහර අය යෝජනා කරන්නේ. ඒත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කරන්න මම කැපවෙන්නේ නැහැ. මහින්ද ස්‌ථිරවම තම මතය ප්‍රකාශ කර සිටියේය.

වැඩ බාරගත් ඇමැතිවරු
දින 100 ට වැඩ අරඹති


මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවේ සියලුම ඇමැතිවරු පසුගිය සතිය වෙන විට සිය අමාත්‍යාංශවල වැඩ බාරගැනීම අවසන් කර සිටියහ. පසුගිය සතියේ හුඟක්‌ම තිබුණේ ඇමැතිවරුන්ගෙන් පසුව එම අමාත්‍යාංශවලට අයත් සෙසු ආයතන ප්‍රධානීන් වැඩ බාරගැනීම්ය.

අමාත්‍ය චම්පික විදුලිබල හා බලශක්‌ති ඇමැතිවරයා ලෙස වැඩ බාරගත් පසු පළමුව කළේ ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණවලින් පහත හෙළීමය. ඉන්පසු අමාත්‍යාංශයේ ප්‍රමුඛ ආයතන වන ඛනිජ තෙල් සංස්‌ථාවේ හා විදුලිබල මණ්‌ඩලයේ ක්‍රියාත්මක සැලසුම් අධ්‍යයනය කිරීමට කාලය යොමු කළේය.

ඛනිජ තෙල් සංස්‌ථාව වූකලී දේශපාලන පළිගැනීම්, පිළිගැනීම් හා එදිරිවාදිකම් සහිත මුළුමනින්ම දේශපාලනීකරණය වූ තැනක්‌ බව ඔහු දැනගත්තේය. මුලින්ම ඔහු කළේ තම සභාපතිවරු හරහා ඒවා නතර කිරීමය.

සභාපතිවරු දෙදෙනා තෙල් සංස්‌ථාවේ අංගනවලට යන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අයත් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිකයන් ඒ මේ අත මාරු කර පළිගැනීම් ආරම්භ කර තිබිණ. ඔවුන් වහාම කළේ ඒ මාරු කිරීම් පළමුව අවලංගු කිරීමය.

"ඔයගොල්ලා මතක තියාගන්න මේක පළිගැනීම්වලට පිළිගැනීම්වලට කාලයක්‌ නොවෙයි. අපි මේ ඇති කරන්න යන්නේ යහපාලනයක්‌. ජනාධිපති ශ්‍රී ලංකා එකේ. අගමැති යූ. ඇන්. පී. එකේ. ආණ්‌ඩුව සම්මිශ්‍රණයක්‌. ඒක නිසා කාගෙන්වත් පළිගන්න අවශ්‍ය නෑ. අපි එකට එකතුවෙලා මේ ආයතනයේ අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ හදමු... කියමින් සභාපති රොෂාන් ගුණවර්ධන සියලු මාරුකිරීම් අවලංගු කර දෙපිරිස සමගි කර ආයතනය ඉදිරියට ගෙන යන මඟ හෙළි පෙහෙළි කර දුන්නේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලනය ප්‍රජාතන්ත්‍රීය පාලනය හා බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය වැඩ බාරගැනීමෙන් පසුව සිය ධුරයේ පළමු නිල කටයුත්ත ලෙස සහභාගි වූයේ බලපිටියේ මහකප්පින සීමා මාලක විහාරස්‌ථානයේ උත්සවයකටය. එය අමරපුර සද්ධම්මවංශ මහා නිකායේ අක්‌ත පත්‍ර ප්‍රදානය කිරීමේ උළෙලකි. ඔහු එම උත්සවයේ ප්‍රධාන අමුත්තාය. කරු උත්සව සභාවේදී සිය දේශනය කළේ තමන් ආනන්ද විද්‍යාලයේ සිසුවකුව සිටින සමයේ මරදාන කුප්පියාවත්ත ජයශේඛරාරාමයට නිතර යමින් එමින් මහනායක හිමිවරු මුණගැසෙමින් අමරපුර නිකාය සමඟ බැඳීම් ඇතිකරගත් සමය ගැන අතීතාවර්ජනයක යෙදෙමිනි.

25 වැනි ඉරිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ පැවැති පාපන්දු ක්‍රීඩාංගණයේ පැවැති පාපන්දු තරගයක්‌ බලන්නට ද කරු ලද අවසරයකින් සහභාගි විය. ඊට තවත් අමුත්තෙක්‌ පැමිණ සිටියේය. එය සංචාරක ලන්ඩන් පාපන්දු කණ්‌ඩායමක්‌ සමඟ පැවැති විශේෂ තරගයක්‌ නිසා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයා ද මීට සහභාගි විය. කරු පාපන්දු තරගය නැරඹුවේ ඔහු හා ගැඹුරු සාකච්ඡාවක නිරත වෙමින් වීම මෙහි වූ විශේෂත්වයකි.

මේ ආකාරයටම අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ වැඩ බාරගෙන මුලින්ම ගියේ හම්බන්තොටටය. හම්බන්තොට සිය ආධාරකරුවන් ඔහු එන තුරු බලා සිටියේ උත්සව ගණනාවක්‌ ද සංවිධානය කරමිනි. සජිත් පැහැදිලි ප්‍රතිපත්තියක සිට නිල නිවාස නිල රථ බාරගැනීම ප්‍රතික්‍ෂේප කර ජනතාව වෙනුවෙන් වැටුප පවා එපා කියා ස්‌වේච්ඡාවෙන් වැඩ කරන්නට තීරණය කිරීම ගැන සෑම තැනින්ම ඔහු වෙත ප්‍රශංසා පැමිණෙන්නට වීම විශේෂත්වයකි.

ආණ්‌ඩුව ඇතුළේත්
අලු යට ගිනිලු


කවුරු කෙසේ දේශපාලන අනාගතය ගැන මොන මොන අනාවැකි කීවත් මොන මොන සහතික දුන්නත් ප්‍රශ්න ඇතිවන්නට පටන් ගත්තේ එකට වැඩ කරන විටය. අලුත් මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවට ද ඒ සනාතන සත්‍යය එසේය.

දින සියය වැඩපිළිවෙළ තුළ ජාතික විධායක සභාවට යටත්ව රටේ අනාගත ව්‍යවස්‌ථා සංශෝධන සිදුකරන විට ජනපති ධුරයට අයත් බලතල පිළිබඳව ඇතිව තිබුණේ ලොකු විවාදයකි. එක්‌සත් ජාතික පක්‍ෂයට අවශ්‍යව තිබුණේ ජනාධිපතිධුරය බල රහිත කර සියලු වගකීම් හා බලතල පාර්ලිමේන්තුවට ලබාගෙන අගමැතිවරයා බලතල සහිත රාජ්‍ය නායකයා කිරීමටය. එහෙත් චම්පික, රතන හිමි, මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න ඇතුළු නායකයන් සිටියේ වෙනම තැනකය. වෙනම මතයකය. ඔවුන්ට අවශ්‍ය වූයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර බලතල තුලනය වන අයුරින් ව්‍යවස්‌ථා සංශෝධනය පවත්වාගෙන යැමටය.

පසුගිය සති අන්තයේ ජනපති මෛත්‍රී, අගමැති රනිල්, විඡේදාස රාජපක්‍ෂ රාජිත සේනාරත්න හා තවත් නිලධාරීන් කිහිපදෙනෙක්‌ සිටි විශේෂ සාකච්ඡාවකදී මේ ප්‍රස්‌තුතය තදින් කතාබහට ගැනිණි. එහිදී සමහරු විග්‍රහ කළේ නාම මාත්‍ර විධායකයෙක්‌ බවට ජනාධිපති ධුරය පත්කිරීමේ යෝජනාවක්‌ ගැනය. එහිදී රාජිත මැදිහත්ව පක්‍ෂ දෙක අතර ගිවිසුම් මතක්‌ කළේය. මූලික එකඟතාවලට පිටින් ගොස්‌ කරන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගැන හේ සිය විරෝධය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

මේ අතරතුර තවත් ප්‍රශ්න ගණනාවක්‌ සුළු ජාතීන් අතර ද මතුව තිබීම විශේෂත්වයකි. මෛත්‍රීපාලගේ ජයග්‍රහණයට නොමඳ කැපවීමක්‌ කළ මුස්‌ලිම් ප්‍රජාව අමතක කර රජය කටයුතු කර ඇති බවට තර්කයක්‌ ද මුස්‌ලිම්වරු තුළ තිබිණි.

මේ අතර රටේ පළාත් සභාවල ආණ්‌ඩුකාරවරු පත්කිරීම ගැන ද මුස්‌ලිම්වරුන්ට ප්‍රශ්න තිබිණි. පත්කරන ලද ආණ්‌ඩුකාරවරු අතරින් එකම මුස්‌ලිම් ජාතිකයකුවත් නොවීම තුළ කලකිරීම දැඩි විය. බස්‌නාහිර පළාතේ අවුරුදු 13 ක්‌ සේවය කළ මුස්‌ලිම් නායකයා වූ අලවි මවුලානා ඉවත් කර ඉමිටියාස්‌ බාකිර් මාකර් පත්කරාවි කියා මුස්‌ලිම්වරු බලාපොරොත්තුව සිටියහ. එහෙත් එය සිදුවූයේ ද නැත.

මේ අතර ලද අමාත්‍යාංශ හා ඒවාට අයත් රාජ්‍ය ආයතන ගැන ද මුස්‌ලිම්වරුන්ට වෙන වෙනම මැසිවිලි තිබිණි. ෆයිසර් මුස්‌තාපාට අයත්ව තිබූ ගුවන් සේවා සමාගම ඒ අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනත් කෙනකුට පැවරීම ගැන ලොකු පැමිණිල්ලක්‌ මතුව ආවේය.ෆයිසර් මුස්‌තාපා රාජ්‍ය ඇමැතිවරයෙකි. රාජ්‍ය ඇමැතිවරයකුට උසාවි යන්නට ද නොහැකිය. උසාවි යැමෙන් හොඳ ආර්ථික ශක්‌තියක්‌ ලබන ෆයිසර් මුස්‌තාපා බඳු කීර්තිමත් නීතිඥයෙක්‌ රාජ්‍ය ඇමැතිකමේ ඉන්නවාද ඉන් ඉවත් වී මන්ත්‍රීකම රැකගෙන උසාවි යනවාද යන උභතෝකෝටික ප්‍රශ්නයක්‌ ද ඔහුට පුද්ගලිකව පැනනැගී තිබිණි.

මේ අයුරින් රිෂාඩ් බදියුදීන් වැනි සෙසු මුස්‌ලිම් ඇමැතිවරු ද මෙය තාවකාලික ආණ්‌ඩුවක්‌ කියාවත් නොසිතා කේවල් කරන්නට පටන්ගෙන තිබීම තුළ විස¹ගන්නට ප්‍රශ්න ගණනාවක්‌ම පැනනැගී තිබිණි.

මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවේ රවීගේ සහන මල්ල

මේ සියලු සංවාද විසංවාද මැද දින සියයේ වැඩ රාජකාරි රැසක්‌ ද එක එක මට්‌ටමින් සිදුවෙමින් තිබිණි. ජනාධිපති මෛත්‍රී, රනිල්, චම්පික, රතන හිමි, රාජිත, විඡේදාස රාජපක්‍ෂ මූලිකව මහන්සි වෙමින් සිටියේ ව්‍යවස්‌ථා සංශෝධන කටයුතු පිළිවෙළක්‌ කරගන්නටය. රවී කරුණානායක, රනිල්, හර්ෂ, කරු, එරාන් ඇතුළු ආර්ථිකය පිළිබඳ උනන්දු තවත් කණ්‌ඩායමක්‌ ජනතාවට සහන සැලසීමේ කටයුතු දින සියයේ අයවැය තුළින් ඉදිරිපත් කරන්නට වෙහෙසෙමින් සිටියහ. විශේෂයෙන්ම රවීට අවශ්‍ය වූයේ හැකි තරම් අත්‍යවශ්‍ය ආහාර වර්ග මිල අඩු කර ජනතාවට සහන සලසා දැනෙන යමක්‌ වෙනසක්‌ සමාජයට ලබාදෙන ශක්‌තිමත් අයවැයකි. ඒ අතර තවත් පිරිසක්‌ නුදුරේ එන මහ ඡන්දය වෙනුවෙන් වහ වහා කළ යුතු ඡන්ද වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් සිටියහ. මේ නිසා රනිල්ට සහ ඔහුගේ ක්‍රියාකාරීන්ට දවසේ පැය 24ම වැඩ තිබුණා යෑයි කිවහොත් නිවැරැදිය.

මොහාන් ඉවත් කිරීම ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්‌

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශට පසුගිය අඟහරුවාදා රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගෙන් හදිසි දුරකථන ඇමතුමක්‌ ලැබිණි. තිලංග විමල්ට කීවේ අගවිනිසුරු මොහාන් පීරිස්‌ට එක්‌තරා පුද්ගලයෙක්‌ කළ තර්ජනය කිරීමක්‌ ගැනය. පුද්ගලයා මධ්‍යම පළාත් සභාවේ එජාප මන්ත්‍රී අසාද් සාලි බව තිලංග කීවේය. ඒ වන විට විමල් වීරවංශ ද මෙම සිද්ධිය දැන සිටි අතර දිනේෂ් ගුණවර්ධනට ද ඒ බැව් දැනගන්නට ලැබී තිබිණි. දිනේෂ් ද ඒ ගැන විමල්ට කියා තිබිණි.

මේක ගැන කවුරුවත් අද කතා කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නිහඬ වෙලා. අපි මොකද කරන්නේ දිනේෂ් විමල්ගෙන් අසා සිටියේය.

මොනව කරන්නද යහපාලනය කියන්නේ මේකද කියලා අපි පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයෙන් ප්‍රශ්න කළ යුතුයි. විමල් කීවේය.

හරි 29 වැනිදා පාර්ලිමේන්තුවේදී අපි මේ පිළිබඳව විවාදයක්‌ ඉල්ලා සිටිමු. අතුරු අයවැයක්‌ ගෙනල්ලා බඩු මිල අඩු කරලා මිනිස්‌සුන්ගේ දැස්‌ නිලංකාර කරවලා. ඒ අස්‌සේ තමයි මේ අය ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසීමේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. විමල් දිනේෂ්ට කීවේය. ඒ අනුව දිනේෂ් පාර්ලිමේන්තුවේදී අයවැය ඉදිරිපත් කිරීමට පෙර විශේෂ ප්‍රකාශයක්‌ කිරීමටත් විවාදයක්‌ ඉල්ලා සිටීමටත් දෙදෙනා කතාබහ කරගත්හ.

මර්වින් සජින් දෙන්නම
ඉන්නෙ එකම බෝට්‌ටුවේ


පසුගිය බදාදා උදේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අභිනව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා වැඩ බාරගැනීමේ උත්සවය පැවැත්විණි. කලින් එජාප නායක රනිල් සිටියේ කොළඹ මාකස්‌ ප්‍රනාන්දු මාවතේ නම්බර් තර්ටි කාර්යාලයේය. ඒ කාර්යාලය ඔහු භාරදුන් පසු හිමිවූයේ නව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාටය. ඔහු වැඩ බාරගත්තේ එහිදීය. මේ වැඩ බාරගැනීමේ උළෙලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු හා විපක්‍ෂයේ පක්‍ෂවල සාමාජිකයෝ විශාල පිරිසක්‌ පැමිණ සිටීම විශේෂත්වයකි.

මේ අතර මර්වින් සිල්වාත් පැමිණ සුපුරුදු ලෙස එහාට මෙහාට යමින් සිටිනු දක්‌නට ලැබිණි. පසුගිය දිනවල ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු නායකත්වය විවේචනය කරමින් පෙන්නුම් කළ ක්‍රියාකලාපය නිසා එතන සිටි වැඩි දෙනෙක්‌ මර්වින් හා කතාබහට පවා ගියේ නැත. මර්වින් ද ඒ කිසිවෙක්‌ ගණන් නොගත්තේය.

එහෙත් ඔහු තැනින් තැනට යමින් සේවකයන්ට උපදෙස්‌ දීම් පවා කරනු සමහරු බලා සිටියේ විමතියකිනි. මර්වින්ට ගානක්‌ නොවීය.

මර්වින් මඳක්‌ එළියට එන විට මිදුලේ සිටි සජින් වාස්‌ ගුණවර්ධන ඔහුගේ නෙත ගැටිණි... ඔහු වහාම සජින් ළඟට ගියේය.

සජින් මල්ලී.... ඔයා මොකද ඔතන. එන්න යන්න ඇතුළට අපි මොකටද එළියෙ ඉන්නේ.

කමක්‌ නැහැ අයියේ අයියා යන්න මම මෙහාට වෙලා ඉන්නම්... දන්නේ නැද්ද සජින් කීවේය.

උඹ මෙතන දාල මට පුළුවන්ද මල්ලි ඇතුළට යන්න යමු යමු...

නැහැ... අයිය යන්න මට මෙතන හොඳයි...

යමන් බං.... යමන්... අපි දෙන්නම දැන් ඉන්නේ එකම බෝට්‌ටුවේ.... ගණන් ගන්න එපා... කියමින් මර්වින් පැමිණියේ සජින්ව කැඳවාගෙනම වීම විශේෂත්වයකි.

වැඩ බාරගැනීමේ උත්සවය ආරම්භ විය. පහන පත්තු කිරීමට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ආරාධනා කරන්නයි විපක්‍ෂ නායකවරයා එතන සිටි නිවේදකයාට කියා තිබිණි. ඔහු තම නම් ලැයිස්‌තුවට නොදැනුවත්වම වාගේ මර්වින්ගේ නම ද එක්‌කර තිබිණි.

මෙය දෙස ද මන්ත්‍රීවරු අමුතු ලෙස බැලුවත් කිසිවෙක්‌ මර්වින් හා පැටලෙන්නට නම් ගියේ නැත.

මේ අතරතුර ප්‍රසන්න රණතුංග, තිලංග සුමතිපාල, පියංකර ජයරත්න ඇතුළු කිහිපදෙනෙක්‌ සිටියේ එළියේ තේ මේසය තිබෙන තැන කතාබහක නිරත වීය. නිමල් සිරිපාල වැඩ ඉවර වී සියලු දෙනාම කැඳවාගෙන එතනට ආවේ තේ බොන්නට ආරාධනා කරමිනි...

විපක්‍ෂ නායකතුමා තේ බොන්න.... ඔන්න මම තේ ලෑස්‌ති කළා.... ප්‍රසන්න රණතුංග කීවේ නිමල් සිරිපාල මහතාට පිඟානක්‌ද දෙමිනි.

මම එපාය ඔයාලට තේ දෙන්න... ඔයාලා මගේ ආරාධිතයෝ.... කියමින් විහිළු කරමින් නිමල් සිරිපාල අන් අයට තේ සඳහා ආරාධනා කළේය.

මේ අතරතුර ප්‍රසන්න, නිමල් සිරිපාල ඇතුළු පිරිස කතා කර කර සිටියේ පක්‍ෂයේ අනාගතය ගැනය.

අපි පළාත් සභාවන් කීපයක්‌ එකතු වෙලා අපේ පක්‍ෂයෙන් බිහිවුණ ජනාධිපතිවරු තුන්දෙනාට ආරාධනා කරනවා එකට එකතු වෙලා පක්‍ෂය බේරගන්න. එහෙම නැත්නම් මේක කැඩිලා බිඳිලා යාවි. ප්‍රසන්න කියද්දී සැවොම එය අනුමත කළේ එය කළ යුතු වැඩක්‌ බව පෙන්වා දෙමිනි. වහාම කළයුතු බව කීහ.

විපක්‍ෂ නායකගේ නිල උත්සවයට පසුව එතනදීම විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හමුවක්‌ ද පැවැත්විණි.

ශ්‍රීලනිප කණ්‌ඩායම
මර්වින්ට ගොරවලා


නම්බර් තර්ටි රැස්‌වීම්වලට පසුව බදාදා හවස විපක්‍ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගියේ ශ්‍රීලනිපයේ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමට සහභාගිවීමටය. මුලින්ම පාර්ලිමේන්තුවේදී පක්‍ෂ නායක හමුවක්‌ කථානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී පක්‍ෂ නායකයෝ කතාබහ කර ගත්තේ 29 වැනි බ්‍රහස්‌පතින්දා පාර්ලිමේන්තුවේ සිදුවන වැඩ කටයුතුවල ස්‌වභාවය හා ක්‍රියාපිළිවෙළ ගැනයි.

ඉන්පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම පැවැත්විණි. ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක්‌ මීට සහභාගි වූයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කතාබහ කරගන්නටය.

නිමල් සිරිපාල ද සිල්වා විපක්‍ෂ නායක ලෙස මෙහෙයවූ මෙම රැස්‌වීමේදී ජනාධිපති හා මන්ත්‍රීවරු මුලින්ම කතාබහ කළේ 29 වැනිදා අයවැය ඉදිරිපත් කිරීම්වලදී ක්‍රියාකරන ආකාරය ගැනය.

දින සියයේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට සහන රැසක්‌ දෙන්න මේ අයවැය තුළින් අපි යෝජනා කරනවා. ඒවාට අපි හැමෝම උදව් කරන්න ඕන... ජනපති මෛත්‍රී කීවේය.

මෛත්‍රීපාල මෙසේ කීවේ ලොකු දේශපාලන විග්‍රහයක්‌ ද කරමිනි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දැන් පිල් නොබෙදී අනාගතය ගැන සිතා වැඩ කළයුතු ආකාරය ගැන කීවේය. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පක්‍ෂයේ නායකයන් ගරු කළ යුතු බව ඔහු කියා සිටියේ කලින් එහෙම සම්ප්‍රදායක්‌ නොතිබූ බව ද මතක්‌ කරමිනි.

"කලින් අපේ පක්‍ෂය මෙහෙයෙව්වේ සන්ධානය ඇතුළේ ඉඳපු සුළු සුළු පක්‍ෂ. ඉදිරියේදී එහෙම දේවල් වෙන්න ඉඩ තියන්න අපට බෑ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තමයි ප්‍රධාන බලවේගය...." මෛත්‍රී පෙන්වා දුන්නේය. ඔහු එසේම ඒ ගැන අදහස්‌ දක්‌වන්නට අනෙක්‌ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කළේය.

මෙහිදී මර්වින් සිල්වා නැගිට අදහස්‌ දක්‌වන්නට වූවා පමණි. පසුපෙළ තරුණ මන්ත්‍රීවරු පිරිසක්‌ නැගිට ඔහුට හූ කියා බාධා කරන්නට වූ බැවින් ඔහු පසුබා සිටියේය. සෙසු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු එය වැළකුවේ ද නැත.

මන්ත්‍රීවරු ජනාධිපතිතුමන්ට තමන්ට මේ රජය යටතේ මුහුණපාන්නට වී ඇති ප්‍රශ්න ගැන පැහැදිලි කිරීම් කළහ. ජනාධිපති ඒ සියල්ල සොයා බලන්නට පොරොන්දු වුණේය.

මේ අතර නාමල් රාජපක්‍ෂ ද මෙහිදී කතා කර තරුණ මන්ත්‍රීවරු අත් විඳින කරදර ගැන මතක්‌ කළේය. ඊට සාක්‍ෂි වශයෙන් කතාකළ තරුණ මන්ත්‍රීවරු වෙන වෙනම තමන්ට ඇති ප්‍රශ්න කීහ. ජනාධිපති මෛත්‍රී ඒ සියල්ලක්‌ ගැනම සොයා බලන බව කීවේය.

තරුණ මන්ත්‍රීවරු 22 ක්‌
පක්‍ෂයේ සමගියට උරදීලා


ඉන්පසුව නාමල් රාජපක්‍ෂ ඇතුළු පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරු පිරිසක්‌ වෙනමම ජනාධිපති මෛත්‍රී හමු වූහ. ඔවුන් වෙනමම කතා කළේ මේ රජයෙන් තම තමන්ට මුහුණපාන්නට වූ ගැටලු ගැනය. නාමල් තමන්ට, යෝෂිතට හා රෝහිතට මුහුණපාන්නට ඇති ප්‍රශ්න ගැන ද කීවේය. ජනාධිපතිවරයා සාවධානව සියල්ල අසා සිට උත්තර දුන්නේය.

සියලු ප්‍රශ්න තමා මැදිහත්ව නිරාකරණය කරන බව ඔහු කීවේය.

මේ අතර නාමල් ඇතුළු මන්ත්‍රීවරු 22 ක්‌ පක්‍ෂයේ යෝජනාවක්‌ ක්‍රියාවට නගමින් විශේෂ මෙහෙයුමක්‌ සූදානම් කරමින් සිටියේය.

පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් 3 දෙනෙක්‌ සිටිති. එක්‌ අයෙක්‌ ජනාධිපතිනි චන්ද්‍රිකා. අනෙක්‌ කෙනා ජනාධිපති මහින්දය. තුන්වැන්නා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. මේ තුන්දෙනා දැන් සමගි වන්නට වෙලාව බව කියමින් තුන්දෙනාටම සංදේශයක්‌ දීම මේ තරුණ කණ්‌ඩායමේ සැලසුමයි. ජනාධිපතිවරු තුන්දෙනා එකතු කර එක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර රටේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ යළි බිහිකිරීම මේ අයගේ අභිප්‍රාය වූහ. ඒ සඳහා අවශ්‍ය ලියුම් සකස්‌ කළ මන්ත්‍රීවරු නායකයන් තුන්දෙනාම වෙන වෙනම හමුවන්නට තීරණය කළහ. එය වත්මන් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මුළු ශ්‍රීලනිපයේම ප්‍රාර්ථනය බව ද පෙනෙන්නට තිබිණි.

කෙසේ වෙතත් ඉකුත් බදාදා හවස පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රීලනිප කණ්‌ඩායම් රැස්‌විමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද විශේෂ කරුණක්‌ කීවේය.

"කවුරුත් එකා වගේ සමගි වෙලා පරණ වාද භේද අමතක කරලා වැඩ කරන්න. එළඹෙන ඡන්දයේදී අපි යළිත් ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ හදමු. ඔයාලත් ඊට කැපවෙන්න. මමත් කැපවෙන්නම්" මෛත්‍රී කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.