වාහන වෙළෙඳපොලේ අර්බුද මතුකළ
හයිබ්‍රිඩ්  බද්ද!

* ජනිත සෙනෙවිරත්න



මෙවර අතුරු අයවැයෙන් වාහන වෙළෙඳපොළ යළිත් වරක්‌ උඩු යටිකුරු කර තිබේ.

මෙතෙක්‌ සියයට 57. 5 ක්‌වූ හයිබ්‍රිඩ් වාහන බදු සියයට 92 දක්‌වා ඉහළ නැංවීම නිසා හයිබ්‍රිඩ් වාහන මිල අති විශාල වශයෙන් ඉහළ ගොස්‌ තිබේ.

මීට අමතරව, දෙමුහුන් මෝටර් රථ ආනයනයේදී ක්‌ෂය වීමේ වගුව ඉවත් කර ඇති අතර මේ අනුව මින් ඉදිරියට බ්‍රෑන්ඩ් නිව් වාහන හා රීකන්ඩිෂන් වාහන සඳහා එකම බද්දක්‌ ක්‍රියාත්මක වේ.

නව රජය විසින් පසුගිය 29 දා ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාව 1000 සී. සී වලට වඩා අඩු මෝටර් රථ වෙනුවෙන් අයකළ ආනයන බදු සියයට 15 කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

හයිබ්‍රිඩ් වාහනවල බදු අඩුවන හැටි



කෙසේ වෙතත් විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන සඳහා අයකළ බදු සියයට පහ දක්‌වා අඩුකරන්නටද රජය මෙවර කටයුතු කර තිබේ.

මීට අමතරව, මෙරටට වාහන ආනයන කරන සියලුම සමාගම් වලින් එම සමාගම් ආනයනය කරන්නේ අලුත් වාහනද පරණ වාහනද නොසලකා වාර්ෂිකව රුපියල් ලක්‌ෂ 15 ක ගාස්‌තුවක්‌ අයකරන්නටද රජය තීරණය කර තිබේ.

නව බදු ක්‍රම නිසා හයිබ්‍රිඩ් වාහනයක්‌ අඩුම තරමින් රුපියල් ලක්‌ෂ අටත් දහයත් අතර මුදලකින් ඉහළ යන අතර ඇතැම් වාහන ඊටත් වඩා විශාල මුදලකින් ඉහළ යයි.

එසේම 1000 ජජ ට වඩා අඩු වාහන රුපියල් ලක්‌ෂ දෙකත් තුනත් අතර ප්‍රමාණයකින් අඩුවේ. ඇතැමුන් පවසන්නේ එසේ අඩුවන්නේ රුපියල් ලක්‌ෂ එකහමාරකින් පමණ බවය.

රජය පවසන්නේ මහජනතාවට සහන ලබාදීම සඳහා අවශ්‍ය මුදල් සපයාගැනීමට අදාළ බදු සංශෝධනය කළ බවය. එසේම ලියකියවිලි වෙනස්‌ කරමින් වාහනවල වටිනාකම අඩු කිරීම්, දිනක්‌ හෝ දෙකක්‌ ධාවනය කරවා අලුත්ම වාහන, පැරණි වාහන ලෙස මෙරටට ගෙන ඒම ආදිය වැළැක්‌වීම සඳහා ක්‌ෂයවීමේ ක්‍රමය ඉවත් කළ බව රජය පවසයි.

මේ අතර මහා පරිමාණ වාහන ආනයනකරුවන්ගේ සංගම් කීපයකට හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට අවශ්‍ය පරිදි මෙසේ වාහන බදු වෙනස්‌ කළ බවට මේ වන විට ඇතැම් පිරිස්‌ චෝදනා කරති.

සාමාන්‍යයෙන් මෝටර් රථ ආනයනය කරන සමාගම් සහ කාර් සේල්කරුවන් අලුත් වාහනයකින් රුපියල් ලක්‌ෂ පහත් දහයත් අතර ලාභයක්‌ තබාගනී. මෙය අති විශාල ලාභයකි. එහෙත් පසුගිය කාලයේ වාහනයක්‌ දෙකක්‌ ගෙන්වා සාමාන්‍ය ලාභයක්‌ තබාගෙන නිවසේ සිට අලෙවිකරන පිරිසක්‌ ද බිහිවූහ. එසේම ජපානයේ සම්බන්ධතා ඇති සමහර පිරිස්‌ අන්තර්ජාලය හරහා වාහනය පෙන්වා එම වාහනයට මුදල් ගෙන හෝ බැංකු හරහා ණය පහසුකම් සලසා දී අදාළ වාහනය මෙරටට ගෙනැවිත්දීමේ ව්‍යාපාරයක්‌ කර සුළු මුදලක්‌ උපයා ගත්හ. තවත් සමහරු මේ කිසිත් සම්බන්ධතා නැතත් අන්තර්ජාලය හරහා කෙළින්ම ජපාන වාහන වෙන්දේසිය හරහා සම්බන්ධ වී වාහන මෙරටට ගෙන්වා සාමාන්‍ය ලාභයක්‌ තබාගෙන අලෙවි කළහ. මේ පිරිස්‌ නිසා අති විශාල ලාභ ලබමින් සිටි සමාගම්වලට හා කාර් සේල් කරුවන්ට බිස්‌නස්‌ අඩු විය. ඇතැම් විට ලාභ සීමා විය. එසේත් නැතිනම් සෙසු පිරිස්‌ හා ආසන්න මිලකට වාහන විකුණන්නට මොවුන්ට සිදු විය. මේ නිසා කාලයක සිට මේ මහා පරිමාණ සමාගම් හා වාහන ආනයන කරුවන් කලින් පැවති රජයන් හරහාද මෙසේ වාහන එක දෙක මෙරටට ගෙනැවිත් අලෙවිකරන පිරිස්‌ වැළැක්‌වීම සඳහා නව නීති ගෙන එන ලෙස බලපෑම් කළද එම බලපෑම් වලින් ඵලක්‌ නොවීය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මේ හරහාද Rජු හා වක්‍ර රැකියා ඇතිවී තිබීමත්, කවර ආකාරයෙන් වාහන මෙරටට පැමිණියද ඒ හරහා අති විශාල බදු ආදායමක්‌ ලැබෙන බැවින් අනවශ්‍ය ගැටුමකට යැමට ඇති අකැමැත්ත මෙන්ම මෙම දෙපාර්ශවය අතර තරගකාරිත්වය නිසා වාහන මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලැබීම මීට හේතු විය.

සාමාන්‍යයෙන් ලොව රටවල් රැසක්‌ මේ වන විට හයිබ්‍රිඩ් වාහන සඳහා විශේෂ බදු සහන ලබාදී තිබේ. ඊට හේතුව ඒ සඳහා වැය වන ඉන්ධන ප්‍රමාණය අඩුවීම සහ ඒවා පරිසර හිතකාමී වීමය. විශේෂයෙන්ම අපේ රට ඉන්ධන නිෂ්පාදනය කරන රටක්‌ නොවේ. එබැවින් අපේ රටේ අප භාවිත කළ යුත්තේ ඉන්ධන අඩුවෙන් වැයවන වාහනය. එසේ තිබියදී හයිබ්‍රිඩ් වාහන බදු සියයට 57. 5 ක සිට සියයට 92 දක්‌වා ඉහළ නැංවීම නිසා හයිබ්‍රිඩ් වාහන මිල අති විශාල වශයෙන් ඉහළ ගොස්‌ තිබේ.

මේ අතර අතුරු අයවැයට පෙර වාහන ඇණවුම් කළ හා වාහන මෙරටට ගෙන එමින් පවතින කොටසක්‌ද වෙති. පෙර පැවති තත්ත්වයන් යටතේ ඒවා ගෙන්වූ බැවින් ඔවුන්ද විවිධ අසීරුතාවන්ට මුහුණ දී සිටිති.

මේ අතර අතුරු අයවැයට පෙර මෙරටට ගෙන්වූ දහස්‌ ගණනක්‌ වාහන මෙරට විශාල සමාගම් හා කාර් සේල්වල ගොඩගසා තිබේ. ඒවායේ මිලද මේ වන විට නව බදු සහිත මිල ගණන් දක්‌වා ඉහළ දමා තිබේ. මේ නිසා අදාළ පිරිස්‌ රුපියල් කෝටි ගණනක අයථා ලාභයක්‌ උපයති. මේ ගැනද රජය අවධානය යොමුකළ යුතුය.

1000CC වලට වඩා අඩු වාහන වැඩිපුරම අපේ රටට ගෙන එන්නේ ඉන්දියාවෙනි. මරුටි, ටාටා වැනි වාහන ඊට උදහරණයන්ය. මේ අනුව මෙවර අයවැයෙන් එම වාහන සඳහා දුන් බදු සහන ඉන්දියාව සතුටු කරන්නට ලබාදුන් බවට ඇතැම් පිරිස්‌ පවසති.

මේ අතර, දේශීය වාහන එකලස්‌ කරන සමාගම් විසින් පසුගිය කාලයේදී රජයට නිසි පරිදි බදු ගෙවා නොමැති අතර එම සමාගම් වලින් නිසි පරිදි බදු අයකර ගැනීමට රජය කටයුතු කරගෙන යයි.

පෞද්ගලිකව වාහන ගෙන්වීම නතර වූ පසු මෙරට සමාගම් හිතූහිතූ පරිදි ඉහළ මිලගණන් වලට වාහන විකිණීම වැළැක්‌විය නොහැක. එසේනම් පාරිභෝගිකයා ආරක්‌ෂා කිරීම සඳහා වාහනයකින් තබාගත හැකි උපරිම ලාභයක්‌ රජය මගින් නියම කළ යුතුය.

ලොව හැමතැනම අන්තර් ජාලය හරහා වාහන ගෙන්වීමට හැකි ක්‍රමයක්‌ තිබේ. අපේ රටේ නව අයවැය ප්‍රතිපත්තියත් සමඟ එය මින් ඉදිරියට කළ නොහැකි වනු ඇත. රුපියල් ලක්‌ෂ පහළොවක ලයිසන් එකක්‌ ලබාගෙන කිසිවකුත් තමන්ගේ පාවිච්චියට වාහන ගෙනෙන්නේ නැත.

මේ අතර මෙරටට මහා පරිමාණයෙන් වාහන ගෙන්වන කීපදෙනකු නිසා මෙරට වාහන වෙළෙඳපොළේ විෂමතා ඇතිවී තිබෙන බවද, නව බදු ක්‍රමය නිසා ඇතිවූ ඉල්ලුම පහළ යැම ජපානයෙන් මෙරටට විකුණන වාහනයක මිල රුපියල් ලක්‌ෂ තුනකින් පමණ මේ සතියේදී අඩුවී ඇතැයිද පැවසේ.

වාහන බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මුදල් ඇමැති රවි කරුණානායක මහතා දිවයින ඉරිදා සංග්‍රහයට කරුණු දැක්‌ වූයේ මෙසේය.

මේ අයවැය දුප්පතාට මිස ධනවතුන්ට හදපු එකක්‌ නෙවෙයි. ධනවතුන් සුළු පිරිසක්‌ ගැන හිතලා ලක්‌ෂ දෙසිය විස්‌සක ජනතාව අමතක කරන්න අපේ රජය සූදානම් නැහැ, මෙවර වාහන බදු ඉහළ නැංවූයේ අපේ රජයේ ප්‍රතිපත්තිය අනුවයි. මීට පෙර පැවති රජයන් වගේ මිලියන 500 ක්‌ විතර අරගෙන මේ වගේ ප්‍රශ්නය විසඳන ක්‍රමය අපි වෙනස්‌ කළා, අපේ රජයේ මූලිකත්වය දෙන්නේ අහිංසක දුප්පත් ජනතාවට මිසක්‌ සියයට එකක්‌ පමණ වන මහා පරිමාණ ධනවතුන්ට නෙවෙයි,

නව ක්‍රමය යටතේ තමන්ගේ නමට වාහනයක්‌ ගෙන්වන විට වාර්ෂික බලපත්‍ර ගන්න උවමනා නැහැ.

ඒ සඳහා ආනයන අපනයන පාලකවරයා හමුවී අවශ්‍ය කටයුතු කරගත හැකියි. හැබැයි ඒ වාහනය තමන්ගේ නමට තිබිය යුතුයි. අන්තර් ජාලය හරහා වාහන ගෙන්වන ක්‍රමයට ඕනෑම කෙනෙකුට තමන්ට වහනයක්‌ ගෙන්වන්න පුළුවන්, හැබැයි ව්‍යාපාරයක්‌ හැටියට විකුණන්න වාහන ගෙන්වන්න ඉඩ දෙන්න බැහැ,

ඉලෙක්‌ටි්‍රක්‌ වාහන බදු අඩුකළා, හීලියම් වාහන බදු අඩුකළා,

අහිංසක සාමාන්‍ය මිනිස්‌සුන්ට වාහනයක්‌ ගන්න පුළුවන් විදිහට 1000 ජජ වලට වඩා අඩු වාහන සඳහා බදු අඩුකළා, එම නිසා එම වාහනයක්‌ රුපියල් ලක්‌ෂ දෙකහමාරක්‌, තුනක්‌ පමණ අඩුවෙනවා, එම වාසිය ජනතාවට නිසි පරිදි නොදුන්නොත් දැඩි නීති ගෙනැවිත් එම සමාගම් වලට එරෙහිව අප කටයුතු කරනවා, සාමාන්‍ය මනුස්‌සයට වාහනයක්‌ ගන්න බදු අඩුකළ විට ඔන්න දැන් කියනවා ඉන්දියාව සතුටු කරන්න බදු අඩු කළා කියලා, ඇයි ජපානයෙන්, චීනයෙන් 1000 ජජ වලට අඩු වාහන ගේන්නේ නැද්ද?

ක්‌ෂය වීමේ ක්‍රමය නිසා හොර ඉන්වොයිස්‌ හදලා බදු සහන බොහෝ විට අයුතු ලෙස භාවිත කිරීම් සිදු වුණා, එම නිසා අලුත් පරණ වාහන වර්ග දෙකටම එකම බදු ක්‍රමයක්‌ හඳුන්වා දුන්නා, දැන් පාවිච්චි කළ වාහන ගෙන්විය හැකි කාල සීමාව වසර තුන දක්‌වා අඩු කර තිබෙන නිසා පැරණි වාහන අදාළ රටවලින් අඩු මිලට මිලදී ගත හැකියි.

ජනතාවට සහන දෙන්න බැහැ කියපු කට්‌ටිය දැන් අපි සහන දුන්නට පස්‌සේ අහනවා මේ සහන දුන්නේ කොහොමද, දිගටම සහන දෙන්න පුළුවන්ද කියලා, අපි මේ සහන ජනතාවට දීලා තියෙන්නේ කියලා මම රටටම කියන්න කැමැතියි,

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ

මේ විදිහට බදු දැම්මහම අපට වාහන ගෙන්වන්න බැහැ, සියයට දහයකින් පමණ බදු වැඩි කළාට කමක්‌ නැහැ, මෙහෙම ගියොත් ඉදිරියේදී රජයේ බදු අදායම තවත් අඩුවේවි. මේ නිසා වාහනයක්‌ සියයට තිහකින් පමණ වැඩිවෙනවා, ඒ ගාණට වාහන ගන්න හැමෝටම බැහැ,

ක්‌ෂය වීම මත බදු අඩු කරන ක්‍රමය වෙනස්‌ කිරීම නිසා තවත් ලක්‌ෂ ගණනකින් වාහන මිල ඉහළ යනවා, වසරකට ලක්‌ෂ පහළොවක ලයිසන් එක නිසා සැබෑ වාහන වෙළඳුන් ආරක්‌ෂා වෙනවා, එහෙත් සුළු ව්‍යාපාරිකයන් ආරක්‌ෂා කරගන්නට ලක්‌ෂ පහ, ලක්‌ෂ දහය සහ ලක්‌ෂ පහළොව ලෙස කාණ්‌ඩ තුනක්‌ යටතේ මෙම ලයිසන් එක ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලනවා, පුද්ගලිකව ආනයනය කර වාහන විකුණන ක්‍රමයට අපි විරුද්ධයි. අපි ව්‍යාපාරිකයන් ලෙස අදායම් බදු, බැංකු පොලී ගෙවන්න ඕන, වාහන සේල් පවත්වාගෙන යන්න ඕන, සේවක වැටුප් ගෙවන්න ඕන, මේ දවස්‌වල බැංකු පොලී අඩු නිසා සමහරු පුද්ගලිකව වාහන ගෙන්වා අලෙවි කරනවා, මේ ක්‍රමය වෙනස්‌ කරලා වාහන වෙළෙඳුන් ආරක්‌ෂා කළ යුතුයි, මේ ප්‍රශ්නය විසඳා ගන්න අපි දිගටම රජය සමඟ සාකච්ඡා පවත්වනවා.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.