දළදා මාලිගාව ඉදිරිපිට පාර අරින්න ගත් තැත වරදී

සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට වසා තිබෙන මහා මාර්ගය ඊයේ (8 වැනිදා) උදැසන විවෘත කිරීමට පිරිසක්‌ විසින් ගන්නා ලද උත්සාහයක්‌ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ විරෝධයෙන් ව්‍යර්ථ වී ගොස්‌ තිබේ.

වසා තිබෙන මාර්ගය විවෘත කිරීමට ඊයේ (8 වැනිදා) උදැසන පියවර ගන්නා බව මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පොලිසියෙන් දැනුම් දීමක්‌ කර තිබේ.

මාර්ගය නැවත විවෘත කිරීම කෙරෙහි දිගින් දිගටම විරුද්ධත්වය පළකරමින් සිටින අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මෙම උත්සාහයටද දැඩිසේ විරුද්ධත්වය පළකර තිබේ.

ඊයේ (08 වැනිදා) පෙරවරුවේ තමන් වහන්සේ බැහැදැකීමට ගිය ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්‌නායක මහතාට පොලිසිය පාර විවෘත කිරීම සම්බන්ධයෙන් කළ දැනුම්දීම ගැනද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කර ඇත.

තමන් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද ඒ පිළිබඳව විමසීමක්‌ කළ විට ජනාධිපතිවරයා එවැනි පාර විවෘත කිරීමකට අවසර දී නොමැති බව දැනගන්නට ලැබුණු බවද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පවසා ඇත.

මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රකාශය සම්බන්ධයන් අදහස්‌ පළ කළ ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී.බස්‌නායක මහතා කියා සිටියේද පාර විවෘත කිරීමකට තම අමාත්‍යාංශය අවසර දී නොමැති බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.