විග්නේෂ්වරන් අන්තවාදියකු ලෙස
කටයුතු කිරීම හෙළා දකිනවා

ඇමැති රාජිත සේනාරත්න


චමින්ද සිල්වා

රජය දෙමළ ජනතාවට සාධාරණයක්‌ ඉටුකිරීමට කටයුතු කරමින් සිටින විට උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරම් මහතා අන්තවාදියකු ලෙස කටයුතු කිරීම දැඩිව හෙළා දකින්නේ යෑයි රජයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (11 වැනිදා) පැවැසීය.සෑම රජයක්‌ විසින්ම දෙමළ ජනයාට එරෙහිව සිදුකෙරුණු ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු යෑයි උතුරු පළාත් මහ ඇමැතිවරයා පළාත් සභාවට යෝජනාවක්‌ ඉදිරිපත් කර සම්මත කර ගැනීම පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා එසේ කීය.

පසුගිය රජය සමයේ සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාව ඉවත් කිරීමට කටයුතු කළ මහා ඇමැතිවරයා වත්මන් රජය බලයට පැමිණ දෙමළ ජනයාට සාධාරණය ඉටුකිරීමට කටයුතු කරමින් සිටින විට නැවත එම යෝජනාව සම්මත කර ගැනීම අන්තවාදී ක්‍රියාවක්‌ ලෙස රජය දකින බවද රාජිත ඇමැතිවරයා කීය.

විග්නේෂ්වරන් මහතා දෙමළ ජනයාට එරෙහිව ජන ඝාතන සිදුවූ බවට හැඟී යන ලෙස යුද්ධයේ අවසන් දින කිහිපයේ වූ සිදුවීම් සැලකිල්ලට ගෙන ප්‍රකාශ නිකුත් කළත් එම වකවානුවේ එවැනි දෙයක්‌ සිදුවූවා නම් එය එල්ටීටීඊය භාරගත යුතු බවද ඇමැතිවරයා කීය.

යුද්ධයේ අවසන් දින කිහිපය තුළ පැවැති රජය මගින් දෙමළ ජනයාට පැමිණීමට යුදමුක්‌ත කලාප වෙන්කර තිබියදී මිනිස්‌ පළිහක්‌ ලෙස ජනතාව යොදා ගෙන යුද්ධ කළේ එල්ටීටීඊ සංවිධානය බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.