අපට මෙහෙම කරන්නේ ඇයි?

ඉන්දියානු ධීවරයන් අනවසරයෙන් අපගේ මුහුදට පැමිණ මාළු බාන්නට පටන් ගැනීම ජාතික මට්‌ටමේ ප්‍රශ්නයක්‌ බවට ක්‍රමයෙන් පත්ව තිබෙන ආකාරය අපි දකිමු. ඉන්දියාවත් සමඟ බෙදා හදා ගැනීමට තරම් විශාල සාගරයක්‌ අපට නැත. එහෙම තිබුණත් ඉන්දියාව සමඟ එම මුහුද බෙදා හදා ගැනීමට අපට වුවමනාවක්‌ ද නැත. ඉන්දියාවට ගිල්ලවන්නට හෝ ඉන්දියාව සමඟ බෙදාගෙන ගිල දැමීමට තරම් විශාල මත්ස්‍ය සම්පතක්‌ අපට නැත. එහෙම හිටියත් එය ඉන්දියාවට දන් දීමට අපට වුවමනාවක්‌ නැත. ඉන්දියාව යනු යෝධ රටකි. මහාද්වීපයක්‌ තරම් විශාල භූමියකි. ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රාජධානිය ඉන්දියාව වන අතර, ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය පැවැත්වෙන රට ද ඉන්දියාව ය. කලාපීය බලවතකු වන ඉන්දියාව ඉදිරි වසර 10 තුළ සථිර වශයෙන්ම මහ බලවතකු බවට පත් වනවා ඇත. මේ රට කොතරම් බලසම්පන්න සහ කොතරම් තියුණු යන්ත්‍රයක්‌ ද යත් එය අහල පහල සිටින රටවල් වැඩි හරියක්‌ සිටින්නේ එහි දැති රෝදවලට හසුවේය යන භීතියෙනි. මහ බලවතකු වන චීනය පවා ඉන්දියාවේ ඇඟේ නො ගැවීමට පරෙස්‌සම් වෙයි. පාකිස්‌තානය සහ බංග්ලාදේශය ඒ පැත්ත බලාගෙන කිවිසීමක්‌ වුව කරන්නේ පරෙස්‌සමිනි. නේපාලය, ඉන්දියාව අකැමැති කිසිදු යමක්‌ කරන්නේ නැත.

එසේ නම් මේ බලසම්පන්න යෝධයාට ආසියානු මහාද්වීපය තුළ රජකු ලෙස සිටින්නට තරම් අවශ්‍ය සවිය තිබේ. අප වැනි පුංචි රටක්‌ බලා හදාගෙන නඩත්තු කිරීමට තරම් ක්‍ෂමතාවක්‌ ද තිබේ. එහෙත් දකුණු ඉන්දියානු වෙරළ තීරයෙහි සිටින මාළු මුදලාලිලා කරන්නේ දහස්‌ ගණන් ධීවරයන් අපේ මුහුදට එවා මත්ස්‍ය සම්පත කොල්ල කෑමය. මේ කොල්ලකරුවන්ට විරුද්ධව යමක්‌ කිරීමට හැමදෙනාම බිය ය. හේතුව එම කොල්ලකරුවන් ඉන්දියානු මාතාවගේ පුත්‍රයන් වීම ය. නාවික හමුදාව මෙවැනි කොල්ලකරුවකුට වෙඩි තැබූ විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයන් හටගනු ඇතැයි යන පදනම මත, තුවක්‌කු අතට ගත්තාට කොකා ගැස්‌සීමට කවුරුත් බිය ය. එක අතකින් මේ දුප්පත් දෙමළ ධීවරයන් වෙඩි කෑ යුතු ද නැත. ඔවුහු තමිල්නාඩු මුදලාලිලා යටතේ ඉතා අඩු කුලියට වැඩ කරන අඩු පහසුකම් යටතේ මුqඩුක්‌කු නිවාසවල ජීවත්වන ලංකාවේ දුප්පතුන් වැනි ම දුප්පත්තු වෙති. හරි නම් වෙඩි තැබිය යුත්තේ මාළු මුදලාලිටය. ඔවුන්ට ආරක්‍ෂාව සපයන දකුණු ඉන්දියාවේ ඇතැම් දේශපාලනඥයන්ට ය.

අප ඉහත සඳහන් ඡේද කිහිපය ලියුවේ දිනකට ඉන්දියානු ධීවරයන් 16000 ක්‌ පමණ ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරන්නේ යයි 'දි අයිලන්ඩ්' පත්‍රයේ පළවූ පුවතක්‌ දැකීමෙනි. එහෙත් මේ පිරිස වැළැක්‌වීම සඳහා ඉන්දියානු රජය විසින් යොදවනු ලැබ ඇත්තේ නාවික හමුදා බෝට්‌ටු 200 ක්‌ පමණක්‌ ලු. (19 වැනිදා ඔයෑ ෂික්‌බා පත්‍රයේ 1 වැනි පිටුව බලන්න.) එක ඉන්දියානු මසුන් මරන්නෙක්‌ එක රැයකට අපේ මුහුදෙන් මාළු කිලෝ ග්‍රෑම් 500 ක්‌ අල්ලා ගත්තද දෛනිකව අහිමිවන මාළු ප්‍රමාණය ටොන් 8000 කි. මෙසේ අපේ මුහුදු තීරය හෝදාපාළු වීමේ ප්‍රතිඵලය කුමක්‌ද? අපට මුහුදු මාළු කෑමට වත්කමක්‌ නැති වී ටින් මාළු කෑමට සිදුවීමය. මේ අවනඩුව විසඳන්නේ කවුද?
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.