ජනතා අපේක්‍ෂා සිඳ-බිඳ නොදැමීම



අසහනය හා පීඩනයෙන් පරිපූර්ණ සමයක ජීවත් වූ අති බහුතරයක්‌ ඒ සමය දුරුකර නව සමයක්‌ අපේක්‍ෂාවෙන් සිටි මොහොතක ඒ අපේක්‍ෂාව අද ඉටුවී නව පාලනයක්‌ හෙවත් යහ පාලනයකට ප්‍රවේශ වී ඇත.

පෙර පාලනයේ පැවැති දූෂණ වංචා නාස්‌තිය එක්‌තරා කොටසක්‌ පමණක්‌ සියලුම වරප්‍රසාද ලැබීම අවනීතිය ආදියෙන් සමලංකෘත සමය ප්‍රතික්‍ෂේපකොට ඇත. මේ සියල්ලෙන්ම දුරස්‌ වූ යහ පාලනයක්‌ කරා යන ගමන ජනතාවට වඩාත් සමීපස්‌ත විය යුතුය.

ජනතාවගෙන් දුරස්‌වී එක්‌තරා කොටසක්‌ පමණක්‌ සියලුම වරප්‍රසාද භුක්‌ති වින්ද ආකාරය දැන් කදිමට හෙළිවෙයි. මේ තත්ත්වය යළිත් ඇති නොවීමට වගබලා ගැනීම යහ පාලනයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය.

අද්‍යතන අවධියේ හෙළිවන දූෂණ වංචා නාස්‌තිය පවුල් පාලනය ගැන හෙළිවන තොරතුරු අනුව හිටපු ජනපතිට ඡන්දය දුන් අය දුකට පත්වී ඇත. මෙබඳු රජයක්‌ යළි පිහිටුවන්නට ද අප ඡන්දය දුන්නේ යනුවෙන් අතිශය කම්පාවට පත්වී ඇත. මේ පාලන යුගය තවදුරටත් ගියේ නම් රට කොයි පැත්තට යොමුවන්නේද යන්න අපට සිතාගත හැකිය. රට මුළුමනින්ම අරාජික තත්ත්වයක්‌ මත රැඳෙන බව නොරහසකි. ජනතාවගේ වාසනාවට එම තත්ත්වය වැළැකී යන පාලනයකට සේන්දුවීම සොබා දහම මගින් ඇතිකළ ආශිර්වාදයක්‌ යෑයි අපි සිතමු.

යහ පාලනය වදනට පමණක්‌ සීමා නොවිය යුතුය. වදන් තෙපලන්නට අපට අවකාශ ඇත. එම වදන් නියත වශයෙන්ම ප්‍රායෝගික තලයකට පිවිසිය යුතුය.

රටේ ආර්ථික වර්ධනයක්‌ ඇතිවීමට සමාජ පෙරළියකට යාමට නම් දක්‌ෂයන්ගෙන් නිසි ඵල නෙළාගත යුතුය. පසුගිය සමයේ සිදුවූයේ දක්‌ෂයන් කොන්කොට අදක්‍ෂයන් එයට යොදා ගැනීමය. ඒ හේතුව නිසයි රාජ්‍යායතන සියල්ලම අවරට ගියේ. රාජ්‍යායතන පමණක්‌ නොව හැම ක්‍ෂේත්‍රයක්‌ම දුර්වල තත්ත්වයට පත්විය. මේ ගැනත් දූරදර්ශී ආකාරයෙන් සිතා බැලිය යුතුය.

වර්ධනයක්‌ ඇති කරන්නට කැමැත්තෙන් සිටින අයගෙන් උපරිම ඵල නෙළාගත යුතුය. ඒ අය ප්‍රතිලාභ ගන්නට නොව මෙහෙවරක්‌ කරන්නට ඇති හැඟීම මතයි සූදානම් වී සිටින්නේ. යහපාලනය මේ දෙස පුළුල් වූ දෘෂ්ටි කෝණයක පිහිටා කටයුතු කරන්නට වගබලාගත යුතුය. ආත්මාර්ථකාමී හා වෛරීය හේතු මත දක්‍ෂයන් එදා පාලනයෙන් ගිලිහී ගියේය. ආත්මාර්ථය හා වෛරීය පිළිවෙත සහමුලින්ම පිටුදැකිය යුතුය.

නූතන යුගයේ ප්‍රමුඛත්වය දිය යුත්තේ අවෛරයට හා පරාර්ථකාමීත්වයටය. ඊට සමගාමීව අවංකකමත් ඈ¹ගත යුතුය. මේ පුංචි රට ස්‌වයංපෝෂිත රටක්‌ බවට පත්කිරීම අපහසු නැත.

එක්‌තරා කොටසක්‌ පමණක්‌ වර්ධනය වීමේ නියතය බැහැරකොට සමස්‌ත සමාජයම වර්ධනය කරන්නට සියලු දෙනා අතර හැඟීමක්‌ ඇතිවීමට පදනම දැමිය යුතුය.

මෛත්‍රී දර්ශනයෙන් මේ කෙටි කාල පරාසයේදී අර පිරිමැස්‌ම, නායකයාගේ හැසිරීම් රටාව කෙබඳු ගණයට පත්විය යුතුද යන්න කදිමට පෙන්වාදී ඇත. රථයකින්, බසයකින් යා හැකි ගමනකට ගුවන් යානයක්‌ යොදා ගැනීම කොතරම් මුදල් නාස්‌තියක්‌ද? මේ සඳහා වැය වන අධික ධනය වෙනත් ක්‍රියා පද්ධතියකට යොමුකළ හැකිය.

රටේ සිදුවන මුදල් නාස්‌තිය වළක්‌වා ගැනීමට පියවර ගත යුතුය. රුපියල් 1000 කින් කළ යුතු කාරියට රුපියල් ලක්‍ෂයක්‌ යෙදවීම කොතරම් මුදල් නාස්‌තියක්‌ද? මෙතනදී තවත් කරුණක්‌ මතුවෙයි. රුපියල් 1000 ක්‌ වැයකොට රුපියල් 99000 ක්‌ සාක්‌කුවට දමා ගැනීමය. මේ ගසා කෑම වළක්‌වා ගත යුතුය. මෙතෙක්‌ කල් සිදුවූයේ මේ ගසාකෑමය. මේ ගසාකෑම වහා නවතා දැමිය යුතුය.

යහපාලනයේදී වැදගත්ම කාරිය විය යුත්තේ උගතුන් වියතුන් දක්‌ෂයන් කඩිනමින්ම ළං කර ගැනීමය. පෙර පාලනයෙන් කොන් වු දක්‌ෂයන් යහ පාලනයේදී සමීපකරගත යුතුය. එය කඩිනමින්ම සිදුවිය යුත්තකි.

දේශපාලනයට වඩා ආර්ථිකයටයි ප්‍රමුඛත්වය දිය යුත්තේ. දේශපාලනය යනු බලය ලබා ගැනීමට විෂය වන සාධකයකි. ආර්ථික ක්‍ෂේත්‍රය යනු රට නංවන සාධකයයි. පාලකයා හා පාලිතයන් එකට අත්වැල් බැඳගෙන මේ ආර්ථික ගමන යා යුතුය. මෙතෙක්‌ කල් එය ගෙන ගියේ නැත. අත්වැල් බැඳ ගත්තේ නැත. පාලකයා හිතුවක්‌කාර අයුරින් කටයුතු කිරීම අනුවයි ආර්ථිකය අවරට ගියේ. තමන් සියල්ලම දන්නේය යන නියතයේ ඔහු සිටියේය. ආර්ථික විද්‍යාඥයන්ගෙන් උපරීම ඵල නෙළා ගත්තේ නැත.

සමාජය සංකීර්ණවීමත් සමගම උද්ගත වන ගැටලු හා ප්‍රශ්න ද සංකීර්ණය. මේ ගැටලු හා ප්‍රශ්න විසඳන්න නව මාන සොයා යායුතුය. එය ජනාධිපතිට පමණක්‌ සිදු කළ හැකි කරුණක්‌ නොවේ. මෙතෙක්‌ සිදුවූයේ රටේ ආඥදායකයා රටේ ප්‍රශ්න සියල්ල තමන් අතට ගැනීමය. මෙයද ඔහුට වැරැදී ගිය තැනකි.

ආයතනික සභාපති පත්කරන්නේ ආඥදායකයාය. ඇමැතිට කිසිදු බලයක්‌ නැත. ආයතනය අවරට යන සමයක එම ආයතනයේ ප්‍රධානියා ඉවත්කරන ලෙස සේවකයන් හඬ නඟද්දී ආඥදායක පාලකයා ඊට කන්දුන්නේ නැත. තවදුරටත් එම තනතුරේ රැඳී සිටින්නට අවකාශ සැලැසීමෙන් සිදුවූයේ ආයතන තවදුරටත් අවරට යැමය. සේවකයන් මහත කනස්‌සල්ලෙන් සිටි බව ආඥදායකයා නොදන්නා වුවත් සමස්‌ත සමාජයම දැන සිටියේය. මේ ස්‌ථාවරය කෙරෙහිද යහපාලනය දෘෂ්ටිය යොමු කොට නිසි ක්‍රමවේද සැකසිය යුතුය.

යහ පාලනය යටතේ ඇතැම් ආයතනවලට පත්කර ඇති සමහර ප්‍රධානින් ගැන අපට සතුටට පත්විය හැකිද? පෙර පාලනයේ ක්‍රමවේදය දැයි අපට සැකයක්‌ මතුවෙයි. ඒ ඒ විෂයයේ දක්‌ෂයන් සිටියදී අදක්‌ෂයන් පත්කර ඇත්තේ යහපාලනයට පිටුපෑමක්‌ වශයෙන් ද මේ කෙරෙහි යහ පාලනය හෙවත් මෛත්‍රී දර්ශනය අනවරතයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණකි.

හැකියාවට, දක්‌ෂතාවට මූලිකත්වය දිය යුතු සමයක නොහැකියාවට හා අදක්‌ෂයාට තැන දෙන්නේ පෙර පාලනයට යැමටද. සිදුවන්නේ කුමක්‌දැයි ජනතාවට දැඩි බලාපොරොත්තුවකින් පසුවෙති. ඒ අපේක්‌ෂා සිඳ බිඳ දමන්න එපා ලත් තැනම ලොප් කරන්නත් එපා ජනතාවගේ ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබා දෙනවාය යනුවෙන් ජාතික ආණ්‌ඩුවේ නායකයන් පුන පුනා පවසද්දී එලෙසම ඒවා විය යුතුය.

සමාජ පරිවර්තනයකට මුල පිරී ඇති සමයක සමාජාභිවෘද්ධියට බලපාන ක්‍රමවේද විධික්‍රම නිර්මාණය කිරීම යහ පාලනයේ අභිලාෂයයි.

ඒ අභිලාෂය එලෙසින්ම ඉටුකිරීමට ජාතික නායකයන් වගබලාගත යුතුය. ඊට සමගාමීව ඒ ඒ විෂයයේ ඥතිග්‍රහයන් ද පත්කිරීමට සිතට ගැනීම යහ පාලනයේ මූලික ලක්‌ෂණය විය යුතුය. දුරදිග බලා පුළුල් වූ විඥනයකින් උපයුක්‌aතව කටයුතු කිරීම ආර්ථික වර්ධනයේ ඉලක්‌කයයි. එසේ නොමැතිව පෙර පාලනය පාදකකොට ගෙන ප්‍රධානීන් පත්කළහොත් අපේක්‍ෂා බිඳවැටීම කිසිසේත්ම වැළැක්‌විය නොහැකි කරුණකි. යහ පාලනය මෙයද සිතට ගත යුත්තකි.

ආචාර්ය ආර්. ඇල්. අබේවික්‍රම
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.