හිටපු නාවික හමුදාපති සී.අයි.ඩී.යට පැමිණිලි කළේ නේවි සම්පත් ගැනයි කප්පම් කල්ලියක්‌ පිළිබඳව නොවේ
- නාවික හමුදා නිලධාරියෙක්‌ කියයි

සමන් ගමගේ

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ පැමිණිල්ලකට අනුව රහස්‌ පොලිසිය කළ විමර්ශනයකදී නාවික හමුදා කප්පම් කල්ලියක්‌ පිළිබඳ හෙළි වී ඇතැයි යනුවෙන් ආන්දොaලනාත්මක ප්‍රචාරයක්‌ සිදුවෙමින් තිබුණ ද ඉකුත් 2009 වසරේදී කරන්නාගොඩ මහත රහස්‌ පොලිසියට පැමිණිලි කළේ කප්පම් කල්ලියක්‌ පිළිබඳව නොව එල්.ටී.ටී.ඊ. ය හා සබඳතා පැවැත්වූ නේවි සම්පත් නමැති නිලධාරියකු පිළිබඳ බව උසස්‌ නාවික හමුදා නිලධාරියෙක්‌ සඳහන් කළේය.

ලුතිනන් කමාන්ඩර් එම්. ඒ. ඩී. එන්. සම්පත් නොහොත් සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් නමැති මෙම නිලධාරියා එල්.ටී.ටී.ඊ.ය හා සම්බන්ධ බවට තොරතුරු ලැබීමෙන් පසු නාවික හමුදාව සිදු කළ මූලික විමර්ශනයකදී ඔහුගේ කාමරයේ තිබී ද්‍රවිඩ ජාතිකයන් පස්‌දෙනකුගේ ජාතික හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍රයක්‌ ද හමු වූ අතර කරන්නාගොඩ මහතාගේ පැමිණිල්ල සමඟ එකී භාණ්‌ඩ රහස්‌ පොලිසියට භාර දුන් බව ද හෙතෙම අනාවරණය කළේය.

නේවි සම්පත් පිළිබඳ රහස්‌ පොලිසිය ඒ දිනවල සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අධිකරණයට කරුණු දක්‌වමින් ගොනුකළ ඇකො බී/732/09 දරණ නඩුව මගින් ද හිටපු නාවික හමුදාපතිවරයා නේවි සම්පත් පිළිබඳ කළ පැමිණිල්ල එය බව සනාථ කර තිබේ.

එකී පැමිණිල්ල මත රහස්‌ පොලිසිය වසර හයක්‌ පුරා සිදු කළ විමර්ශන අනුව ද්‍රවිඩ තරුණයන් පැහැර ගෙන ගොස්‌ කප්පම් ලබාගෙන ඝාතනය කළ නාවික හමුදා කණ්‌ඩායමක්‌ පිළිබඳ මේ වන විට මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් ඇත.

එකී නාවික හමුදා කණ්‌ඩායම අධීක්‍ෂණය කර ඇත්තේ එවකට හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී. පී. කේ. දසනායක බවට රහස්‌ පොලිසියට තොරතුරු ලැබී තිබෙන බැවින් ඔහු කැඳවා පැය දහයක ප්‍රකාශයක්‌ ලබා ගැනීමට රහස්‌ පොලිසිය ක්‍රියා කළ බව ද පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පවසා තිබිණි.

ඩී. කේ. පී. දසනායක යනු එවකට සිටි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පමණක්‌ වන අතර, ඔහු ඒ දිනවල කිසිදු නාවික නිලධාරීන් කණ්‌ඩායමක්‌ අධීක්‍ෂණය නොකළ බව අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය පිළිබඳ අදහස්‌ දක්‌වමින් ඉහත උසස්‌ නාවික හමුදා නිලධාරියා අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් අප තතු විමසීමකදී පැවසුවේ තමන් අදාළ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයෙන් අදහස්‌ කරනු ලැබුවේ ඩී. කේ. පී. දසනායක මහතා කප්පම් කල්ලියකට නායකත්වය දී තිබෙන්නේය යන්න නොව ඔහු අදාළ නාවික නිලධාරීන්ගේ රාජකාරි අධීක්‍ෂණ නිලධාරියා යනුවෙන් තොරතුරු ලැබී ඇතැයි පමණක්‌ බවයි.

එම තොරතුරු ඔස්‌සේ තවදුරටත් විමර්ශන සිදු කරන අතර මෙතෙක්‌ කිසිවක්‌ තහවුරු වී නැති බවත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී. කේ. පී. දසනායක කප්පම් කල්ලියක්‌ අධීක්‍ෂණය කළ බව තමන් සඳහන් නොකළ බවත් අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.