චීන ආණ්‌ඩුව, ඇමරිකන් ආණ්‌ඩුව සහ ජාතික ආණ්‌ඩුව

ජාතික ආණ්‌ඩුවක්‌ එන ආරංචිය නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනය තවදුරටත් සංකීර්ණ වී තිබේ. එම ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය 100 ක්‌ වන බවත් එයට තමන් විරුද්ධ බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර දිසානායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කර ඇත. ජ. වි. පෙ. කොහොමත් මේ වෙලාවේදී පක්‍ෂපාත වන්නේ ජාතික ආණ්‌ඩුවකට නොව මහ මැතිවරණයකටය. දූෂණ ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් සහ දූෂණවලට විරුද්ධව පැමිණිලි කිරීම පිණිස අල්ලස්‌ කොමිසමට නිතර යැම ඊම නිසා මහ මැතිවරණයකදී වැඩි ආසන ගණනක්‌ ලැබෙන බව ජ. වි. පෙ. විශ්වාස කරන බව පෙනීයන අතර එම විශ්වාසය කිසිසේත්ම වැරදි නැති බවද කිව යුතුය. 2010 දී පැවැති මහ මැතිවරණයේදී අසාර්ථක පක්‍ෂයක්‌ බවට පත්ව සෝමවංශ අමරසිංහ සමග ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ පවත්වා විකටයන් වෙමින් සිටි ජ. වි. පෙ. අනුර දිසානායක යටතේ උද්යෝගිමත් ''තරුණ පක්‍ෂයක්‌'' බවට පත්විය. කෙසේ වුවද දැනට තිබෙන එක ආරංචියකට අනුව ආණ්‌ඩුව, ජාතික ආණ්‌ඩුවකට යන්නට යන්නේ ඡන්දයකින් තොරවය. අනෙක්‌ ආරංචියට අනුව ආණ්‌ඩුව ඡන්දයකට ගියත් ඉන් පසුව එන්නේද ජාතික ආණ්‌ඩුවකි. මේ දෙකෙන් කොයික ආවත් ඉන්නට සිදු වන්නේ විධායක ජනාධිපතිතුමා යටතේය. ඒ අනුව දැනට සිටින අගමැතිට විධායක අගමැති වන්නට බැරිය. ඔහුට සිදු වන්නේ දි. මු. ජයරත්න සිටි තාලයට කතන්දර කියමින් කාලය ගත කරන්නටය. ආණ්‌ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට කිසිදු සූදානමක්‌ පෙන්වන්නේ නැත. එවැනි සූදානමක්‌ පෙන්වුවත් මේ තකහනියේ විධායක ක්‍රමය අහෝසි කරන්නටද බැරිය. එසේ නොකරන තාක්‌කල් අගමැති නිකම්ම නිකම් අගමැති ය. ජවිපෙට සිටින තැනින් උඩට ඒමට බැරිය. මහින්ද රාජපක්‍ෂ බලවේගය එතැනමය.

එහෙත් වඩා පුළුල් සහ ප්‍රගතිශීලී පරාසයක සිට කල්පනා කරන විට ජාතික ආණ්‌ඩුවක්‌ යනු ඉතා හොඳ යහ පාලන සංකල්පයකි. දෙතුන් පැත්තේම කට්‌ටියට ඇමැති තනතුරු ලබාදෙන ක්‍රමවේදයකට ඔබ්බෙන් ගිය වැඩ පිළිවෙළකි. කෙනෙකුට ජාතික ආණ්‌ඩු සංකල්පයක්‌ පහළ වන්නේ රටේ ස්‌ථාවරත්වය ගැන හැඟීමක්‌ ඇතිවූ විටය. ශ්‍රී ලංකාව යනු 1970 සිට පරිහානියට පත්වූ රටකි. 1970 සමගි පෙරමුණ ආණ්‌ඩු කාලයේදී මේ රටට රාජ්‍ය දූෂණ සංකල්පය හඳුන්වා දෙන ලද්දේය. අනතුරුව බලයට පත්වු ඡේ. ආර්. ජයවර්ධනයන්ගේ යූ. එන්.පී. ආණ්‌ඩුව එම දූෂණය ප්‍රගුණ කර දුන්නේය. හැම ආණ්‌ඩුවක්‌ම මේ තත්ත්වය දෙගුණ කළේය. එහෙත් 2010 න් පසු දෙවන වතාවටත් බලයට පත්වන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව මේ තත්ත්වය සිවු ගුණ කර දුන්නේය. මෙහිදී අප දූෂණය යයි කියන්නේ දැනට තිබෙන ආණ්‌ඩුව පෙන්වන ගිය ආණ්‌ඩුවේ දූෂණ චිත්‍රයම නොවේ. ඒ චිත්‍රය වැඩි හරිය කිසි ලෙසකින්වත් ඔප්පු කර ගැනීමට බැරි මිනිසුන් චුදිතයන් බවට පත් කර රස්‌තියාදු කරන පල් බොරුය. ඒ පල් බොරු ඉවත් කළ විට සැබෑ දූෂණය මතුවෙයි. ජාතික ආණ්‌ඩුවක්‌ අවශ්‍ය වන්නේ ඒ සැබෑ දූෂණ මතුකරදී අදූෂිත යහපාලනයකට යැමටය. ජාතික ආණ්‌ඩුවක්‌ තිබෙන විට රටට වැදගත් වන තීන්දු තීරණ ගැනීමේදී කවුරුවත් ඒ පැත්තට මේ පැත්තට අදින්නේ නැත. එසේම කිසිම කෙනෙක්‌ ඒ පැත්තට මේ පැත්තට ඇදෙන අස්‌ථාවර තීන්දුවලට පාදකවන යෝජනා ගෙන එන්නේද නැත. යුද්ධයකින් පසු සංවර්ධනය වන රටකට සුදුසුම පාලන ක්‍රමය ජාතික ආණ්‌ඩුවක්‌ මිස චීන ආණ්‌ඩුවක්‌, ඇමරිකන් ආණ්‌ඩුවක්‌ හෝ ඉන්දියන් ආණ්‌ඩුවක්‌ නොවේ. එහෙත් සාමාන්‍යයෙන් සිදුවන්නේ යූ. එන්. පි ය බලයට ආ විට ඇමරිකන් ආණ්‌ඩුවක්‌ ඒමත්, සන්ධානය බලයට ආවිට චීන හෝ ඉන්දියන් ආණ්‌ඩුවක්‌ ඒමත්ය. එබැවින් ඒ අවස්‌ථාවේදී කළ යුත්තේ ජාතික ආණ්‌ඩුවකට සහය දීමය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.