දැයෙන් සමුගත් මහා උරුම සංරක්‌ෂකයානෝ...



ලාංකීය පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ස්‌ථිර සාර පදනමක්‌ දැමූ අසහාය පුරාවිද්‍යාඥයකු දැයෙන් සමුගත්තේය. ගල්කිස්‌ස ශාන්තතෝමස්‌ විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ලද මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක ද්වීතිය අධ්‍යාපනය ලබනුයේ ඔක්‌ස්‌පර්ඩ් සරසවියෙන් සහ නෙදර්ලන්තයේ ඇම්ස්‌ටර්ඩෑම් සරසවි වලිනි. 1975 වසරේදී කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීමෙන් පසු එහි ප්‍රථම අංශ ප්‍රධානීයා ලෙස මහාචාර්ය බණ්‌ඩාරනායක පත්විය. විද්‍යාත්මක පුරාවිද්‍යාව සහ නව පුරාවිද්‍යාව ලාංකීය පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුනු එතුමා සිය ආචාර්ය මණ්‌ඩලය නව ලොවට ගැලපෙන උරුම කළමනාකරණ දැනුමින් සන්නද්ධ කිරීමට කැප වී කටයුතු කළේය. මේ වකවානුව වනවිට පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයන ක්‌ෂේත්‍රය කැපී පෙනෙන වර්ධනයක්‌ කරා ළ`ගාවී නොතිබීමට විකල්පයක්‌ ලෙස එතුමා කැලණීය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවා එහි ප්‍රථම අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වීම් ලැබීය. එතෙක්‌ විශ්වවිද්‍යාලයන්හි වූ සාම්ප්‍රදායීක ඉගැන්වීම් ක්‍රම වලින් මිදෙන එතුමා නුතන විද්‍යාවන් පුරාවිද්‍යා විෂය සම`ග එකාත්මික කිරීමේ කාර්යයට අතගැසීය. පුරාවිද්‍යාව වර්ධනය වී තිබු රටවල විශ්වවිද්‍යාල වලට විශේෂඥයන් මෙරට ගෙන්වා හා එම රටවලට සිය නිලධාරීන් යොමු කොට පුරාවිද්‍යා වෘත්තිකයන් සහ සරසවි ඇදුරන් නවීන දැනුමින් සන්නද්ධ කිරීමේ වගකීමට ඔහු උරදුනි.

මහාචාර්ය බණ්‌ඩාරනායකයන් කැලණි විශ්වවිද්‍යාලයේත්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේත් සේවය කිරීමට පරිබාහිරව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය භාර අධ්‍යක්‌ෂ වරයා ලෙස මාහැ`ගි සේවයක නියෑලෙයි. කැණීම් සහ සංරක්‌ෂණ විධික්‍රම වර්ධනය කිsරීමෙහිලා විදේශීය විශේෂඥයන්ගේ සේවය සීගීරිය ව්‍යාපෘතියට සලසා ගන්නා ඔහු එම දැනුමින් සීගිරියේ සේවයෙන් යුක්‌ත ලාංකීය පුරාවිද්‍යාඥයන්ගේ දැනුම ප්‍රවර්ධනය කළේය. 1982 වර්ෂයේදී, සේනක බණ්‌ඩාරනායකයන් එළිදැක්‌වු සීගීරිය ප්‍රථම කැණීම් හා පර්යේෂණ වාර්තාව පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ නිම් වළලු පුලුල් කළ පුරෝගාමී ග්‍රන්ථයක්‌ වූයේය. පුරාවිද්‍යාඥයන් පුරාවිද්‍යාත්මක කාර්යයන්හි නිරත කරවීමෙන් බැහැරට ගොස්‌ භූ විද්‍යාව, ජිව විද්‍යාව, සංස්‌කෘතික සහ භෞතික මානව විද්‍යාව, කලා ඉතිහාසය, පැරණි සාහිත්‍යය යනාදී අනුෂාංගීක විෂයන් පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයට ඒකාබද්ධ කරවීමේ පුරෝගාමී විද්වතා වූයේ මහාචාර්යය බණ්‌ඩාරනායකයි. ඔහු මෙම ශාස්‌ත්‍රිය ජයග්‍රහණයන් අත්පත් කරගනු පිණිස ආචාර්ය රෝලන්ඩ් සිල්වා, ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක ඇතුළු විද්වතුන්ගේත්, විශ්වවිද්‍යාල ක්‌ෂේත්‍රයෙත් දායකත්වය සලසා ගති. මධ්‍යම සංස්‌කෘතික අරමුදලේත්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේත්, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේත්, ඇති වූ මෙම නව අභිවර්ධනයෙහි වක්‍ර ප්‍රතිඵලයක්‌ වූයේ මෙතෙක්‌ මුළු ගැන්වී තිබූ විෂයක්‌ වන පුරාවිද්‍යාව පෙරමුණට පැමිණිමත් එම ආකර්ෂණය හේතුවෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළු වන සිසුන් කවරදාකවත් නොවු විරූ තරම් පුරාවිද්‍යා විෂයය සිය උපාධි පාඨමාලා ස`දහා තෝරාගැනීමට උනන්දුවක්‌ දැක්‌වීමත්ය. ආරම්භයේදී උග්‍ර මානව සම්පත් අර්බුදයකින් පෙලුනු පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය ඇවැසි පමණද ඉක්‌මවා ගිය විද්වතුන්ගෙන් යුක්‌ත ක්‌ෂේත්‍රයක්‌ බවට වසර කිහිපයක්‌ තුළ ඉදිරියට පැමිණියේය.

පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයට පරිබාහිර දිවියක්‌ එතුමන්ට නොවීය. ශාස්‌ත්‍රීය දැනුමින් සන්නද්ධ ආරෝහ පරිණාහයෙන් යුක්‌ත මෙතුමා සිසුන් අතර ඔවුන්ගේ සහෘදයෙකු විය. විද්වතුන් අතර කුළුප`ග මිතුරෙකු විය. නිවසේ දයාබර ස්‌වාමීයෙකු විය. අල්පේaච්ජභාවය එතුමාගේ දිවිය පුරා ප්‍රදර්ශනය වු ගතිලක්‌ෂණයකි. එතුමා දිවියෙන් සමුගන්නාතාක්‌ කල් හැරමිටි වාරුවෙන් යමින් ක්‌ෂේත්‍රය වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු සේවයක්‌ වේදැයි විපරමින් සිටියේය.

එතුමා සිය 77 වන වියේදී අපෙන් සමුගත්තේය. එතුමාට නිවන් මග තෙක්‌ අප අතර ඉපැදී සිය මෙහෙවර ඉදිරියට ගෙන යැමට ශක්‌තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

- ආචාර්ය සෙනරත් දිසානායක
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.