කට ඇර රට හැර
යන්නට යනවා


ලෝකයේ බිහිවූ සුපිරි වේග පන්දු යවන්නන්ගේ ලැයිස්‌තුවට නිරතුරුවම ඇතුළත් වන චමින්ද වාස්‌ 1990 දශකයේ ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියේ ප්‍රධාන තුරුම්පුව බවට පත් විය. වේග පන්දු යවන්නකුට ජාත්‍යන්තර තරග බිමේ ආබාධයන්ගේ තොරව දිගු ගමනක්‌ යැම සිහිනයක්‌ බඳුය. එහෙත් චමින්ද වාස්‌ගේ වමත වේගවත් වුවත් ඔහු නිරතුරුවම නිසි ශාරීරික යෝග්‍යතාවයෙන් සිය කර්තව්‍ය දිගටම කරගෙන ගිය ලොව එකම වේග පන්දු යවන්නා වෙයි. කොටින්ම චමින්ද වාස්‌ගේ ක්‍රිකට්‌ දිවියේ ඔහු ආබාධයකට ලක්‌වූ වකවානුවක්‌ නොමැති තරම්ය. ඔහු පන්දු යෑවීමේ අංශයෙන් වාර්තා රැසකටද හිමිකම් කියයි. එබැවින් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ එතෙක්‌ මෙතෙක්‌ තෘප්තිමත්ම වේග පන්දු යවන්නාද චමින්ද වාස්‌ විය හැක.

මනා කැපවීමෙන් ශාරීරික යෝග්‍යතාවත් එතැනින් ලොව හොඳම වේග පන්දු යවන්නෙක්‌ බවට පත් වූ චමින්ද වාස්‌ වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරුවා වෙයි. එහෙත් පුහුණුකරුවකු වශයෙන් වැඩ පටන් ගත් වාස්‌ ඔහුගේ රාජකාරිය ගැන තෘප්තිමත් නොමැති බව පවසයි.

යළිත් ලෝක කුසලානක්‌ ශ්‍රී ලංකාවට ගෙන ඒමට මැතිව්ස්‌ ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල සැලසුම් සකස්‌ කරමින් සිටින අතරවාරයේ එහි තිරය පිටුපස ප්‍රධාන සෙනවියකු වන චමින්ද වාස්‌ සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' මෙසේ කතිකාවතක නිරත විය. එහිදී ඔහුගේ කලකිරුණු ස්‌වභාවයත්, ශ්‍රී ලංකාවේ අනාගත වේග පන්දු යවන්නන් ගැනත් වාස්‌ පැවසූ දේ බොහෝය. එහිදී වාස්‌ට යොමු කළ ප්‍රශ්න පත්‍රයට ඔහු මෙසේ පිළිතුරු බැන්දේය.

ප්‍රශ්නය- රොමේෂ් රත්නායක වේග පන්දු උපදේශකයකු ලෙස ලෝක කුසලාන තරගාවලියට එක්‌ වුණා. කොහොමද වේග පන්දු පුහුණුකරු ලෙස මේ ගැන ඔබට කියන්න තියෙන්නෙ?

පිළිතුර-හොඳයි අපි ඉතා සහයෝගයෙන් වැඩ කරනවා. ඔහු පළපුරුදු පුහුණුකරුවෙක්‌ වගේම අපේ හිටපු දක්‍ෂ ක්‍රීඩකයෙක්‌. ලබාගතයුතු හැමදෙයක්‌ම ක්‍රීඩකයන් ලබා ගන්නවා. කරගෙන ආපු දේවල් එහෙමම කරගෙන යනවා.

ප්‍රශ්නය- ඔබේ වැඩපිළිවෙලට තවත් උපදේශකයකු පැමිණියහම බාධාවක්‌ ඇති වෙන්නෙම නැතිද?

පිළිතුර- ඇත්තටම කියනව නම් අවුරුදු දෙකක්‌ මම ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයත් එක්‌ක වැඩ කළා. මම පන්දු යවන්නන්ව හසුරුවන ආකාරය වෙනස්‌. නමුත් තවත් උපදේශකයකු ඇවිල්ල කරන දේ වෙනස්‌. ඒකෙන් පාඩුව ලබන්නෙ පන්දු යවන්නෝ. ඔවුන්ගේ මානසිකත්වයත් එක්‌ක මේ වගේ ලෝක කුසලානයකදී එක්‌ එක්‌ ක්‍රීඩකයන් ඒක කොයි ආකාරයකට ගන්නවද කියන එක ක්‍රීඩකයන් තේරුම් ගත යුතුයි. මම මෙතෙක්‌ කල් පන්දු යවන්නන්ට දුන් ආභාෂය සහ තවත් පුහුණුකරුවකු ඇවිල්ල දෙන දේ තේරුම් බේරුම් කරගැනීම තියෙන්නෙ ක්‍රීඩකයන්ට. ඒකෙන් හොඳම දේ ක්‍රීඩකයන් ගන්නවනම් තමයි හොඳ.

ප්‍රශ්නය- ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති නවසීලන්ත සංචාරය පුරාවටම අපේ වේග පන්දු යවන්නන් අසාර්ථක වූ බවට චෝදනා නැගෙනවා.

පිළිතුර- මම දකින විදිහට නම් නවසීලන්ත සංචාරයේදී පන්දු යවන්නන් අසාර්ථක වුණා කියන්න අමාරුයි. අද ක්‍රිකට්‌ ක්‍රීඩාවෙ තියෙන නීති රීතිත් එක්‌ක හැම කණ්‌ඩායමක්‌ම ලකුණු 300 ක්‌ ගහනවා. ඒ වාතාවරණයත් එක්‌ක අපේ පන්දු යවන්නන් විතරක්‌ කණ්‌ඩායමක්‌ ලකුණු 250 කට අඩුවෙන් තියන්න ඕන කියනවනම් ඒක විහිලුවක්‌. ලෝකයේ තියෙන හොඳම බෝලින් තියෙන කණ්‌ඩායමකට වුණත් ඒ ගාන ගහනවා. නවසීලන්ත සංචාරයේදි එක තරගයක්‌ 350 ට වැඩියෙන් අපේ පන්දු යවන්නන්ට ගැහුවා. ඒ හැරෙන්න අපේ පන්දු යවන්නන් අසාර්ථක වුණා කියන එක මම පිළිගන්නෙ නැහැ.

ප්‍රශ්නය - ලෝක කුසලානයේදී වේග පන්දු යවන්නන්ට අලුත් සැලසුමක්‌ සකස්‌ කරල තියෙනවද?

පිළිතුර - අපි ලකුණු පාලනය කරන්න කතා කරපු දේවල් ගොඩක්‌ තියෙනවා. ඒ වගේම පිතිකරුවන්ගෙ වීඩියෝ බලල ඒ අයට පන්දු යවන්න ඕන මොන වගේද කියන එක පන්දු යවන්නන්ට තේරුම් කරල තියෙනවා. පිට්‌ටනියෙන් පිට කරන්න පුලුවන් හැම දෙයක්‌ම මම කරල තියෙන්නෙ. හැබැයි පිට්‌ටනියට ගියාට පස්‌සෙ ඒක කරන එක ක්‍රීඩකයන්ගේ වගකීම. මේ වගේ ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩකයෝ සැලැස්‌මක්‌ ඇතිව ක්‍රීඩා කරන්නෙ. වෘත්තිමය ක්‍රීඩකයන් හැටියට ඒ දේ කළ යුතුමයි.

ප්‍රශ්නය - ලසිත් මාලිංග තවම සුපුරුදු රිද්මයට ඇවිල්ල නැහැ වගේ පේන්නෙ. ඔබ දකින විදිහට මොකක්‌ද ඒකට හේතුව?

පිළිතුර - මාලිංග ලොකු ශල්‍යකර්මයකින් පසුව තමයි තරග බිමට ආවේ. ඔහුගේ මානසිකත්වය සහ පන්දු යෑවීමේ රිද්මය අනුව අපි කලින් දැකපු මාලිංග නෙමෙයි පළමු තරගයට ක්‍රීඩා කරනකොට හිටියෙ. නමුත් මම දකින විදිහට නම් එයාට අවස්‌ථාව දෙන්න ඕන ඔහුගේ සුපුරුදු රිද්මයට එන්න. මම විශ්වාස කරනව තරගාවලියේ ඉදිරියට යනකොට ලසිත් මාලිංග සුපුරුදු රිද්මයට එයි කියල. මාස තුනක්‌ පන්දු යවන්නෙ නැතිව ඉඳල ලෝක කුසලානයකදී එක පාරටම පන්දු යවනකොට අපි ඔහුගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙනව තමයි. නමුත් සැලැස්‌මක්‌ තියෙනවා. ඒ සැලැස්‌මට ඔහු එයි.

ප්‍රශ්නය - ක්‍රීඩකයකු සියයට සියයක්‌ තරග කරන්න සූදානම් නැතිව තරගවලට ගෙන ඒම සුදුසුද?

පිළිතුර - පහුගිය කාලයේ ලසිත් මාලිංග තමයි අපිට හිටපු නොම්මර එකේ වේග පන්දු යවන්නා. ලසිත් මාලිංග අපිට අමාරු අවස්‌ථාවලදී හොඳින් පන්දු යවපු පන්දු යවන්නෙක්‌. ඔහු කරල තියෙන දේවල් එක්‌ක ඔහුට අවස්‌ථාව දිය යුතුයි.

ප්‍රශ්නය - ලසිත් මාලිංගගේ වේගයේ අඩු වීමක්‌ තියෙනව නේද ?-

පිළිතුර-ඔහුගේ වේගයේ අඩාල වීමක්‌ තියෙනවා. නමුත් ඒක හදා ගන්න ඕන ශරීර යෝග්‍යතාව සහ තරගයෙන් තරගයට රිද්මයට ආවට පස්‌සෙ. අපේ ලංකාවෙ කට්‌ටියට ක්‍ෂණික පිළිතුරු තමයි අවශ්‍ය. නමුත් එහෙම ක්‍ෂණික පිළිතුර එක පාරටම හොයන්න බැහැ. තරගයක්‌ පැරදුනහම අපි එක එක්‌කෙනාට චෝදනා කරනවා පන්දු යවන්නන් හින්ද පැරදුනා. නැතිනම් පිතිකරුවන් හින්ද පැරදුනා. එහෙමත් නැතිනම් පන්දු රකින්නන් නිසා පැරදුනා කියලා. ඉතිං කණ්‌ඩායමක්‌ හැටියට ක්‍රීඩා කරනකොට තුන් ඉරියව්වෙන්ම හොඳට කරන්න ඕන.

ප්‍රශ්නය - මම දකින විදිහට ක්‍රීඩකයකු සුදුසු නැති අවස්‌ථාවකදී කණ්‌ඩායමට ගෙනැවිත් මේ වගේ ලෝක කුසලාන තරගාවලියකදී ඉවත් වෙන්න සිදු වුණොත් ඒක පාඩුවක්‌ නේද? මම එහෙම අහන්නෙ ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩකයන් සියයට සියයක්‌ සෑම අතින්ම ශක්‌තිමත්ව සිටිය යුතු නිසා

පිළිතුර - මම විශ්වාස කරන විදිහට ඕනෑම ක්‍රීඩකයකු පසුගිය තරගවලදී හොඳට කරල තියෙනව නම් ආබාධයකින් පසුව යළිත් ඔහුට අවස්‌ථාව දෙන්න ඕන. හැබැයි ඔහු සුපුරුදු රිද්මයේ ඉන්නවද නැද්ද කියල තේරුම් අරගෙන කණ්‌ඩායම තෝරන්න ඕන තේරීම් කමිටුව. අපේ තේරීම් කමිටුවේ පස්‌දෙනෙක්‌ ඉන්නවා. මගේ කාර්ය පන්දු යවන්නන්ව හොඳින් පාලනය කිරීම පමණයි.

ප්‍රශ්නය - විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියේදී 'වයිඩ් යෝකර්' කියල ක්‍රමවේදයක්‌ ගෙනාවා. මේ තරගාවලියේදීත් එහෙම උපාය මාර්ගයක්‌ තියෙනවද?

පිළිතුර - නවසීලන්ත තරගාවලියේදී අපි පාවිච්චි කළේ වයිඩ් යෝකර් තමයි. නමුත් මම විශ්වාස කරන්නෙ මේ වගේ රටවල්වලට ආපු ගමන් ඒ උපක්‍රමයම හරියන්නෙ නැහැ කියන එක. අපි බලන්න ඕන වෙනත් රටවල්වල පන්දු යවන්නන් යවන ආකාරය. මම මේ තරගාවලියේදී කියල තියෙන්නෙ යෝකර් එක පුලුවන් තරම් කඩුල්ලට යොමු කරන්න කියලා. එක ලෝක කුසලානයක්‌ වයිඩ් යෝකර් එකෙන් හරි ගියාට හැමදාම ඒක හරියන්නෙ නැහැ. එක එක පිතිකරුවන් ඒවට හුරු වෙනවා.

ප්‍රශ්නය - අපේ අනාගත වේග පන්දු යවන්නන් පිළිබඳව සෑහීමකට පත්විය හැකිද?

පිළිතුර-අපිට හොඳ නවක ක්‍රීඩකයන් ඉන්නවා. ඒ අතරින් චමීර දුෂ්මන්ත, විශ්ව ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු සහ කසුන් මධුෂංක වැනි ක්‍රීඩකයන් කැපී පෙනෙනවා. මම දකින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට නම් වේග පන්දු යවන්නන් අඩුවක්‌ නැහැ. හැබැයි ඒ නවකයන්ට දේශීය තරග ක්‍රීඩා කරන්න දෙන්න ඕන. ඒක පාරට ගෙනල්ල එළියට අතඅරින එක නෙමෙයි කරන්න ඕන. පුලුවන් තරම් දේශීය තරග ක්‍රීඩා කරන්න දීල අත්දැකීම් ලබා දීල ජාතික කණ්‌ඩායමට ගෙන ඒම තමයි කරන්න ඕන.

ප්‍රශ්නය - ඔබ කියන විදිහට ශ්‍රී ලංකාවට වේග පන්දු යවන්නන්ගෙන් අඩුවක්‌ නැහැ. ඒ අයව කළමනාකරණය කරන්න නිසි ක්‍රමවේදයක්‌ තියෙනවද?

පිළිතුර-වේග පන්දු යවන්නෝ ලංකාවේ නැති කමක්‌ නැහැ. ඒ අයව හරි ආකාරව බලාගන්න ඕන. වේග පන්දු පුහුණුකරුවෝ එක එක දේවල් කරන්න පටන්ගත්තොත් පන්දු යවන්නන්ට ඒක අච්චාරුවක්‌ වෙනවා. ඔවුන්ගෙන් හරි දේ ගන්න අපි බලා ගන්න ඕන. අපි ඉන්න පුහුණුකරුවන් තුන් දෙනා එකට වැඩ කරන්න ඕන. චම්පක, අනූෂ සහ මම එකට වැඩ කළේ නැතිනම් වේග පන්දු යවන්නන් අගාධයට යනවා. මම මේ රාජකාරිය පටන් ගන්නවිටම කිව්වෙ අපි තුන් දෙනා එකට වැඩ කළේ නැතිනම් ක්‍රීඩකයන් අමාරුවේ වැටෙනවා. ඒ නිසා එකට වැඩ කරමු කියලා.

ප්‍රශ්නය - ඔබ ක්‍රිකට්‌ ක්‍රීඩාව නිසා ඉතාමත් තෘප්තිමත් වුණ ක්‍රීඩකයෙක්‌. දැන් පුහුණුකරුවෙක්‌ විදිහට තෘප්තිමත්ද මේ කරන කාර්ය පිළිබඳව?

පිළිතුර- මම තෘප්තිමත් නැහැ. මේ මම ඉන්න වාතාවරණයේ කිසිම සතුටක්‌ නැහැ. මෙතන වෙන දේවල් ගොඩක්‌ තියෙනවා. ඇත්තටම මම කලකිරීමෙන් ඉන්නෙ. ලෝක කුසලානයෙන් පස්‌සෙ මගේ කාලය අවසන්. නැවතත් මම ශ්‍රී ලංකාවට සේවයක්‌ කරන්න කැමැත්තක්‌ නැහැ. මේ තරගාවලියෙන් පස්‌සෙ මෙතන වෙන සියලු දේවල් මම මාධ්‍ය ඔස්‌සෙ කියා සිටිනවා. නැවතත් මට රටට සේවයක්‌ කරන්න අවස්‌ථාවක්‌ නැහැ.

ප්‍රශ්නය - ඒ කියන්නෙ විදෙස්‌ පුහුණුකරුවකු ලෙස ඔබ ඉදිරියට කටයුතු කරනවා කියන එකද?

පිළිතුර - විදෙස්‌ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්න අවස්‌ථාවක්‌ ඇවිල්ල තියෙන්නෙ. ඉදිරියේදි කියන්නම් ඒ ගැන. හැබැයි ආසියානු රටක්‌ නෙමෙයි කියල නම් කියන්න පුලුවන්.

ප්‍රශ්නය - රොමේෂ් රත්නායක වේග පන්දු උපදේශක වෙලා එන බව ඔබ දැනගෙනද හිටියෙ?

පිළිතුර - ඇත්තටම කියනව නම් මාව දැනුවත් කරල තිබුණෙ නැහැ. පස්‌සෙ තමයි මම දැනගත්තෙ. පත්තරෙන් දැක්‌කට පස්‌සෙ තමයි මට ක්‍රිකට්‌ ආයතනයෙන් කිව්වෙ. මම කියන්නෙ පාලක මණ්‌ඩලය දැනගන්න ඕන මෙහෙම කෙනෙක්‌ ඕනද කියල මගෙන් අහන්න. මොකද මම වේග පන්දු පුහුණුකරු වශයෙන් ඒ පිළිබඳව මා දැනුවත් විය යුතු නිසා. මම ලංකාවට හොඳට ක්‍රිකට්‌ ගහපු කෙනෙක්‌ නිසා මට කනගාටුයි මා ගැන සමහරු හිතන් ඉන්න විදිහ. රොමේෂ්ගෙ කාලය දිගු කිරීමත් පත්තරෙන් තමයි දැන ගත්තෙ. කොහොම හරි මගේ උනන්දුව මදියි කියල තමයි මෙහෙම උපදේශකයෙක්‌ ගෙන්නල තියෙන්නෙ. මෙච්චර කැප වෙලා රටක්‌ වෙනුවෙන් හොඳට ක්‍රිකට්‌ ගහපු මම කැපවීම කියන වචනයේ තේරුම හොඳට දන්නවා. මම කැප වෙච්ච තරම නිසා තමයි ඔච්චර ලොකු ගමනක්‌ මට එන්න පුලුවන් වුණේ. ඔය එක එක්‌කෙනා කියන කැපවීම මොකක්‌ද කියල මට තේරෙන්නෙ නැහැ.

ප්‍රශ්නය - මෙවර ලෝක කුසලාන තරගාවලියේ හොඳම වේග පන්දු බල ඇණිය සතු කණ්‌ඩායම කුමක්‌ද?

පිළිතුර - අපේ රටේ තමයි හොඳම වේග පන්දු යවන්නන් ඉන්නෙ. ඒත් හරි කළමනාකරණයක්‌ නැහැ. කොහොම හරි මෙවර ලෝක කුසලානය අපේ කාණ්‌ඩායම වැටිල ඉන්න කාණ්‌ඩය ඉතාමත් හොඳ කාණ්‌ඩයක්‌. ඒත් මම විශ්වාස කරනවා අපේ හොඳම ක්‍රීඩාව ආවොත් අවසන් පූර්ව තරගයට එන එක අමාරු දෙයක්‌ නෙමෙයි කියන එක. එතන ඉඳල ඉතින් පරදින්නෙ නැතිව අවසන් තරගය දක්‌වා යා යුතුයි.


අසේල විතාන
ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.