දකුණු මුහුදු තීරයේ පොකිරිස්‌සන් ශීඝ්‍රයෙන් වඳවී යැමේ තර්ජනයක්‌

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

දකුණු මුහුදු තීරයේ පොකිරිස්‌සා මත්ස්‍යයා ශීඝ්‍රයෙන් වඳවී යැමේ තර්ජනයකට ලක්‌ව ඇති බව නාරා ආයතනයේ ජීව විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසයි.

බිත්තර දමන පොකිරිස්‌සන් ඇල්ලීම මෙන්ම පොකිරිස්‌සන් ඇල්ලීම තහනම් කාලයේ නොවැඩුණු පොකිරිස්‌සන් අල්ලා කූඩුකර තැබීම නිසා මෙම මත්ස්‍යයා වඳවී යැමේ තර්ජනයකට ලක්‌ව ඇති බවද උපුල් ලියනගේ මහතා පැවසීය. ධීවර කාර්මිකයන් විසින් දැල් දමා අල්ලනවාට වඩා දිය යට කිමිදී විශාල වශයෙන් පොකිරිස්‌සන් ඇල්ලීමද මෙම මත්ස්‍යයා වඳ වීමට හේතුවී තිබේ. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කිරින්ද, පටන්ගල ආදී ප්‍රදේශවල පොකිරිස්‌සන් ඇල්ලීම විශාල වශයෙන් සිදු වේ. දකුණු මුහුදු තීරයේ පොකිරිස්‌සන් ඇල්ලීම ඉතා විශාල වශයෙන් සිදුවන අතර හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය ආශ්‍රිත මුහුදු තීරයෙන් පොකිරිස්‌සන් සියයට හැටක්‌ පමණ අල්ලාගනු ලබයි.

උපුල් ලියනගේ මහතා පවසන පරිදි පොකිරිස්‌සන් වඳවී යැමේ තර්ජනයට ලක්‌වන්නේ හැත්තෑව දශකයේ මුල් භාගයේ සිටය. මේ සඳහා 1973 වසරේ දී නීති රීති සකස්‌කොට 2000 වසරේ ඒ සඳහා සංශෝධනද ගෙනැවිත් ඇත. ඒ මෙකී සම්පත නිවැරැදි ආකාරයෙන් කළමනාකරණය කිරීම සඳහාය. පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්‌තෝබර් යන මාසවල පොකිරිස්‌සා ඉස්‌සන්ගේ අභිජනන සමයයි. මෙම කාලය තුළ පොකිරිස්‌සන් ඇල්ලීම මෙන්ම මිලදී ගැනීමද තහනම්ය. නමුත් අපේ ඇතැම් ධීවරයන් මෙම කාලය තුළදී පොකිරිස්‌සන් අල්ලා කූඩුවල තබා ඇත. පොකිරිස්‌සා ඉස්‌සාගේ අභිජනන සමය තුළදී බිත්තර ඉස්‌සෝ ලක්‍ෂ හයක්‌, හතහමාරක්‌ අතර ප්‍රමාණයක්‌ පැටව් දමන අතර මෙම කාලය තුළදී පොකිරිස්‌සන් ඇල්ලීමෙන් මහත් විනාශයක්‌ වන බවද උපුල් ලියනගේ මහතා පවසයි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.