සංචාරක ව්‍යාපාරයට බිලිවූ කොග්ගල කලපුව

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

කොග්ගල කලපුව මේ වන විට සංචාරක ව්‍යාපාරය යෑයි කියමින් කරන ඉදිකිරිම් හේතුවෙන් දිනෙන් දින විනාශය කරා යමින් ඇත. සංචාරක ව්‍යාපාරය නමැති පිරුවටයට මුවා වී කොග්ගල කලපුව මධ්‍යයේ ජලය මතුපිට සංචාරක බංගලා දොළහක්‌ සෑදීමට මේ වන විට මොවුහු කැසකවමින් සිටිති.

කොග්ගල කලපු ඉවුරේ ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස කබානා හතලිහක්‌ සහ දිය මත සංචාරක බංගලා දොළහක්‌ ඉදිකිරීමේ කටයුතු මේවන විට ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර හමාරය.

මේ වන විට කොග්ගල කලපුව වටා ඇති ඉවුරු ප්‍රදේශයන් බොහොමයක්‌ ගොඩකර හෝටල ඇතුළු නොයෙක්‌ ඉදිකිරීම් කරමින් ඇති අයුරු දැකිය හැකිය. මෙයින් සුන්දරම ස්‌ථානයන් රැසකම විදේශිකයන් විසින් හෝටල් සාදා ඇති අයුරුද දැකිය හැකිය.

කොග්ගල කලපුව ආශ්‍රිතව ආයෝජන මණ්‌ඩලයේ ව්‍යාපෘතියක්‌ ලෙසට ආරම්භ කර ඇති මල් කබානා ව්‍යාපෘතිය සඳහා මේ වන විට පරිසර අධිකාරිය මගින් අනුමැතිය ලබා දී ඇති බවද පැවසේ. ඒ යටතේ කොග්ගල ඔය ඉවුරු ප්‍රදේශ අහිමි කරමින් කොග්ගල කලපු ඉවුරේ කබානා හතලිහකට අධික ප්‍රමාණයක්‌ මේ වන විට ඉදිවෙමින් ඇත. ඊට අමතරව කලපුව මැද පතුලේ සිට ඉහළට තවත් බංගලා දොළහක්‌ ඉදිකිරීමේ සූදානමක්‌ ඇතැයි දැනගන්නට ඇත.

මේ සියල්ල මෙසේ සිදුකරගෙන යමින් සිටිය දී මෙම භූමිය හා ඔයෙහි ජලාශයේ ජල තලයෙන් කොටසක්‌ දීර්ඝ කාලීනව බදු පදනම මත ලබා ගැනීම සඳහා විදේශීsය සමාගමක්‌ මේ වනවිට කටයුතු කරමින් සිටී.

ජාතියේ වාසනාවකට දෝ බළලා මල්ලෙන් එළියට පැන්නේ මෙතැනදීය. ඒ දකුණු පළාත් ඉඩම් කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවට පිං සිදු වන්නටය. මේ සම්බන්ධයෙන් තනි තීරණයක්‌ ගැනීමට අකැමැති වු එවකට දකුණු පළාත් ඉඩම් කොමසාරිස්‌වරයා තම අනුමැතිය ලබා දීමට පෙර ගාල්ල දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය සදහා මෙම ඉල්ලුම් පත්‍රය පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. එතැනින් නොනැවතුණු ඉඩම් කොමසාරිස්‌වරයා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස්‌ පැතීමට පියවර ගෙන තිබිණි.

ගාල්ල දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් රවින්ද්‍ර හේවා විතාරණ මහතා මෙහිදී සඳහන් කළේ මෙවැනි අදහසකි.

මෙම ඉල්ලීම ඉතා බරපතළයි. කිසිසේත් මෙයට අවසර දිය යුතු නැහැ. එසේ අවසර දිය නොහැකියි. මෙහෙම අවසර දුන්නොත් ලංකාවෙ ඇති සියලුම ගංගා, ඇළ දොළ, වැව් අමුණු විනාශ වී යැම වැළැක්‌විය නොහැකියි. ඔයෙහි පතුලේ සිට ඉදිකරන හෝටලයක්‌ නිසා මේ ඔයෙහි ජල බැස්‌මට වන්නේ ලොකු අවහිරයක්‌ හා බලපෑමක්‌.

"මෙයට මොන නීතියක්‌ යටතේද ඒ අවසරය දී ඇත්තේ. මෙම ඉල්ලීම ඉටුකරන්න ඉඩ දෙන්න බැහැ" යන්නයි මගේ අදහස. ජලාශය පත්ලේ කරන ඉදිකිරීමකට කොහෙත්ම එකඟ වන්න බෑ.

අපි ඉන්පසුව අදළ පසුගිය සිදුවීම් පවිළිබඳව සොයා බැලීමු. මෙම ස්‌ථානය නිරීක්‌ෂණය කළෙමු. මේ වනවිටත් කොග්ගල කලපුව ආසන්නයේ කොග්ගල හෝටල් පාසල ඉදිරිපිට කලපු ඉවුරේ මෙම කබානා ඉදිවෙමින් පවතින අයුරු අපට දක්‌නට ලැබුණි.

මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් පරිසර අධ්‍යක්‍ෂිකාවගෙන් කරුණුq විමසීමුq. ඇය පවසා සිටියේ නව රජයේ නව චක්‍රලේඛවලට අනුව මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක්‌ ලබා දීමට නොහැකි බවයි.

කෙසේ වුවද මේ සඳහා පරිසර අධිකාරිය විසින් අවසර දී ඇති බව අපට දැනගන්නට ලැබුණි. හබරාදුව සුන්දරම පාරිසරික පාරාදීසයක්‌ වන කොග්ගල කලපුව ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්‌ෂිත කලාපයක්‌ බවට පත් කිරීම සඳහා පාරිසරික බලධාරීන් පියවර නොගන්නේ මන්දැයි අපට පවත්නා බලවත් ගැටලුවකි.

අප මෙම තත්ත්වය පිළිබදව හබරාදුව ප්‍රාදේශීය ලේකම් අයේෂා ගුණතිලක මහත්මියගෙන් කළ විමසුමක දී ඇය මෙසේ පැවසුවාය.

මේක ආයෝජන මණ්‌ඩලයේ ව්‍යාපෘතියක්‌ ලෙසයි, ක්‍රියාත්මක වෙන්නේ. අපේ මට්‌ටමින් නොවෙයි. මා දන්නා විධියට මෙම ව්‍යාපෘතිය ක්‍රිsයාත්මක වන්නේ විධිමත් පාරිසරික බලපත්‍ර ලබාගෙනයි. කොළඹින් තමයි, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අපි හබරාදුව ප්‍රාදේශීය සභා සභාපති දිල්ශාන් විදානගමගේ මහතාගෙන් විමසීමු.

මෙම ව්‍යාපෘතියට අදාළව පාරිසරික අධ්‍යයනයන් සිදු කරලා තමයි අපි දන්නා තරමට අවසර දීලා තියෙන්නෙ. මෙය විශාල ව්‍යාපෘතියක්‌ නිසා අපේ මට්‌ටමින් නොවෙයි, අවසර දීම් කරන්නේ. මධ්‍යම පරිසර අධිකාරියෙන් මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක්‌ කියලා අවසර ලබා දීලා තියෙනවා.

කෙසේ වෙතත් කොග්ගල කලපුව වටාත් කබානා ඉදිකර කලපු ජල තලයේද මල්කබානා සෑදීමට අවසර දීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා දී ඇත්තේ කුමන පදනමක සිට දැයි යන්න ගැටලුවකි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශ වාසියකු අප සමග පැවසුවේ මෙවැනි අදහසකි.

ඔය අධිකාරිවලින් දේශපාලනඥයෙක්‌ කීවොත් ඕනම දේකට වාර්තා හදලා අනුමැතිය දේවි. සමහර ඇත්තන්ට පරිසරය තිබුණත් එකයි නැතත් එකයි. තමන්ගේ රස්‌සාව රැකුණොත් ඇති නේ.

අපේ රටේ ගොඩක්‌ දේවල් වෙන්නේ දේශපාලනඥයන්ට උවමනා විධියටයි. කොග්ගල ඔය පුරා කබානා ගහනවා කීවත් ඒක පාරිසරික නියමු ව්‍යාපෘතියක්‌ කියලා ලස්‌සන වචන ටිකක්‌ දාලා ඔය ඇත්තො අනුමත කරලා දෙයි.

කෙසේ වෙතත් කොග්ගල කලපු ජල තලය විකිණීමෙන් වළකින ලෙස පරිසරයට ආදරය කරන මිනිසුන් ලෙස මෙම සටහන අවසානයේ ලියා තැබිය යුතුව ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.