කසිප්පු අප්පුලා හිරේදමා ජාවාරමට වැට බැඳිය හැකිද?

ෆුල්ෆේස්‌ හෙල්මට්‌ තහනම ගැන රටේ විශාල විරෝධයක්‌ මතුව ආවේය. මුව හමට තඩි බෑමේ න්‍යායේ තහනම් කිරීම් ගැන එවැනි විරෝධයක්‌ මතුවීම ස්‌වාභාවිකය. විශේෂත්වය වන්නේ ෆුල්ෆේස්‌ හෙල්මට්‌ පැළඳ බැංකු කඩන හොරු පමණක්‌ නොව රටේ බොහෝ පුරවැසියන් ඊට විරෝධය පෑමය. දැන් ෆුල්ෆේස්‌ හෙල්මට්‌ පැළඳ කොල්ලකෑම්වල යෙදෙන පාදඩයන් අල්ලා ගැනීම සඳහා පොලිසියේ මහත්වරුන්ට අලුත් සැලසුමකට යා යුතුව ඇත.

අප කතා කරන්නට යන්නේ ඒ ගැන නොවේ. හෙල්මට්‌ කතාන්දරය මෙන්ම අපූරු ප්‍රවෘත්තියක්‌ පසුගිය දිනවල මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මගින් නිතර අසන්නට දකින්නට ලැබිණි. ඒ "කසිප්පු ජාවාරම්කාරයන් කෙළින්ම හිරේට" යන්නයි. තොරතුරු දක්‌වන හැටියට අදාළ නීති සංශෝධනය කිරීමෙන් පසු නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලයන්ට දඩ වෙනුවට සිර දඬුවමක්‌ ලබා දේ. ඒ වසරකට නොඅඩු සිර දඬුවමකි. මේ කියන "ජාවාරම්වලට කසිප්පු, රා, ගංජා, සහ වෙනත් මත්පැන් වර්ග නිෂ්පාදනය කිරීම හෝ අලෙවි කිරීම සපුරා තහනම් වෙයි.

මෙවැනි නීති විරෝධී ජාවාරම්වලට දඬුවම් දීම සඳහා පවතින නීති රීති ප්‍රමාණවත් නොවන නිසා එවැනි වැඩපිළිවෙළකට යන බව අධිකරණ සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ දී පැවැත්වූ සාකච්ඡාකදී අදහස්‌ පළ වී තිබේ.

අප විශ්වාස කරන්නේ මෙතැනදී ද"ටිකක්‌ පමණ" හෙල්මට්‌ කතාන්දරය හා සමාන තත්ත්වයක්‌ ඇති බවය. පොලිසියේ මහත්වරු ගමේ හොර අරක්‌කු පොළකට කඩාපැන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවන් ගැන ටිකක්‌ කල්පනා කරන්න. ගමේ ගොඩේ උදවිය පමණක්‌ නොව රටේ තොටේ බොහෝ දෙනෙක්‌ දන්නා පරිදි, එවැනි හොර පොළකදී අත්අඩංගුවට ගැනෙන්නේ ඔය කියන "ජාවාරම් කරුවා" නොවේ. ඔහුගේ හොඳ බැලයෙකි. ඉත්තෙකි. බිලි බෝයි කෙනෙකි. "ජාවාරම්කරුවා" වෙනුවෙන් හිරේට යන්නේ ඒ අහිංසකයා ය. (අහිංසකයා යෑයි කියන්නේ හොර අරක්‌කු පෙරීම, අත්උදවු දීම සාධාරණීකරණය කරන්නට නොවේ.) ටික දිනකදී මහා ජාවාරම්කරුවා හෝ ඔහුගේ හෙංචයියකු පැමිණ ඔහු ඇප මත නිදහස්‌ කර ගැනීම සුලභ සිදුවීමකි. එතෙක්‌ සියයට සියයක්‌ම සිදු නොවුණත් පෙර කී "ඉත්තාගේ" පවුලේ උදවිය රැක බලාගන්නේ ජාවාරම්කරුවාය. එසේ වූ පමණින් ජාවාරම නතර වන්නේ නැත. ගෙන ඒමට නියමිත නීතිරීති සංශෝධනයේ දී පෙර වැරදි තුනකට වඩා තිබේ නම් සිර දඬුවම් නියම කිරීමට නියමිතය. එහෙත් රට පුරා ඇති පොලිස්‌ ස්‌ථානවලින් විමසීමක්‌ කළහොත් දෙවරක්‌ තුන්වරක්‌ නොව දහදොළොස්‌ වතාවක්‌ හෝ ඊටත් වඩා මේ ඉත්තන් සිරගත වී ඇති බව සොයා ගත හැකිය. උදාහරණයකට දංකොටුව මේ වැඩේට ස්‌පෙෂල්ය. වැටලීමද බහුලය. පළාතේ පොලිසිවලින් පමණක්‌ නොව වලාන දූෂණ මර්දන ඒකකයෙන්ද දංකොටුව ප්‍රදේශයේ වැටලීම් සිදු කරනු ලබයි. එහෙත් දිනපතාම දංකොටුවෙන් ස්‌පෙෂල්ම බඩු රටට බෙදාහරින බව කවුරුත් දන්නා, පොලිසියද දන්නා රහසකි.

එයින් පෙනෙන්නේ වැඩේ නතර කරන්න නම්, ඉත්තන් ඇල්ලීමෙන් ඵලක්‌ නොවන බවය. කවර සංශෝධනයකදී වුවද මේ "මහා ජාවාරම්කරුවන්" අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද සකස්‌ නොකර "බිලි බෝයි" කෙනකු සිරගත කිරීමෙන් ඵලක්‌ නැත. නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඬලීමට මේ ක්‍රමයෙන් හැකියාවක්‌ නොලැබෙන බව අපේ විශ්වාසයයි. හිරගත වන බැලයාගේ පවුලේ උදවිය වසරක්‌ නොව දෙවසරක්‌ තෙවසරක්‌ වුව රැක බලාගැනීමට මහා ජාවාරම්කාරයන්ට හැකියාව ලැබෙන්නේ ඉත්තෙක්‌ හිරේ ගිය පමණින් ජාවාරම නතර නොවන බැවිනි.

ජාවාරම පෙරටත් වඩා හොඳින් කරගෙන යැමට තවත් ගෝලබාලයන් එකතු වේ. සමහර විට දේශපාලන හයිය ද ලැබේ. මේ හැර බොහෝ කතාන්දරවල පොලිසියේ උදව්වද ලැබෙන බව අහන්නට ලැබේ. කසිප්පු තිප්පොළක්‌ වටලන විට පොලිසිය ඇතුළෙන්ම ඔත්තුව යන බව ප්‍රසිද්ධ රහසකි. ඒ නිසා එකෙක්‌ දෙන්නෙක්‌ හිරේ දැමීම නොව ජාවාරමට වැට බඳින සංශෝධනයක අවශ්‍යතාවක්‌ තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.