13ට එහා බලයක්‌ දිය යුතුයෑයි ඉන්දීය අගමැති කියයි

කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය බලය ලබාදීමකට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (13දා) පැවසීය.

ඉන්දු ශ්‍රී ලංකා ද්විපාශ්වික සාකච්ඡාවලදී හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

මෝදි මෙරටට පැමිණීමට පෙර ද්‍රවිඩ සන්ධානය පැවසූවේ ඉඩම් හා පොලිස්‌ බලතල සමග පූර්ණ විමධ්‍යගත බලතල තමන්ට අවශ්‍ය බවය.

මේ අතර ඊයේ (13දා) පැවැති ඉන්දු ලංකා ද්විපාශ්වික සාකච්ඡාවලදී ත්‍රිකුණාමලයේ ඉන්ධන කේන්ද්‍රස්‌ථානයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා දුම්රිය සේවාව නගාසිටුවීමට ඩොලර් මිලියන 380 ක ණය මුදලක්‌ ලබාදීමටත් එකඟ වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර පැවැති මෙම සාකච්ඡාවේදී ලබන අප්‍රේල් 14 දා සිට ඉන්දියාවට යන ශ්‍රී ලාංකික සංචාරකයන්ට එරට දී සංචාරක වීසා ලබාදීමටද එකඟ වී තිබේ.

මේ අනුව මෙරට සිට ඉන්දියාවට යන සංචාරකයන්ට කොළඹදී වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයක්‌ මතු වන්නේ නැත.

එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව සහ ඉන්දීය තෙල් සමාගම එක්‌ වී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නගාසිටුවීමේ වැඩපිළිවෙළක්‌ ද ආරම්භ කිරීමට ක්‍රියා කෙරේ.

මෙයට අමතරව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය වැඩි කිරීම පිණිස රුපියල් කෝටි 150 ක මුදලක්‌ ලබා දීමටද එකඟ වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.