මගේ බිරිඳ මියයන තෙක්‌ම
වෛද්‍යවරු හේතුව දැනගෙන තිබුණේ නෑ
සැමියා හඬා වැටෙමින් කියයි

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

මවුකුස තුළ මාස අටයි සති දෙකක කාලයක්‌ ජීවත් වූ බිළිඳකු මෙලොව එළිය නොබලාම මවු කුස තුළදීම මියයද්දී එම බිලි¹ගේ මවද අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනිද්දී තිස්‌සමහාරාම දෙබරවැව පොල්ගහවැලෑන හා මහින්දපුර ප්‍රදේශවල ජනතාව මේ වන විට මහත් කම්පනයට සහ ශෝකයට පත්ව සිටී.

මෙලෙස තම බිලිඳා සමඟ මියගොස්‌ ඇත්තේ තිස්‌සමහාරාම පොල්ගහමැලෑන ප්‍රදේශයෙහි පදිංචි දමිත් සුදර්ශන (30) යන අයගේ ආදරණීය බිරිඳ වූ ටී. ඩබ්ලිව්. කේ. හර්ෂණී නමැති විසි හය හැවිරිදි ගැබිනි මවයි.

මීට අවුරුද්දකට පමණ ඉහත දමිත් සුදර්ශන සහ හර්ෂණී විවාහ වී තිබේ. එතැන් පටන් ආදරයෙන් සිටි ඔවුන්ගේ පවුලට තවත් සාමාජිකයකු එක්‌වීමේ ගති ලක්‍ෂණ හර්ෂණීට පහළ විය.

ඒ අනුව ඔවුන් වෛද්‍ය උපදෙස්‌ මත කටයුතු කිරීමට වගබලාගත් අතර හොඳින්ම ආරක්‍ෂා වීමට හර්ෂණී හැම විටම කටයුතු කළාය.

ප්‍රදේශයෙහි පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස්‌ මත වෛද්‍ය සායනවලට සහභාගි වූ හර්ෂණී ගැබිනි මවක වශයෙන් ලබාගත යුතු එන්නත්, පර්යේෂණ නිසි වෙලාවට නිසිකලට සිදුකර ගත්තාය.

ඇය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍යවරයාට අමතරව හම්බන්තොට මහ රෝහලෙහි සේවය කරන ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාගේ වෛද්‍ය උපදෙස්‌ද පිළිපැද්දාය. එහෙත් හර්ෂණීගේ දරු ගැබ මෝරා එද්දී හදිසියේම ඇතිවූ හුස්‌ම ගැනීමේ අපහසුතාවයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස්‌ මත හුමාලය ඇල්ලුවේය. ඉන් සුවයක්‌ හර්ෂණීට නොලැබිණි.

මේ නිසා ඇය තිස්‌සමහාරාම මූලික රෝහලෙහි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාට පෙන්විය. එම වෛද්‍යවරයාද බයවෙන්න එපා කියා රෝහල්ගත කිරීමට හර්ෂණීගේ සැමියාට හා පවුලේ ඥතීන්ට උපදෙස්‌ දුනි.

ඒ අනුව තිස්‌සමහාරාම රෝහලෙහි ගැබිනි මවුවරුන්ගේ වාට්‌ටුවට හර්ෂණී ඇතුළත් කෙරිණි.

එතැන් පටන් හර්ෂණී මුහුණපෑ සිදුවීම් පිළිබඳව අපට කීවේ හර්ෂණීගේ සැමියා වන දමිත් සුදර්ශන මහතායි. මගේ බිරිඳට ලැබෙන්න හිටියේ කුලුඳුල් දරුවායි. අපි වෛද්‍ය උපදෙස්‌ අකුරටම පිළිපැද්දා.

මගේ බිරිඳත් මමත් අපිට ලැබෙන්න ඉන්න දරුව පිළිබඳව ලොකු බලාපොරොත්තුවකිනුයි හිටියේ. මගේ බිරිඳටත් මගේ දරුවටත් මෙවැනි දෙයක්‌ වේවි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ.

මගේ බිරිඳට කිසිම ලෙඩක්‌ තිබුණු බවක්‌ දැන ගන්නට තිබුණේ නැහැ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි වෛද්‍ය නිලධාරිතුමයි හම්බන්තොට රෝහලෙහි විශේෂඥ වෛද්‍ය නිලධාරි තුමයි තමයි මගේ බිරිඳ පරීක්‍ෂා කළේ. ඔවුන්ගේ වෛද්‍ය උපදෙස්‌ තමයි මගේ බිරිඳ පිළිපැද්දේ.

ඒත් මගේ බිරිඳට හදිසි හතිය රෝගී තත්ත්වයක්‌ ආවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගේ උපදෙස්‌ මත මගේ බිරිඳට හුමාලය ඇල්ලුවා. ඒත් එතරම් සුවයක්‌ දැනුණේ නැහැ.

ඒ නිසා මගේ බිරිඳ තිස්‌සමහාරාම මූලික රෝහලෙහි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාට පෙන්නුවා. ඔහු මගේ බිරිඳ පරීක්‍ෂා කර බලලා රෝහල්ගත කරන්න කීවා. ඔහු මගේ බිරිඳට ප්‍රශ්නයක්‌ නැහැ බයවෙන්න එපා හුමාලේ යළි ඇල්ලුවම හතිය ඇරිල යාවි කිව්වා.

ඒ අනුව මගේ බිරිඳ තිස්‌සමහාරාම මූලික රෝහලෙහි මාතෘ වාට්‌ටුවට ඇතුළත් කළා.

ඒත්... රෝහලෙහිදී අපිට අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්නට වුණා. රෝහල් වාට්‌ටුව බාරව සිටි වෛද්‍යවරිය අපිට බැණ වැදුණා. උණක්‌ හෙම්බිරිස්‌සාවක්‌ හැදුනොත් විතරයි මේ රෝහල මතක්‌ වෙන්නේ කියලා අපිට කිව්වා.

මම හිතන්නේ අපිට එහෙම බැණ වැදුණේ හම්බන්තොට රෝහලෙහි වැඩ කරන විශේෂඥ වෛද්‍යවරයකුට මගේ බිරිඳ මීට කලින් පෙන්නුව නිසා වෙන්න ඇති.

ඒ නිසා ඊට පසු දින අපි ලෙඩාගේ ටිකට්‌ කපාගෙන තිස්‌සමහාරාම රෝහලෙහි සිට හම්බන්තොට රෝහලට රැගෙන ගියා.

එම රෝහලෙහි වෛද්‍යවරු ලෙඩාව පරීක්‍ෂා කරලා බලල කිව්වා බයවෙන්න දෙයක්‌ නැහැ කියලා. රෝහලෙහි හෙද නිලධාරීන් කිව්වේ සමහර විට බබා බිහිකරවන්න රාත්‍රි ලේබ රූම් එකට ගනිවි කියලා.

අපි හවසත් ලෙඩා බලල ඇයට අවශ්‍ය දේවල් හා බබාට අවශ්‍ය සියලු දේවල් ලබාදීල ගෙදර ආවා. ඒත්.... රාත්‍රි මගේ බිරිඳට අමාරුවෙලා තියෙනවා.

ඇයට ප්‍රෙෂර් එක හැදිලා ඇය දැඩි සත්කාර ඒකකයට අරගෙන ඇගේ හෘද වස්‌තුවත් නතර වෙලා මැෂින් මගින් තමයි ඇය ජීවත්කරවල තියෙන්නේ.

අපි රාත්‍රි ගියා රෝහලට. ඒත් ඒ වෙලාවේ මට ලෙඩාව බලන්න බැරිවුණා. පසුදා උදේ මගේ බිරිඳට පියවි සිහිය ලැබිල තිබුණා. මම ඇය සමඟ කථා කළා. මම යළි ඉපදුනා කියලා කිව්වා යළිත් ඇගේ තත්ත්වය බරපතල වුණා.

වෛද්‍යවරු කිව්වා දරුවා මියගිහිල්ල. අපි දරුව ගැන බලන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ අම්මව බේරගන්න කියලා.

ඒ වන විට මගේ බිරිඳගේ වකුගඩුත් අක්‍රියවෙලා කියලා කිව්වා.

ඊට පසුව කරාපිටිය මහ රෝහලට ලෙඩා රැගෙන ගියා. එහිදී ලෙඩා රෝහලට ඇතුළත් කර පැය කිහිපයකට පස්‌සේ මියගියා.

ඉස්‌සරවෙලා වෛද්‍යවරු සැකකළේ මගේ බිරිඳගේ හෘද වස්‌තුවට විෂ බීජයක්‌ ගිහිල්ල කියලා. නමුත් මගේ බිරිඳ මියගොස්‌ තියෙන්නේ මාගේ බිරිඳගේ හෘද වස්‌තුව විශාලවීම නිසා ඇති වූ පීඩනයෙන්.

ඒ බව පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තමයි දැන ගත්තේ. විශේෂ අධිකරණ වෛද්‍යතුමා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වලා අපිට කිව්වා සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයකු-ගේ හෘද වස්‌තුවෙහි බර ග්‍රෑම් 250 ක්‌ බව. ඒත් මගේ බිරිඳගේ හෘද වස්‌තුවෙහි ග්‍රෑම් 300 ක්‌ තිබිල තියෙනවා.

ඇගේ හෘද වස්‌තුව විශාල වීම නිසා තමයි ඇය මිය ගිහිල්ල තියෙන්නේ. මගේ බිරිඳට කරපු කිසිදු පරීක්‍ෂණයකින් මේ බව තහවුරු වෙලා තිබුණෙ නැහැ.

මේ පිළිබඳව මගේ බිරිඳ මියයන තෙක්‌ම වෛද්‍යවරු දැනගෙන සිටියේ නැහැ මෙතරම් දියුණු වෛද්‍ය ක්‍රම තිබියදී ඇයි දෙයියනේ මේක දැන ගන්නට නොලැබුණේ.

මේක කලින් දැනගත්තානම් මගේ බිරිඳ හරි දරුව හරි එහෙම නැත්නම් දෙදෙනාගේම ජීවිත බේරගන්න තිබුණා. මේක වෛද්‍යවරුන්ගේ වරදද? එසේත් නැතිනම් මගේ බිරිඳගේත් දරුවාගේත් දෛවයද කියල මම දන්නේ නැහැ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.