ජනවරමක්‌ නැති කොටස්‌ ඒකරාශී වී සියලු දේ අහිමි කර
රට දෙකඩ කිරීමේ කරුණු සම්පාදනය කරමින් සිටිනවා

පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්‌ථානාධිපති ආචාර්ය මැදගොඩ අභය තිස්‌ස හිමි

බොරලැස්‌ගමුව - ඥානතිස්‌ස ජයවර්ධන

අපේ රටේ සමහර ජාතික බලවේගවල සෘජු හා වක්‍ර සම්බන්ධතා ඇතිව සුළු ජාතීන් ප්‍රකෝපකර ඔවුන්ට වෙනම රාජ්‍යයක්‌ නිර්මාණය කර දීමට විජාතික ඔත්තු සේවා ක්‍රියාකරන බවත් නියමිත ජනවරමක්‌ නැති කොටස්‌ ඒකරාශී වී ජාතික වටිනාකමක්‌ ඇති සියලු දේ අහිමිකර රට දෙකඩ කිරීමේ කරුණු සම්පාදනය කරමින් සිටින බවත් පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්‌ථානාධිපති ආචාර්ය මැදගොඩ අභය තිස්‌ස හිමියෝ පැවසූහ.

වර්තමානයේ පවතින අවිනිශ්චිත දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ඉකුත් 31 වැනිදා එම විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව අනාවරණය කළේය.

එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කළහ.

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම උතුරේ අධි ආරක්‌ෂිත කලාප හා ජාතික වීර ස්‌මාරක ඉවත් කිරීම ජනතාව නොඉල්ලූ ව්‍යවස්‌ථා සංශෝධනය යනාදී ඉල්ලීම්වලින් පැහැදිලි වන්නේ බෙදීමක්‌ අපේක්‌ෂා කරන බවයි.

මේ වන විට සුළු ජන කොටසක්‌ තේරුම් ගෙන තිබෙනවා තම බෙදුම්වාදී අදහස්‌ ඉටුකරගන්නා හොඳම වෙලාව මෙය තමයි කියලා. ඒ නිසා ඒ අය සැඟවුණු ක්‍රමවලින් මේ බෙදුම්වාදයට ප්‍රවිෂ්ට වී තිබෙනවා.

1948 සිට පැවති සියලු ආණ්‌ඩු දෙමළ ජනතාවට හිරිහැර කළාකීම බරපතළ කාරණයක්‌, අපි දෙමළ ජනතාවට හිරිහැර කළා නම් ඔවුන් කොළඹ ජීවත් වුණේ ඉගෙන ගත්තේ රැකියා කළේ කොහොමද? ඒ අය දැන් උතුරට ගිහිල්ලා බෙදුම්වාදයට අවශ්‍ය කරුණු කාරණා සකස්‌ කරමින් සිටිනවා.

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ඉඩ දුන්නොත් ඊට පස්‌සේ ජාතික කොඩියත් වෙනස්‌ කරාවි. සාම්පූර් හමුදා කඳවුර ඉවත් කළොත් පලාලි ගුවන් පථය සිවිල් ගුවන් පථයක්‌ බවට පත් කළොත් එය ආරක්‌ෂාවට තර්ජනයක්‌, ගාමිණී කුලරත්න හසලක වීරයාගේ ස්‌මාරකය ඉවත් කරන්න භික්‌ෂුන් වහන්සේ නමක්‌ වුවත් කියනවා නම් එය කොටින්ගේ වුවමනාවන් පිරිමැසීමක්‌, අපේ රටේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න හදිසි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇවිත් තිබෙනවා. ඉන් පහර වදින්නේ මේ රටේ පරමාධිපත්‍යයටයි. ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ අවශ්‍ය නම් එය අනුමත කළ යුත්තේ ජනමත විචාරණයක්‌ තුළිනුයි. ධීවර සමාගම් එකතුවෙලා මුහුද බෙදාගන්න යන බවත් කියනවා. මෙම කරුණු මෝදිගේ කතාව අනුව රට බෙදීමේ අදහසක්‌ තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා.

ඒවාට අනුබල දෙන මොල්ලිගොඩ එක්‌නැලිගොඩ පරපුරේ අය කරන පාවාදීම් හරහා 1915 අපේ රටට වෙච්ච නස්‌පැත්තිය ඉදිරියටත් වෙන්න පුළුවන්.

උතුරු නැගෙනහිරට අවශ්‍ය පාසල් අධිවේගී මාර්ග හැදෙන විට උසස්‌ පෙළ වැඩිම ලකුණු යාපනේ ළමයි ගන්න කොට ඒවා හරියට ලෝකෙට වාර්තා කළේ නැහැ. ඒ වෙනුවට අපේ අය වෙන වෙන විකාර දේවල් කර කර හිටපු නිසා හොරුන්ගේ වංචාකාරයන්ගේ අදහස්‌වලට ඉඩ ලැබුණා. එයින් සිද්ධ වුණේ අපේ රට බෙදුම්වාදයට තල්ලු වීමයි. ඒ නිසා එදා මහ සඟරුවන රටට එරෙහිව බලවේගවලදී ජනතාව දැනුම් වත් කළ ආකාරයටම වර්තමානයේදී නිවැරදි අවබෝධයක්‌ ලබා දෙන්න අපි තීරණය කළා.

අස්‌ගිරි පාර්ශ්වයේ සංඝ සභික මැදගම ධම්මානන්ද හිමි, මහාචාර්ය මාගම්මන පඤ්Æනන්ද හිමි, දොඩම්පහල රාහුල හිමි, මහාචාර්ය ඉඳුරාගල්ලේ ධම්මරතන හිමි, මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමි, ශාස්‌ත්‍රපති ගොම්බද්දල දමිත හිමි, සහ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.