2014 ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්පත් බැංකුව බැංකුකරණ අංශයේ දෙවැනි ස්‌ථානය දිනාගනී

සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‌ෂ අරවින්ද පෙරේරා මහතා, ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළමනාකරු වන ඇඩම් සැක්‌ මහතා වෙතින් සම්මානය ලබාගත් මොහොත.

වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ආයතනය (ACCA - Sri Lanka) සංවිධානය කළ 2014 තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙල පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. එහිදී බැංකුකරණ අංශයේ දෙවැනි ස්‌ථානය දිනාගැනීමට සම්පත් බැංකුවට හැකිවිය. තම ව්‍යාපාර කටයුතු තුළ විශ්වාසනීයත්වය, අවංකභාවය හා වගකීම් සහගත බව ආදී ගුණාංග පවත්වා ගැනීම සඳහා සමාගම් හා ආයතනවලට වේදිකාවක්‌ සපයා දීම මෙම සම්මාන උළෙලේ අරමුණ වී තිබේ. මෙම ගුණාංග උදෙසා සම්පත් බැංකුව දක්‌වන නිරන්තර කැපවීම නිසා මෙම ගෞරවනීය සම්මාන උළෙලේදී සම්මානයකින් පිදුම් ලැබීමට බැංකුවට හැකිවී ඇත. මෙය බැංකුවට මෙන්ම පොදුවේ සමස්‌ත සමාජයටම දීර්ඝ කාලීන යහපත් ප්‍රතිඵල උදාකරදෙන උත්සාහයක්‌ ලෙසද හැ`දින්විය හැකි වේ.

තිරසාරත්ව වාර්තාවක්‌ යනු සමාගමක ක්‍රියාවන් නිසා ඇතිවන ආර්ථික, පාරිසරික සහ සමාජයීය බලපෑම් හෙළිදරව් කරන වාර්තාවකි. එය එම සමාගමේ ක්‍රමෝපාය, ආයතනික පාලනය සහ කැපවීම යන මූලිකාංග සහ තිරසාර ආර්ථික, පාරිසරික හා සමාජයීය තත්ත්වයන් අතර ඇති සම්බන්ධතා අනාවරණය කරයි. එමෙන්ම ආයතනික විනිවිදභාවයෙහි වැදගත්කම අවධාරණය කරන එය ව්‍යාපාරික පාර්ශ්වකරුවන් තුළ ඇති විශ්වාසය වැඩිදියුණු කිරීමටද දායක වේ. මේ ඔස්‌සේ අදාළ සමාගමේ සැබෑ වටිනාකම් හඳුනා ගනිමින් දීර්ඝ කාලීන ලාභදායිත්වය, සදාචාරාත්මක හැසිරීම, සමාජ සාධාරණත්වය හා පරිසරය පිළිබඳව සංවේදී වීම යනාදී සාධක ගැන පැහැදිලි අවධානයක්‌ යොමුකිරීමේ අවස්‌ථාව ඔවුන්ට උදාකර දෙයි.

"සියලු දෙනා වෙත අපගේ වටිනාකම් ළඟාකර දීම සඳහා ජනතාව, පරිසරය හා ලාභය (People, Planet and Profit) යන තෙවැදෑරුම් මූලිකාංග පදනම් කරගත් සුප්‍රකට ‘Triple Bottom Line’ සංකල්පය අනුගමනය කිරීමට අප කටයුතු කර තිබෙනවා. රටේ සාධනීය වෙනසක්‌ ඇතිකරමින් හා පරිසරය සුරකිමින් ජනතාවට යහපත උදාකරදෙන අතරම සමාගමේ ලාභදායිත්වය සහ ස්‌ථාවරත්වය පවත්වාගැනීම අපගේ ඉලක්‌කයයි. ඒ සඳහා අපගේ මූල්‍ය ශක්‌තිය සහ මැනවින් අවදානම් කළමනාකරණය කිරීම යන සාධක අප භාවිතා කර තිබෙනවා. ඒ නිසා තවදුරටත් අප සාම්ප්‍රදායික සමාජ සුභසාධන වැඩකටයුතුවලින් සෑහීමකට පත්වන්නේ නැහැ. ඒ වෙනුවට අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට අංශ රැසකින් යහපත උදාකරන පුළුල් වැඩපිළිවෙළක්‌ වෙත අප පිවිස සිටින බව විශ්වාසයෙන් යුතුව කියන්නට පුළුවන්." සම්පත් බැංකුවේ අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතා එසේ පැවසී ය.

ආයතනික තිරසාර වාර්තාකරණය පිළිබඳව අදහස්‌ දක්‌වමින් රන්වල මහතා තවදුරටත් පවසා සිටියේ එය සාධනීය කර්තව්‍යයන් වගකීම් සහගතව ක්‍රියාත්මක කිරීම සඳහා සමාගම් හා ආයතනවලට ලැබෙන මහඟු අවස්‌ථාවක්‌ බවයි. "අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම තත්ත්වයේ, ප්‍රායෝගික හා පහසුවෙන් ලබාගත හැකි මූල්‍ය විසඳුම් ලබාදී ඔවුන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට නම් අපගේ බැංකුව මනා පාලනයකින් යුත් ස්‌ථාවර බැංකුවක්‌ ලෙස පවත්වාගැනීම අවශ්‍ය බව අප දන්නවා. තිරසාර වාර්තාකරණය ඔස්‌සේ අප විදහා දක්‌වන්නේ මේ සඳහා අප ගන්නා උත්සාහයේ ස්‌වභාවයයි. ඒ නිසා තිරසාර වාර්තාකරණය යනු අපගේ ව්‍යාපාර කටයුතු සහ ඒ නිසා සමස්‌තයක්‌ ලෙස සමාජයට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක්‌ ලබාගැනීමට ලැබෙන හොඳ අවස්‌ථාවක්‌ බව අපගේ විශ්වාසයයි" ඒ මහතා පවසා සිටියේ ය.

සම්පත් බැංකුව මේ වනවිට සාර්ථක ආයතනික සමාජ වගකීම් රැසක්‌ ක්‍රියාවට නංවා ඇත. ඒ අතරින් කොළඹ ජාතික රෝහලට ස්‌නායු පරීක්‌ෂණ පද්ධතියක්‌ Neuro Navigator System) ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ‘Hope for a Life’ වැඩසටහන ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලය විසින් සංවිධානය කළ 2014 ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී (Best Corporate Citizen Awards 2014) විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක්‌ ලෙස පිදුම් ලැබීය.
 

 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.