'පියා' ගැන කතාවක්‌

බණ්‌ඩාරගම පොලිසියේ සේවය කළ උප පොලිස්‌ පරීක්‍ෂකයකු වූ රූබන් පළිහවඩන නිදි ඇඳේදී ම ඝාතනය විය. ඔහු ඝාතනය කර තිබුණේ කැපෙන ආයුධයකින් ගෙලට පහර දීමෙනි. එම එස්‌. අයි මහතාගේ බිරිඳ දුන් කට උත්තරයෙන් කියෑවුණේ ඔහු මැරීම සඳහා රුපියල් පහළොස්‌දහසක කොන්ත්‍රාත්තුවක්‌ දී එයින් දස දහසක්‌ ඇඩ්වාන්ස්‌ වශයෙන් දුන් බවය. බිරිය සිය සැමියා මරවන ලද්දේ ඇයි? බිරිඳගේ කට උත්තරය අනුව රූබන් පළිහවඩන ඇයටත් දරුවන්ටත් සෑහෙන්නට වධ දී ඇත. පළිහවඩනට හිමි සිල්ලර කඩයේ ඇය සිටිය යුතු අතර දරුවන් කඩයට යැම තහනම් කර ඇත. ඒ කඩයේ විකිණීමට තිබෙන බිස්‌කට්‌ සහ සීනිබෝල දරුවන් විසින් අනුභව කිරීම වළක්‌වාලනු පිණිස ය. ඔහු ගැන බිරිය කියන කතන්දර ඇත්ත නම්, එය ඉතා ශෝචනීය සහ කාලකණ්‌ණි තත්ත්වයකි. ඒවායේ ඇත්ත නැත්ත පසුව හෙළි වනු ඇත. කෙසේ වුවද පළිහවඩන මහත්මිය නිදහස්‌ වීම, වරදකාරියවී හිරේ විලංගුවේ වැටීම, ඇඟ බැඳීම වැනි දණ්‌ඩනයකට යටත් වනු ඇත්තේ උසාවියේදී ඉදිරිපත් වන තර්ක විතර්ක අනුව ය. මෙතැන් සිට පළිහවඩන එස්‌. අයි. සහ ඔහුගේ බිරින්දැ ගැන කතාව පැත්තකින් තබනු ලැබේ. එසේ තබා ගැහැනුන්ට වධ දෙන කාලකණ්‌ණි තිරිසන් සැමියන් ගැන ලියනු ලැබේ.

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ මාතෘ මූලික සමාජයකි. මෙයින් අදහස්‌ වන්නේ අම්මා ගෙදර කෙළිකාරයා නොව මෙහෙකාරයා (කාරිය) බව ය. අම්මා ගෙදර සිට උයා, පිහා, රෙදි හෝදා, දරුවන් බලා හදාගෙන, හැකි නො හැකි සෑම අවස්‌ථාවකදී ම සිය ස්‌වාමිපුරුෂයාගේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරමින්, පවුලටම කැප වූ ජීවිතයක්‌ ගෙන යයි. මෙහිදී ඒ ගෙදර මධ්‍ය අක්‍ෂය හෙවත් මූලිකයා වන්නේ අම්මා හෙවත් බිරිඳයි. එහෙත් ඇය කිසි විටෙකත් ගෘහ මූලිකයා නොවෙයි.

ගැහැනිය පීඩනයට ලක්‌වීම පටන් ගන්නේ ගෙදරිනි. ඇගේ සැමියා ගුණ යහපත් කම් ඇති, අවංක මිනිහෙක්‌ වීද, එය ඇගේ පෙර වාසනාවකි. එහෙත් මිනිහා අපතයකු වූවොත් එය ඇගේ කරුමය ය. මෙවැනි අපතයන් සිටින ගෙවල් අපායවල් ය. තාත්තා රෑට බීගෙන ගෙදර එයි. ඔහුගේ ජාතික පානය මාසයේ මුල් දවස්‌වල අරක්‌කු ය. මාසයේ අන්තිම දවස්‌වල කසිප්පු ය. ඔහු මාසය මුල සිගරට්‌ බොයි. මාසය අග අඩු මිල සුදු බීඩි බොයි. ඔහු අරක්‌කු බිව්වත් කසිප්පු බිව්වත් කියන්නේ එකම කුණුහරුප ය. ඒවා කනට ගන්නට බැරි තරම් අව්‍යක්‌ත, අශ්ලීල කැත කතා ය. ඔහු බීමතින් බිරියට පහර දෙයි. දරුවන්ට පහර දෙයි. ලොකු මහත්වුණු පුත්තු මවට පහර දෙනු දැකීමට අකමැත්තා හ. එවිට ඔවුන් කරන්නේ මන්නයක්‌ ගෙන පියාට කෙටීම ය. පියා සමඟ මුහුණට මුහුණලා සටන් කරන්නට බැරි නම් ඔවුහු වෙනත් මඟක්‌ තෝරා ගනිති. ඒ වූ කලී පියා නිදා සිටින විට ප්‍රහාරයක්‌ එල්ල කිරීම ය.

දරුවන්ගෙන් පහර කා මියගිය අශ්ලීල පියවරු ගැන කතන්දර රාශියක්‌ තිබේ. අවුරුද්දකට කිහිප වතාවක්‌ ම මෙවැනි පුවත් පත්තරවල පළ වේ. සමහර පවුල්වල අය එකතු වී කරදරකාර පියා මරා වළලන අවස්‌ථා ද තිබේ. මෙය මොන කාලකණ්‌ණි කමක්‌ද? කවර කරුමයක්‌ ද? දරුවන් අතින්, මවුවරුන් අතින් පියවරුන් මිය යා යුතු ද? එසේ නො විය යුතු ය. එහෙත් පියා නමැති උත්තම පුරුෂයා බීගත් වනචරයකු බවට පත් වූ විට වෙනකුමක්‌ කරමුද?
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.