ගමක්‌ මැදින් ලෝදිය ගඟක්‌ ගලයි!
මුන්දලමත් රතුපස්‌වලක්‌!


* ලිං ජලයේ ඇසිඩ් රස
* කුඹුරට බැස්‌සම කකුල් කුණු වෙනවා
* පොලිසියට කිව්වත් වරද එහෙමමයි

ජලයෙන් උපදින ගින්න බිහිසුණුය. මිනිස්‌ බිල්ලක්‌ නොගෙන නිවී නොයන තරම්ය. රතුපස්‌වල තරුණයන් දෙදෙනකු සාහසික වෙඩි උණ්‌ඩ තුරුලු කරගෙන මියෑදුණේ ජල ගින්නකට මැදිවය. හංවැල්ලේදී මතු වූ එවැනිම ජල ගින්නක්‌ නිවීමට ගිය පොලිස්‌ නිලධාරියකු විරෝධතාකරුවන් කපා හෙළුE ගසකට යට වී ජීවිතක්‍ෂයට පත් විය. මේ සිද්ධි දෙකටම මුල් වී තිබුණේ එකී ප්‍රදේශවල ස්‌ථාපිත රබර් කර්මාන්ත ශාලාවකින් පිට කරන අපද්‍රව්‍ය එම ප්‍රදේශවල ජල මූලාශ්‍රවලට එකතු වීමය.

මුන්දලම පුච්චාකුලම ප්‍රදේශයේ ද එවැනිම ගින්නකට කාලයක සිට ලෝදිය එකතු වෙමින් තිබිණි. ඒ ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් ඉවතලන ඊයම් සහිත ලෝදිය ලුණු ඇළට මුදාහැරීමත් සමගය. දැන් ගින්න සක්‍රීය වෙමින් තිබේ. කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය බැහැර කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් පාරට බැස උද්ඝෝෂණ කිරීමට පටන්ගෙනය. ගැටලුව ඔඩු දුවන්නට පෙර පිළියම් නොයෙදුවොත් ගින්න තවත් ගිනියම් වන්නේය. එමෙන්ම රබර් කර්මාන්තශාලාවකින් ඉවතලන කුණු වතුරටත් වඩා ඊයම් මිශ්‍ර ලෝදිය පරිසරයට අහිතකරය. එහෙත් ඒ ගැන කිසිදු තැකීමකින් තොරව මේ කර්මාන්තශාලාව පවත්වාගෙන යන අය ප්‍රදේශවාසීන් මුළා කර ප්‍රදේශයේ තැනින් තැනට තවමත් අපද්‍රව්‍ය මුදාහරින බව ප්‍රදේශවාසීහු අපට පැවසූහ. පසුගිය දිනක ටිපර් රථවලින් ගෙන එන ලද ඊයම් සහිත අපද්‍රව්‍ය ලුණු ඇළට මුදාහැරීමට සූදානම් වන විට එම කර්මාන්තශාලාවේ සේවකයන් කිහිපදෙනකු ගම්වාසීන් විසින් කොටු කර ගත් බව ද ප්‍රදේශවාසීහු පැවසූහ.

''ලුණු ඇළට විතරක්‌ නෙමෙයි බොරලු පස්‌ අරගෙන අතහැර දාපු වළවල්වලටත් ඔය ලෝදිය හලලා යනවා. දැන් මුළු පළාතේම වතුරවලට ඒ ලෝදිය එකතු වෙලා ඉවරයි. ඒ මළ ජරාව ගමට ගෙනත් හලන වේලාවට මක්‌කොල්ලවත් වසන්න බෑ. අමුතුම සැර ගඳක්‌ පැතිරිලා යනවා. දැන් මේ මළ ජරාව භූගත ජලයට එකතු වෙලා. සමහර ළිංවල වතුර කටට ගන්නකොට අමුතුම රහක්‌ දැනෙනවා. අම්ල ගතිය වැඩියි. ඇළකට බැහැල නෑවොත් ඇඟ කසල පළු දානවා. ඇස්‌ දනවා. මිනිස්‌සුන්ට උගුරේ අමාරු, මුත්‍රා අමාරු, වකුගඩු රෝග එක දිගට එනකොට තමයි අපිට මේකෙ බැරෑරුම්කම තේරුණේ. දැන් නම් අපි දරුවෙක්‌වත් ඇළකින් හෝදන්නේ නෑ. අඩු තරමින් රෙදි කෑල්ලක්‌වත් ඇළකින් හෝදන්නේ නෑ. මේක ගමට කරන විනාශයක්‌. මේ ප්‍රශ්න ඉස්‌සර තිබුණේ නෑ. අපි හොඳට ඇළට පැනලා නාපු මිනිස්‌සු. දැන් අපිට වතුර ටිකත් නැති වී ගෙනයි යන්නේ...'' ප්‍රදේශය දවන ලෝදියට උරණ වූ ප්‍රදේශවාසීන් අතරින් රියාද් ඉදිරියට පැමිණ එසේ කතාවට මුල පිරුවේය. පවස නිවන වතුර ටිකට වස එකතු කිරීම හමුවේ ඔහු ද කෝපයෙන් ගිනි ගෙනය. ඔහු පමණක්‌ නොව සියලුම ප්‍රදේශවාසීන් ගිනියම් වෙලාය. එහෙත් මුන්දලම ප්‍රදේශවාසීන්ගේ කෝපය සාධාරණය. වේල් ගාණක්‌ නොකා සිටියද එක්‌ දිනක්‌වත් වතුර නොබී ජීවත්වීමට අපහසුය. එමෙන්ම කර්මාන්තශාලාවෙන් ප්‍රදේශයට මුදාහරින ඊයම් සහිත අපද්‍රව්‍ය මිනිස්‌ ශරීරවලට වින කටින පිළිකා කාරකයකි. එමෙන්ම අපද්‍රව්‍යවල ඇසිඩ් ගතියක්‌ ද ඇති බව ප්‍රදේශවාසීහු  පෙන්වා දෙන්නාහ. ගැටලුව බරපතළය. මෙරට උද්ඝෝෂණ සම්බන්ධයෙන් ඇති මතකය ද අඳුරුය. කටුනායක රොෂේන්, මීගමුවේ ඇන්තනී සදහටම නිහඬ වූයේ ජනතා උද්ඝෝෂණ අතරය. ඒ බව අපටත් වඩා හොඳින් දැන සිටින්නේ පොලිසියයි. එබැවින් පොලිසිය ක්‍රියාත්මක වී මුන්දලම ප්‍රදේශවාසීන් කොටු කරගත් අපද්‍රව්‍ය බහාලන්නන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබිණි. එහෙත් කර්මාන්තශාලාව කාලයක සිට කරගෙන ආ ලෝදිය හැලීම තවමත් නතර වී නැත.

''පහුගිය දවසක අපි අපද්‍රව්‍ය හලනකොට තුන් හතර දෙනෙක්‌ව පොලිසියට කොටු කර දුන්නා. ඒත් වැඩක්‌ වුණේ නෑ. උන් නිදහස්‌ වුණා. ආයෙමත් ගමට ජරාව ගෙනත් හලනවා. ඒ ජරාව හලපු තැන්වල පදාසයකම තණකොළ මැරිලා පොළවත් මැරිලා. දැන් පොළව ගන්න දෙයක්‌ නෑ. මේ පොළව කාෂ්ඨක පෑවිල්ලට වුණත් ගහ කොළවල දලුලන සරු බිමක්‌. කුඹුරු, එළවළු කොරටු සරුවට කෙරෙනවා. ඒත් දැන් ඇළ මාර්ගවලට ලෝදිය දාලා ඒවා කුඹුරුවලට ගලාගෙන ගිහින් කුඹුරුවලට බැස්‌සහම කකුල් කුණු වෙනවා. තවදුරටත් මේ විදිහට පසට මේ ජරාව එකතු වුණොත් වගා බිම් විතරක්‌ නෙමෙයි පළාතම කාන්තාරයක්‌ වෙනවා. දැනටත් වෙනත් කාලවලට වඩා පොළව රස්‌නෙයි. ලෝදිය හලන ඇළවල්වල මාළු මැරෙනවා. මේ ගම්වල ධීවර රස්‌සා කරලා ජීවත් වෙන ගොඩක්‌ පවුල් ඉන්නවා. ඉස්‌සෝ කොටු තියෙනවා. දිගින් දිගටම ගමට ලෝදිය එකතු වුණොත් මාළුත් මැරිලා, කුඹුරුත් පාළු වෙලා, අපිටත් ලෝදිය ටිකක්‌ බීලා මැරෙන්න වෙනවා...'' ප්‍රදේශවාසියකු වන චන්ද්‍රදාස පිට කරන වචනත් ලෝදිය මෙන් ගිනියම්ය. වතුර නැති තැන ලොව කිසිදු සත්ත්වයකුට ජීවිතයක්‌ නැත. එහෙව් තත්ත්වය මත වතුරට හානි කිරීම හමුවේ මුන්දලම ප්‍රදේශවාසීන් ඇස්‌ කන් පියා සිටියොත් පුදුමයකි. දැනටමත් මේ පරිසර දූෂණයට විරුද්ධව ගම්මු සංවිධානගත වී අවසානය.

''කර්මාන්තශාලාවකින් ඊයම් බොර නමින් හඳුන්වන විෂ සහිත අපද්‍රව්‍ය පරිසරයට මුදාහරිනවා කියලා දැනගන්න ලැබුණා. පුච්චාකුලමේ අතුරු මාර්ගවලට මේ අපද්‍රව්‍ය මුදාහරිනවා කියලා තමයි අපට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ අපද්‍රව්‍ය පස්‌ කියලා ගමේ අයට බොරු කියලා තමයි ගෙනත් දානවා කියන්නේ. ඒ අපද්‍රව්‍යවල තියෙන විෂට ගමේ මිනිස්‌සු විවිධ රෝගවලට ගොදුරු වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් පොලිසියත් දැනුවත් කරලා ඒ කර්මාන්තශාලාවලට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරනවා. ඒ වගේම වයඹ පළාත් පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා මදි. පරිසර අධිකාරිය ඉදිරිපත් වෙලා මේ ගැටලුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරගෙන යන එක ගැන අපි තරමක්‌ සතුටු වෙනවා...'' උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් එසේ අප වෙත අදහස්‌ ප්‍රකාශ කළේ මිහිසර පරිසර සංවිධානයේ ලේකම් වන එම්. ජී. ඩයස්‌ මහතාය. ඔහුගේ අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් අනතුරු එම සංවිධානයේ සභාපති වන සම්පත් සෙනෙවිරත්න ද කතා කළේය.

''මේ විදිහට දිගින් දිගටම වතුරට විෂ එකතු වුණොත් ඒ වතුර බොන මිනිස්‌සුන්ට හැදෙන ලෙඩේ හොයාගන්න බැරිව යනවා. පොළවේ පණුවෙක්‌වත් ඉතුරු වෙන්නේ නැතිව යනවා. කලපුව ආශ්‍රීතව ඉස්‌සො කොටු තියෙනවා. ඒ කොටුවලට මේ ඇසිඩ් වතුර එකතු වුණහම ඉස්‌සෝ බිත්තරයක්‌වත් ඉතුරු වෙන එකක්‌ නෑ. මේ වෙනකොට ඉස්‌සන් කර්මාන්තයට කුණු ප්‍රශ්නය බලපාලා කියලා ඉස්‌සෝ කොටු ව්‍යාපාරිකයෝ කියනවා. අපි කිසිම කෙනෙක්‌ එක්‌ක පෞද්ගලික අමනාපයක්‌ නෑ. අපි කතා කරන්නේ පරිසර විනාශය ගැන විතරයි...''

ඊයම් යනු මාරාන්තික විෂ සහිත රසායනික ද්‍රව්‍යයකි. මිනිසා බිලි ගැනීමට පැමිණි සැඟවුණු මාරයෙකි. ලොකු කුඩා ඕනෑම කෙනෙකු ඊයම් ශරීරගතවීමත් සමඟ විවිධ රෝගවලට ගොදුරු වේ. ඊයම්වලින් වැඩි බලපෑම් අත් කර දෙන්නේ දරුවන්ට සහ ගැබිනි මවුවරුන්ටය.

දැනට ලොව පුරා වෙසෙන දරුවන්ගෙන් මිලියන හතළිහකට වැඩි පිරිසක්‌ ඊයම් විෂවීමෙන් පීඩා විඳිති. ඊයම් ශරීරගත වීම නිසා ගර්භනී මවුවරුන්ට ගබ්සා සිදුවීම, අඩු බර දරු උපත් ඇති වීම, මළ දරු උපත් සහ නොමේරු දරු උපත් බිහිවීම වැඩි වේ. ඊට අමතරව ඊයම් ශරීරගත වීම නිසා දරුවන්ගේ බුද්ධි මට්‌ටම් පහළ යැම, මීමැස්‌මොරය, මානසික රෝග නිතර ඇති වන හිසරදය සහ දෘශ්‍ය හා ශ්‍රවණ ආබාධ ඇතුළු එකී නොකී රෝග රැසක්‌ ඇති වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. එමෙන්ම ඊයම් ආශ්‍රීත රැකියාවල දීර්ඝ කාලීනව නියෑළී සිටින පුද්ගලයන්ට ද විවිධ රෝගවලින් පීඩා විඳින්නට සිදු වේ. ස්‌නායු පද්ධතිය අක්‍රමවත් වීම, අධි රුධිර පීඩනය, මතකය හීනවීම, ලිංගික ගැටලු, මාංශපේශීන්ට හානි වීම සහ ඉවසිය නොහැකි හිසරදය වැනි රෝග ආදිය ඇති වේ. මෙවැනි මාරක විෂක්‌ ඇති රෝග කාරකයක්‌ වන ඊයම් සහිත නිෂ්පාදන කෙරෙහිද ලෝක පරිසර සංවිධාන වසර ගණනාවකට පෙර සිටම 'රෙඩ් ලයිට්‌' දල්වා අවසානය. පසුගිය කාලයේ ඊයම් සහිත තීන්තවලට මෙන්ම ඊයම් අඩංගු පෙට්‍රල් භාවිතයටද ලෝක පරිසර සංවිධානවල විරෝධතා එල්ල විණි. ඒ සමග ඊයම් භාවිත අවම කිරීමට සියලුම රටවල වගකිවයුතු පාර්ශවයන් එකඟතාවකට පැමිණියහ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 2003 වර්ෂයේදී ලංකාවේ ඊයම් අඩංගු පෙට්‍රල් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් විය. මුන්දලම පුච්චාකුලමේ කඳු ගැසෙන්නේ ලෝකයෙන් අතු ගා දැමීමට වළිකන එවැනි අති භයානක ඊයම්ය. ඒ අපද්‍රව්‍ය කඳුවල ඊයම්වලට අමතරව තව මොන විදියේ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති දැයි දන්නේ අපද්‍රව්‍ය මුදාහරින කර්මාන්තශාලාව පමණි.

1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ 23 අ.(අ),(ආ) අනුව පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම, තැන්පත් කිරීම තහනම්ය. එකී පනතේම අ.(1) අනුව පස දූෂණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම කර්මාන්තශාලාවට පරිසර බලපත්‍ර ලබාදී ඇත්තේ වයඹ පළාත් පරිසර අධිකාරියෙන් වෙන්න පුළුවනි. ඔවුන් එසේ කළා නම් එය සිදු කර ඇත්තේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිසි ඇගයීමක්‌ නොකර කටවචනයටය. එසේ නොවෙන්න නීතිගරුක නිලධාරීන් පරිසරයට ලෝදිය හැලීමට අනුමැතිය නොදෙනු ඇත. එහෙත් මොනර කොළවල දිස්‌නයට ලෝදිය රන්දිය සේ පෙනෙන්නට බැරි නැත. ඒ ගැන කතා කර දැන් ඵලක්‌ නැත. වෙන්න තියෙන දේ ඉස්‌තරම්ම විදිහට සිදු වී හමාරය. දැන්වත් බොඳ වූ දෑස්‌ පිස දා මුන්දලමට සිදු වෙමින් තිබෙන විපතට පිළියම් සෙවිය යුතුය. එසේ නොවෙන්න ඊයම් මාරයා මුන්දලම බිලි ගන්න එක සක්‌කරයාටවත් නතර කළ නොහැකිය. එමෙන්ම මුන්දලම පුච්චාකුලම යනු පුත්තලම දිස්‌ත්‍රික්‌කයට අයත් ප්‍රදේශයකි. පුත්තලම දිස්‌ත්‍රික්‌කය යනු වියළි දේශගුණයකට උරුමකම් කියන පළාතකි. එහෙව් ප්‍රදේශයකට වතුර රත්තරං වැනිය. මේ නරුම කර්මාන්තකරුවන් විෂ මුසු කර විනාශ කර දමන්නේ එකී වතුර ටිකය. මිනිස්‌ ජීවිතය. එහෙත් මේ සම්බන්ධයෙන් බලධාරීන් තවමත් නිහඬය. ඒ නිහඬ බව නිසා කර්මාන්තශාලාව සල්ලි බලයෙන් කාලයක සිට මේ කුණු වැඩේ කරගෙන යන්නේය.

රටක්‌ දියුණු වීමට නම් කර්මාන්තශාලා වැඩි වැඩියෙන් ඉදිවිය යුතුය. එහෙත් එම කර්මාන්තශාලා ඉදිවිය යුත්තේ උචිත පරිසර ආරක්‍ෂණ ක්‍රමවේදයන් තුළ සිටිමිනි. එකී කර්මාන්තශාලා වැඩි ලාභ පරමාර්ථයෙන් පරිසර ආරක්‍ෂණ ක්‍රමවේදයන් නොසලකා හරී නම්, එහි කාලකණ්‌ණි ප්‍රතිඵලයක්‌ ලෙස ගම්මුන්ට ජීවිත අහිමි වේ නම් එකී කර්මාන්තශාලාවලින් රටකට ඇති ඵලයක්‌ නැත. එහෙයින් නැවතත්, රතුපස්‌වල සහ හංවැල්ලේදී සිදු වූ ෙ€දවාචකයන් අලුත් නොකර එකී කර්මාන්තශාලාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය කඩිනමින් ගත යුතුය.

එසේ නොවන්නට ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක්‌ වනු නොඅනුමානය.

තරංග රත්නවීර
රුවනි පෙරේරා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.