අම්මත් හිරේ මාත් හිරේ
සමාජ විමර්ශන


අනික්‌ ළමයි 'අ' යන්න 'ආ' යන්න කියන්න ඉගෙන ගනිද්දී මං ඉගෙන ගත්තෙ අ යන්න ඩෝ යන්න අඩෝ කියන්නයි.

මෙහෙම කියන්නෙ ජයසේකර අපෝන්සුයි. ඒ 80 දසකයේ වේදිකාව හොලවපු රාජ්‍ය සම්මාන දහයක්‌ දිනාගත් පාතාලයේ සොල්දාදුවෝ නමැති නාට්‍යයේ ඔහු රඟපෑ (මට මතක හැටියට) ගිය ආත්මයේ සර්පයා මේ ආත්මයේ බඹරා හෙවත් ධර්මෙගේ චරිතයේ එන දෙබසක්‌ තුළින් ඔහු කියන්නේ මොකක්‌දැයි නව යොවුන් පාසල් සිසුවෙක්‌ව සිටි මට එදා නිශ්චිතව තේරුම් ගන්නට නොහැකි වුවද ඊට වසර කීපයකට පසු උසස්‌ අධ්‍යාපනය අවසන්ව ස්‌වාධීන තරුණයෙක්‌ වශයෙන් නොයෙක්‌ වැඩ රාජකාරී සඳහා වීදියට මුඩුක්‌කු අස්‌සට නගරයේ පේළි ගෙවල් වලට පාතාලයට අවර ලෝකය ආදී තැන්වලට සමාජගත වෙද්දී මෙම කියමනෙහි අර්ථය මනාව වැටහෙන්නට විය. එය වඩාත් තීව්‍ර වූයේ මත් නිවාරණ සහ උපදේශන කටයුතු සඳහා සුබසාධන නිලධාරියකු වශයෙන් බන්ධනාගාර තුළට යද්දී එහි ඇති කාන්තා වාට්‌ටුවල සිටින කුඩා දරුවන් සහ ඔවුන්ගේ හැසිරීම් රටාවන් දකිද්දීය.

අම්මත් එක්‌ක දරුවාත් හිරේ යන අවස්‌ථා අප රටේ ඇති බව බොහෝ අය නොදනිති සමහරවිට එසේ වන බව දැනගන්නට උවමනාවක්‌ ද නොවෙති. සමහරු දැනගත්තත් උන්ට ඒවායේ වගක්‌ නැත. නොදන්නා සේ ඇස්‌ කන් වසාගෙන සිටිති.

"හිරගෙවල් යනු අපරාධ උගන්වන පාසල්ය" කියා ප්‍රකට කියමනක්‌ අපරාධ සහ සමාජ විද්‍යාවෙහි පවතී. යමක්‌ හිතන්නට පුලූවන් අයෙක්‌ බන්ධනාගාරගත වූ කලී උන්ගෙන් බහුතරයක්‌ දෙනා යලි ඉන් එළිsයට එද්දී එන්නේ තව බොහෝ වැරදි හෝ ජඩකම් ආදිය ඇතුළිsන් ඉගෙනගෙන නම් කුඩා දරුවන් බන්ධනාගාරගතවූ කල්හි එහි සිටින රැඳවියන්ගෙන් ඉගෙන ගන්නා අවර ගනයේ පාඩම් ගැන තව මොන කතාද?

රසිකාගේ ජීවන වෘත්තිය ඩේලි කලෙක්‌ෂන් ක්‍රමයට මුදල් පොලියට දීමයි. ඒ සඳහා ඇයට නෛතික අවසර හෝ බලපත්‍රයක්‌ නොමැත. රසිකාගේ සැමියා කම්මැලි කාලකන්ණි නිකමෙකි. හිතවත් අයෙකුගෙන් සාමාන්‍ය පොලියට ලොකු මුදලක්‌ ඉල්ලා ගත් ඇය ගිනි පොලියට තවත් අයට පොඩි පොඩි ගණන් දවසේ පොලියට ණයට දෙයි. කෙසේ වෙතත් යම් මූල්‍ය වංචාවක්‌ නිසා ඇය සිරගත වෙයි. බන්ධනාගාරගත වෙද්දී සය මස්‌ ගැබිනියක වන ඇය තම කුළුඳුල් පුත්‍රයා වදන්නේ සිරගෙය ඇතුළේය. දක්‌ෂ නීතිඥයෙකුගේ සහාය ගෙන තමා ගැබිනියක බව පෙන්වා ඇපයක්‌ ගෙන එළියට එන්නට ඇයට නොහැකි වූයේ මුදල් නැතිකම නිසාය. එසේම අලූත උපන් පුතා රැක බලාගැනීමට එළියේ ඉන්නා කිසිම නෑදෑයෙක්‌ ඉදිරිපත් වන්නේද නැත. රසිකාට ඇති එකම උත්තරය දරුවා තමා ළඟම තියා ගැනීමයි.

රසිකා වැන්නෝ තව බොහෝය. පාතිමා දවසේ කුලියට හෙරොයින් පැකට්‌ කරන්නියකි. රමණී කුඩු ජාවාරම්කාරියකි. නීතා බස්‌ එකේ සහ කෝච්චියේ පොකට්‌ ගසයි. ආශා සහ කාන්ති වීදියේ සරණ ගණිකාවන්ය. ස්‌වර්ණා සහ චාලට්‌ අරක්‌කු විකුණු ගැහැනුන්ය. මේ සියලුදෙනා නීතියට අසුවන අතර ඇතුළට ගාල් කරද්දී තම කුස තුළ දරු ගැබක්‌ ඇති බව දන්නේ කීප දෙනෙකි. කෙසේ වෙතත් ඒ අයත් දරු ප්‍රසූති ලබා දෙන්නේ කාන්තා වාට්‌ටුව තුළ සහ එහි අධීක්‍ෂණය යටතේය. ඔවුන්ගේ දරුවන්ද දැන් දිවි ගෙවන්නේ ඔවුන් සමගම බන්ධනාගාරයේ කාන්තා වාට්‌ටුව තුළයි.

නීටා උගත් එසේම යමක්‌ කමක්‌ ඇති බැංකු නිලධාරිනියකි. නමුත් යම් මූල්‍ය වංචාවක්‌ නිසා ඇයට ද ව්‍යාපාරිකයෙකු වන ඇගේ සැමියාට ද සිරගත වන්නට සිදු වෙයි. තුන් අවුරුදු වියෑති තම දියණිය නිවසේ තනිකර දමා එන්නට ඇයට නොහැක. දරුවා බලා ගන්නටද කවුරුත් ඉදිරිපත් නොවෙයි. එහෙයින් ඇය තම සුරතල් දියණිය තමා ළඟට ගනී.

ඈත හද්දා පිටිසර ගමක විසූ සුමනා ඉඩම් පලහිලව්වක්‌ නිසා තම මස්‌සිනාට කැත්තෙන් කොටයි. මස්‌සිනා මැරෙයි. සුමනා ඇතුළට එවයි. ඇය සමග ඇගේ අට මස්‌ වියෑති බාල පුත් චතුරංග ද ඇතුළට ගෙනෙන්නට අධිකරණය අවසර දෙයි

හොරබඩු ළඟ තබාගෙන අසුවූ චිත්‍රා හෙරොයින් සහ ගංජා ජාවාරම් කළ රාණිල, සුදුඅක්‌කල, වැරනිල, මායාල, නිල්මිණිල, ෆරීඩාල, රිසානාල, මාරියම්මාල, සුගන්ධනීල, චන්ද්‍රලතාල, කුමාරිල ඔය කවුරුත් සිරගත වූ පසු නිවසේ සිටි තම දරුවන් තමා ළඟට ගන්නට කටයුතු කළේ නිවෙස්‌වල ඔවුන්ට ආරක්‍ෂාව සහ රැකවරණය මදි නිසාය.

කෙටිකාලීන සිර දඬුවම් ලබන අම්මලා එම කෙටි කාලය තුළ තම දරුවා තමා ළඟම තබාගෙන නිදහස්‌ වූ විට යළි රැගෙන ගියද දීර්ඝකාලීන සිර දඬුවම් විඳින අම්මලාට නම් තරමක අපහසුතාවන් ඇතිවෙයි. ඒ දරුවෙකු කාන්තා වාට්‌ටුවේ තබා ගත හැක්‌කේ වයස අවුරුදු පහ පිරෙන තෙක්‌ පමණක්‌ වන නිසාය. ඉන්පසු එම පුතාව හෝ දියණියව එළියට යෑවිය යුතුය. කාත් කවුරුවත් නැති හෝ එළියේ හරි ආරක්‍ෂාවක්‌ නොමැති දරුවන් මෙහිදී මුහුණ දෙන්නේ මහත් අමාරු තත්ත්වයකටයි. එවන් අවස්‌ථාවලදී බොහෝ විට පිහිටට එන්නේ පරිවාස මධ්‍යස්‌ථාන හෝ අනාථ නිවාසයි. සිරගෙවල් තුළ ඇත්තේ වේදනාව අසහනය තනිකම වෛරය ක්‍රෝධය බොරුව ප්‍රචණ්‌ඩත්වය මායාව මත් වීම සල්ලාලකම බල තණ්‌aහාව ආදී තවත් බොහෝ සෘණාත්මක අවර දේවල් බව අපි දනිමු. මෙවන් පරිසරයක්‌ තුළ හැදෙන වැඩෙන දරුවාගේ මානසිකත්වය කුමක්‌ වේදැයි එනිසා ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැති බව අපි දනිමු. තම නිවසේ මෙන් සැප සම්පත් රස මසවුළු කෑම බීම නැති වුවද, අද අප රටේ ඇති කාන්තා බන්ධනාගාරවල අම්මලා සමග දරුවන්ද රඳවා සිටින වාට්‌ටු කීපයේ පහසුකම් එතරම්ම නරක නොවේ. ඔවුන් සඳහා වෙනම වාට්‌ටුවක්‌ වෙන් කර ඇත. එහි ඇඳන් කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලිවලින් අඩුවක්‌ නැත. එම වාට්‌ටුව පිරිසිදුව තබා ගැනීමට අම්මලා හොඳින් වග බලා ගනී. ජලයෙන් සහ වැසිකිළිs පහසුකම්වලින්ද අඩුවක්‌ නැත. එහෙත් දරුවන්ට නැත්තේ නිදහස සහ සමාදානයයි, වැලිකඩ බන්ධනාගාරයේ ඇති කාන්තා අංශයේ වාට්‌ටුවලට ගොස්‌ එහි සිටින දරුවන් හමුවී ඔවුනගේ දුක සැප බලා හැකි අයුරින් ඔවුනට ඇඳුම් පැළඳුම් රසකැවිලි පලතුරු කිරි පිටි සෙල්ලම් බඩු ආදිය ලබාදී ඔවුන් සමග කාලයක්‌ ගත කිරීම මාත් මගේ බිරිඳ රේණුqකාත් දැනට වසර 13 ක කාලයක්‌ තිස්‌සේ බලධාරීන්ගේ නිසි අවසරය මත කරගෙන යමි. අප යන විට අපත් සමග තව මානුෂික හදවත් ඇති කාරුණික මිතුරු මිතුරියන් කීප දෙනෙක්‌ රැගෙන යැමටද අපි අමතක නොකරමු. පසුගිය ගමනේදී අපේ කුඩා පුත් මහීම්ද අප සමග ගිය අතර සිරගෙදර සිටින දරුවන් සමග ඔහු ඔන්චිලි පදිමින් ලිස්‌සන බෝට්‌ටුවේ යමින් සීසෝ පදිමින් ප්‍රීතිවුණුq අයුරු දකිද්දී මට සිතුණුq දේවල් දැන් මෙය කියවන ඔබට ද සිතෙනු ඇතැයි සිතමි. වසර විස්‌සකට ආසන්න කාලයක්‌ සිරකරුවන් සමග වැඩ කරන සිරකරු සුබසාධක සංගමයේ ජ්‍යෙෂ්ඨ යාවජීව සාමාජියකු වන මට මෙම සිදුවීම් එතරම් අරුම දේවල් නොවුණද අප සමග ඇතුළට යන බොහෝ මිතුරු මිතුරියන් එළිsයට පැමිණ දුක්‌ කඳුළු වගුරුවනු මම අනන්තවත් දැක ඇත්තෙමි.

සිරගෙදර ළමුන් සඳහා වෙන්වුණුq දාරකාගාරයක්‌ (ඩේ කෙයාර් සෙන්ටර් එකක්‌) ඇත. මොන්ටිසෝරියක්‌ හෙවත් ළදරු පාසලක්‌ ඇත. ක්‍රීඩා කරනු පිණිස ඔන්චිලි සීසෝ සහිත කුඩා උද්‍යානයක්‌ ඇත. ළමුන් හොඳින් බලා ගැනීමට ඉගැන්වීමට පෙර පාසල් ගුරුවරියක්‌ සහ දාරකාගාර පාලිකාවන් සිටී. සාමාන්‍යයෙන් කාන්තා අංශයේ සිටින දරුවන් සහ මවුවරුන්ගේ දේ අධීක්‍ෂණය කරනු පිණිස සේවයට අනුයුක්‌ත කරන බන්ධනාගාර නිලධාරිනියන් සහ සුබසාධක මහත්මියන් තෙත් වන හදවතක්‌ ඇති කාරුණික අය බව මම අත්දැකීමෙන් දැක ඇත්තෙමි. ඉතා යොවුන් වියේදීම බන්ධනාගාර සේවයට ආ සුරංගි සහ සුමුදු යන තරුණියන් ඒ සඳහා උදාහරණයක්‌ ලෙස කියන්නට කැමැත්තෙමි.

වරක්‌ මා කාන්තා අංශයට ගිය දිනක එවකට සිටි ප්‍රධාන ෙ-ලර්වරිය වන කුමාරි මහත්මිය කියා සිටියේ දරුවන් කෑම කන විට කපුටන්ගෙන් කරදර බවත් ඒ සඳහා කුමක්‌ හෝ විසඳුමක්‌ ඉක්‌මනින් ලබාදිය යුතු බවත්ය. ඇය වටා කුඩා දරුවන් රොත්තක්‌ම එවෙලේ සිටි අතර ඔවුන්ද සුරතල් බසින් කියා සිටියේ කාක්‌කන් ඔවුන්ට කරදර කරන බවයි "සර් මාමේ සර් මාමේ අද උදෙත් නෝටි කාක්‌කෙක්‌ මත කොතලා මගේ පාන් කෑල්ල අලන් ගියා. ඊයේ තාමල මල්ලිගේ බත් පිඟානටත් කෙතුවා" කියා එක්‌ දරුවෙකු තොඳොල් බසින් කියූ අයුරු මට තාම මතකය. ඊට පසු සතියේම මා තව මිතුරන් කීප දෙනෙකුද සමග අප මිතුරෙකුගේ වත්තේ තිබූ පොල් ගසක්‌ කපා කඳින් කොටසක්‌ හොඳට රැස සුමුදු කොට අවශ්‍ය අනෙකුත් ලී දඬු, ලෑලි තහඩු, ඇණ සහ තීsන්ත ආදිය ද රැගෙන කාන්තා අංශයට ගොස්‌ ළමුන්ට කෑම ගැනීමට සහ අව්වෙන් ආරක්‍ෂා වීමට ලස්‌සන සමර් හට්‌ එකක්‌ තනා දුනිමු. (වැලිකඩ සිට එහි ගෙන්වා ගත් සිරකරුවන් එය ඉතා ලස්‌සනට නිම කළ අතර අප ඒ සඳහා උපදෙස්‌ දුනිමු.) වසර කීපයක්‌ම එය ඉතා හොඳට නඩත්තු කරමින් දරුවන්ට නිදහසේ කෑම කන්නට අවස්‌ථාව ලබා දුන් අතර මෑතකදී එහි ගිය මට එම හට්‌ එකේ නටබුන්වත් දැකගන්නට නොලැබුණි.

වසර පහක්‌ අම්මලා සමග සිරබත් කෑ දරුවන් ඉන් එළියට ගිය පසු කරන්නේ මොනවාද ජීවත් වෙන්නේ කෙසේද කියා පසු විපරමක්‌ කරන්නට මට සිතුණු අතර ඒ සඳහා අවස්‌ථා කීපයක්‌ම මම උදා කර ගතිමි. පරිවාස මධ්‍යස්‌ථාන, ළමා නිවාස, මඩම්, දොන් බොස්‌කෝ පාසල්, සහතික කළ පාසල්, පුනරුත්ථාපන කඳවුරු යන ස්‌ථාන 20 ක නායකයන් ගුරුවරුන් හිමිකරුවන් පූජකවරුන් වැනි අය මට හමුවූ අතර ඔවුන් දුන් පිළිතුරු වූයේ සිරගෙවල්වල කුඩා කාලය ගත කර මෙහි පැමිණි දරුවන්ගෙන් බහුතරයක්‌ තුළ විවිධ පෞරුෂයේ ප්‍රශ්න ඇති බවයි. ඒ අතර හීනමානය සමාජ භීතිකාව සමාජ විරෝධී ආකල්ප පරපීඩා ආශාව ප්‍රචණ්‌ඩත්වය ආදී දේ පවතින බවයි. එසේම මානසික රෝග චර්ම රෝග සහ ඇදුම හතිය වැනි දේද සමහරුන්ට පවතින බවයි.

තම මාමා මැරූ පලිය ගනු පිණිස පසු කලෙක ඒ මිනීමරුවාව පාලු තැනකදී වට කර කුඩා පිහි කෑලි වලින් කපා කොටා ඇඟට පෙට්‍රල් විසිකොට මරා දැමූ කුඩා මැර කොල්ලන් පිරිසක්‌ නීතියෙන් බේරීමට කැලෑබද ගම්මානයක පවත්වාගෙන යන වැලි තොටුපලක සැඟවී වැලි ගොඩදාන්නන්ට සහාය දෙමින් ජීවත්වන බව මට ආරංචි වූ කල මම දිනක්‌ ඔවුන් සොයා එම භයංකර වැලි තොටුපලට ගියෙමි. ජංගම දුරකථනයක්‌ උගස්‌ තියන්නට ආ අයෙකුගේ වේශයෙන් එතැනට ගිය මට ස්‌වල්ප වේලාවකින්ම එම යෞවනයන් දැක ගැනීමටත් උන් සමග මිතුරු වීමටත් අවස්‌ථාව උදා විය. ඒ ළමා මැර කණ්‌ඩායමේ සිටි සාමාජිකයන් පස්‌ දෙනාගෙන් තිදෙනෙක්‌ම කුඩා කල තම අම්මා සමග සිරගෙදර වසර දෙක තුන ගත කළ අයයි. ඉන් එක්‌ අයෙකුට කුඩා දැරිවියක්‌ දූෂණය කළ බවට නඩුවක්‌ද පවතී. ඔහු මා සමග බෙදා ගත් ඔහුගේ සමහර ජීවිත අත්දැකීම් තාමත් මෙසේ මගේ දෙකනේ රැව් පිළිරැව් දෙයි.

අම්ම වැරදි කරල හිරේ ගියාට මං හිරේ ඉඳල තියෙන්නෙ නිවැරැද්දෙ මට ගොඩක්‌ දේවල් නම් මතක නැහැ. ඒත් හිරගෙදර හිටපු නපුරු නැන්දල මට ටොකු අනින හැටි කැත විහිළු කරපු හැටි එකපාරටම මැවිල වගේ පේනවා. වාට්‌ටුවෙන් එන බීඩි දුම කාණුq ගඳ මට තාම නහයට දැනෙනවා. මම හිරගෙදරින් ආවට පස්‌සේ ඉස්‌කෝලේ ගියෙ මග්ගොන බොස්‌කො එකටයි. ඊට පස්‌සෙ මාව පරිවාසෙන් වෙන ඉස්‌කෝලෙකට දැම්මා එතැන සමහර අය මාව ඇඳින්නුවෙ හිර ගෙදර ඉපදිච්චි කොල්ලා කියලයි. කෙල්ලො මා ගාවට ආවෙම නැහැ. මාව ඒ ගොල්ලො පිළිsකුල් කළ බව මට දැනුණා. මං උන්ට වෛර කළා අපේ තාත්තත් හිරේ හිටියා. තාත්තා, අම්ම දැන් කොහෙද දන්නෑ මං ආස ගෑනු නැති ලෝකෙකට මට උන් පේන්න බැහැ.

හිරගෙදර නිලධාරිනියන් සහ නේවාසික සිරකාරියන් බහුතරයක්‌ ළමුන්ට ආදරය කරන උන්ට සෙනෙහසින් සලකන අය බව අපි දනිමු. නමුත් ඒ අතර නරුම ගති ඇති යක්‌ෂණියන් කීප දෙනෙක්‌ද නැත්තේ නොවේ. ඔවුන්ගේ තිරිසන් ආසාවන් කුඩා දරුවන් තුළිsන් ඉටු කර ගන්නා අවස්‌ථාවන් ගැනද අපි අසා ඇත්තෙමු.

සචිනි යනු මල් කැකුළක්‌ වැනි 13 වියෑති දැරියකි. ඇය මට කලකට පසු මෙවර මුණගැසෙන්නේ අන්තර් පාඨශාලා චෙස්‌ තරගයක්‌ නිරීක්‍ෂණය කරන්නට මා ගිය අවස්‌ථාවකදීය. තවත් ඇගේ වයසේම පාසල් සිසුවියක්‌ සමග බොහෝ සැහැල්ලුව දැඩි විශ්වසනීයත්වයෙන් යුතුව චෙස්‌ තරග වටයකට වාඩිවී සිටි සචිනිව මම එක්‌වරම අඳුනා ගත් අතර ඇය ද මා අඳුනා ගත්තාය. තරගය අවසන් වූ කල්හි මා වෙත දිව ආ ඇය මා ඉදිරියේ වැටී මගේ දෙපා ස්‌පර්ශ කර දෑත් එක්‌කොට මට වැඳ මෙසේ කියා සිටියාය.

"සර් මාව මතකයි නේද? මම දෙදාස්‌ හතේ වැලිකඩෙන් එළියට ආවා. අම්මා තාම හිරගෙදර... ශිරන්ති මැඩම් මාව මේ හොඳ ඉස්‌කෝලෙට දැම්මා. ෙ-ලර් නෝනලයි සුබසාධක මිස්‌ලයි මට ගොඩක්‌ උදව් කළා. සර්ල දීපු උපදෙස්‌ මට තාම මතකයි. මම හැමදාම දැන් පන්තියේ පළමුවැනියා. ඉන්නෙ හොස්‌ටල් එකේ. අපේ මිස්‌ලයි ළමයිනුයි ගොඩක්‌ අය දන්නවා, මම හිරේ ඉපදිලා අවුරුදු පහක්‌ හිරගෙදර බත් කාපු ළමයෙක්‌ කියල. සමහරුන්ට ඒක ප්‍රශ්නයක්‌. මුල් කාලෙ සමහරු මට ඒක කිය කිය විහිළු කළා. නමුත් ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක්‌ වුණාට මට ප්‍රශ්නයක්‌ නෙමෙයි. මොකෝ අම්ම වැරදි කළාට මම වැරදිකාරයෙක්‌ නෙමෙයිනේ. මම ස්‌ථිරවම වෛද්‍ය විද්‍යාලයට යනවා. ඩොක්‌ටර් කෙනෙක්‌ වෙනව. මගේ ආසාව මගේ නිවාඩු වෙලාවට හිරගෙදරට ගිහින් ඒකේ ඉන්න මාමලටයි නැන්දලටයි අපි වගේ පොඩි අයටයි නොමිලේ බෙහෙත් දෙන්නයි. උපදෙස්‌ දෙන්නයි.

පෞරුෂය අරමුණ සහ ජිවිත දර්ශනය පිළිබඳ තරුණ තරුණියන්ට දේශනා පවත්වද්දී සචිනිගේ කතාව උදාහරණ ලෙස ගන්නට මා තීරණය කළේ එදා ඇය මට ඉගැන්වූ අගනා පාඩම නිසාය.

සචිනි කෘතවේදීව සිහිකල ශිරන්ති මැඩම් යනු මහින්ද රාජපක්‍ෂ මහත්මියයි. ඇය එකල අප සුබසාධක සංගමය සමග එක්‌ව බන්ධනාගාර තුළ බොහෝ අගනා දේවල් කළාය. ඇය සමග එකල බොහෝ කුලුපගව සිටි වත්මන් µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකාගේ බිරිඳ අනෝමා ෙµdන්සේකා මහත්මියත් රාජපක්‌ෂ මහත්මිය සමග නත්තල් උත්සවයක්‌ සඳහා වැලිකඩ කාන්තා අංශයට පැමිණියා මට මතකය. ඒ මා ඔවුන් දෙදෙනා එකට සිටිනවා අවසන් වරට දුටු අවස්‌ථාවයි.

මෙය කියවන පාඨකයාගේ දෙනෙතට කඳුළු උනවන කාන්තාවන්ගේ හද කම්පාවට පත් කරවන තවත් බොහෝ දේ මෙම ලිපිය තුළින් මට ලියන්නට පුළුවන. නමුත් මගේ අරමුණ එය නොවේ. කොතෙක්‌ කඳුලු සැලුන ද හද කම්පා වුවද චණ්‌aඩ මාරුතයට පවා නොසෙල්වෙන මහාමේරු පර්වතය වැනි නොසෙල්වෙන පසුම්බි සහ බැංකු ගිණුම් මේ ළමුන් වෙනුවෙන් සෙලවීමද මගේ අරමුණ නොවේ. මට අවශ්‍ය වන්නේ මෙවන් පිරිසක්‌ අද සමාජයේ ඇත්තටම ජීවත් වන බවත් ඔවුන්ගේ අනාගතය ඉතා අවිනිශ්චිත බවත් ඔබ හමුවේ කියා සිටීම පමණි ඉතිරිය තීරණය කිරීමේ අයිතිය ඔබ සතුය.

මෙයට වසර දහයකට පමණ පෙර මවිසින් දිවයින නිම්නයට ලියන ලද සිරගත වූ දරුවන් පිළිබඳ ලිපියටත් මෙම හෙඩිමම ( මාතෘකාව) යොදා තිබූ අතර ඒ අගනා හෙඩිම නිර්මාණය කල මා සහෘද ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීන ලේඛක "දොඩං මහත්තයා,හෙවත් චන්ද්‍රසිරි දොඩංගොඩයන් කෘතවේදීව සිහි කරමි.)

මිත්‍ර ශ්‍රී කරුණානායක
mithrar®renuka@yahoo.com

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.