කාටුන් බලන්න රූපවාහිනියක්‌
සොරකම් කළ දරු දෙදෙනා

මේ කතා පුවත ඔබට කියන්නේ ඔබේ කුතුහලය වඩවනු පිණිස නොවේ. ඔබ තුළ සංත්‍රාසය දනවනු පිණිස නොවේ. මෙය එවැනි කතාවක්‌ නොවේ. ඔබ ජීවත් වන හාත්පස සමාජය හඳුනා ගනු පිණිස ඉඟියක්‌ සපයන අටියෙන් මෙම සටහන ලියන්නෙමි.

අප සියලු සම්පතින් ආඪ්‍ය වූ රටකි. එසේ කීම විහිළුවක්‌ නොවේ. අවශ්‍ය ඕනෑ වර්ගයක කෑම් බීම් තිබේ. හොඳ ආප්පයක්‌ කෑමට කොළඹ ආකේඩියා සංකීර්ණයේ ආපන ශාලාවට ගිය විට රු. 200 කට ආප්පයක්‌ කෑ හැක. ආප්පය එසේ නම් සෙසු කෑම ගැන කවරක්‌ කතා ද? ලොව ඉහළතම යාන වාහන දැන් අපේ රටේ තිබේ. ඒවායේ හිමිකරුවෝ ශ්‍රී ලාංකිකයන්ය. ඔවුන්ගේ බොහෝ දරුවන් සිටින්නේ ඇමරිකාවේ එංගලන්තයේ හෝ ඕස්‌ටේ්‍රලියාවේය. ඔවුහු කොතරම් දුර සිටිය ද ඔවුන් හා ඇසුරු සැණින් සම්බන්ධ වී මුහුණට මුහුණ බලා ගෙන කතා බහ කරන්නට ස්‌කයිප් තාක්‍ෂණය තිබේ. හෙම්බිරිස්‌සාවක්‌ වුවද නැවතීමට සුඛෝපභෝගී රෝහල් තිබේ. වැඩිම වුණොත් දිනක බිල රු. 50,000 ක්‌ පමණ වනු ඇත. ප්‍රතිකාර ඉතා සැප පහසුය.

මේ දැක්‌වූයේ අද අපේ රටේ වර්තමාන සමාජ හරස්‌ කඩෙන් ඉතාම කුඩා තීරුවක්‌ පමණි. එහෙත් අත මිට යහමින් ඇත්නම් ආකේඩියා එකෙන් රු. දෙසීයේ ආප්ප කෑමේ වරද කුමක්‌දැයි කෙනකු ප්‍රශ්න කරනු ඇත.

මේ කතා පුවත ඔබට කිව යුත්තේ ඒ ප්‍රශ්නයට පිළිතුරක්‌ සොයා ගනු පිණිසය.

වලපනේ රිකිල්ලගස්‌කඩ ගමේ දිළිඳු පැලක කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක්‌ ජීවත් වෙති. වැඩිමලාගේ වයස අවු. 15 කි. දෙවැන්නාගේ වයස අවු. 10 කි. මේ දරු දෙදෙනාගේ පියා එම පවුල අතහැර ගොස්‌ය. ඒ දරු දෙදෙනාගේ මව වැඩ කරන්නේ මහනුවර රෝහලේය. ඒ ද රෝහල පිරිසිදු කරන කම්කරු සේවිකාවක්‌ වශයෙනි. ඇය දරුවන් බලන්නට ගෙදරට එන්නේ සතියකට හමාරකට වරක්‌ පමණි.

මෙය නිවසක්‌ යෑයි නම් කෙරුණද එම නිවසට ඇත්තේ එක්‌ කාමරයක්‌ සහ කුස්‌සි කෑල්ලක්‌ පමණි. නිවස ඉතා දුගී වුවද විදුලිය තිබේ.

මේ දරුවන් හැදුණේa නිදැල්ලේය. මවක්‌ නැත. පියෙක්‌ නැත. ඔවුන් දෙදෙනා අසල්වැසියන්ගේ කුලී වැඩවලට ගියහ. ඒ ජීවත්වන්නට මගක්‌ නැති හෙයිනි. පාසල් යා යුතු වයසේ සිටියද ඔවුන් පාසල් යැමක්‌ කළේ නැත.

ඔවුන් දෙදෙනාගේ සම වයසේ දරුවන්ගේ නිවෙස්‌වල රූපවාහිනී යන්ත්‍ර තිබිණි. ඒ දරුවන් විසිත්ත කාමරවල පුටුවල දිගෑදී කාටුන් නැරඹූහ. මේ අනාථ දරු දෙදෙනා එහෙන් මෙහෙන් දුටු කාටුන් වැඩසටහන්වලට වහ වැටී සිටියහ. එහෙත් අනුන්ගේ නිවෙස්‌වලට ගොස්‌ සිත්සේ කාටුන් නැරඹීමට ඔවුන්ට අවස්‌ථාව ලැබුණේ නැත.

කාටුන් යනු දරුවන්ට ආකර්ෂණීය වැඩසටහනකි. සිත්සේ කාටුන් නරඹන්නේ කෙසේදැයි මේ අයිය මලෝ දෙදෙනා නිරන්තරව කල්පනා කළහ. අන්තිමේදී දෙදෙනා තීරණයක්‌ ගත්හ.

දෙදෙනා එකතුව අසල්වැසි නිවසකින් රූපවාහිනී යන්ත්‍රයක්‌ සොරකම් කොට ගෙදර ගෙන ආහ. දුගී පැලක්‌ වුවද ඒ ගෙදරට විදුලිය තිබීම භාග්‍යයක්‌ විය.

අනතුරුව දෙදෙනා ගෙදරට තිබුණු එකම කාමරය මැද වළක්‌ කැපූහ. කාටුන් යන වේලාවට රූපවාහිනිය නැරඹූ සහෝදරයන් දෙදෙනා ඉන්පසු රූපවාහිනී යන්ත්‍රය අර වළට දමා කාඩ්බෝඩ්වලින් වසා දමා සොරකම වසා ගත්හ.

තම රූපවාහිනිය කිසිවකු සොරාගෙන ගොස්‌ ඇතැයි එහි නිවැසියෝ පොලිසියට පැමිණිලි කළහ. එය නිවැසියන්ගේ වරදක්‌ නොවේ. ස්‌වල්ප දිනක්‌ යනවිට දරු දෙදෙනාගේ නිවසේ රූපවාහිනියක්‌ ක්‍රියාත්මක වන බව ගම්මුන්ගේ නිරීක්‍ෂණයට හසු විය.

පොලිසිය පැමිණි විට දක්‌නට ලැබුණේ වැරහැලි හැඳගත් බාලවියේ දරුවන් දෙදෙනෙකි. අනුකම්පා සහගතවූ හඟුරන්කෙත පොලිස්‌ නිලධාරීහු ළමුන් පොලිසියට ගෙන ගොස්‌ පළමුව නෑ වූහ. හඳින්නට අලුත් ඇඳුම් ද දුන්නාහ. අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළේ සොරකමෙහි යෙදුණු චෝදනාව පිටය. චෝදනාව විභාග කරනතුරු ළමුන් දෙදෙනා ගම්පොළ ළමා නිවාසයක පරිවාස භාරයට පත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග දී තිබේ. දැන් ඒ ළමුන් දෙදෙනා ගම්පොළ ළමා නිවාසයකට කොටුවී සිටී.

දැන් ආකේඩියා එකේ රුපියල් දෙසීයේ ආප්පය සහ මේ ළමුන් දෙදෙනාගේ රූපවාහිනී සොරකමෙහි ඇති සම්බන්ධතාවය කුමක්‌දැයි ඔබ විමසනු ඇත.

සමාජ අසාධාරණය යන්න කෙබඳු එකක්‌ දැයි අවබෝධ කර ගන්නට මේ සිදුවීම අපට අවස්‌ථාව සලසා දෙයි. එක්‌ අයෙකුට රුපියල් දෙසීයක්‌ දී ආප්ප කන්නට හැකියාව තිබෙද්දී පාසලේ තීන්ත ගෑමට පොල් ගෙඩි අටක්‌ සොරකම් කරන්නට සිසුවියකට සිදුවීමත් අතර ඇත්තේ ධනය සාධාරණ ලෙස බෙදී නොයැම බව සමාජවාදී තර්කනයයි.

ලෝක නායකයෝ මේ සමාජවාදය අත්හදා බලා තිබේ. නමුත් සෑමදෙනාම එක සමාන පොහොසත්තු කිරීම සාර්ථක වූයේ නැත. එහෙත් අපට කළ හැකි දෙයක්‌ තිබේ.

ජීවත් වීමට ඉහටත්a උඩින් තිබියදී අපි තව තවත් පොදි ගසන්නෙමු. නවතම මාදිලියේ රූපවාහිනි යන්ත්‍රයක්‌ මිලදී ගත් පසු පරණ රූපවාහිනි යන්ත්‍රය ගෙයි මේසයක්‌ යට දමා තිබෙන නිවෙස්‌ මම බොහෝ විට දැක ඇත්තෙමි. ගෙදර දරුවන් හතර දෙනාගේ කාමර හතරටම රූපවාහිනී යන්ත්‍ර සවි කර තිබෙන ගෙවල් බොහෝ ඇත. අර දරුවන් දෙදෙනා කාටුන් බැලීමට රූපවාහිනී යන්ත්‍රයක්‌ සොරකම් කළේ මෙවැනි වටපිටාවක්‌ තිබෙන සමාජයකය.

ඔවුන් ද සමාජයේ සෙසු ළමුන් මෙන්ම ආශාවලින් යුතු අය නොවෙත්ද?

අනෙක්‌ අතට බුදු දහමේ හැටියට දීම ආනිශංසයකි. එය ආනිශංසයකට සිත පහන් කරවා ගත හැකි කටයුත්තකි. ඔබේ නිවසේ මේසය යට දමා තිබෙන වැඩිපුර රූපවාහිනිය අර දරු දෙදෙනාට දන් දිය හැකි නම් ඔබේ කාමරය බරකින් නිදහස්‌ වනවාටත් වඩා ඔබේ සිත නිදහස්‌ වනු ඇත. එය සමාන වන්නේ ඔබේ ඇසකින් තවත් මිනිසකු ලෝකය දකින විට ලැබෙන අප්‍රමාණ සතුටටය.

එහෙත් පරිත්‍යාගය ලෙහෙසි නොවේ. අත්හැරීම යනු පරිත්‍යාගයට තවත් නමකි. කෙතරම් බණ ඇසුවද අපි අත් හැරීමට මැළි වන්නෙමු. ඇත්තය. ගෙදර ප්‍රියයන්, බඩු භාණ්‌ඩ යාන වාහන මේ දේපළ සහිත ගෘහය අත්හැර ජීවත් විය නොහැක. එසේ නම් ශ්‍රමණ ජීවිතයකට හෝ අනගාරික ජීවිතයකට යා යුතුය. නමුත් වැඩිපුර දෑ අත්හැරිය හැක. රූපවාහිනී යන්ත්‍ර දෙකක්‌ කුමටද එක්‌ක තිබුණම මදිද?

පරිත්‍යාගය ගැන කියන විට තවත් අතුරු කතාවක්‌ මෙහි බහා ලන්නට සිදුවේ. තරමක්‌ දුෂ්කර ප්‍රදේශයක පිටිසර වසමක සේවය කරන ග්‍රාමසේවා නිලධාරී ඥති දියණියක්‌ මගෙන් ඉල්ලීමක්‌ කළාය.

"අපේ වසමෙ දුප්පත් ළමයි තුන් හතර දෙනෙක්‌ ඇවිත් ඉස්‌කෝලෙ යන්න පොත්පත්, පෑන්, පැන්සල්, ටිකක්‌ මගෙන් ඉල්ලුවා. බාප්පට පුළුවන්ද බාප්පගෙ සල්ලි තියෙන යාළුවන්ට කියල මේ දුප්පත් ළමුන්ට පිහිටක්‌ වෙන්න."

ඥති දියණිය මගෙන් ඒ ඉල්ලීම කළේ නිවසක්‌ සෑදීමට විශාල බැංකු ණයක්‌ ලබාගෙන ඇති බැවින් ඇයට ලැබුණේ කුඩා වැටුපක්‌ හෙයිනි.

මම මගේ බැංකු මිත්‍රයකුට මේ කාරණය ඉදිරිපත් කළෙමි. බැංකු සේවකයන් වනාහී හොඳ වැටුප් ලබන්නෝ වෙති. මිත්‍රයා කීවේ එය සිම්පල් වැඩක්‌ බවය. එහෙත් මේ සිම්පල් කාර්යයට රු. 1000 ක්‌ දෙන්නට තරම් නිර්ලෝභී සිතැති බැංකු යහළුවන් කිහිපදෙනෙක්‌ ඔහුට සොයාගත නොහැකි විය.

අනතුරුව මම මේ ඉල්ලීම නිවැරැදි හා සාධාරණ එකක්‌ බවට එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තමිය මගින් සහතික කොට ගත් ලිපියක්‌ වෙනත් බැංකු ශාඛාවකට ඉදිරිපත් කළෙමි. එම බැංකු කළමනාකරු එම ලිපිය සිය මේසයේ පැත්තකින් තබා දැන් බොහෝ කල්ය.

බොහෝ බැංකු ශාඛාවල සුබසාධක සංගම් තිබේ. ඒවායේ මුදල් තිබේ. මේ දුගී ළමුන්ට පොත්පත් ටිකක්‌ බෑගයක්‌ වතුර බෝතල් තුන හතරක්‌ දීම ඔවුන්ට සුළු දෙයකි. එහෙත් එය කෙරුණේ නැත.

රටේ සාමාන්‍ය තත්ත්වය එයයි. අපට පන්සල් ගොස්‌ බුදුන් වැඳ නිවන් යා හැක. ඒ යන ගමනේදීම දුගියකුට පිහිට වීමෙන් නිවනට යන පාර කෙටි කරගන්නට පුළුවන.

සැමට ආකේඩියා ආප්ප කන්නට පොදු සමාජයක්‌ එනතුරු බලා සිටිය නොහැක. එය මෝඩකමකි.

මා කියෑවූ හින්දි නවකතාවක උපුටනයකින් මේ සටහන අවසන් කරන්නට කැමැත්තෙමි.

තරුණයෝ දෙදෙනෙක්‌ නගරය මැදින් ගමන් කරමින් සිටියහ. එකෙක්‌ සමාජවාදය අදහන්නෙකි. මහ මග යාචකයෙක්‌ බඩගින්නට කන්න මොකුත් දෙන්නැයි හඬමින් සිටියේය. දෙදෙනා ඔහු ළඟ නතර වූහ.

"මෙයාගෙ විතරක්‌ නෙමෙයි. සමස්‌ත සමාජෙම බඩගින්න නතර කරන්නයි අපි සටන් කරන්නේ.

සමාජවාදී තරුණයා කීවේය.

"ඔයාගෙ අදහස උත්තරීතරයි. නමුත් මේ මිනිහ දැන් අඬන්නෙ බඩගින්නෙ. ඒ හින්ද මේ වේළෙටවත් අපි එයාගෙ බඩගින්න නිවමු....

අනෙක්‌ තරුණයා සිය ගමන් මල්ලෙහි තබාගෙන සිsටි බත් මුල යාචකයාට දුන්නේය.

චන්ද්‍රසිරි දොඩංගොඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.