ට්‍රැක්‌ටර් හතළිහක්‌ තම
බඩ උඩින් යෑවූ කරාටේ සූරයා

පෙර රජ දවසද සිරිලක රජරට යෝධයන් විසූ බවට ප්‍රකටය. නූතනයේද විවිධ හපන්කම් හෙවත් යෝධ වැඩ කරන පුද්ගලයන් පිළිබඳව අපට නොයෙක්‌ විට අසන්නට ලැබේ. රජරට බිමේ ඈත දුෂ්කර ගම්මානයක්‌ වන පොළොන්නරු ශාන්තිපුර වෙසෙන විසිහත් හැවිරිදි තරුණයෙකු වන කේ එල්. පියුම් ලක්‌මාල් සිය සිරුරේ ශක්‌තිමත් බව උපයෝගී කර ගනිමින් පසුගියදා යෝධ වැඩක්‌ කර පෙන්නුවේය. ඒ රෝද හතරේ ට්‍රැක්‌ටර් හතළිහක්‌ තම ශරීරයේ උදරය මතින් ධාවනය කරවීමට සැලැස්‌වීමයි. දෙනෝදාහක්‌ ජනයා ඉදිරිපිට පොලොන්නරුව, ශාන්තිපුර, ශාන්ති මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පියුම් ලක්‌මාල් තරුණයා ට්‍රැක්‌ටර් හතළිහම තම සිරුර මතින් ධාවනය කරවීමට විනාඩි 19 යි තත්පර 54 ක්‌ වැනි කෙටි කාලයක්‌ ගතවීමද තවත් විශේෂත්වයකි.

රෝද හතරේ ට්‍රැක්‌ටර් හතළිහක්‌ මෙතරම් කෙටි කාල සීමාවක්‌ ඇතුළත තම සිරුරේ උදරය මතින් ධාවනය කරවීමට සැලැස්‌වීමේ ත්‍රාසජනක සංදර්ශනයක්‌ ඉදිරිපත් කරනු ලැබූයේ එමගින් ලෝක වාර්තාවක්‌ පිහිටුවීමේ අනාගත බලාපොරොත්තුවක්‌ සමඟින් බව පියුම් ලක්‌මාල් පැවැසීය. මෙය ඒ සඳහා පෙරහුරුවක්‌ බවද ඔහු කීය.

දැනට ලෝකයේ සිටින ළාබාලතම ශක්‌ති වන්තයන් දහ දෙනා අතරට එක්‌වීම සඳහා ගීනස්‌ වාර්තාවක්‌ පිහිටුවීම තමන්ගේ අරමුණ බවද ඔහු පැවැසීය.

කරාටේ සහ බොක්‌සිං යන ක්‍රීඩාවන්හි නිරතව සිටින ක්‍රීඩකයෙකු වන පියුම් ලක්‌මාල් මෙලෙස බර දරා සිටීමේ හැකියාවන් ප්‍රගුණ කර ඇත්තේ එම ක්‍රීඩා පුහුණුවීම් තුළිනි.

සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනියා පියුම් ලක්‌මාල්ය. ඔහු ක්‍රීඩා කටයුතු කෙරෙහි උනන්දුවක්‌ මෙන්ම දක්‍ෂතා දක්‌වා ඇත්තේද පොළොන්නරුව ශාන්ති මහා විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබන අවධියේ පටන්ය. සිය සුන්දර ළමා විය පිළිබඳවත් ක්‍රීඩා කටයුතුවලට යොමුවීම සම්බන්ධයෙන් ලක්‌මාල් සිය හඬ අවදි කළේ මෙසේය.

අපි පුංචිකාලේ යාළුවොත් එක්‌ක සෙල්ලම් කළේ වෙල් ඉපනැල්ලේ. ඉක්‌කෝලෙ යනකොටත් ක්‍රීඩාවට උනන්දුවයි. ඒ වගේම දක්‍ෂයි. දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ පළාත් මට්‌ටමේ පාසල් ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණ අත්කර ගෙන තිබෙනවා. මට මුලින්ම කරාටේ ක්‍රීඩාවට යොමු වුණේ අපේ ශාන්තිපුර ගමේම ජීවත් වුණු කරාටේ පුහුණුකරුවෙකු වන සේනක බණ්‌ඩාර කියන මහත්මයා නිසයි. එතුමා තමයි කරාටේ ක්‍රීඩාවේ මගේ මුල්ම ගුරුවරයා. දැනට අවුරුදු එකහමාරකට විතර කලින් එතුමා අපෙන් සමුගත්තා, රෝගාබාධයකින්. දෙදාස්‌ නවයේ (2009) අවුරුද්දේ ෂිඩෝඛාන් කරාටේ තරගාවලියේ තදින් පහරදීමේ ඉසව්වේ ජාතික ශූරතාවය දිනා ගත්තේ මමයි. ඒ වගේම දෙදාස්‌ එකොළහ අවුරුද්දේ ඒ තරගාවලියේ දෙවන ස්‌ථානය හිමිකර ගත්තා. මම කල්පනා කළා රෝද හතරේ ට්‍රැක්‌ටර් වැඩි ප්‍රමාණයක්‌ මගේ ශරීරයේ උදරය මතින් ධාවනය කරවලා ලෝක වාර්තාවක්‌ පිහිටුවන්නට ඕනය කියලා. මගේ බලාපොරොත්තුව රෝද හතරේ ට්‍රැක්‌ටර් පනහක්‌ විනාඩි 30-40 ක්‌ වැනි කෙටි කාලයක්‌ ශරීරය මතින් ධාවනය කරවලා ලෝක වාර්තාවක්‌ තැබීමයි. ට්‍රැක්‌ටර් හතළිහක්‌ විනාඩි විස්‌සකටත් අඩු කාලයක්‌ තුළ ශරීරය මතින් ධාවනය කරවීමේ අත්දැකීම තුළින් මට ලොකු විශ්වාසයක්‌ තිබෙනවා ට්‍රැක්‌ටර් පණහක්‌ ශරීරිය මතින් ධාවනය කරවීමේ බර දරාගෙන ඉඳලා දැනට ලෝකයේ සිටින ළාබාලතම ශක්‌ති වන්තයන් දහ දෙන අතරට එක්‌වීමට ගීනස්‌ වාර්තාවක්‌ තබන්න පුළුවන් වෙයි කියලා. මට මේ කටයුත්ත තනියෙන් කරන්න. පුළුවන් දෙයක්‌ නොවෙයි. මගේ ඇඟේ හයිය තිබුණාට හිතේ හයිය තිබුණට ඒ ලෝක වාර්තාව පිහිටුවීම සඳහා මට බොහෝ දෙනෙකුගේ සහාය අවශ්‍යයි. විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපේ පොළොන්නරුවෙ කෙනෙක්‌ නිසා මම විශ්වාස කරනවා මේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්, අදාළ රාජ්‍ය ආයතනවල සහයෝගය ලබලා දෙයි කියලා. ඇත්තෙන්ම කිව්වොත් මම දන්නේ නෑ ලෝක වාර්තාවක්‌ පිහිටුවීම සඳහා කොහොමද යොමු වෙන්න ඕන කියලා. මට ඒ වෙනුවෙන් වියදම් කරන්න සල්ලිත් නෑ. මම මේ ක්‍රීඩා කටයුතුවලට අවශ්‍ය පුහුණුවීම් කරන කොට මගේ ගුරුවරුන්, පුහුණුකරුවන් උපදෙස්‌ දෙනවා පෝෂ්‍යදායි ආහාර වර්ග, විටමින් වර්ග ගන්න කියලා. නමුත් මට ඒවා ගන්න සල්ලි නෑ. මම අම්මා ගෙදර උයලා දෙන දෙයක්‌ කාලා තමයි පුහුණුවීම් කරන්නේ. ගොඩක්‌ වෙලාවට කන්නේ පොල් සම්බෝලයි බතුයි. යෑයිද පියුම් ලක්‌මාල් පැවැසුවේය.

රෝද හතරේ ට්‍රැක්‌ටර් හතළිහක්‌ තව සිරුරේ උදරය මතින් ධාවනය කරවන තෙක්‌ එය දරා සිටින්නට පොළොන්නරුවේ, ශාන්තිපුර පියුම් ලක්‌මාල් තරුණයාට ඇඟේ හයි හත්තිය අපූරුවට තිබෙන බව අපි දැහින් දැක්‌කෙමු. එහෙත් ඔහුගේ ජීවන බර දරා සිටින්නට තරම් ආර්ථික හයියක්‌ ලක්‌මාල්ට හෝ ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ටත් නොමැති බව ඔවුන්ගේ නිවහන වෙත ගොඩවැදුණු මොහොතේ අපට පැහැදිලි විය. එහිදී අප සමඟ කථා බහට එක්‌වූ පියුම් ලක්‌මාල්ගේ පියා වන කේ. එල්. විඡේතිලක (64) මහතාත් මව ඡේ. ජී. විමලාවතී (58) මහත්මියත් පවුලක බර ගෙන යන්නට ඔවුන් විඳින අපමණ දුක්‌ ගැහැට පිළිබඳව පැවැසූහ.

ඔවුන් මීට පෙර වාසය කොට ඇත්තේ වවුනියාව පාවක්‌කුලම ප්‍රදේශයේයි. කොටි ත්‍රස්‌තවාදි තර්ජන හේතුවෙන් ඇඳිවත පමණක්‌ ඇතිව ජීවිත ආරක්‍ෂාව සඳහා පොළොන්නරුවට පැමිණ තම සහෝදරයෙකුට අයත් ඉඩමක කොටසක දැනට වෙසෙන නිවස තනාගෙන තිබේ. එහිම කොනක පවත්වාගෙන යන කුඩා සිල්ලර කඩය පවුලක ජීවන යාත්‍රාව පැද යන්නට ඔවුන්ට රුකුල් දෙනු ලබයි. ලක්‌මාල්ගේ ක්‍රීඩා කටයුතුවල පුහුණුවීම් සඳහා අවැසිදේ ලබා දෙන්නට හෝ පෝෂ්‍යදායි ආහාර වර්ග සහ විටමින් වර්ග ලබා දෙන්නට එම දෙමාපියන්ට කුඩා සිල්ලර කඩයේ වෙළෙ¹මෙන් ලැබෙන ආදායම කිසිසේත්ම නොසෑහෙන බව අපටද පැහැදිලි වූ කාරණයකි. තමන් ක්‍රීඩා කටයුතුවලදී පළඳින පාවහන් යුගල පවා මේ වන විට අබලන්ව ඇති බවයි පියුම් ලක්‌මාල් අප සමඟ පැවසුවේ. තමන් ලෝක වාර්තාවක්‌ පිහිටුවා රටට කීර්තියක්‌ අත්කරදීමට තබා තිබෙන බලාපොරොත්තුව කිසිසේත්ම අත්නොහරික බව මෙම දිරිය තරුණයා දිගින් දිගටම අවධාරණය කළේය. ඊට අවැසි සහාය තමන්ට ලබා දෙන්නැයි සියලු දෙනා වෙතින් පියුම් ලක්‌මාල් කාරුණික ඉල්ලීමක්‌ කරයි. ඔහුගේ දුරකථන අංකය මෙසේය. (0713181343) රජරට බිමේ පුලතිසි පුරවරයෙන් බිහිව, පොල් සම්බෝලයි බතුයි කා සිය කාය ශක්‌තිය ලොවට පෙන්වා ගීනස්‌ වාර්තා තබන්නට පෙරුම් පුරන මේ දිරිය තරුණයාට යෝධ වීරිය, යෝධ ශක්‌තිය තව තවත් ලැබේවායි අපිද ප්‍රාර්ථනා කරමු.

කරුණාරත්න ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.