බම්බලපිටියේ කාන්තා ඝාතනය
තවමත් අබිරහසක්‌


අපේ රටේ අපරාධ රැල්ලක්‌ ඇතැයි පොදු මතයයි. නමුත් මේ රටේ එහෙම අපරාධ රැල්ලක්‌ නැතැයි වසරින් වසර සිදුවූ අපරාධ වර්ග කරන පොලිසිය ඒ සංඛ්‍යා උපුටා දක්‌වමින් පුවත්පත් සාකච්ඡාවලදී කියා සිටී.

පුවත්පත් කියවන මේ රටේ ප්‍රවෘත්ති නරඹන ජනතාවට නම් රටේ සිදුවන අපරාධ අසා ටික වේලාවක්‌ හුස්‌ම ගන්නටත් ඉඩ නොතබා අපරාධ අසන්නට බලන්නට සිදුව ඇත.

මේ සටහනත් එවැනි තවත් එක්‌ අපරාධයක්‌ ගැනය. බම්බලපිටිය, සාන්ත පීතර විදුහලේ සනීපාරක්‍ෂක කම්කරු සේවයේ යෙදුන චන්ද්‍රිකා සුමතිපාල නම් හතළිස්‌ පස්‌ හැවිරිදි දෙදරු මව ගැනය.

මේ මව පැහැපත්ය. හතළිස්‌ පස්‌ හැවිරිදි වුවත් ඇය පසුපසද සලෙලුන් ලුහුබැඳ ඇත.

මේ මවට ජීවත්වීමට දිවා රෑ වෙහෙසෙන්නට සිදුවූයේ කොයි කාටත් දැනෙන ආර්ථික අමාරුකම් නිසාය.

මීට වසර දහ නවයකට පෙරාතුව ඇය පිරිපුන් තුරුණු වියේ සිටියාය. එකල ඇයගේ අත ගන්නට පෙරුම් පිරූ තරුණ පිරිස අපමණය. මංගල යෝජනාද වක්‌කඩ කැඩුවා සේ ගලා ආවේ ඇය ඒ තරමටම සුන්දර යුවතියක වූ නිසාය.

නමුත් අවසානයේදී ඇයගේ සිත නතර වූයේ එන්. සිවලිංගම් නම් තරුණයා ළඟය. දෙදෙනා විවාහ වූයේ ඒ ආදරණීය බැඳීමේ අවසාන ජයපැන් නෑ හිතමිතුරන් හා බෙදා හදා ගනිමිනි.

කාලය ගෙවී ගියේ අපූරුවටය. දුක, කඳුළ, සුසුම, දුක්‌, කරදර මේ සියල්ලම අලුතින් තැනූ කුරුළු කූඩුවේ උපන් නිවුන් දරු දෙදෙනා ඉදිරියේ දෙවැනි වූයේ පවුලේ සමගිය, සතුට සතර අත පතුරවමිනි.

දැන් මේ දෙදෙනාට සිවලංගම් ජිනුෂිකා හා සිවලිංගම් දිනුෂිකා නම් වන දහඅට හැවිරිදි වියේ ලොකු දරු දෙදෙනකු සිටී.

මොන තරම් සතුටකින් ජීවත් වන්නට හැකි පරිසරයක්‌ද?

නමුත් පසුගිය සිංහල, හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ආ උත්සව සමය නිම වන්නටත් කලින් 18 වැනිදා මේ අපේ කතාවේ කතා නායිකාව වන චන්ද්‍රිකා, ඇය සේවය කළ බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ ගබඩා කාමරයක්‌ තුළ මරාදමා තිබිණි.

මියයැමට පෙර ඇයට අතවර කර දූෂණය කර ඇතැයි ද මුලින් පොලිසියට සැක පහළ වී තිබිණි.

ඇය ඝාතනයට ලක්‌ කළේ කවුරුන්ද? කුමකටද යන්න තවමත් නොවිසුඳුන ප්‍රශ්නය පොලිසිය පැති කිහිපයක්‌ ඔස්‌සේම පරීක්‍ෂණ ආරම්භ කළේ ලැබුණ සෑම තොරතුරක්‌ම සියුම් ලෙස නිරීක්‍ෂණයට ලක්‌කරමිනි.

චන්ද්‍රිකා සිය සැමියා සමගද නිතර අඩදඹර ඇති කරගත් බව පොලිසියට දැනගන්නට ලැබිණි. පවුල් ආරවුල් විවිධාකාරය. පොලිසිය ඒ පවුල් ආරවුලට හේතුවද සෙවූයේ මෙවැනි සිද්ධියකට ඒ ප්‍රශ්නයත් ඉතා වැදගත් බැවිනි.

චන්ද්‍රිකා සමීප ඇසුරක්‌ පැවැත් වූ බව කියන අවුරුදු පනස්‌ දෙකක්‌ වයසැති පුද්ගලයකු පිළිබඳවද පොලිසියට තවත් තොරතුරක්‌ ලැබිණ.

පසුගිය 18 වැනිදා පාසලේ සේවයට ගිය චන්ද්‍රිකා ආපසු නිවසට නොපැමිණි බව කියමින් පොලිසියට පැමිණිලි කළේ ඇගේ සැමියාය.

පොලිසියට චන්ද්‍රිකාගේ අප්‍රාණික සිරුර හමුවූයේ පාසලේ ගබඩා කාමරයේ තිබියදීය.

මේ කියන චන්ද්‍රිකාගේ සමීප මිතුරා සමග එදින පෙරවරුවේ පාසලට ගිය බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ අනුව මේ ඝාතනය සම්බන්ධයෙන් ඒ සැකකාර පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව පුද්ගලික ආරක්‍ෂක අංශ නිලධාරියකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විවෘත තීන්දුවක්‌ ලබාදුන් අතර සිරුරේ කොටස්‌ රසපරීක්‍ෂක වෙත යවා ඇත.

දැන් මේ ඝාතනයත් සමග චන්ද්‍රිකාලාගේ පවුලේ සෑම රහසක්‌ම හෙළිවෙමින් තීබේ.

තරුණ දරු දෙදෙනාද මේ සිද්ධියෙන් සිත් පාරාගෙන කඳුළින් දැස පුරවාගෙන සිටින හැටි බලන්නටත් බැරිය.

දෙමාපියන් දෙවරක්‌ නොව කිහිපවරක්‌ම කල්පනා කළයුතු දෙයක්‌ තිබේ. ඒ වෙනකක්‌ නොව දරුවන් පිළිබඳවය. මොන තරම් පවුල් ප්‍රශ්න තිබුණත් නැතිබැරිකම් තිබුණත් හැඟීම් දැනීම් ඇති වුවත් දරුවන්ගේ වටිනා ජීවිත පිළිබඳ සිතා ඒ ප්‍රශ්න හැඟීම් යටපත් කරගැනීම වැඩිහිටි මව්පියවරු අදිටන් කරගත යුතුය.

චන්ද්‍රිකා මරා දැමීම පිටුපස සැබෑ සිද්ධිය හෙට අනිද්දාම පොලිසිය හෙළිකර ගන්නා බව නිසැකය.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, කොළධ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පනාමල්දෙණිය යන අයගේ උපදෙස්‌ මත බම්බලපිටිය පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කමල් පෙරේරා, අපරාධ පරීක්‍ෂක අංශයේ ස්‌ථානාධිපති අජිත් මෙත්තානන්ද ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ සිද්ධිය පිළිබඳ තවමත් පරීක්‍ෂණ සිදුකරන්නේ සැබෑ ඝාතකයා නිසැකවම හඳුනාගෙන නිසි දඬුවම් ලබාදීමටය.

කරදඬු උස්‌ වූ දරුවන් සිටින ඇතැම් මවුවරු, පියවරු දරුවන් ගැන නොසිතා නොමනා ලෙස ජීවත් වීම මත මේ ඝාතනයත් සිදුවී ඇත්නම් එය මොන තරම් සිත් වේදනාවක්‌ද?

චන්ද්‍රිකාගේ මරණය තවමත් අභිරහසකි. මේ අභිරහස්‌ ඝාතනය දෙස කිරළපන ප්‍රදේශයේ අයත්, සාන්ත පීතර විදුහලේ අයත්, විශේෂයෙන්ම සැමියා හා දරු දෙදෙනාත් විමසිල්ලෙන් බලා සිටින්නේ ඇයව ඝාතනය කළ අධමයාට ශාප කරමිනි. අපේ රටේ තුට්‌ටු දෙකේ ප්‍රශ්නවලට ඝාතනය වන අයගේ ලයිස්‌තුවට, චන්ද්‍රිකාගේ තමන් ඇතුළුවීම වාවගත නොහැකි දරු දෙදෙනාගේ නෙතින් ගලන කඳුළුවල නාමයෙන් හදින් නැගෙන කියා ගන්න බැරි වේදනාවේ නාමයෙන් සැබෑ ඝාතකයා හෙළි වනු ඇතැයි අපගේ විශ්වාසයය.

ශිරාන් රණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.