කහදූවට මරබිය ගෙනා සිංහල අලුත් අවුරුදු උළෙල

සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් රටේ සෑම ඉසව්වකම සංවිධානය කරන අවුරුදු උළෙලවල කඹ ඇදීමේ තරගය තියුණුම තරග ඉසව්වක්‌ වන්නේය. තරුණ ජවයත්, ශක්‌තියත් උරගා බලන කඹ ඇදීමේ තරගය නිමාවට පත්වන්නේ එක්‌ පිලකට ජයග්‍රහණයත් තරගවදින අනෙක්‌ කණ්‌ඩායම්වලට පරාජයත් අත්කර දෙමින්ය.

දින 365 කට වරක්‌ උදාවන අලුත් අවුරුද්ද යනු සියලු තරහ මරහ අමතක කර සතුටින්, සාමයෙන් ගත කිරීමට උදාවන දින කීපයක්‌ වීම හේතුවෙන් රටේ බොහෝ තැන්වල අවුරුදු උත්සව සංවිධානය කරන්නේ ගමක සමඟිය සහජීවනය රටට පෙන්වීම පිණිසය.

ඉකුත් 18 දා ඇල්පිටිය කහදූව මංසන්ධිය අසල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයද එම අර්ථයෙන් සංවිධානය කළ අවුරුදු උළෙලක්‌ විය. එහි අවසානය ගම්මුන් පිරිසක්‌ රෝහල්ගත කොට ප්‍රතිකාර කිරීමටත්, නිවාස හා දේපළ කීපයකට අලාභහානි සිදුවීමටත් අවසානයේ ගම් දෙකක්‌ අතර ගුටිබැට හුවමාරුවක්‌ දක්‌වා දුරදිග යැමටත් තරම් සිදුවීමක්‌ වේයෑයි එහි සංවිධායකයන් කිසි විටකත් නොසිතන්නට ඇත. එහෙත් ඉකුත් 18 දා කහදූවේ පැවැති අවුරුදු උත්සවය හේතුවෙන් ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මෙය ලියන මොහොත වන විටත් නිමාවට පත්ව නොමැති අතර මේ වන විට ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා ජංගම පොලිස්‌ මුර සේවයක්‌ ක්‍රියාත්මකය.

මේ වන විටද පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත්තේ කහදූව ගම්වැසියන්ට පහරදීමට පැමිණි මැරයන්ගෙන් දෙදෙනෙක්‌ පමණි. ප්‍රදේශවාසීන් පවසන පරිදි ඇල්පිටිය පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීමත් ප්‍රහාරය සඳහා පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාශීලී නොවීමත් හේතුවෙන් කහදූවේ වැසියන්ට මේ මොහොත පවා ජීවත්වීමට සිදුව ඇත්තේ තම තමන්ගේ නිවෙස්‌වලට වී මර බියෙනි.

සිංහල අලුත් අවුරුදු අසිරිය කහදූව ගම්මුන්ට මරබිය උපදවන ලද සිදුවීමක්‌ ලෙසින් කෙළවර වූ කථාව ආරම්භ වන්නේ කඹ ඇදීමක්‌ හේතුවෙනි. සිදුවීම පෙළගැසෙන්නේ මෙපරිද්දෙනි.

කහදූව, ගෝනලගොඩ පමණක්‌ නොව ඇල්පිටිය ප්‍රදේශයේ පවත්වන ඕනෑම අවුරුදු උළෙලක කඹ ඇදීමේ කිරුළ කලක පටන් හිස දරන්නේ ගෝනලගොඩ ප්‍රදේශයේ ජීවත්වන තරුණයන් පිරිසකි. වසර ගණනාවක්‌ තිස්‌සේ කඹ ඇදීමේ ජයග්‍රහණය ගෝනලගොඩ ගම සතුවීම ප්‍රදේශයේ බොහෝ දෙනෙක්‌ දන්නා කරුණකි. එය ඔවුන් සතු කායික ශක්‌තිය යොදා ලබාගන්නා ජයග්‍රහණයක්‌ වුවද ඔවුන් සතුව අමතර ශක්‌තීන් කීපයක්‌ද පවතින බවට ප්‍රදේශයට නොරහසකි. එම අමතර ශක්‌තීන් අතර තැනක්‌ ගන්නා මැර බලය මෙන්ම දේශපාලන හයියද ප්‍රධාන තැනක වෙති.

ඉකුත් 18 දා කහදූවට සැතපුම් කීපයක්‌ එපිටින් වූ ගෝනලගොඩ තරුණ පිරිස කහදූවේ අවුරුදු උළෙල වෙත පැමිණ ඇත්තේ ''කඹ ඇදීමේ කිරුළ'' තවදුරටත් රැක ගැනීමේ අටියෙනි. ඔවුන්ගේ තරම දන්නා කහදූව අවුරුදු උළෙල සංවිධායකයන් ගෝනලගොඩ කණ්‌ඩායම පැමිණීමත් සමඟ කඹ අදීමේ තරග නීතිරීති පවා වෙනස්‌ කරමින් තරගයට සහභාගිවීමට එක්‌ අයෙකුගෙන් රුපියල් සියයක මුදලක්‌ අය කිරීමටත්, ත්‍යාගවල වටිනාකම් වෙනස්‌ කිරීමටත් පියවරගෙන ඇත්තේ ගෝනලගොඩ කණ්‌ඩායම තරගය සඳහා සහභාගි කරවා නොගැනීමේ අරමුණෙනි.

ගැටුම ආරම්භ වන්නේ එතැනිනි. කහදූව තරග සංවිධායකයන් පවසන්නේ එයට විරෝධය පා ගෝනලගොඩ කණ්‌ඩායම පිටවී ගිය බවත් ඉන් අනතුරුව වෙනත් තරග දෙකකට සහභාගිවී එම කණ්‌ඩායමේ දෙදෙනෙක්‌ ජයග්‍රහණ අත්කරගත් බවත්ය. එලෙස ජයග්‍රහණය කළ අය තමන්ට හිමි ත්‍යාග ලබාගැනීමට යැමේදී කඹ ඇදීමේ තරග නීතිරීති සම්බන්ධව හබය යළි කතා බහට ලක්‌වී ඇත. එවේලෙහි ගෝනලගොඩින් පැමිණි පිරිසේ වූ කීප දෙනෙක්‌ කියා ඇත්තේ කඹ ඇදීමේ තරගය සඳහා කිසිදු ස්‌ථානයක ඇතුළුවීමේ ගාස්‌තු අය නොකරන බවත් කහදූවට පමණක්‌ අලුත් නීතියක්‌ පැනවීම හේතුවෙන් තමන්ට බලවත් අසාධාරණයක්‌ සිදුවූ බවත්ය. අවසානයේ බහින්බස්‌ වීමක්‌ දක්‌වා දුරදිග ගිය එම සිදුවීමෙන් අනතුරුව කහදූවෙන් පිටත්ව යන ගෝනලගොඩ සිට පැමිණි පිරිස පැය කීපයකට පසුව යතුරුපැදිවල නැගී නැවත කහදූවට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය.

සවස 4.00 ට පමණ පහළොවක විස්‌සක පමණ පිරිසක්‌ යතුරුපැදිවල නැගී කහදූවට පැමිණෙන අතර ගම්මුන් සහ ඔවුන් අතර නැවත ගැටුමක්‌ හටගන්නේ එතැන් සිටය. ගම්වාසීන් පවසන ආකාරයට එලෙස පැමිණි මැර පිරිස්‌ කුඩා දරුවන් ඇතුළු විසි දෙනකුට පමණ පහරදී පලාගොස්‌ ඇත. එලෙස පලා ගොස්‌ ඇත්තේ ඔවුන් පැමිණි යතුරුපැදියක්‌ද මහමග දමා යමින්ය. සිද්ධිය සැලවීමත් සමඟ අදාළ ස්‌ථානයට පැමිණ ඇති පොලිසිය ගැටුම මැඬපවත්වා ඇති අතර මැර පිරිස විසින් අතහැරගොස්‌ තිබූ යතුරුපැදිය පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් ගම්වාසීන්ට නිවෙස්‌ කරා යන ලෙස දැනුම් දීමෙන් අනතුරුව තාවකාලිකව තත්ත්වය සමථයකට පත්ව ඇතත් ගම්වාසීන් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ රාත්‍රි කාලයේදී නැවතත් ගැටුමක්‌ ඇතිවිය හැකි බැවින් තම ගමට පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබාදෙන ලෙසින්ය.

ඒ පිළිබඳ පොලිසිය සැලකිලිමත් නොවූ බව පවසන ගම්වැසියන් සඳහන් කර සිටින්නේ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබා දුන්නේ නම් 18 වැනිදා රාත්‍රියේ යළිත් දෙපිරිස අතර ගැටුමක්‌ හට නොගැනීමට ඉඩකඩ තිබූ බවකි.

හවස සිදුවූ ගැටුමින් අනතුරුව කහදූව අනාරක්‍ෂිත කරමින් පොලිසිය පිටව යන අතර දෙවැනි වරටද කහදූව සහ ගෝනලගොඩ දෙපිරිසක්‌ කහදූවේ දී ගැටුමක්‌ ඇති කරගෙන ඇත්තේ රාත්‍රි 8.00 ට ආසන්න වෙමින් පැවැති මොහොතකය. කහදූවට කඩා වදින 25 දෙනකුට ආසන්න මැර පිරිසක්‌ නිවෙස්‌වල විදුලිය නිවා දමන ලෙස බල කරමින් ගම්වැසියන් පිරිසකට පහර දීමත් නිවාස හා දේපළ කීපයකට හානි සිදුකරමින් ප්‍රදේශයම යුද පිටියක්‌ බවට පත්කළ බවත් කියා සිටින කහදූව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය වී ඇත්තේ තමන් සම්බන්ධව පොලිසිය නිසි මැදිහත්වීමක්‌ සිදු නොකළ බවත් දෙවැනි වරටත් මැරයන් තමන්ට ප්‍රහාර එල්ල කරන ලද්දේ එම හේතුවෙන් බවත්ය.

අවුරුදු උළෙලක්‌ සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට මැර ප්‍රහාරයකට ලක්‌වීමට හේතුවීමත් ඒ සම්බන්ධව පොලිසිය විසින් නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමත් මුල්කර ගනිමින් ඉකුත් 19 දා ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කහදූව මංසන්ධියේ දී විරෝධතාවක්‌ද පවත්වා ඇත. ඇල්පිටිය, මාපලගම මාර්ගය අවහිර කරමින් සිදුකර ඇති මෙම විරෝධයේදී ගම්වාසීන් ඉල්ලා ඇත්තේ තරාතිරම නොබලා තමන්ට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ප්‍රදේශයම භීතියට පත්කරමින් ක්‍රියාත්මක වන මැර කණ්‌ඩායම් මර්දනය කිරීම පිණිස පොලිසිය ක්‍රියා නොකරන බැවින් එයට විරෝධය පළ කිරීමත් පිණිසය. ඇල්පිටිය, පිටිගල, නාගොඩ පොලිස්‌ ස්‌ථානවලින් පොලිස්‌ කණ්‌ඩායම් පැමිණ ප්‍රදේශයේ ආරක්‍ෂාව තරකර තිබී ඇති අතර උද්ඝෝෂකයන් අතරට පැමිණි අම්බලන්ගොඩ සහකාර පොලිස්‌ අධිකාරී සමන් සිගේරා පවසා ඇත්තේ පොලිසියෙන් යම් අතපසුවීමක්‌ සිදුවී ඇති බවත් ඒ සම්බන්ධව තමන් පියවරක්‌ ගන්නා බවත් මැර කණ්‌ඩායම් අත්අඩංගුවට ගැනීම පිණිස කටයුතු කරන බවත්ය.

සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ ප්‍රකාශය අනුව පැමිණ සිටි පිරිස්‌ විරෝධය නතර කර විසිර ගොස්‌ ඇති අතර ඔවුන් මේ වන තුරු බලා සිටින්නේ තමන්ට සාධාරණයක්‌ ඉටුවන තුරුය.

මේ සම්බන්ධව අප කළ සොයා බැලීමකදී ඇල්පිටිය පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ කඹ ඇදීමේ සිද්ධියක්‌ මුල්කරගෙන දෙපාර්ශ්වයක්‌ අතර ඇතිවූ ගැටුමක්‌ පමණක්‌ බවත් කඹ ඇදීමේ ජයග්‍රාහකයන් සඳහා පිරිනැමීමට තිබූ ත්‍යාගයන් මාරු කිරීමත් හේතුවෙන් ගැටුමක්‌ හටගෙන ඇති බවත්ය.

මේ වන විට ගැටුමට අදාළ එක්‌ පාර්ශ්වයක සැකකරුවන් දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගෙන ඇති බව පවසන පොලිස්‌ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ මැර ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ උත්සවය සංවිධානය කළ සංවිධායක මණ්‌ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුගේ නිවසක්‌ සහ වෙළෙඳසලක්‌ පමණක්‌ බවත් ඒ සම්බන්ධව පරීක්‍ෂණ සිදුකරගෙන යන බවත්ය.

එහෙත් ගම්වාසීන් පවසා සිටින්නේ මීට හාත්පසින්ම වෙනස්‌ කතාවක්‌ය. තම ගමට කඩා වැදුන මැර පිරිස්‌ හේතුවෙන් කුඩා දරුවන් පවා ප්‍රහාරයට ලක්‌වූ බවත් පොලිසියේ උත්සාහය වී ඇත්තේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීම නොව ආරක්‍ෂා කිරීම බවය. දේශපාලන හයිය ලබමින් දිගින් දිගටම ප්‍රදේශයේ තම අනසක පතුරුවන ඔවුන්ව මෙල්ල කිරීමට ඇල්පිටිය පොලිසිය උත්සාහ නොගැනීම මෙවැනි ගැටුමකට මුල්වූ බව පවසන ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ ගැටුම ආරම්භයේදීම එය සමථයකට පත්කිරීමට පොලිසිය සමත්වූයේ නම් දෙවැනි වරටද මෙවැනි ගැටුමක්‌ හට ගැනීමට ඉඩක්‌ නැතිවන බවය.

මේ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක්‌ නොපවත්වන්නේ නම් තමන්ට වූ අසාධාරණය ගැන පැමිණිලි කිරීමට පොලිස්‌පතිවරයා මුණගැසීමට තමන් සූදානමින් පසුවන බව සඳහන් කර සිටින කහදූව ප්‍රදේශවාසීන් කියා සිටින්නේ පොලිසිය සිටිය යුත්තේ අපක්‍ෂපාතී තැනක බවත් දැනට ඇල්පිටිය පොලිසිය තුළ එවැන්නක්‌ දක්‌නට නැති බවත්ය.

* රුවන් ජයවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.