බිරිඳගේ නොසිඳුණු වෛරයට
නිදි යහනේම දිවි දුන් පොලිස්‌ පරීක්‍ෂක



බණ්‌ඩාරගම පොලිසියේ සේවය කළ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ රූබන් පලිහවඩන මහතා නිදි යහනේදීම ඝාතනය කළ සිද්ධිය රටේ ආන්දෝලනාත්මක සිද්ධියක්‌ බවට පත් විය. ඇතැමුන් එය විග්‍රහ කළේ පොලිස්‌ දෙපාර්තමේන්තුවටද එල්ල කළ තර්ජනයක්‌ ලෙසිනි. එම නිසා පොලිසියද මේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක්‌ දක්‌වා විවිධ පැති ඔස්‌සේ පරීක්‍ෂණ සිදු කළහ. අවසානයේ එම ඝාතනය සිදුවී සති දෙකක්‌ ඇතුළත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ නිලධාරීන්ට හැකි විය.

එලෙස උප පොලිස්‌ පරීක්‍ෂක පලිහවඩන මහතාව ඝාතනය කර ඇත්තේ ඔහුගේ බිරිඳ හා ඇගේ නැන්දා කෙනකු තවත් දෙදෙනකුගේ සහාය ලබා ගනිමිනි.

ඝාතනයට ලක්‌වූ උප පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ බිරිඳ වූ රත්නා රන්ජනී මෙලෙස සිය සැමියා ඝාතනය කර ඇත්තේ ඔහු සමඟ කාලයක සිට පැවැති විරසකයක්‌ හේතුවෙනි. පලිහවඩන මහතා අවංක, දක්‌ෂ පොලිස්‌ නිලධාරියකු වුවත් තම පවුල් ජීවිතය අසාර්ථක කරගත් පුද්ගලයෙක්‌ විය. ඔහු තම බිරිඳ, ඇයගේ පවුලේ උදවිය සමඟ සාර්ථක සම්බන්ධතාවක්‌ පවත්වාගෙන නොමැත. නිතරම පාහේ ඔහු බිරිඳ සමඟ රණ්‌ඩු සරුවල් ඇතිකරගෙන තිබේ. බිරිඳගේ දේපළ ඔහුගේ හිතුමතේට වෙනත් අය වෙත ලබාදී තිබේ. ඔහුගේ බිරිඳ දීර්ඝ කාලයක්‌ ජීවත්වී ඇත්තේ මෙවැනි තාඩන පීඩන මැදය.

මෙවැනි තත්ත්වයක්‌ උඩ රන්ජනී තම සැමියා සමඟ සිට ඇත්තේ බද්ධ වෛරයකිනි. රන්ජනීට කෙසේ හෝ වුවමනා වී ඇත්තේ තම සැමියා ඝාතනය කිරීමටයි. මේ බව ඇය අවුරුදු හැත්තෑ දෙකක්‌ පමණ වයසැති තම නැන්දා කෙනකු වන චන්ද්‍රdනි නමැති තැනැත්තියට පවසා තිබුණි. එම කාන්තාවද පසුවූයේ පලිහවඩන මහතා සමඟ අමනාපයකිනි. එම නිසා ඇය එම යෝජනාවට එකපයින් කැමැතිවී ඇත. පසුව ඔවුන් දෙදෙනා නිදි යහනේදීම පලිහවඩන මහතා ඝාතනය කිරීමට තීරණය කර තිබුණි.

මෙම ඝාතන සැලසුම තම ගොඩනැඟිල්ලකම කුකුළු මස්‌ කඩයක්‌ පවත්වාගෙන යන හිතවතෙකුට රන්ජනී පවසා ඔවුන්ගෙන් උදව් ඉල්ලා තිබුණි.ඔහුද පලිහවඩන මහතා ඝාතනය කිරීමට සහාය දීමට එකඟ වී තිබේ. ඒ අනුව ඔවුන්, මුදල් ගෙවන පොරොන්දුව මත තවත් පුද්ගලයකුව මෙම ඝාතනයට සම්බන්ධකරගෙන තිබේ.

පලිහවඩන මහතා ඝාතනය කරන දිනය හා ආකාරය ගැන මෙම සැකකරුවන් සිව්දෙනා යළිත් වරක්‌ සාකච්ඡා කර තිබිණි. ඒ අනුව පසුගිය 4 වැනිදාට එම දිනය යොදාගෙන තිබිණි. ඔවුනගේ මූලික සැලසුම වූයේ පලිහවඩන මහතාගේ ආහාරවලට නිදි පෙති දමා ඔහුව ඝාතනය කිරීමයි. මේ සියල්ල ඔවුන් ක්‍රමානුකූලව සිදු කළත් අවසානයේ නීතියේ රැහැනට ඔවුන් සිව්දෙනා කොටුවිය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෝ සිවු දෙනා පසුගිය 23 වැනිදා සවස පානදුර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. ඉන් සැකකරුවන් තිදෙනකු මැයි 7 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත්. එක්‌ සැකකරුවකුට පැය 48 ක්‌ පරීක්‍ෂණ සඳහා රැඳවුම් නියෝග ලබාදෙන බවත්, පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ බිරිඳ වූ රත්නා රන්ජනී (48), සැකකාර බිරිඳගේ ඥාති නැන්දනිය වූ පොහොද්දේවල මාරගේ චන්ද්‍රdවතී (72) කුකුළු මස්‌ කඩයේ හිමිකරු වූ සාලින්ද දාබරේ යන සැකකරුවෝ තිදෙනාය. මුදලක්‌ රැගෙන කුලියට ඝාතනය සිදුකළ බවට චෝදනා ලැබ සිටින සිව්වන සැකකරු වන ඉන්දික බස්‌නායක නමැත්තා පැය 48 ක රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලැබිණි.

ඝාතනයට ලක්‌ වූ අයගේ බිරිඳ හා ඇගේ නැන්දා මූලිකවම මෙම ඝාතනය සිදුකිරීමට සැලසුම් කරඇති අතර කුකුළු මස්‌ ව්‍යාපාරය පවත්වාගෙන ගිය පුද්ගලයාගේ සහය පැතූ බවත් ප්‍රකාශවල සටහන් වන බවද එම පොලිස්‌ නිලධාරීහු අධිකරණයට කරුණු දැක්‌වූහ. එයට අමතරව මෙය මූලිකව බිරිඳ හා නැන්දනිය කතාබහ කරගෙන කුකුළු මස්‌ කඩයේ අයිතිකාර හිතවතාගේ සහායෙන් තවත් අයෙකු ලවා මුදලක්‌ ලබාදීමේ පොරොන්දුව මත සිදුකළ ඝාතනයක්‌ බව පැහැදිලිවම පෙනී යන බවද එම නිලධාරීහු අධිකරණයට පැවසූහ.

ඝාතනයට ලක්‌ වූ උප පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ ආහාරවලට දැමීම සඳහා අසල µdමසියකින් නිදිපෙති ලබාගෙන ඇත්තේද 4 වැනි සැකකරු වූ ඝාතකයා ලෙස සැකකරන පුද්ගලයා බවත් ඔහු එම නිදිපෙති පළමුවන සැකකාරිය වන රත්නා රන්ජනීට ලබාදී ඇති බවත් ඇය එම නිදිපෙති උප පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ රාත්‍රී ආහාරයට මුසුකොට ඇති බවත් අනාවරණය වී තිබුණි. අසල ක්‍රීඩාපිටියක තිබී සොයාගන්නා ලද මන්නා පිහිය මෙම ඝාතනයට අදාළ බවට සාක්‌ෂි ඇති බව වෛද්‍ය වාර්තාවල සඳහන් වන බවත් එම නිලධාරීන් අධිකරණයට දැන්වූහ.

පළමු සැකකාරියගේ දරුවන් දෙදෙනා ඥාති නිවසක සිටින බැවින් ඔවුන්ගේ ආරක්‌ෂාව ගැන සොයා බැලිය යුතු බවත්. පළමු සැකකාරිය යම් මානසික රෝගයකින් පෙළෙන්නේද යන්න පිළිබඳව පරීක්‍ෂාවක්‌ සිදු කළ යුතු බවත් වැඩිදුරටත් නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

සියලු කාරණා සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා පළමු සැකකාරිය වන රත්නා රන්ජනී බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත නාගොඩ හෝ ජාතික රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කොට වාර්තා ලබාගන්නා ලෙසත්, දරු දෙදෙනා පරිවාස භාරයට පත්කිරීමට සුදුසු දැයි සොයා බලන ලෙසත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැන්වීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් පිළිබඳ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍ර. පො. පරීක්‍ෂක ගීතික බෝධිපක්‍ෂ, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රවීන්ද්‍ර විමලසිරි, උප පොලිස්‌ පරීක්‍ෂක මනතුංග, උප පොලිස්‌ පරීක්‍ෂක තෙල්වත්ත සහ විමර්ශන නිලධාරී රත්නවීර ඇතුළු නිලධාරීහු පිරිසක්‌ මේ පිළිබඳ විමර්ශනය සිදු කළහ.

ගයාන් සමරසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.