සීපා එපා
දේශීය ව්‍යාපාර හා රැකියා අනතුරේ

ශ්‍රී ලංකාව සියලු ආකාරවලින් පාලනය කරන්නට ඉන්දියාව කටයුතු කරමින් සිටින බවට වර්තමානයේ චෝදනා පවතී. එහි අලුත්ම තත්වය සීපා ගිවිසුමය. ලාංකේය දේශපාලන භූමිකාව තුළ උණුසුම් වන මාතෘකාවක්‌ බවට සීපා වෙළෙඳ ගිවිසුම මේ වන විට පත්වෙමින් තිබේ. මෙය ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති විස්‌තීණ ??? ආර්ථික සහයෝගිතා ගිවිසුමකි. භාණ්‌ඩ සේවා හා ආයෝජන සඳහා පුළුල්ම ඉඩ හදන ගිවිසුමක්‌ ලෙස සීපා හැඳින්විය හැක. මෙයට අදාළව පවතින සියලු ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය ඉඩ සාදා ගෙන ඉක්‌මනින්ම එය ක්‍රියාත්මක කිරීම ඉන්දියාවේ අරමුණ වී ඇත.

අප මෙයට පෙර වෙළඳ ගිවිසුම් ගණනාවක්‌ විවිධ රටවල් සමඟ අත්සන් කර ඇත. ඉන්දියාව, චීනය, පාකිස්‌තානය ඇතුළු විවිධ රටවල් සමඟ විවිධ අවස්‌ථාවල ඇති කරගත් වෙළෙඳ ගිවිසුම් කීපයක්‌ දැන් ක්‍රියාත්මකය. එම සෑම ගිවිසුමක්‌ ම පසුබිම් වූයේ භාණ්‌ඩ වෙළෙඳාම සම්බන්ධයෙනි. නමුත් ඒ සියලු ගිවිසුම්වලට වඩා වෙනත් ගිවිසුමකට යෑමට දෙරට සූදානම් වන බව CEPA ගිවිසුමට එරෙහිව ඇති ප්‍රතිචාරවලින් පෙනේ. දේශපාලන පක්‌ෂ, ව්‍යාපාරිකයන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු සියලු දෙනා මෙය අත්සන් කිරීම වහාම නවත්වන ලෙස බලකරමින් සිටියත් ඒ සියල්ලන්ටම වඩා ඉන්දියාව ඒ සඳහා අපේ රටේ වගකිවයුත්තන්ට බලපෑම් කරමින් සිටී. ඒ අතරේ ඇතැම් දේශපාලනඥයන්ට මෙම ගිවිසුම කෙසේ හෝ අත්සන් තබන්නට අවශ්‍යව තිබේ.



භාණ්‌ඩ වෙළඳාම, සේවා වෙළඳාම, දේශ සීමා බාධාවලින් තොරව වෘත්තීන්හි නියෑලීමට ඇති අයිතිය, ආයෝජන, ගුවන් සේවා, රේගු සේවා, තත්ත්ව හා තාක්‌ෂණික නියාමනයන්, ආර්ථික සහයෝගිතාවන් සීපා තුළ අන්තර්ගත ක්‌ෂේත්‍රයන් බව සඳහන්ය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් කීපවරක්‌ම ඔහු විසින්ම ප්‍රකාශ කලේ එවැනි නිර්භීත ක්‍රියාවන් සිදු කළ යුතු බවය. කෙසේ වෙතත් මෙම ගිවිසුම ශ්‍රී ලංකාව විසින් අත්සන් කළහොත් අපේ රටේ දේශීය ව්‍යාපාර රැසක මළගම එයම වන බව මේ වනවිට මෙරට ව්‍යාපාරික අංශවලින් මත පළ වී තිබේ. ඉන්දියාව වැනි විශාල වෙළඳපොළක්‌ ඇති රටක නිෂ්පාදන වියදම ඉතාම අඩුය. අමුද්‍රව්‍ය සඳහා වියදම අඩුය. එම නිසා ඉන්දියානු නිෂ්පාදන සීමාවකින් තොරව මෙරටට තීරු බදු රහිතව පැමිණීම යනු මෙරට දේශීය කර්මාන්ත රැසක්‌ වසාදමන්නට සිදුවීම මිස වෙනකක්‌ නොවේ. එවිට ඒවායේ රැකියා කරන ලක්‌ෂ ගණනක්‌ වන ශ්‍රී ලාංකිකයන්ට දෙවියන්ගේම පිහිටය.

ඉන්දියාව හෝ මෙවැනි අතිවිශාල ආර්ථික බලවතුන් සමඟ ගිවිසුම් අත්සන් කල බොහෝ රටවලට එවැනි බරපතළ අහිතකර තත්වයන්ට මුහුණ දෙන්නට සිදු විය. නේපාලය සමඟ ඉන්දියාව අත්සන් කල එවැනි ගිවිසුම් නිසා අද නේපාලයේ තත්වය අතිශය කණගාටුදායකය. අනෙක්‌ අතට ශ්‍රී ලංකාව සමඟ මෙවැනි ගිවිසුමක්‌ ඇතිකර ගැනීම, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දුම්රිය මාර්ග හා මහාමාර්ග ආදී දැවැන්ත සම්බන්ධතාවන්ගේ අවසානය ගැන බොහෝදෙනා විවිධ මත පළ කරති. මේ සියල්ල සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව සිතා බලා කටයුතු කළ යුත්තේ සියල්ල අවසන් වූ පසු ඒ ගැන කිසිවක්‌ කරන්නට අවස්‌ථාවක්‌ නොමැති වන නිසාය. අනෙක්‌ අතට එය මෙරට සමස්‌ත ජනතාවගේ හෙට දවස ගැන මෙන්ම ලක්‌ෂ ගණනකගේ රැකියා ගැන ප්‍රශ්නයක්‌ වන නිසාය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඇතිකරගෙන ඇති නිදහස්‌ වෙළෙඳ ගිවිසුම නිසා අපගේ අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 40 සිට 325 දක්‌වා වැඩිවූ අතර ඉන්දියාව තම අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 500 සිට 3500 දක්‌වා වැඩිකරගෙන තිබිණි. ප්‍රතිශතය කෙසේ වෙතත් එම දෙකෙහි වෙනස කොතරම්දැයි බැලු විට එහි තරම සිතා ගත හැක. එහෙත් මේ වනවිට එයද අභිබවා භාණ්‌ඩවලට අමතරව සේවා වෙළෙඳාම, ආයෝජන නිදහසේ ගලායාම සහ රැකියා සඳහා දේශසීමා හරහා නිදහසේ ගමන් කිරීම ඇතුළු කොටගත් පූර්ණ සහයෝගිතා හෙවත් සීපා ගිවිසුම (Comprehensive Economic Parteship Agreement) අත්සන් කිරීමට සුදානම් වෙයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව පවසන ආකාරයට ශ්‍රී ලංකාව මෙම ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඉතිරිවන්නේ රත්රන් උකස්‌ කිරීම, මුහුදු වෙරල අයිනේ මාළු ඇල්ලීම හා ගමේ පොලියට මුදල් දීම වැනි ව්‍යාපාර කීපයක්‌ පමණි. බැංකු සහ අනෙකුත් මුල්‍ය ආයතන සියල්ල පවා ඉන්දියානුවන් සතුවීම වැළැක්‌විය නොහැක. සුපර්මාර්කට්‌ එනම් සුපිරි වෙළඳසැල් පවා ඇමරිකන් ඩොලර් මිලියන එකට වඩා ඇති ඒවා විවෘත කල හැකි බැවින් සුපර්මාර්කට්‌ ශාඛා දෙකකට වඩා විවෘත කල විට ඇමරිකන් ඩොලර් මිලියන එක කියන පරාසය පවා ඉවත්ව යයි. ඉන්පසුව මෙරට සුපිරි වෙළෙඳසල් ජාල පවා ලෙහෙසියෙන්ම ඉන්දියාවට පවරාගැනීමේ හැකියාව ඇතිවනු ඇත.

අද පවතින ධීවර ප්‍රශ්නය වඩා සාර්ථකව කරගන්නට සීපා ගිවිසුම මගින් ඉන්දියාවට හැකිවනු ඇත. එවිට ඉන්දියානු ව්‍යාපාරිකයන්ට සීපා ගිවිසුම හරහා පැමිණ ධීවර ව්‍යාපාරයක්‌ කරගෙන යන්නට අයිතිය ලැබේ. එවිට ඒ සඳහා කිසිවකුට එරෙහි විය නොහැක. එවිට ඕනෑම ඉන්දියානු ජාතිකයෙකුට පැමිණ මෙරට ව්‍යාපාරයක්‌ පටන් ගන්නට පුළුවන. ඒ සඳහා සීපා ගිවිසුම යටතේම ඒ වරප්‍රසාදය දී තිබේ. ඒ යටතේ මේ ව්‍යාපාරයේ කාර්යාලයක්‌ (ඉර්බජය දසෛජැ) එකක්‌ ඔවුන්ට ලෙහෙසියෙන්ම ඉන්දියාවේ ඇති කරන්න හැකියාව තිබේ. උදාහරණයක්‌ විදිහට ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ඉන්දියාවේ ශාඛා කාර්යාලයක්‌ ඇත්නම් ඒ කාර්යාලයට ඉන්දීය ශ්‍රමිකයින් බඳවා ගැනීමේ හැකියාව නිතැතින්ම හිමිවේ. එම ඉන්දීය ධිවරයින් ලංකාවේ මුහුදු සිමාවේ මසුන් මැරීමට යෙදවිය හැකි අතර එයට එරෙහිව අදාල ගිවිසුමට අනුව සිදුකිරීමට කිසිම දෙයක්‌ ඉතුරුවෙන්නේ නැත. හේතුව මෙය ලියාපදිංචි කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සමාගමක්‌ ලෙසට වීමය. එවිට නීතිමය හඳුනාගැනීමක්‌ එනම් නෛතික තත්වයක්‌ නිතැතින්ම හිමිවනු ඇත. ඒ නිසා ඔවුන්ට ලෙහෙසියෙන්ම අල්ලන මාළු ටික තමන්ගේ රටට ගෙනයාමේ හැකියාව තිබේ. එසේම ආයෝජන මණ්‌ඩල සමාගමත්a සියලුම බදුවලින් නිදහස්‌ වන බැවින්. ඒ අනුව ලාභය ඕනෑ ආකාරයට පිටරටට ගෙනයා හැක. ඔවුන් එයින් ඉතාම සුළු කොටසක්‌ ලංකාවේ ආයතනයටත් එවනු ඇත. සීපා ගිවිසුම යටතේ මේ හැකියාව පවතින නමුත් මේ පිළිබඳව ශ්‍රීලාංකික බලධාරීන්ගෙන් පවසන්නේ ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹීමට ඉන්දියාවට ඉඩකඩ නොදෙන බවය. එහෙත් අදාල ගිවිසුම් ප්‍රකාරව ඒ ක්‍රියාමාර්ග වලට විරුද්ධ විය නොහැක.

ඉන්දු - ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ 2000 වර්ෂයේ සිටය. ඒ හරහා භාණ්‌ඩ වෙළඳාම පමණක්‌ සිදුවේ. එහෙත් සීපා ගිවිසුම තුළ භාණ්‌ඩවලට අමතරව සේවා වෙළඳාම සහ ආයෝජන නිදහසේ ගලායාම සේම මිනිසුන් රැකියා සඳහා දේශසීමා හරහා නිදහසේ ගමන් කිරීමද සිදුවේ. මේ වන විට ඉන්දු - ලංකා නිදහස්‌ වෙළඳ ගිවිසුමට අවුරුදු 15 ක්‌ පමණ ගතවී තිබේ.

ඉන්දියාව පවසන ආකාරයට මේ ගිවිසුමත් සමඟ අපි අපේ නිෂ්පාදන අපනයනය දාසය ගුණයකින් වැඩිකරගෙන තිබේ. එහෙත් එය සංඛ්‍යාත්මකව බැලුවිට ඉන්දියාව හිමිකරගෙන ඇති ප්‍රමාණය අතිවිශාලය. කෙසේ වෙතත් මේ වෙළෙඳ ගිවිසුමෙහි කුමක්‌ තිබුණත් ඉන්දියාවේ ඇති ඇතැම් ප්‍රාන්ත රජයන් එය මායිම් නොකරයි. ශ්‍රීලාංකික ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර ඉන්දියාවේ කරන්නට ඒ ඒ ප්‍රාන්තවල නීතිරීතිවලට යටත් විය යුතුය. ඒ ඒ ප්‍රාන්තවල විවිධ බදු ගෙවිය යුතුය. එම ප්‍රශ්නවලට ඉන්දීය මධ්‍යම රජය මැදිහත් වන්නේද නැත. අනෙක්‌ අතට ඇතැම් ප්‍රාන්ත රජයන්හි කටයුතු සිදුකරන විවිධ ආකාරයන්ට අනුකූලවිය යුතුය. මෙය පහසු කටයුත්තක්‌ නොවේ. එලෙස ව්‍යාපාර කරන්නට ගොස්‌ විශාල පාඩු ලැබූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝද සිටිති.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත මහා පරිමාණ අපනයනකරුවන් අතර ඉන්දීය ඔයිල් සමාගම ඇතුළු ඉන්දියානු සමාගම් රැසක්‌ තිබේ. ඇතැම් ඉන්දියානු සමාගම් ශ්‍රීලංකාවට භාණ්‌ඩ ආනයනය කර ඉන්දු ලංකා නිදහස්‌ වෙළඳ ගිවිසුම යටතේ නැවත ඉන්දියාවට අපනයනය කරන බවද පැවසේ. එය වෙනත් කිසිම ශ්‍රී ලංකිකයෙකුට කිරීමේ හැකියාවක්‌ නැත. මක්‌නිසාද යත් එවැනි කාර්යයක්‌ කරන්නට නම් අනිවාර්යෙන්ම ඉන්දියාවේ සමාගමක්‌ තිබීම අත්‍යාවශ්‍ය කාරණයක්‌ වීම නිසාය. තවත් මහාපරිමාණ සත්ව ආහාර නිපදවීමේ සමාගමක්‌ද ඒ අතර තිබේ. එය ඉන්දියාවේ කුකුළු නිෂ්පාදන හදන සමාගමකි.ඒ සමාගම ශ්‍රී ලංකාව තුළ 2011 වර්ෂයේදී එහි ශාඛාවක්‌ ඇතිකර ඔවුන්ගේම සමාගමටම නැවත මෙම සත්ත්ව නිෂ්පාදනයන් යවනු ලබයි. එම සත්ත්ව ආහාර පිළිබඳව සොයා බැලීමේදී බොහෝ සෙයින්ම ඒවා වී මෝල්වල ඉතුරුවන සහල්වලින් සකසන ලද්දක්‌ බවත් අනාවරණය වී ඇත. අපේ රටෙන් අපනයනය කරන පරිප්පු සහ කව්පිත් අපේ රටේ තියෙන ඉන්දියානු සමාගමක්‌ විසින් ඉන්දියාවේ තියෙන සමාගමකට යවන බව හෙළිවී තිබේ. ඉන්දියාව මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ වෙනස්‌ම ආකාරයකටය. ඔවුන් පවසන ආකාරයට අපේ රටේ භාණ්‌ඩ වැඩිපුරම ඉන්දියාවට ගිහින් තියෙන්නේ නිදහස්‌ වෙළෙඳ ගිවිසුම හරහාය. එහෙත් ඉන්දියාවේ සිට අපේ රටට ආනයනය කළ භාණ්‌ඩ බොහෝදුරට පැමිණ තිබෙන්නේ නිදහස්‌ වෙළෙඳ ගිවිසුම හරහා නොවේ.

1998 දී ඉන්දු - ලංකා නිදහස්‌ වෙළඳ ගිවිසුම අත්සන් කල අවස්‌ථාවේ ඉන්දියාව සමඟ පවත්වා තිබුනේ සාකච්ඡා වට හතරක්‌ පමණි. ඒ වන විට මෙරට දේශීය ව්‍යවසායකයෝ කිසිවෙක්‌ මේ ගිවිසුම ගැන දැනගෙන හිටියේ නැත.

එම ගිවිසුමේ පරිප්පු අපනයනය කරන්න පුළුවන් බව සඳහන්ව තිබේ. එහෙත් අපේ රටේ පරිප්පු වවන්නේ නැත. ලෝකේ වැඩිපුරම පරිප්පු හදන්නේ කැනඩාවේය. කැනඩාවෙන් ගෙන එන පරිප්පු පියලි කර නැවත ඉන්දියාවට යවනු ලබයි. මෙතනිනුත් අන්ඩර් ඉන්වොයිසින් සහ ඕවර් ඉන්වොයිසින් ක්‍රියාවලිය සිදුවන බවට චෝදනා තිබේ .

ඉන්දියන් ඔයිල් සමාගම අපේ රටේ ඛනිජ තෙල් ව්‍යාපාරයට පිවිසියේ ඉතාම අඩු මුදලකට මෙරට ඉන්ධනහල් හිමිකර ගනිමිනි. ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය දක්‌වා ඔයිල් පොම්ප කරන්නට පයිප්ප මාර්ගයක්‌ ඉදිකරන බව පැවසිනි. එත් ඒ අවස්‌ථාවේදී ඉන්දියාවේ එක මන්ත්‍රී කෙනෙක්‌ පාර්ලිමේන්තුවේදී අත උස්‌සලා මේ කාර්යයට තමන් විරුද්ධ බව ප්‍රකාශ කල අතර ඒ එක මන්ත්‍රී කෙනෙක්‌ අකමැති වීම මත පදනම් කරගෙන එම ක්‍රියාවලිය නතර කෙරිණි. ශ්‍රී ලංකාව මේ අවස්‌ථාව දේශීය ව්‍යාපාරිකයෙකුට ලබා දුන්නේ නැත. අවසානයේ ලංකාවේම බැංකුවකින් ඊට අදාල බිලියන 1.2 ක ණයක්‌ ලබා ගෙන කොටස්‌ නිකුතුවක්‌ හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ මුදලින් එය ගෙවා දමන ලදී. එත් සමඟම ලංකාවේ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක පෙට්‍රල් ෂෙඩ් රැසක්‌ ඉන්දියාවට ලබාදී තිබේ. මෙයින් ලංකාවට කිසිම වාසියක්‌ සිදුවී නැත. ඊට අමතරව ශ්‍රී ලංකා රජය ඉන්ධන සහනාධාර ලෙස බිලියන ගණනක්‌ අදාල සමාගමට ගෙවන ලදී.

මෙරට ඇති ඉන්දියානු සමාගම් විසින් කර ඇති වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පියවර නොගැනීමද බරපතළ තත්ත්aවයකි. හොරණ ප්‍රදේශයේ පැරඩයිස්‌ නමින් මේ වනවිටත් අක්‌කර 183 ක්‌ ඉන්දියානු සමාගමකට නිවාස ව්‍යාපෘතියක්‌ සඳහා ලබාදී ඇත. ගෙවල් 1500 සාදන ව්‍යාපෘතියකට 1995 වර්ෂයේදී මෙය ලබාදී ඇත. එහෙත් අද වනතුරු ඒවායේ ගෙවල් 50 ක්‌ වත් සාදා නැත. එය ආපසු පවරගන්නටවත් කිසිම උත්සහයක්‌වත් ගෙන නැත. මේ වනවිට බදු ගෙවන්නෙත් නැත. මේ පිළිබඳව කිසිම පරීක්‌ෂණයක්‌ පවත්වන්නේත් නැත .

චීනය ශ්‍රීලංකාව තුල ව්‍යාපාර හා ආයෝජන ක්‌ෂේත්‍රවලට පසුගිය රජය සමයේ අනවශ්‍ය ආකාරයට මැදිහත්වුණු බව බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ අදහසය. ඉන්දියාව ඊට Rජුව විරුද්ධ විය. ඔවුන්ගේ ආරක්‌ෂාව පර්ත්තෙන් එහි සාධාරනයක්‌ද ඇත. එහෙත් ඉන්දියාවේ ප්‍රධානතම ව්‍යාපාරික සහකරු චීනයයි. චීන ජනපති ඉන්දියාවට පැමිණි විට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඉල්ලා සිටියේ චීන ආයෝජනයන්ය. එහෙත් ඉන්දියාව ලංකාවට පැමිණ චීනයත් සමඟ පවතින සියලූරෑ සම්බන්ධතා අත්හැර දමන ලෙස පැවසයි. ඉන්දියාවට චීනයත් සමඟ පවතින සම්බන්ධතා නැති කරගෙන අපටද එලෙස පවසන්නේ නම් එය සාධාරණය. මෙය අප තේරුම් ගත යුතුය.

අද වන විට මෙරට ව්‍යාපාරික සංගම් ගනනාවක්‌ සීපා ගිවිසුමට විරෝධය පා තිබේ. එහෙත් ඉන්දියානු සම්භවය ඇති ඇතැම් ව්‍යාපාරිකයන් ඊට පක්‌ෂව සිටිති.

මේ සීපා ගිවිසුම හරහා මේ රටේ උපයන ලාභය නැවත ඒ රටට ගෙනයාමේ හැකියාව තිබේ.වැඩිපුරම අපේ රටට ඩොලර් එන්නේ අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග රටවල දහදුක්‌ විඳ ලබන වැටුප් ලෙසය. මේ සමාගම් ඔවුන්ගේ රටවලට විදේශ විනිමය ගෙනයන විට අපගේ තිබෙන විදේශ මුදල් සංචිත අඩුවනු ඇත.

අපේ රටේ තියෙන රැකියා විරහිත ප්‍රමාණය ලක්‌ෂ තුනහමාරක්‌ පමණවේ. එහෙත් ඉන්දියාවේ තත්ත්වය එයට හාත්පසින්ම වෙනස්‌ය .එරට රැකියා විරහිත පුද්ගලයින් ගණන ලක්‌ෂ තුන්සිය හැත්තෑවක්‌ පමණවේ.අඩු වැටුපට එන ඉන්දියානුවන්ට රැකියා දෙන්නට අපේ රටේ ඇතැම් ව්‍යාපාරිකයන්ද කටයුතු කලහොත් අපේ රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටය.

මේ සියලුම කරුණු නිසා සීපා ගිවිසුම අත්සන් කරන්නට පෙර අපේ රටේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ යුතුය. ඊට අත්සන් තබා ඒ ගැන නැවත සිතන්නට ගියහොත් කලහැකි දෙයක්‌ නැති වනු ඇත.

එසේම අපේ රටේ රැකියා, ව්‍යාපාර හා අනෙකුත් බොහෝ දේ මේ සමඟ වෙනස්‌වන බවද පාලකයන් සිහි තබාගත යුතුය.මීට ඇති විරෝධය ප්‍රසිද්ධියේ පවසන්නට දේශපාලකයන්ට නොහැකි නම් අඩුම තරමින් ඊට ඇති ජනතා විරෝධය එලි දක්‌වන්නට අවස්‌ථාව හෝ ලබා දිය යුතුය.

ජනිත සෙනෙවිරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.