වෙළේ සුදාට නඩු බෝට්‌ටුවෙන් කුඩු

ආණ්‌ඩුවේ දින සියය දැන් අවසන්ය. එසේම වත්මන් ආණ්‌ඩුව රටට කුඩු බෙදූ වෙළේ සුදා පාකිස්‌ථානයේ සිට මෙරටට රැගෙන විත් සීඅයිඩීයට භාර දී මේ සටහන තබන සිකුරාදා වන විට ගෙවී යමින් තිබෙන්නේ අනූඅට වන දිනයය. අද ඉරිදා වන විට වෙළේසුදා රැගෙන ඒමේ ශතකය සමරන්නට ආණ්‌ඩුවට හැකියාව ඇත.

එහෙයින් අපි එක්‌ යෝජනාවක්‌ වත්මන් යහපාලනයට කරන්නෙමු. ඒ රාත්තල් තුන හතරක හොඳ කේක්‌ ගෙඩියක්‌ ගෙන සීඅයිඩීයේ හතරවන තට්‌ටුවට ගොස්‌ ලස්‌සන මේසයක්‌ මත තබා ඉටි පන්දම් දෙකතුනකුත් දල්වා කටින් පිඹ නිවන අතරේ කේක්‌ කෑල්ලක්‌ කපා අනුභව කරමින් වෙළේසුදා ගෙන ඒමේ ශතකය සමරන්නට යෑයි කියාය.

එහිදී ලොකු කේක්‌ කෑල්ලක්‌ කපා වෙළේ සුදාට සහ ඔහු සමඟ සිටින සිද්ධික්‌ටද කවා පුංචි කිස්‌ එකක්‌ දුන්නද ඒ තරම් ගැටලුවක්‌ නැත. වෙළේ සුදා සහ සිද්ධික්‌ මේ මොහොත වන විට සීඅයිඩීය භාරයේ සිටියද අදටත් ඔවුන්ගේ මත් කුඩු ජාලයේ සෙසු චරිත රට තුළ ක්‍රියාත්මකව සිටින බව අපි ඉකුත් සතියක මේ සටහන තුළින් පැහැදිලිවම පෙන්වා දුන්නෙමු.

ඒ වෙළේ සුදා සහ සිද්ධික්‌ට උඩින් සිටින මහ කුඩු රජා වූ මැලේසියාවේ මුජහදීන්ගේ පැටිකිරියද අනාවරණය කරමිනි. (අප මේ කතාව කියන්නේ ආණ්‌ඩුවට මිස සීඅයිඩීයට නොවන වග කරුණාවෙන් සලකන්න)

අද දවසේ වෙළේ සුදා සහ සිද්ධික්‌ නොමැතිව ඔවුන් කරගෙන ආ මහාපරිමාණ කුඩු ජාවාරම රට තුළ ක්‍රියාත්මකව ඇත්තේ කෙසේද? වෙළේ සුදා සහ සිද්ධික්‌ නොමැති වුවද මේ වන විට ඔවුන් සමඟ සමීපව සිටි දැනට ඉන්දියාවේ වෙසෙන තෙල් බාලා, කොට ගාමිණී සහ කිඹුලාඇළේ ගුණා යන ජාවාරමුන්ගේ සක්‍රීය බව හමුවේ එය සිදු වෙමින් තිබෙන්නේය.

මෙහිදීත් ලංකාවට පොම්ප වෙමින් තිබෙන්නේ මුජහදීන් විසින් සිය ජාත්‍යන්තර ජාලය ඔස්‌සේ ලබා ගන්නා මත් කුඩු තොග බව අනාවරණය වී තිබෙන්නකි. වෙළේ සුදා යන චරිතය ගත හොත් මුල් කාලයේ සිය ජාවාරම සිදුකරගෙන යැම සඳහා සුදාට මත් කුඩු ලබා දුන් එක්‌ සුවිශේෂී චරිතයක්‌ විය.

ඒ මීට ටික කලකට ඉහත පාතාල කල්ලියක පැහැර ගැනීමට ලක්‌ව අතුරුදන් වූවන්ගේ ලැයිස්‌තුවට එක්‌ වූ පෑලියගොඩ කුඩු මෝර්වින්ය. මෙකී මෝර්වින් යනු වසර විස්‌සක පමණ කාලයක සිට ඉතාම රහසිගතව පොලිසියෙන් බේරී මෙරට තුළ මහා පරිමාණයෙන් කුඩු ජාවාරම ව්‍යාප්ත කෙරුවෙකු විය. එසේම කුඩු මෝර්වින්ට ජාත්‍යන්තර සබඳතා ජාලයක්‌ද තිබිණ. ඒ සියල්ල ගොඩ නැගී තිබුණේ කුඩු මොර්වින් සහ එල්ටිටීඊය අතර පැවති Rජු සබඳතා ඔස්‌සේ බවද ඉකුත් කාලයේ පොලිසිය අනාවරණය කරගෙන තිබුණකි.

මෝර්වින්ගේ අතුරුදන් වීමත් සමග ඔහුගේ වැඩකොටස අතට ගත් බිරිඳ මේ වන විට තවත් පැත්තකින් රට තුළට මත් කුඩු පොම්ප කරමින් සිටින බවද බුද්ධි තොරතුරු මගින් අද දවසේ හෙළි වී තිබෙන්නකි. ඒ මෝර්වින් අතුරුදන් වීමට පෙර ඔහු පවත්වාගෙන ගිය සබඳතා සමඟ සම්බන්ධ වෙමිනි.

මෝර්වින් යනු අතුරුදන් වීමට පෙර අවසන් කාලයේ ධීවර බෝට්‌ටු මගින් මසකට මත්කුඩු කිලෝ ග්‍රෑම් පනහකට අධික තොගයක්‌ රට තුළට රැගෙන ආ චරිතයක්‌ව සිටි බව ඉකුත් කාලයේ පොලිසියට කොටුවූ ඔහුගේ ගෝලයකු විසින්ම හෙළි කර තිබිණි.

ගැටලුව වන්නේ මෝර්වින්ගේ බිරිඳ මෙන්ම කොට ගාමිණී, ගුණා සහ තෙල් බාලා වැන්නවුන් මෙසේ සක්‍රීයව සිටින බව වෙළේ සුදා සහ සිද්ධික්‌ දැන සිටියද එයට වැට බැඳීමක්‌ දැනුදු සිදු නොවීමය. වෙළේ සුදාගේ දින සියය සමරා ඔහුට හා සිද්ධික්‌ට හතරවන තට්‌ටුවට ගොස්‌ කේක්‌ කෑල්ලක්‌ කවන්න යෑයි අප ආණ්‌ඩුවට යෝජනා කරන්නේද ඒ නිසාය.

අද මෙසේ රට තුළට මත් කුඩු පොම්ප වීම සිදු වන්නේ කෙසේද? ඉකුත් කාලයේ වෙළේ සුදා සහ සිද්ධික්‌ පාකිස්‌තානයේ සිටියදී මුජහදීන්ගේ මත් කුඩු ලංකාවට ළඟා වීමේ එක්‌ ප්‍රධාන මාර්ගයක්‌ වී තිබුණේ නැව්ගත බහාලුම් හෙවත් කන්ටේනර් ඔස්‌සේ එකවර විශාල කුඩු තොගයක්‌ රට තුළට එවීමය.

එහෙත් මේ වන විට එසේ කන්ටේනර් මගින් මත් කුඩු රට තුළ ඒමේ ප්‍රවණතාව පිළිබඳ බුද්ධි තොරතුරු කිසිත් වාර්තා නොවන බව මෙරට බුද්ධි අංශ හෙළි කර සිටින්නේය. ඇතැම් විට වෙළේ සුදා සහ සිද්ධික්‌ කොටු වීම ඊට හේතු වී තිබෙනවාද විය හැකිය.

එහෙත් කන්ටේනර් පිළිබඳ කතාව එසේ වුවද අද දවසේ වරින් වර මත් කුඩු කිලෝ දෙකක්‌ හෝ තුනක ප්‍රමාණයක්‌ ගිල දැමීම මගින් පාකිස්‌ථානයේ සිට ගුවන් මාර්ග ඔස්‌සේ රට තුළට එවීමට කුඩු කෙරුමන් කටයුතු කරන බව මත් ද්‍රව්‍ය වැටලීම් භාර නිලධාරින්ට ලැබී තිබෙන තොරතුරකි. නමුත් එම ප්‍රමාණය මෙරට මත් කුඩු භාවිතා කරන කුඩ්ඩන්ගේ කුඩු ගැසීම හමුවේ කිසි සේත්ම ප්‍රමාණවත් නොවන්නක්‌ බව පැහැදිලි කරුණක්‌ වන්නේය.

එසේ නම් වෙළෙඳපල හිඟයක්‌ ඇති නොවන සේ අද දවසේ ඉහත ජාවාරම්කරුවන් රට තුළට මත් කුඩු එවීමේ ක්‍රමවේදය වී තිබෙන්නේ කුමක්‌ද? අපි යහපාලනයට වගකීමෙන් කියමු. මේ මොහොත වන විට උතුරු - නැගෙනහිර ආරක්‍ෂක විධිවිධාන අවම වීම හමුවේ ධීවර බෝට්‌ටු මගින් යාපනය හා මන්නාරම ප්‍රදේශවලින් යළිත් රට තුළට මත් කුඩු ළඟා වීම ඇරඹී තිබෙන්නේය.

කලකට ඉහත එල්ටිටීය සක්‍රීයව තිබූ යුගයේදීද මෙරටට මත් කුඩු ළඟා වන ප්‍රධානතම මාර්ගය වුයේ යාපනය සහ මන්නාරම ආශ්‍රිත මුහුදු ප්‍රදේශ විය. ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ නිපදවෙන කුඩු තොග තමිල්නාඩුව හා කන්‍යාකුමාරි මුහුදු මාර්ගය ඔස්‌සේ බෝට්‌ටු මගින් එසේ ලංකාවට ළඟා විය.

එල්ටිටීඊය පැවති කාලයේ එම ක්‍රියාදාමයේ පෙරමුණ ගෙන සිටියේ කොටින්ගේ මුහුදු කොටි ඒකකය බව එකල ආරක්‍ෂක බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබුණකි. ආරක්‍ෂක අංශ මගින් පවත්වාගෙන ගිය හදිසි මාර්ග බාධක ඉවත් වීම මෙන්ම උතුරු මුහුදට ආණ්‌ඩුව ලබා දුන් ධීවර නිදහස ඇතුළු යහපාලනයේ බොහෝ ක්‍රියාකාරකම් අද මෙවන් තත්ත්වයක්‌ නිර්මාණය වීමට හේතු සාධක වී ඇත.

වත්මන් ආණ්‌ඩුව පත් වීමට පෙර සිටම අන් පොරොන්දු සේම ජනතාවට දුන් තවත් එක්‌ වැදගත් පොරොන්දුවක්‌ වූයේ මත් කුඩු ජාවාරම රටින් තුරන් කරන්නෙමැයි යන්නය. නමුත් සෙනෙහසේ දැත් දිගු කරන්නට යැමෙන් අද උතුර ප්‍රදේශය මෙරටට මත් කුඩු ළඟා වීමේ කේන්ද්‍රය බවට යළි පත්ව තිබෙන්නේ එසේය.

මේ සියල්ල වෙළේ සුදා සහ සිද්ධික්‌ පැහැදිලිවම දැන සිටින මෙරට මත්කුඩු ජාවාරමේ ක්‍රමවේද බවද මෙහිදී ඔවුන් දෙදෙනා ළඟ තබාගෙන සිටින සීඅයිඩීයට, (සමා වන්නට සීඅයිඩීයට නොව) ආණ්‌ඩුවට කිව යුතුය. අප මෙහිදී සිඅයිඩීය ඉවත් කරනුයේ අද වෙළේ සුදා සහ සිද්ධික්‌ ගෙන සීඅයිඩීයට කිරීමට සිදුව ඇත්තේ ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්තුව මිස නිසි පරික්‍ෂණ නොවන නිසාය.

මෙසේ උතුරු ප්‍රදේශයෙන් රට තුළට පැමිණෙන් මත් කුඩු තොග එල්ටිටීඊය පැවති සමයේ මෙන්ම මේ වන විට හලාවත, උඩප්පුව දක්‌වාම ඇදී එන බව අද දවසේ රටේ කුඩුවලට සම්බන්ධ අවර සමාජය තුළ ප්‍රකට කරුණක්‌ව තිබෙන්නේය.

පෑලියගොඩ කුඩු මෝර්වින්ගේ බිරිඳ මේ වන විට ජාවාරමට පැමිණ සිටින්නේ එසේ උඩප්පුව දක්‌වා ළඟා වන කුඩු කොළඹට බෙදා හැරීමෙන් බවද බුද්ධි තොරතුරු මගින් වාර්තා වන්නේය.

වෙළේ සුදා සහ සිද්ධික්‌ සීඅයිඩීය භාරයේ සිටියදී මෙසේ රටට ළඟා වන මත් කුඩු තොග අද දවසේ අපේ කොල්ලන් අනාථ කරමින් ඔවුන්ගේ අතට පත් වන්නේ කෙසේද?

වෙළේ සුදාගේ ගම වූ බඩෝවිට සිටින අජන්තා සහ ජෙමාගේ සිට තොටළඟ පොඩ්ඩි, පුන්ගුඩු ඛන්නා, තොටළඟ ජපන් චූටි, තොටළඟ සරණා, සුරේෂ් ආදී ලෙසින් කලක සිට තොටළඟ, පෑලියගොඩ, දෙමටගොඩ, බොරැල්ල, මරදාන, වත්තල, ක¹න වැනි ප්‍රදේශ ආවරණය වන සේ ක්‍රියාත්මක මෙරට කුඩු වෙළෙ¹මේ විකුණුම්කරුවන් ජාලය අද ඊට උර දී සිටින්නේය.

ඒ කොළඹ හා තදාසන්න ප්‍රදේශ ගත් කල කියෑවෙන කතාවය. ඉන් පරිබාහිරව රටේ පිට පළාත් දක්‌වා විහිද යන ජාලයක්‌ද වෙනමම ක්‍රියාත්මක වී සිටින්නේය. වෙළේ සුදා සහ සිද්ධික්‌ අත්අඩංගුවේ පසු වුවද මේ මොහොතේත් රට තුළ මත් කුඩු හිඟයක්‌ මතුවී නොමැත්තේ මේ නිසාය.

ශ්‍රී ලංකාව හා සම්බන්ධ ජාත්‍යන්තරය හා බද්ධ වූ මත්කුඩු ජාවාරමේ මේ වන විට පවතින සැබෑ කතාව එසේ වෙද්දී අද දවසේ මැලේසියාවේ සිට මෙරටට පැමිණෙන කල්ලියක්‌ද මේ බිම මත් කුඩුවලින් පෝෂිත කිරීමේ ජාවාරමට උර දී සිටින වත පොලිසියට අනාවරණය වී තිබෙන්නකි. මෙතෙක්‌ කලක්‌ මැලේසියානු ජාතිකයකු ශ්‍රී ලංකාවට ළඟා වීමේදී ආගමන විගමන අංශවල වැඩි අවධානයක්‌ ඔවුන් කෙරෙහි නොවීය.

ඒ මැලේසියානු ජාතිකයන් අරබයා පෙර වැරදි නොතිබූ බැවිනි. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්‌ වී තිබෙන බව ආගමන විගමන අංශද අවබෝධ කරගත යුතුය. යහපාලනය අද වෙළේ සුදා සහ සිද්ධික්‌ තබාගෙන කිරි පොවද්දී රට තුළ ක්‍රියාත්මක මත් කුඩු ජාවාරමේ ජාත්‍යන්තර ක්‍රියාදාමය ඇත්තේ එතැනය.

ඉතින් කෙදිනක මේ බිමෙන් මත් කුඩු වසංගතය තුරන් වනු ඇතිද? අවසන් වශයෙන් යහපාලනයෙන්ද අපට අසන්නට ඇත්තේ ඒ ටිකය.

සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.