ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තැබීම; ඇසින් දුටු සාක්‍ෂියක්‌

එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකුව සිටි ජාතික ආරක්‍ෂක ඇමැතිවරයෙකුව සිටි හා ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ නායකයාව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතා මේ රටේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී තැනක්‌ සනිටුහන් කරන්නෙකි. හෙතෙම හැමවිටම කතා කළේත් ක්‍රියා කළේත් ජනතාවගේ උරුමයන් පිළිබඳවය.

ලලිත් සිය ජීවිතයේ අවසන් විනාඩි කිහිපයේත් කතා කොට ඇත්තේ ජනතාව වෙනුවෙනි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙනි.

1993 අප්‍රේල් 23 වැනිදා සාහසිකයකු ගේ කුරිරු වෙඩි පහරින් ඇතුලත් මුදලි මහතා මියගොස්‌ ලබන අප්‍රේල් 23 වැනිදාට වසර 22 ක්‌ සපිරේ. ඒ මහතා වෙඩි පහරට ලක්‌වන අවස්‌ථාවේ එතැක සිටි "දිවයින" උපකතුවරයකු තමන් ඇසින් දුටු දේ ගැන එදා පුවත්පතට සැපයු ලිපියක සංක්‍ෂිප්තයකි මේ.

එදින සිකුරාදා දිනයකි. වේලාව සවස පහට පමණ ඇත. කොළඹ කිරුළපන පොදු ක්‍රීඩාංගණය අසලට මම පැමිණියෙමි. ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ නැගෙනහිර කොළඹ සංවිධානය විසින් සංවිධානය කරන ලද රැස්‌වීමට ජනයා ඇදෙමින් සිටිති. මූලාසනයේ සිටි ඒ. ජී. ප්‍රේමදාස මුදලාලි සිය කතාව කරද්දී නැගෙනහිර කොළඹ සංවිධායක පළාත් සභා අපේක්‍ෂක උපුල් ධම්මික මහතා වේදිකාවේ වාඩි වී සිටියේය.

ක්‍රමයෙන් ජනයා පිරෙන්නට වූ අතර අනෙකුත් අපේක්‍ෂකයෝ ද ළඟාවන්නට වූහ. අපේක්‍ෂකයකු කතා පවත්වන සෑම මොහොතකම රතිඤaCදා හඬ පළාත දෙදරවන්නට විය. මහා වැස්‌සක්‌ කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබිණි. මහරගම හිටපු මන්ත්‍රී ප්‍රේමරත්න ගුණසේකර මහතා උණුසුම් කතාවක්‌ කළේ මේ අතරය. වැහි බිඳු ටික ටික වැටේ. බටහිර කොළඹ සංවිධායකයෙකු වන පළාත් සභා අපේක්‍ෂක ෂා නවාස්‌ මරික්‌කර්බාවා මහතා සිය කතාව පටන් ගනිද්දී වේලාව රාත්‍රී 8 ට පමණ විය. හෙණ ගහන වැස්‌ස කඩා වැටුණේය. සෙනග නොතමෙන්නට තැන් සොයා දිව ගියත් ටිකින් ටික වැස්‌ස අඩු විය. සෙනඟ නැවත පැමිණියහ. එහෙත් මහ වැස්‌සෙන් පසු

රැස්‌වීමේ වැඩකටයුතු මඳක්‌ අවුල් වූ බවක්‌ දක්‌නට ලැබිණි. රාත්‍රී 8.30 ට පමණ පක්‍ෂයේ නායක ලලිත් ඇතුලත්මුදලි මහතා රැගත් රථ පෙළ පැමිණුනි. රතිඤaCදා හඬින් යළිත් පළාතම ගිගුම් දෙන්නට විය.

උපුල් ධම්මික සිය කතාව නිමකළේය. වේලාව රාත්‍රී 8.45 ට පමණ ඇත. ඇතුලත්මුදලි මහතා සිය කතාව පටන් ගනිද්දී නැවත වරක්‌ රතිඤÆ හඬින් මුළු පෙදෙසම ගිගුම් දෙන්නට විය. එය කතාවට බාධාවක්‌ නිසා රතිඤaCදා පිපිරවීම නතර කරන්නැයි සංවිධායකයෝ ඉල්ලා සිටියහ.

ඇතුලත්මුදලි මහතා ගේ හරබන කතාව ජනතාව නිහඬ කර ඇත. ඔවුන්ට පොද වැස්‌ස ද අමතක වූවා වැන්න. ඇතුලත්මුදලි මහතාට විනාඩි දහයකට වඩා කතා කරන්නට ඉඩ නොලැබිණි. නැවතත් චටපට ගාමින් රතිඤaCදා හඬ කන වැටිණි. නමුත් ඒවා රතිඤaCදා නොවිය. ඒ වේදිකාව අසලම දකුණු පැත්තේ සිටියකු එල්ල කළ වෙඩි පහරවල්ය. දැතින්ම දකුණු පස අල්ලා ගත් ඇතුලත්මුදලි මහතා කෑ ගසමින් වම්පසට ඇලවූයේය.

වේදිකාවේ සිටි තැනැත්තෙක්‌ ඇතුලත්මුදලි මහතා වත්තන් කර ගනිද්දී අසුන් ගෙන සිටි අනෙකුත් අය එහා මෙහා පැන බිම පෙරළී ආරක්‍ෂාව සොයන්නට වූහ.

රැස්‌වීමේ සිටි සියලුම දෙනා හිස්‌ ලූ ලූ අත දුව ගියහ. ලොකු කුඩා බාල මහලු තරුණ පිරිසත් දරුවන් වඩා ගත් මව්වරුත් එසේ මර බියෙන් පැන ගියහ. වෙඩි තියනවෝ වෙඩි තියනවෝ කියා සමහරු කෑ ගැසූහ. මහා මාර්ගයේ දෙපස නවතා තිබූ සමහර මෝටර් රථ වහා පණ ගැන්වී එතැනින් ඉවත්ව යනු දක්‌නට ලැබිණි.

ක්‍ෂණයකින් වේදිකාව අසලට ගෙන එන ලද වාහනවලට ඇතුලත්මුදලි මහතා ඔසවා දමාගත් ආධාරකරුවෝ කොළඹ නගරය දෙසට ඉගිල යන්නට වූහ. ඒ හා සමඟම ආධාරකරුවන් කිටි කිටියේ පටවා ගත් වාහන දහයක්‌ දොළහක්‌ පමණ ලුහුබඳිනු දක්‌නට ලැබිණි.

ඇතුලත්මුදලි මහතාට වෙඩි තැබූ පුද්ගලයාට ඒ මහතාගේ ආරක්‍ෂක භටයින් වෙඩි තැබූ බවත් එම පුද්ගලයා තුවාල ලබා අඳුර අතරින් දිවගිය බවත් අවට සිටියවුන් එක හඬින් පවසනවා ඇසුණි. තවත් මොහොතකදී දහසක පමණ පිරිසක්‌ එම පුද්ගලයා දිව ගියා යෑයි සිතන ක්‍රීඩාංගණයේ මුගලන් පාර දෙසට පිම්මේ දිව ගියහ. ඔවුහු අසල තිබූ සෑම නිවෙසකම වාගේ එළිපත්ත අස්‌සේ ගහකොළ අස්‌සේ මේ මිනීමරුවා සොයන්නට වූහ. නමුත් ඔවුනට කිසිවක්‌ දැකගන්නට නොහැකි විය.

ඊළඟ මොහොතේ පොලිස්‌ නිලධාරීන් රැගත් වාහන දෙක තුනක්‌ සිද්ධිය වු තැනට ළඟාවිය.

රැස්‌වීමට ආපු නැති පොලිසිය දැන් ඇවිදින් මොකටදැයි ජනතාව කෑ ගැසූහ.

අනතුරුව පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ඇරැඹිණි වේදිකාවේ ලෑලි මත රතුවන් ලේ දහරා ගලා ගොස්‌ තිබිණි. ඒවා වේදිකාවේ යටට බේරෙන්නට විය. පුටු හා මේස කැඩී බිඳී ගොසිනි. හිස්‌ බීම බෝතල් කටු සෑම තැනම විසිර ඇත. වේදිකාව අසල දකුණු පැත්තේ බිම කුඩා හිස්‌ පතරොම් කීපයක්‌ දක්‌නට ලැබිණි.

අප කාර්යාලයට පුවත දැන්වීමට දුරකථනයක්‌ සොයා මම එහෙ මෙහෙ දුව ගියෙමි. ප්‍රඑජාප. නැගෙනහිර කොළඹ සංවිධායකවරයෙකු වන කේ. ඩී. රූපසිරි මහතා මට උදව් විය. අසල නිවෙසකින් මේ බව 'දිවයින'ට දැන්වීමි. ඒ වන විටත් කාර්හාලයට සිද්ධිය ගැන සුළු ආරංචියක්‌ ලැබී තිබිණි.

තවත් මඳ වේලාවකින් කොළඹ මහ රෝහලේ සිට එතැනට පැමිණි ඇතුලත්මුදලි මහතා ගේ රියෑදුරු තැන වේදිකාවේ මේසය මත තිබූ ඇතුලත්මුදලි මහතාට අයත් කළුපැහැති අත් බෑගය පොලිස්‌ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් පරීක්‍ෂණ සඳහා එම අත් බෑගය පොලිසිය භාරයේ තබා ගන්නා ලදී.

පෙරමුණේ තවත් සංවිධායකයකු වන උපුල් ද කොස්‌තා මහතාගේ මෝටර් රථයෙන් මම ද වහා රෝහල බලා පිටත්ව ගියෙමි.

කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශය වෙත අප ළඟා වෙන විට වේලාව රාත්‍රී 10.00 පමණ විය. ඒ අවට මුළු පළාතම එකම හිස්‌ ගොඩකි. රෝහල් භූමියේ පිටත මෙන්ම එහි ඇතුළත ද විශාල ජනකායක්‌ වූහ.පොලිස්‌ භටයෝ සෑම තැනම මුරකරමින් සිටියාහ. ජනමාධ්‍ය හැඳුනුම්පත පෙන්වමින් මම ඉතා අමාරුවෙන් එහි ගේට්‌ටුවෙන් ඇතුළු වීමි.

රෝහල් භූමියේ පිරී සිටි ජනයාගෙන් සමහරු, සිද්ධියෙන් කම්පාවට පත්ව දුක වාවාගත නොහැකිව හඬා වැළපෙමින් සිටියහ.

මේ අතර හදිසි අනතුරු වාට්‌ටුවේ ඉස්‌තෝප්පුවේද යකඩ දොරවල් වසා තිබිණි. ඇතුළේ සිදුවන්නේ මොනවාදැයි බලාගැනීමේ කුතුහලයෙන් බොහෝ දෙනා එම යකඩ දොරවල්වල එල්ලී සිටියහ. හඬමින් වැළපෙමින් හා පරුෂ වචනයෙන් බණිමින් සිටින ඔවුන්ද බලා සිටිනුයේ කොයි මොහොතේ ඇතුළට රිංගා ගන්නවාද කියාය. ආරක්‍ෂක නිලධාරීන්ට නැවත වරක්‌ ජනමාධ්‍ය හැඳුනුම්පත පෙන්වූ මම ඉතා අමාරුවෙන් ඇතුළට පැන ගත්තෙමි.

නවීන ගොඩනැගිල්ලේ ඇතුළත ඉඩකඩ බොහෝය. එහි ද එකම කලබලයකි. වෛද්‍යවරුන්. හෙදියන්, සාත්තු සේවකයන් සුළු සේවකයන්, රෝගීන් හා මිශ්‍රවුණු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මිතුරන්, ඥතීන් ආධාරකරුවන් පාක්‍ෂිකයන් හා ඒ මහතාට ආදරය කරන්නන්ගෙන් මුළු ශාලාවම පිරි තිබිණි. පොලිස්‌පතිවරයා එහි පැමිණ සිsටියේය. යටියන්තොට හිටපු මන්ත්‍රීවරයකු වන වින්සන්ට්‌ පෙරේරා, බටහිර කොළඹ පළාත් සභා අපේක්‍ෂක ඩිඩාකස්‌ අල්මේදා කැස්‌බෑවේ සංවිධායක ලක්‍ෂ්මන් අබේගුණරත්න, ශ්‍රීලනිප මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු තවත් පිරිසක්‌ පොලිස්‌පතිවරයා වටකරගෙන සිටියහ. කීපදෙනෙක්‌ ඔහුට තදින් දොස්‌ පවරන්නට වූහ. උස්‌ හඬින් බණින්නට වූහ. කිරුළපන රැස්‌වීමට පොලිස්‌ ආරක්‍ෂාව නොයෙදීම ඔවුන්ගේ බලවත් කෝපයට හේතු විය. එහෙත් මෙතැන සිටි බොහෝ දෙනා පොලිස්‌පතිවරයාගේ හිතවතුන්ය.

දැන් ඉතින් කලබල කරල තේරුමක්‌ නෑනේ. කොහොමහරි අපි නොහිතපු දෙයක්‌ සිද්ධ වුණා. හැමෝම සන්සුන් වෙලා මේ මනුස්‌සයව බේරගන්න ඉඩ දෙන්න. පොලිස්‌පතිවරයා තම හිතවතුන්ට බැගෑපත් විය.

වසා මුර යොදා තිබුණු රෝහලේ තවත් තහනම් කලාපයකට මම ඇතුළුවීමි. ශල්‍යාගාරය දැඩි සත්කාර ඒකකය හා ලේ ගබඩාව ආදී ඉතා වැදගත් ස්‌ථාන මේ ප්‍රදේශයේ ඇත. සරණපාල පමුණුවත් 'ලංකාදීපේ' දුෂ්‍යන්ත සමරසිංහත් මට මුණ ගැසුණි. වීදුරු දොරක්‌ යොදා තිබූ කාමරයක්‌ අසලට සරණපාල මා කැඳවා ගෙන ගියේය. වීදුරු දොරෙන් එහා ශල්‍යාගාරයත් දැඩි සත්කාර ඒකකයත් පිහිටා තිබිණි. ඒවා වසා දමා ඇත. කුඩා ඉස්‌තෝප්පු කැබැල්ලේ කීප දෙනෙක්‌ සිටියහ. ඔවුන් රෝහලේ අයයි. අපේ අනුර හොරේෂස්‌ ද ඒ අතර සිටියේය. ඉස්‌තෝප්පු කැබැල්ලේ අයිනක ලේවලින් නැහැවී ගිය ට්‍රොලියකි. ඇතුලත්මුදලි මහතා රෝහල තුළට ගෙන ආවේ මේ ට්‍රොලියේ දමාගෙන බව දැනගන්නට ලැබුණු බව සරණපාල කීවේය. මම නැවත වරක්‌ රෝහලේ මැද ශාලාවට ගියෙමි.

මේ හැම ගාලගෝට්‌ටි මැද හදිසි අනතුරු අංශයේ සේවකයෝ තම සුපුරුදු සේවය එහෙත් වඩාත් කලබලකාරීව කරති. හදිසි අනතුරුවලට මුහුණ පා ගෙන එන මිනිසුන් බාර ගනිති. ප්‍රතිකාර කරති. රෝගියෙකු ඇතුළට ගන්නට දොර අරින සෑම මොහොතකම තවත් හත් අට දෙනෙක්‌ රිංගති.

වහා එහි පැමිණි ගාමිණි දිසානායක මහතා හිතවතුන් හා සමඟ ඉක්‌මනින් දැඩි සත්කාර ඒකකය වෙත කැඳවාගෙන යනු ලැබීය. එහෙත් කොහොමද එයට ඇතුළුවන්නේ ඔහු පසුපස එය තුළට රිංගා ගැනීමට මාන බලන විශාල පිරිසකි. එම පිරිස නවතන ලදී.

හදිසි අනතුරු අංශයේ ඉස්‌තෝප්පුවේ පිළිගැනීමේ කවුන්ටරය අසල මම රැඳී සිටියෙමි. මට මොහොතක්‌ එහි පිළිගැනීමේ නිලධාරියා වන්නට සිදුවිය. කවුන්ටරය මත වූ දුරකථනයට හුස්‌ම ගන්නට පවා ඉඩක්‌ නොවීය. සෑම තත්පරයකටම වරක්‌ එය නාදවිය.

"ඇතුලත්මුදලි මහත්තයාට දැන් කොහොමද"

"ඒ මහත්තයා අන්තරා වුණා." මම පැවසුවෙමි.

"අයියෝ....... පව්"

වේලාව මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ ඇත. නාරාහේaන්පිට අජිත් සමග මම පාරට පැමිණියෙමි. පාර පුරා පොලිස්‌ බළකායකි. කුළු, පොලු, කඳුළු ගෑස්‌ සහිතව එහෙත් කනස්‌සල්ලෙන් මෙන් මෙම පොලිස්‌ නිලධාරීහු බලා සිටිති. උසස්‌ නිලධාරීන් හට අණ දීමේ අවශ්‍යතාවක්‌ නැති බව පෙනේ. ඔහේ බලාගත් අත බලාගත්වනම සිටිති. කෝප වූ ජනයා පොලිස්‌ නිලධාරීන් ඉදිරියටම පැමිණ පරුෂ වචනයෙන් බණිති. එහෙත් කුඩා ළමුන් පිරිසක්‌ මෙන් පොලිස්‌ නිලධාරීහු කරබා සිටිති.

කාර්යාලයේ මෝටර් රථයට සරණපාලත්, නාරාහේන්පිට අජිතුත් මමත් ගොඩවුණෙමි. 'දිවයින' බලා රංජිත් රිය පැදවීය. වේලාව අලුයම 1.00 ට පමණ විය.

* මුදිත කාරියකරවන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.