වෙලේ සුදා හා සබඳතා පැවැත්වූ නිළියන් රටට හෙළි කරන්න
නළු නිළියන් රැසක්‌ පොලිසියට කියති



රහස්‌ පොලිස්‌ අත්අඩංගුවේ පසුවන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නමැත්තා මේ වන විට හෙළිකර ඇතැයි සඳහන් තොරතුරු මත රටේ ආන්දොaලානාත්මක මාතෘකාවන් කිහිපයක්‌ පසුගියදා කරළියට පැමිණුනි.

ඔහු සමග සබඳතා පැවැත්වූ ප්‍රකට ඇමැතිවරුන් මෙන්ම විවිධ පුද්ගලයන් වෙතැයි ද වාර්තා විය. රටේ දේශපාලනඥයන් පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම අරුමයක්‌ ද නොවේ.

මෙවැනි පසුබිමක්‌ තුළ රටේ ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකු ද වෙලේසුදා සමග සබඳතා පැවැත්වූ බවට ඇතැම් ඕපාදූප වෙබ් අඩවිවල සඳහන් වීම මෙය තවදුරටත් කතාබහට ලක්‌වන මාතෘකාවක්‌ කළේය.

අදාළ වෙබ් අඩවි සඳහන් කරන ආකාරයට නිවාස, මෝටර් රථ ලබාදීම ඇතුළු නොයෙක්‌ ආකාරයේ වරප්‍රසාද රැසක්‌ වෙලේසුදා විසින් ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකුට ලබාදී ඇතැයි වාර්තා විය. එපමණක්‌ නොව එම නිළියන්ගේ නම් පවා ප්‍රසිද්ධියට පත් කිරීමට අදාළ වෙබ් අඩවි කටයුතු කර තිබිණි. එහිදී වගකීමකින් තොරව වාර්තා කර තිබූ එම ප්‍රවෘත්ති කිසිදු පදනමකින් තොර බව සමස්‌ත නිළියන් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ කැඳවමින් පසුගියදා ප්‍රකාශ කළහ.

කිසිදු සාක්‍ෂියක්‌ නොමැතිව දිවයිනේ ජනප්‍රිය නිළියන් ඉලක්‌ක කරගෙන ගිය මෙවැනි මඩ ප්‍රචාර සමස්‌ත නිළියන්ට සිදුකළ අපහාසයක්‌ බව ද ඔවුහු කියා සිටියහ.

රාජගිරිය සවරින් හෝටලයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා සේමිණි ඉද්දමල්ගොඩ, දිල්හානි ඒකනායක, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි යන ජනප්‍රිය නිළියන් මෙන්ම මොහාන් රාඡ් මඩවල, ධර්මසිරි බණ්‌ඩාරනායක, ලක්‍ෂ්මන් විෙ-සේකර, අනුරුද්ධ ජයසිංහ යන කලාකරුවන් ද එක්‌ව සිටියහ.

එම මාධ්‍ය හමුව අමතා අදහස්‌ දැක්‌වූ ප්‍රවීණ රංගන ශිල්පිණී සේමිණී ඉද්දමල්ගොඩ -

සත්‍ය අසත්‍යතාව සොයා බලන්නේ නැතිව මාධ්‍ය මගින් කරන මෙවැනි මඩ ප්‍රචාර සමස්‌ත නිළියන්ටම කරන අපහාසයක්‌.

වැරදි කරන නිළියන් ඉන්න ඇති. නමුත් මෙවැනි දේවල්වලින් අපට වන හානිය වෙනුවෙන් කිසිවකු පෙනී ඉන්නේ නැහැ. නිළියන්ට කළ මෙවැනි අභූත චෝදනා ඇතැම් වෙබ් අඩවි නිවැරදි කර තිබුණා. නමුත් ඒක කලින් ලබාදුන් ප්‍රසිද්ධිය තරම් අවස්‌ථාවක්‌ ලබාදී තිබුණේ නැහැ.

සමස්‌ත නිළියන් වෙනුවෙන් අප පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්‌ කරනවා මෙවැනි අපහාස කරන අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට.

එසේම වෙලේසුදා සමග සබඳතා පැවැත්වූ නිළියන් වහාම රටට හෙළිකළ යුතුයි. මෙවැනි ප්‍රචාර හරහා සමස්‌ත නිළියන් දැඩි අපහසුතාවකට පත් වුණා.

මෙවැනි පුවත් පළ වූ වහාම මමත් ලෝචනාත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. එම පුවත් හරහා වැඩියෙන්ම අපහාසයට ලක්‌ කළේ අප දෙදෙනාවයි. වෙලේසුදාගෙන් මුදල් වාහන ලබා ගත්තා කියලා. මෙවැනි දේවල්වලින් අපිව කලබල කරලා ඔහු සමග සබඳතා පැවැත්වූ ඇත්ත නම් ගම් හෙළි කරන්න ගත් උත්සාහයක්‌ වෙන්නත් පුළුවන්. චෝදනා සාක්‍ෂි ඇතිව ඔප්පු කරන්න. මේක ජාතික අපරාධයක්‌.

කැමරාව ඉදිරියේ රඟපාන අපටත් පෞද්ගලික ජිවිතයක්‌ තිබෙනවා. සැමියෙක්‌, දරුවන් නෑදෑ හිතවතුන් ඉන්නවා. මේ ක්‍ෂේත්‍රයේදී හැමෝම ගැන හිතන්න අපට බැහැ. අපි දාඩිය මහන්සියෙන් හම්බ කළ දේවල් මෙවැනි පුවත් හරහා ඇතැමුන් පුද්ගලික වුවමනාවන් ඉටු කර ගන්නවා වෙන්න පුළුවන්.

රංගන ශිල්පිණී ලෝචනා ඉමාෂි -

මේ අය අපේ ජීවිතත් එක්‌ක සෙල්ලම් කරනවා. මම ළඟදී විවාහ වෙන්නයි ඉන්නේ. මෙවැනි චෝදනා එල්ල වුණොත් කවුද කැමති අපිව විවාහ කර ගන්න. දැන් පාරට බහින්න බැරි තත්ත්වයක්‌ උදා වෙලා. රත්රන් මාලයක්‌ දාන්න බැහැ. එකත් කුඩු සල්ලිවලින් ද ගත්තෙ අහනවා. රඟපෑම ඒසී කාමරවල ඉදන් කරන්න බැහැ. බොහොම දුක්‌ මහන්සියෙන් අපි මුදල් හොයන්නේ. මෙවැනි චෝදනාවලින් අප තනිවම දරා ගන්නවා. නමුත් අපේ පවුල්වල මානසික තත්ත්වය. වෙබ් අඩවි මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. අහිංසක මිනිසුන්ගේ ජීවිත එක්‌ක සෙල්ලම් කරන්න එපා.

ප්‍රවීන රංගන ශිල්පිණී දිල්හානි ඒකනායක -

වෙබ් අඩවි යෑපෙන්නේ ඕපාදූපවලින්. නමුත් ඕපාදූපවලින් වෙන්නේ මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් ඇති කිරීමයි. ඒක බරපතල වැරැද්දක්‌. මම ෙµaස්‌බුක්‌ එකේ නැහැ. නමුත් මගේ නම්වලින් ගිණුම් තුනක්‌ තිබෙනවා. අපි දන්නෙවත් නැහැ ඒවා කරන්නේ කවුද කියලා.

මත්ද්‍රව්‍ය ජාතික අපරාධයක්‌. එවැනි ජාතික අපරාධයකට කලාකරුවන් සම්බන්ධ කර ගැනීම පහසුවෙන් අත්හැරිය යුතු දෙයක්‌ නෙමෙයි. මෙය සමාව දිය නොහැකි වරදක්‌.

අපේ වෘත්තීය, කලාව ගැන ගෞරවයක්‌ තිබෙනවා. ඒවා නිකම්ම නිකන් මෙවැනි ව්‍යාජ පුවත්වලින් කඩාබිඳ දමන්න බැහැ.

කලාකරුවන් හැටියට අපේ එකමුතුකමක්‌ නැහැ. මෙවැනි සිද්ධියකදී තමයි එකතු වෙන්නේ. අපි හිතනවා කලාකරුවන් වෙනුවෙන් වෘත්තීය සමිතියක්‌ තිබිය යුතුයි කියලා. දැන්වත් අපේ කලාකරුවන්ට ඇස්‌ ඇරෙයි කියා විශ්වාස කරනවා. කලාව නළු නිළියන්ගේ ජීවිතයයි.

ප්‍රවීන රංගන ශිල්පිණී නදීකා ගුණසේකර -

යම් කිසි ප්‍රවෘත්තියක්‌ පළ වුණාම එහි කර්තෘට කතා කරන්න අවස්‌ථාවක්‌ තිබුණා. එවැනි ලිපි ලියන කෙනාගෙන් අහන්න පුළුවන්කම තිබුණා. කලාකරුවන්ගේ ලිපිවලින් කොතරම් පටු පුරවනවාද? එහෙම තියෙද්දී වෙබ් අඩවිවලින් කිසිම හොයා බැලීමක්‌ නැතිව ඇයි මේ විදිහට අපිව අපහාසයට ලක්‌ කරන්නේ. එහෙම කරන්න එපා. ඇත්තටම කිව්වොත් කැත වැඩක්‌.

ප්‍රවීන රංගන ශිල්පී ලක්‍ෂ්මන් විඡේසේකර - මේ පිරිහෙලා තිබෙන රටක මෙවැනි දේවල් පුදුම විය යුතු නැහැ. අපේ දියණිවරුන් කලාවට සම්බන්ධයි. සොයා බලන්නේ නැතිව කරන මෙවැනි ප්‍රචාර මගින් සමස්‌ත කලාවම පිහිරිලා යනවා. අනාගතයේ මේ ක්‍ෂේත්‍රයට එන්න ඉන්න අය බය වෙනවා. මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

මොහාන් රාඡ් මඩවල - මේක අපහාසයක්‌ වගේම අපරාධයක්‌. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කියා තිබෙනවා මේ නිළියන් වගේම කිසිම නිළියක්‌ සම්බන්ධ නැති බවට. නමුත් එම ප්‍රවෘත්ති මඩ ප්‍රවෘත්ති තරම් ප්‍රසිද්ධ වුණේ නැහැ. නමුත් මේ ජීවිතවලට සිදුවූ හානිය තවම අවසන් වෙලා නැහැ. ඔවුන්ගේ ප්‍රතිරූපයට සිදුවූ හානිය හා පීඩාව තවමත් එසේමයි. මේ තත්ත්වය ගැන බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතුයි.

ලසිත දුමින්ද

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.