රගපෑම කොයිවෙලාවේ නතර වෙයිද දන්නේ නැහැ
- දිනක්‌ෂි පියසාද්

නිවේදිකාවක්‌ ලෙස රංගන ක්‍ෂේත්‍රයට පිවිසි දිනක්‌ෂි පියසාද් අද වනවිට ජනපිය රංගන ශිල්පිනියන් අතර රැඳී සිටිමින් තමන්ගේ දක්‌ෂතාව හරහා ඉදිරියට යමින් සිටියි. වසර හයක පමණ කාලයක්‌ පුරාවට ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්‌ෂක සිත් ඇදබැඳගත් ඇය අද ඇගේ ප්‍රථම සිනමා නිර්මාණ හරහා අලුත් මුහුණුවරකින් ඇගේ දක්‌ෂතාව ඉදිරිපත් කරන්න සූදානමින් සිටියි. ඇගේ ප්‍රථම සිනමා අත්දැකීම පිළිබඳ අපත් සමග මෙසේ අදහස්‌ දැක්‌වූවා.

*  දිනක්‌ෂි මොනවද මේ දවස්‌වල අලුත් තොරතුරැ?

අලුත් අවුරැද්ද නිසා පොඩි කාලයක්‌ විවේකයෙන් හිටියා. ඒත් දැන් ආපහු වැඩ පටන් අරගත්තා. සරත් ධර්මසිරි ගේ උත්තම පුරුෂ සහ ක්‍රිස්‌ටි ෂෙල්ටන් ගේ ටී ටුවෙන්ටි ටෙලි නාට්‍ය දෙකේම රූගත කිරීම් මේ දවස්‌වල සිදු කරනවා. ඒ වගේම චන්ද්‍රම්රත්නම් ගේ මේ වගේ ආදරයක්‌ චිත්‍රපටයේත් රූගත කිරීම් අවසන් කළා. ලබන සතියේ එහි හඬ කැවීම් කටයුතු ආරම්භ කරනවා.

* මේ දවස්‌වල රංගන කටයුතුවලට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද?

එහෙමම කියන්නත් බැහැ. මට ගොඩක්‌ නාට්‍යවලට ආරාධනා ලැබෙන්නෙත් නැහැ. හැබැයි එක නාට්‍යය වැඩ අවසන් වෙනකොටම තවත් නාට්‍යකට ආරාධනා නම් ලැබෙනවාමයි.

* කාලෙකට පස්‌සේ නේද චිත්‍රපටයකට ආරාධනා ලැබුණේ?

ඇත්තටම ඔව්. මම මගේ තාත්තාගේ චිත්‍රපටයක නම් උප ප්‍රධාන චරිතයක්‌ කළා. නමුත් ප්‍රධාන චරිතයක්‌ හරහා සිනමාවට සම්බන්ධ වෙන මුල්ම අවස්‌ථාව තමයි මේ.

* කොහොමද ලැබුණු අත්දැකීම?

මම කලින් කිව්ව වගේ හොඳ අධ්‍යක්‌ෂවරයෙක්‌ යටතේ නිර්මාණය වුණ උසස්‌ මට්‌ටමේ සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයක්‌ කරපු මුල්ම අවස්‌ථාව තමයි මේ. ඇත්තටම ඒක ලොකු භාග්‍යයක්‌ විදිහටයි මම දකින්නේ. මොකද ආධුනික රංගන ශිල්පිනියක්‌ විදිහට ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයින් පිරිසක්‌ එක්‌ක වැඩ කරන්න ලැබීමත් වාසනාවක්‌.

* දැන් නිවේදන කටයුතුවලින් ඈත්වෙලාද? නැත්නම් ආරාධනා ලැබෙන්නේ නැතුවද?

නැහැ. ඈත්වෙලාම නැහැ. පුරුදු විදිහටම ස්‌වර්ණවාහිනියේ බොලිවුඩ් මැර්ක්‌ වැඩසටහන ඉදිරිපත් කරනවා. නිවේදන කටයුතුවලට ආරාධනා ලැබුණත් රංගන කටයුතු නිසා ඒ වෙනුවෙන් යොදවන්න තියෙන කාලය හරිම අඩුයි. විශේෂයෙන් සජීවී රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ආරාධනා ලැබුණත් ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලයක්‌ තමයි නැත්තේ.

* දිනක්‌ෂි පසුගිය දවස්‌වල වැඩි කාලයක්‌ වෙන් කළේ උසස්‌ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නේද? දැන් අධ්‍යාපන කටයුතු අවසන් කරලද තියෙන්නේ?

අනේ නැහැ. තවම ඉවර නැහැ. තව අවුරුදු දෙකක්‌ තියෙනවා මගේ උපාධිය අවසන් කරන්න. මම ඇඟලුම් නිෂ්පාදන සහ කළමනාකරණය පිළිබද තමයි උපාධිය හදාරන්නේ.

* රංගනය කියන්නේ පැවැත්මක්‌ තියෙන වෘත්තියක්‌ නෙවෙයි නේද?

ඒ නිසානේ කොච්චර කාර්ය බහුල වුණත් අධ්‍යාපන කටයුතු අත්හරින්නේ නැතුවම කරන්නේ. මොකද රඟපානවා කියන දේ කොයි වෙලාවේ නැතිවෙයිද දන්නේ නහැ. ඒ නිසා රැකියාවක්‌ කරන්න පුළුවන් විදිහේ සුදුසුකම් හදාගෙන තියාගන්න එක වටිනවා. ඒත් මගේ හිතේ නම් කොච්චර ඉගෙනගත්තත් වැඩි කැමැත්තක්‌ ආසාවක්‌ තියෙන්නේ රංගනයට.

* දිනක්‌ෂි හැමදාමත් ඒකාකාරී චරිතවලට කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

මටත් සමහර වෙලාවට එහෙම හිතෙනවා. ඒත් ඉතින් අධ්‍යක්‌ෂකවරයා මාව තෝරාගන්න චරිතය ඔහුගේ නිර්මාණයට සාධාරණයක්‌ ඉටු වෙන විදිහට මම කරන්න ඕනනේ.

* දැන් අක්‌කල නංගිල තුන්දෙනාට එකතු වෙන්න ලැබෙන කාලය අඩුයිද?

ඔව් දැන් ලොකු නංගි ඉන්නෙ වෙනම ගෙදරක. මමත් ගොඩක්‌ කාර්ය බහුලයි. පොඩි නංගිටත් වැඩ වැඩියි. ඒත් ඉතින් පොඩි නංගි එක්‌ක නම් මට ගොඩක්‌ වෙලාවට එකට ඉන්නවා. නමුත් තුන්දෙනා නම් දැන් එකට එකතු වෙන්නේ අඩුවෙන්මයි.

* නංගි නම් විවාහ වෙලා පිළිවෙළක්‌ වුණා. අක්‌ක කවදද විවාහවෙලා පිළිවෙලක්‌ වෙන්නේ?

තවම මම ඒ ගැන හිතලත් නැහැ. මට තවම ඒ ගැන හිතිලත් නැහැ.

* ඒත් ඉතින් හැමදාම විවාහය කල්දාන්න බැහැ නේද?

ඔව්, ගෙදරින් නම් කරදර කරනවා ඉවරයක්‌ නැහැ. යෝජනාත් ගේනවා. ඒත් ඉතින් මට තවම විවාහ වෙන්න ඕන කියලා හිතිලා නැහැ. අනිත් කාරණාව තමයි විවාහ වෙන්න ඕනම කියලා නියමයක්‌ නැහැනේ නේද? ජීවිතය සතුටින් ගත කරන්න විවාහය අත්‍යවශ්‍යමයි කියලා මම නම් හිතන්නේ නැහැ. මම මෙහෙම හිතනවා කියලත් අම්ම නම් මට බණිනවත් එක්‌ක.

* විවාහය කියන්නේ රටටම පේන්න ලොකු වෙඩින් එකක්‌ ගන්න එක නෙවෙයිනෙ නේද?

මමත් තවම ඒ ගැන හිතනවා. ඉස්‌සරහට මගේ තීරණය කොයි වගේ වෙයිද කියලා දැන්ම කියන්න බැහැ.

සටහන ශාලිකා තිලක්‌ෂණී
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.