මහින්ද මෛත්‍රී සාකච්ඡා නොපැවැත්වෙන ලකුණු

කුෂාන් සුබසිංහ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ සැලසුම් කළද එම හමුව නොපැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්‌සේ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට වාර්තා විය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ක්‍රියාකාරීන්ව සිටි හිටපු ඇමැතිවරුන්ට සහ රාජපක්‍ෂ පවුලේ අයට වත්මන් පාලනය යටතේ දිගින් දිගටම හිරිහැර සිදුකිරීම නිසා මෙවැනි සාකච්ඡාවකට සහභාගිවීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රතික්‍ෂේප කිරීම මෙම හමුව නොපැවැත්වීමට හේතුවී ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ඇමැතිවරු සහ රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක්‌ මේ වන විට අසත්‍ය චෝදනා පදනම් කරගෙන දේශපාලන පළිගැනීම්වලට ලක්‌කර තිබෙන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා එවැනි තත්ත්වයක්‌ මත වත්මන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට යැම සුදුසු නොවන බව හිටපු ඇමැතිවරයෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.