ලන්ඩන් සටහන් - සුජීව නිවුන්හැල්ල

සිංහලයෝ දිනති;
මිලිබෑන්ඩ් පසු බසියි


අප්‍රේල් 13 සහ 14 වනදාට යෙදුනු සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙමළ ප්‍රජාවට පමණක්‌ සුබ පැතූ විපක්‌ක්‍ෂ නායක හා කම්කරු පක්‌ක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් බ්‍රිතාන්‍යයේ වෙසෙන සිංහල ජනයාගේ විරෝධය හමුවේ ඔහුට පසු බෑමට සිදුවිය.

ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලය සහ බ්‍රිතාන්‍යයේ පිහිටුවා ගෙන තිබෙන බොහෝ ශ්‍රී ලාංකික සංවිධාන මිලිබෑන්ඩ්ට ඔහුගේ වරද පෙන්වා විරෝධය දැක්‌වූහ. ඒ අනුව ඔහු ලන්ඩනයේ වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ආචාර්ය චානක කල්පහේවා මහතාට ලිපියක්‌ එවමින් කියා තිබුණේ සිංහල සහ දෙමළ අවුරුද්ද වෙනුවෙන් සිංහල, දෙමළ සහ මුළු ශ්‍රී ලාංකික ප්‍රජාවටම තමා සුබ පතන බවයි.

ඊට අමතරව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගෙන් බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට, ව්‍යාපාරවලට සහ සංස්‌කෘතියට ලැබෙන දායකත්වය අගය කරන බවද ඔහු අවධාරණය කර තිබේ.

තවද ලන්ඩනයේදී තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණු බවත් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජනයා අතර සහජීවනය ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා ගන්නා වෙහෙස පිළිබඳව ඔහු සිරිසේන මහතාට ප්‍රශංසා කරන බව ද මිලිබෑන්ඩ් පවසා තිබුණි.

කම්කරු පක්‍ෂයේ සාමාජිකයකු වන ලන්ඩනයේ හවුන්ස්‌ලෝහි ජනහඬ පදනමේ සභාපති ලාල් ඩයස්‌ ඇතුළු පිරිසක්‌ වරද පෙන්වා දීම සඳහා මිලිබෑන්ඩ් හමුවීමට ගොස්‌ තිබූ අතර මිලිබෑන්ඩ් තමාගේ අතපසුවීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කොට ඇත. තවද මිලිබෑන්ඩ්, අලුත් අවුරුද්ද වෙනුවෙන් සිංහල, දෙමළ සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුබ පතන වීඩියෝ පණිවිඩයක්‌ ජනහඬ පදනම මගින් වෙබ් අඩවියට නිකුත් කොට තිබේ.

බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේදී
කේම්බ්‍රිඡ් ආසනය සදහා චමලී ප්‍රනාන්දු තරග කරයි


අධිනීතීඥවරියක වන චමලී ප්‍රනාන්දු මෙනෙවිය මැයි හත්වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේදී කේම්බ්‍රිඡ් ආසනය සඳහා තරඟ කිරීමට පාලක කොන්සර්වේටිව් පක්‍ෂයෙන් තෝරා ගෙන ඇත.

මීට පෙර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සාමාජිකාවක්‌ වූ ඇය ලන්ඩන් නගරාධිපති තනතුර සදහා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ අපේක්‍ෂිකාව ලෙස තරඟ කිරීමට ඉල්ලුම් කළද ඒ සඳහා ඇයව තෝරා ගත්තේ නැත.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් අස්‌වූ ප්‍රනාන්දු මෙනෙවිය කොන්සර්වේටිව් පක්‌ක්‍ෂයට බැඳුනු අතර දැනට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මංත්‍රීවරයකු සිටින කේම්බ්‍රිඡ් ආසනයේ කොන්සර්වේටිව් පක්‌ක්‍ෂ අපේක්‍ෂිකාව ලෙස නම් කිරීම දෛවයේ සරදමකි. ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පෙළ ගැසෙමින් සිටින අතර ඇයගේ ජන්ද ව්‍යාපාරයට උදව් කිරීම සදහා පැමිණෙන ලෙස බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් ඇය ඉල්ලා සිටියි.

ඇයගේ වත ගොත පිළිබඳව ඉරිදා දිවයින හා කතා කළ චමලී කියා සිටියේ ඇයගේ දෙමව්පියන් වසර එක්‌දහස්‌ නවසිය හැට ගණන්වල එංගලන්තයට සංක්‍රමණය වී ඇති බවයි. පියා වෘත්තියෙන් නීතිඥයෙකු බවත් මව මුලදී හෙදියක්‌ වශයෙන් සේවය කළත් පසුව අධ්‍යාපනය ලබා මහෙස්‌ත්‍රාත්වරියක වූ බවයි.

තමා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වීමට හේතුව වශයෙන් දක්‌වා සිටියේ එම පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය කෙමෙන් ගිලිහී යාමයි. බ්‍රිතාන්‍යයේ වෙසෙන කොටි ත්‍රස්‌තවාදීන්ට පක්‍ෂග්‍රාහී දෙමළ අයගේ ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා හොඳ නීති පද්ධතියක්‌ අවශ්‍ය බවත් එහෙත් බ්‍රිතාන්‍යයේ වෙසෙන අනෙකුත් දෙමළ ජනයා වෙන්කර හඳුනාගත යුතු බවත් ඇය පැවසුවාය.

කේම්බ්‍රිඡ් ආසනය ජයග්‍රහණය කිරීම සඳහා තියුණු තුන් කොන් සටනක්‌ පවතින බවත් සාර්ථක ජන්ද ව්‍යාපාරයකින් ජයග්‍රහණය ලබා ගත හැකි බවත් පැවසූ චමලි ඇයට උදව් උපකාර කිරීම සඳහා ඇය හා එක්‌වන ලෙස බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටියි.

බෝ මළුවේ සුදු වැලි කැට

ප්‍රවීණ ගේය පද රචක පූජ්‍ය කෝන්වැවේ අරියරතන ස්‌වාමීන්වහන්සේ රචිත 'බෝ මළුවේ සුදු වැලි කැට' 'ගීත සංග්‍රහයද' 'බෝ මළුවේ සුදු වැලි කැට්‌ සහ 'පුංචි පුංචි තාරකා' සංයුක්‌ත තැටි යුගලය ද දොරට වැඩීමේ උත්සවය පසුගිය සතියේ ලන්ඩනයේ ලන්ඩන් බෞද්ධ විහාරස්‌ථාන ශාලාවේදී පැවැත්වුණි.

ප්‍රවීණ ගායක කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන 'විරාජිනී' ගීතය ඇතුළු ගීත රාශියක්‌ ලියූ උන්වහන්සේ අනුරාධපුරයේ කෝන්වැව ග්‍රාමයේ ජන්ම ලාභය ලබා වර්තමානයේ ලන්ඩන් බෞද්ධ විහාරයේ වැඩවාසය කරයි.

මෙම උත්සවයට අරියරතන හිමියන් ගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙක්‌ සහභාගීවී සිටි අතර ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ ලන්ඩනයේ වැඩ බලන ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ ආචාර්ය චානක තල්පහේවාය.

මෙහිදී තල්පහේවා මහතාට අමතරව පූජ්‍ය බෝගොඩ සීලවිමල හිමි, සුගත් සෙනවිරත්න, ආචාර්ය අමල් ගුණසේන සහ පූජ්‍ය දඹර අමිල ස්‌වාමින්වහන්සේ දේශන පැවැත් වූහ. වෛද්‍ය උපාලි අබේසිරි, මදාරා කුමාරි මහත්මිය, උදේන ද සිල්වා මහතා, කුමාරි විඡේරත්න මහත්මිය හා කුමාරි පේරුසිංහ මහත්මිය රසිකයින් වෙනුවෙන් අදහස්‌ දැක්‌වූහ. ස්‌තූති කතාව කෝන්වැවේ අරියරතන ස්‌වාමීන්වහන්සේ සිදු කළ අතර වැඩ සටහන මෙහෙයවන ලද්දේ ආසිරි බණ්‌ඩාර විසිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.