කොටකෙතනෙන්
නෑසුණු කතාව

* එකෙක්‌ දෙන්නෙක්‌ අමන වැඩ කළාට ගමේ හැමෝම වනචාරීන් නෙමෙයි
* අපේ දරුවකුට පිට ගමකින් ගෑනියෙක්‌වත් දෙන්නේ නෑ
* ගමේ ඉස්‌කෝලෙට පිට පළාත්වල මිස්‌ලා එන්න බයයි

කඳු වළල්ලකට මැදි වූ කොටකෙතන හරිම ලස්‌සනය. කඳු පාමුල ගම්මුන්ගේ ගෙවල්ය. ගම මැද ඈතට දිවෙන වෙල් යායකි. වෙල් යාය අයිනෙන්, ගම මැදින් වැටුණු පාරට සමාන්තරව කොටකෙතන ඇළ පහළට ගලා බසී. ගම වටා ඇති කෙත්වතු, කියාපාන්නේ මිණි කැට සැඟ වූ පොළව බව බෝගවලටද සරු බවය. එහෙත් සශ්‍රීකයත්වය සහ සොබාසිරියෙන් අගතැන්පත් කොටකෙතන කාලයක සිට අඳුරු වලා පටලයකින් වැසී ගොස්‌ය. මුළු ගමම අමුතුම ගුප්ත බවකින් ද වෙලී ගොස්‌ය. මොනරුන්ගේ නාදයත්, රැහැයියන්ගේ කෙඳිරියක්‌ ගම තුළ රජයන ගුප්ත බවට මූසල බවක්‌ ද එකතු කරන්නාහ. දැන් කොටකෙතන උතුර නැගෙනහිර යුද සමයේ පැවති මායිම් ගම්මානයක්‌ වැනිය. පොලිස්‌, හමුදා නිලධාරීන් හැරෙන්නට මගතොටේදී ගම්වැසියකු මුණගැසෙන්නේ කලාතුරකිනි.

කොටකෙතනට මේ අඳුරු දසාව උදාවන්නේ මීට වසර හතකට ඉහත සිටය. එනම් 2008 අවුරුද්දේ ජුලි 21 වැනිදා පනස්‌ හය වියෑති සෙල්ලයියා මාරියා නම් කන්තාව කෲර ලෙස කපා කොටා ඝාතනය කිරීමත් සමගය. එතැන් සිට ඇරඹෙන ඝාතන වැලට මිනී මරුවෝ විටින් විට පුරුක්‌ ලෙයින් ගෙත්තම් කළහ. ඒ මිනී වැලේ දහ හත්වැනි පුරුක ලෙස පසුගියදා කාන්ති ඇයගේම පුතා විසින් අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කර කොටකෙතන ඇළේ සඟවා තිබිණි. දැන් ඒ සිද්ධියත් කොටකෙතන ගම්මුන්ට අමතකය. එහෙත් කොටකෙතන ඝාතන ශෝකාන්තය තවමත් ඉවර නැත. කොටකෙතන ගම්මු කියන විදිහට කොටකෙතන 'මරණ ගමක්‌' කළ ඝාතකයන්ගේ දෙවැනි පරම්පරාවත් දැන් ක්‍රියාත්මක වෙමින් සිටින්නේය. එමෙන්ම කොටකෙතන කෲර ඝාතන රැල්ලත් සමග ගම්වාසීහු ගැටලු රැසකට මුහුණ දී සිටින බවත් ගමේ කිහිප දෙනෙකු අප සමග කීහ. එහෙත් මරණ බියට ගමේ බොහෝ දෙනෙකු ඒ ගැටලු එළියට දීමට අකැමැත්තෙන් අප මඟ හැරියහ.

කහවත්ත නගරයෙන් වැටී ඇති කොටකෙතන මාර්ගයේ ටික දුරක්‌ යන විට මුණගැහෙන්නේ කහවත්ත සෘෂිනිකේතන පිරිවෙන් විහාරස්‌ථානයයි. කොටකෙතන ගම්මු වැඳුම් පිදුම් කරන පන්සල ද එයයි. එහෙයින්ම අප කොටකෙතන ගමේ ව්‍යසනකාරී තත්ත්වය ගැන ප්‍රථමයෙන් කතා කළ යුත්තේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ වන ශාස්‌ත්‍රපති පූජ්‍ය කහවත්තේ සේනින් ස්‌වාමීන් වහන්සේ සමගය.

''කොටකෙතන බොහෝම ලස්‌සනට තිබුණු ගමක්‌. ගම විනාශ වුණේ කසිප්පු ව්‍යාපාරයත් එක්‌ක. මේ ඝාතන රැල්ල නිර්මාණය වෙන්නෙත් මත්ලෝලීන් නිසා. ඒත් කොටකෙතන ගමේ කිහිප දෙනෙක්‌ වනචාරීන් විදිහට හැසිරුණාට හැමෝම එහෙම නෑ. වැදගත්, බුද්ධිමත් අය වගේම හොඳ ව්‍යාපාරිකයන් ජීවත් වෙනවා. සමහර මාධ්‍ය කියලා තිබුණා ගමේ මිනිස්‌සු පන්සලෙන් ඈත් වෙලා කියලා. එහෙම නෑ. ගමේ බොහෝ අය පන්සලත් එක්‌ක එකමුතුයි. පන්සලේ සෑම කටයුත්තකදීම මූලිකත්වය ගෙන කටයුතු කරන දායකයන් කිහිප පළක්‌ම ඉන්නවා. ඒ වගේම ගමේ සෙසු දායකයන් ද පුළු පුළුවන් විදිහට පින්කම්වලදී දායකත්වය දෙනවා. ඒ අතර පන්සලට එන්නේ නැති, ළමයෙක්‌ව දහම් පාසලට එවන්නේ නැති පවුල් කිහිපයකුත් කොටකෙතනේ ජීවත් වෙනවා. හැම ගමකම එහෙම අය ඉන්නවා. ගමක්‌ වනසන්න එහෙම එක පවුලක්‌ හිටියාම ඇති. මේ ගම විනාශ කරන්නෙත් පවුල් කිහිපයක්‌. ඒත් ඒක මුළු ගමටම කරන විශාල හානියක්‌. අපි වෙනත් පන්සලකට වැඩමකළත් 'මේ කහවත්තේ හාමුදුරුවොනේ' කියලා අපි දිහා බලන්නෙත් අමුතු විදිහට. වෙනත් ගමකට ගිහින් ගමේ නම කියන්න බැරි තැනට දැන් ගම පිරිහිලා. පුදුම විදිහට මිනිස්‌සු අසරණ වෙලා. කුඹුරක්‌ කොටාගෙන, තේ ගහක්‌ හදාගෙන කාටවත් කරදරයක්‌ නැතුව ජීවත් වෙච්ච මිනිස්‌සු දැන් ගම අතහැර දලා යන්න හදනවා. කාලෙන් කාලේට මේ විදිහට මිනිස්‌සු මරණකොට ගමේ යහපත් අය ගම අතහැරලා යනවා හැරෙන්න වෙන මොනවා කරන්නද... බලන්න... දැන් කාන්තාවන් දාහත් දෙනෙක්‌ මරා දලා තියෙනවා. මේ දාහතම මරපු කෙනෙක්‌ නෑ. අත්අඩංගුවට ගන්න අයත් නිදහස්‌ වෙනවා. ගම තුළ තවමත් මිනී මැරෙනවා. එහෙම පරිසරයක යහපත් අයට ජීවත් වෙන්න පුළුවන්ද...'' උන්වහන්සේ අප ඉදිරියේ ප්‍රශ්නයක්‌ ඉතිරි කර නිහඬ වූහ. අවසානයේ අපි උන්වහන්සේගෙන් අවසර ගෙන කොටකෙතන ගමේ පාසලේ විදුහල්පති හමුවීමට ගියෙමු.

කොටකෙතන ආලෝකවත් කරන පාසල පිහිටා ඇත්තේ ගම මැද කඳු ගැටයක්‌ මතය. එහෙයින් පාසල් භූමියට මුළු ගමම හොඳින් දර්ශනය වේ. කුඹුරු යාය, ඊට ඉහළින් රබර් වතු, තේ වතු, ගමේ සශ්‍රීකයත්වය, සුන්දරත්වය මනාවට දර්ශනය වේ. ගමේ පාසල මහා විශාල එකක්‌ නොවුව ද, පාසල් භූමිය සොබාසිරියෙන් පිරුණු තැනකි. එහෙත් ගමේ සුන්දරත්වය යටින් ගලා යන ප්‍රචණ්‌ඩත්වය නිසා කොටකෙතන පාසලට ගුරුවරු එන්න අදිමදි කරන බව පාසලේ ගුරුවරු අප සමග පැවසූහ.

''පිට පළාත්වල ගුරුවරු එන්නේ නැති නිසා පාසල පවත්වාගෙන යැමේදී ගැටලු මතු වෙනවා. මේ පාසලට දාපු සමහර ගුරුවරියන් පත්වීම භාරගන්නවත් ආවේ නෑ. මේ ළඟදී මිස්‌ කෙනෙක්‌ ආවා. ඒ ඇවිත් සතියක්‌ ගියේ නෑ මේ සිද්ධිය වුණා. දැන් ඒ මිස්‌ හොඳටම බය වෙලා. ඒක සාධාරණයි. හවස පන්ති කරලා ඇඳිරි වැටිලා යනකොට අපිටත් පුංචි බයක්‌ දැනෙනවා. කොහොම වුණත් රෑ වෙන්න ඉස්‌සර වෙලා අපි ගෙවල්වලට යනවා. අපේ බිරින්දෑවරුත් පරිස්‌සම් කරගන්න එපැයි. රෑ හතෙන් පස්‌සේ කහවත්ත නගරයේ ත්‍රීවීල් එකක්‌වත් ගමට එන්නේ නෑ. පහුගිය කාලේ මිනිස්‌සු මරපු නැති නිසා ගමේ මිනිස්‌සු රෑ පානේ ඇවිදලා සාමාන්‍ය විදිහට හිටියා. දැන් නැවතත් ගමේ අය බය වෙලා. මේ මරණය ගැන කතා කරන්නෙවත් නෑ. ඉස්‌සර නම් ගමේ ඔහොම මරණයක්‌ වුණහම මුළු ගමම එකතු වෙලා හොයනවා. මේ සිද්ධියේදී ගමේ ගොඩක්‌ම අය එළියටවත් ආවේ නෑ. ගමේ රාවයක්‌ යනවා වැඩියෙන්ම උදව් කරන්න යන අයටත් 'ඊළඟට ගැනීව ලෑස්‌ති කරලා තියපං' කියලා අනතුරු ඇඟවීම් කරනවා කියලා. ඒ නිසා ගමේ අය මේ ගැන කතා කරන්නෙත් නෑ. මේවා කවුරු කරනවද... මේවා යට කවුරු ඉන්නවද කියලා දන්නේ නෑනේ. හිටපු ගමන් ගමේ කාන්තාවක්‌ මරා දානවා. පොලිසිය පරීක්‍ෂණ කරලා කිහිපදෙනෙක්‌ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනවා. ටික කාලයකින් ඒ පුද්ගලයන් නැවත නිදහස්‌ වෙලා ගමට එනවා. ආයෙමත් කොතනක හරි ගමේ කාන්තාවක්‌ මරා දානවා. පරණ තැටියම ක්‍රියාත්මක වෙනවා. 2008 අවුරුද්දේ ඉඳල මේ චක්‍රය එක විදිහටම කරකැවෙනවා. පොලිස්‌ පරීක්‍ෂණවලින් ඔප්පු වෙන විදිහට මරණවලට විවිධ හේතු තියෙනවා. ඒත් කපා කොටා මරන්නේ එකම විදිහට...''

''මාධ්‍යයත් ගමට ලොකු හානියක්‌ කළා. විවිධ මාධ්‍ය මගින් කොටකෙතන ගම නූගතුන්, ම්ලේච්ඡයන් ඉන්න ගමක්‌ බවට පත් කළා. එක මාධ්‍යයක්‌ ප්‍රකාශ කරලා තිබුණා ගමේ ගෑණු කොටකෙතන ඇළේ නිරුවතින් නානවා කියලා. අපි පුංචි කාලේ ඉඳලා මේ ගමේ හැදුණේa වැඩුණේa එහෙම සිද්ධි නම් අපිට දැන ගන්න ලැබිල නෑ. අනිත් එක උගත්තු නෑ කියලා තියෙනවා. අපි සේරම ගුරුවරු... මගේ දුව මෙඩිකල් කෝලේඡ් එකේ ඉගෙන ගන්නවා. ඉංජිනේරුවො, පෙරකදෝරුවො මේ ගමෙන් බිහිවෙලා ඉන්නවා. මේ පාසලේ ඉගෙනගත්ත ළමයි අද ගුරුවරු වෙලා ඉන්නවා. රජයේ ඉහළ නිලතලවල රාජකාරි කරන අය ඉන්නවා. කොටකෙතන ගැන මාධ්‍යයෙන් පළ කරන දේවල් නිසා ගමේ අපි දැඩි ලෙස අපහසුතාවට පත් වෙනවා. පාඨකයන්ට කුණු රසය දෙනකොට ඒකෙන් ගමට වෙන හානිය ගැනත් බලන්න ඕනා...'' චන්ද්‍රසිරි ගුරු මහතා කතා නායකයා වූ අතර තවත් ගුරුමහත්වරු කිහිප දෙනෙකුම ඔහුගේ කතාවට අඩු වැඩිය එකතු කළහ.

කොටකෙතන විදුහලේ දැනට ළමයි එකසිය තිහක්‌ පමණ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිති. එක වසරේ සිට 11 වසර දක්‌වා පන්ති පැවැත්වෙන අතර සෑම වසරකම ළමයෙක්‌, දෙදෙනෙකු ශිෂ්‍යත්වය විභාගයෙන් ද සමත් වෙති. බොහෝ විට කොටකෙතන පාසලට එකතු වන්නේ ගමේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ය. ගුරුවරුන් පවසන ආකාරයට පාසලේ ළමයින් ගැන සැලකිලිමත් වන සහ නොවෙන දෙමවුපියො අඩු වැඩි නැතිව සිටින්නාහ. අප කොටකෙතන පාසලට යන විට පාසල නිම වී ළමයි නිවෙස්‌වලට පිටත්වී ගොස්‌ය. එහෙත් විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු කිහිප දෙනෙකු පාසලේ සිටියහ. ගමට වී ඇති නස්‌පැත්තිය ගැන කතා කිරීමට ගුරුමහත්වරු කිහිප පළක්‌ම නොබියව ඉදිරිපත් වුවද ගුරුවරියන් කිසිවකු අපගේ ප්‍රශ්න ඉදිරියේ කෙළ පිඬක්‌ නොහැලීය. වරින් වර මරා දමන්නේ ගමේ කාන්තාවන්ය. එහෙයින් 'තුවාලය තියෙන කෙනාටයි තුවාලේ වේදනාව දැනෙන්නේ' එහෙත් ගමේ පාසලේ ගුරුවරියන් සේම කොටකෙතන බොහෝ කාන්තාවන් ඔවුන්ගේ හදවත්වල පොපියන වේදනාව වචන කිරීමට මැළි වූහ. ඒ අතර මරණ බියට අභියෝග කරන කාන්තාවන් දෙදෙනකු අපට කතා කළහ. එකම නිවසක කතා බහ කරමින් සිටි කාන්තාවන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ විමලාවතීය. අනෙක්‌ කාන්තාව නන්දාවතීය.

''දැන් කාලෙක ඉඳලා අපේ පවුලේ අය රෑට නිදාගන්න එක ගෙදරකට එකතු වෙනවා. දවාලට ගෙදර හිටියත් කවුරුවත් නැති නම් ගෙදර වැඩ කරන්නේ දොරවල් වහගෙන. මේ පපුවේ පත්තුවෙන ගින්දරට බිත්තර සීයක්‌ වුණත් තම්බන්න පුළුවන් මහත්තයො...'' විමලාවතී පපුවට අත ගසා එසේ කියන්නීය.

කොටකෙතන ගම පුරා ඇවිද ගිය අප ද දොර පියනක්‌ හැරුණු නිවසක්‌ දුටුවේ කලාතුරකිනි. එමෙන්ම මහ මඟ ගමන් කරන කාන්තාවන් හැරෙන්නට ගෙවතුවලදී කාන්තාවන් ඇසගැසුණේ කලාතුරකිනි.

''මැරුවත් කමක්‌ නෑ. මරලා ගෙදර දාලා පලයන්. දෙන්න තියෙන දස වධ සේරම දීලා ඇඟේ නූල් පොටක්‌ නැති කරන එකනෙ ඉවසන්න බැරි. ගමේ මරපු හැම කෙනෙක්‌ම නිරුවත් කරලා තිබුණේ...'' විමලාවතීගේ කතාවට නන්දාවතී එසේ අඩු වැඩිය එකතු කළාය.

'කළුවර වැටෙනකොට කාපු ටික පිච්චිල යනවා. එළිය වැටෙනකම් විශ්වාසයක්‌ නෑ. දැන් නම් අපිට ගම එපා වෙලා. පිට ගමකින් කොල්ලෙකුට ගෑනියෙක්‌ දෙන්නෙත් නෑ. අපේ පුතාට දැන් අවුරුදු ගානක ඉඳල කසාදයක්‌ හොයනවා. කේන්දර හොඳට ගැලපෙනවා... ඒත් ගම කොටකෙතන කියලා කැමති වෙන්නේ නෑ... දවසක්‌ මම බෙහෙත් ගන්න ගිහිල්ලා කොටකෙතන කිව්වහම ඒ ඩොක්‌ටර් අහනවා 'ඇයි අම්මේ ඔයාව ඉතුරු වුණේ' කියලා...'

'මටත් ඒ වගේ සිද්ධියක්‌ වුණා...' පහුගිය දවසක මම බෙහෙත් ගන්න රත්නපුරේ ඉස්‌පිරිතාලෙට ගියා. බෙහෙත් ගන්න නම ගම හරියට දෙන්න එපෑ. 'අම්ම කොටකෙතන නේද. ආ මේ අම්මාව බලලා ඉක්‌මනට අරිමු...' කියලා මාව චෙක්‌ කරන ගමන් දොස්‌තර මහත්තයා කියනවා 'කොටකෙතන කියනකොට බය හිතෙනවා අම්මා' එතකොට මම කිව්වා අනේ එහෙම නෑ... දැන් ඉස්‌සර වගෙ නෙමෙයි හරි හොඳයි කියලා. දැන් ඉතිං ආයෙමත් අපටත් මරණ බිය ආවා. දැන් අපිට අපේ ජීවිත ගැන විශ්වාසයක්‌ නෑ...' නන්දාවතීගේ හඬ හීන් විය. බොර පාට දෙනෙත් කොටකෙතන වෙල් යායේ ගොයම් කරල් අතර තනි විණි. සිනා රැල්ලක්‌ මතු නොවෙන තරමට ඒ මුහුණු මරණ බියෙන් සුදුමැලී වී ගොස්‌ය. හෙටක්‌ ගැන විශ්වාසයක්‌ නැති මිනිසුන්ගේ අනාගත සිහින බොඳ වී ගොස්‌ය. නන්දාවතීටත්, විමලාවතීටත් කොටකෙතන සෑම වැසියකුටම මේ තත්ත්වය පොදුය.

කොටකෙතන යනු මහ විශාල ගමක්‌ නොවේ. ඡන්ද එක්‌දහස්‌ හත්සීයක්‌ වැනි ඡන්ද පෙට්‌ටියකට උරුමකම් කියන පුංචි ඡන්දබල ප්‍රදේශයකි. එහෙත් කොටකෙතන ගමේ මිනිසුන් විඳවන කරුමය මහමෙරටත් වැඩිය. එසේ විඳවන කොටකෙතන ගම පිහිටා ඇත්තේ වෙනත් කොදෙව්වක නොවේ, මෙරටේමය. ම්ලේච්ඡ ප්‍රභාකරන් ඇතුළු කොටි නඩය උතුර නැගෙනහිර භූමියෙන් අතුගා දැමූ හමුදාවක්‌ සිටින මේ රටේමය. එහෙව් හමුදාවක්‌ සිටින රටේ මේ පුංචි ගමේ අහිංසක කාන්තාවන් බිලි ගන්න අමන රැල කම්බස්‌ කර දැමීමට නොහැකි වීම ගැන රටේ පුරවැසියන් විදිහට අප කම්පා විය යුතුය.

තරංග රත්නවීර
කුමුදු හෙට්‌ටිආරච්චි
ඡායාරූප - කමල් බෝගොඩ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.