නන්දිමිත්‍ර යෝධයාගේ ගමට ගියෙමු

නන්දිමිත්‍ර යෝධයා ඉපදුනේ වවුනියාවෙලු. මේ කතාව හැමෝම වගේ කියන්නෙ මීට අවුරුදු ගාණකට ඉස්‌සර වෙලා ඉඳලයි. මේ ඉසව්ව කොහෙද? ඇත්තටම නන්දිමිත්‍ර යෝධයා ඉපදුණේ හැදුනේ වැඩුනෙ මේ පළාතෙද කියලා මට හොයා ගන්න වුවමනා වුණා.''

පුරාවිද්‍යාව පිළිබඳවත් අතීත වංශ කතා පිළිබඳවත් හසල අත්දැකීම් සම්භාරයක්‌ ඇති භික්‌ෂූන් වහන්සේ කෙනෙක්‌ හැටියට කිරිගල්වැවේ විමලසාර පණ්‌ඩිත හාමුදුරුවෝ චිර ප්‍රසිද්ධයි. වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පරිවේණාධිපති හිමියන් ලෙස සේවය කරන උන්වහන්සේව මම මුලින්ම හමුවුණා.

මෙයාට නන්දිමිත්‍ර කියලා නම වැටුණේ පස්‌සෙ කාලෙක. මෙයාගෙ නම 'මිත්‍ර' මිත්‍රගේ දෙමාපියෝ ජීවත්වුණේ ගොවිතැන් කරලා. මිත්‍ර පොඩි කාලෙ කුඹුරට ගියාම නොයෙක්‌ දේවල් කරනවා. ඒක නිසා දවසක්‌ අම්මා කළේ එයාගේ ඉණට වරපටක්‌දාලා (වරපට යනු වනසතුන්ගේ හම්වලින් තැනූ කඹයකි) එක කොණක්‌ මිරිස්‌ ගලේ බැන්දා. අනෙක්‌ කෙළවර මිත්‍රගෙ ඉණේ බැන්දා. මෙහෙම කරලා අම්මයි තාත්තයි කුඹුරට ගියා.

මේක ඉතාම ජනප්‍රිය ජනප්‍රවාද කතාවක්‌. ඉතිං මිත්‍ර මොකද කළේ ටික වේලාවකින් මිරිස්‌ ගලත් ඇදගෙන ගෙදරින් එළියට යන්න උත්සාහ කළා. මිරිස්‌ගල ගෙදර දොරේ උළුවස්‌සේ හිරවුණා. ශක්‌තිමත් මිත්‍ර එකපාරටම වෙර යොදලා මිරිස්‌ගල උළුවස්‌සෙන් එළියට ඇදලා ගන්න උත්සාහ කළා. ඒ වෙලාවෙ වරපට කැඩිලා ගියා. මේත් එක්‌කම අම්මා ආවා ගෙදර. වරපට කැඩිලා තියනවා දැකලා ''මගේ නන්දී කියලා'' මිත්‍රව බදාගත්තා. නන්දී කියන්නේ කැඩුණා කියන අර්ථය. එදා ඉඳලා තමයි මෙයා ''නන්දිමිත්‍ර'' වුණේ.

නන්දිමිත්‍ර යෝධයා දුටුගැමුණුගේ දසවෙනි මහා යෝධයා. ඔහු උපන් බව මහා වංශයට අනුව කියවෙන්නේ එරුපොතාන කියන ප්‍රදේශය. නැගෙනහිර පැදුම් කඩරොද.

දැන් මේ ගමේ අය එරුපොතාන වෙනුවට ගමට නමට කියන්නේ ඒරුපොතාන කියලයි. ඒ භාවිතයේ පහසුව පිණිසයි.

වවුනියාව නගරයේ සිට හොරොව්පතාන පාරේ සැතපුම් එකහමාරක්‌ එනකොට හම්බවෙනවා මාමඩුව හන්දිය. මේ හන්දියෙන් හැරිලා සැතපුම් අටක්‌ යන කොට මහකච්චකොඩිය කියලා ඉපැරණි ගම්මානයක්‌ හම්බවෙනවා. මේ ගම පහුකරලා යනකොට තමයි එරුපොතාන හම්බ වෙන්නේ. එරුපොතානේ වැවට මායිම්ව තමයි එදා නන්දිමිත්‍ර යෝධයා ජීවත්වුණු ගල්පර්වතය දකින්න ලැබෙන්නේ.

කෑම බීම අඩුම කුඩුම ගොඩක්‌ කර පින්නගෙන අපි මේ ගමනට සූදානම් වුණා. ගමනට මග පෙන්නුවෙ පොලිස්‌ සැරයන් යූ. බී. ජයරත්න සමග මහ කච්චකොඩියේ ඉෂාර ලක්‌මාල් ගුරුවරයා. මඩුකන්ද ශ්‍රී ධම්මරතන පිරිවෙණේ නලින් ජයරත්න, චින්තක ගුණසිංහ, ජයන්ත කියන ගුරුවරුත් එක්‌ක අපේ හිතවතෙක්‌ වන පීපල්ස්‌ ලීසිං සමාගමේ වවුනියාව කළමනාකරු රසික සෙනෙවිරත්න මහත්මයත් ගමනට එක්‌වුණා.

කැලේ මැදින් වැටුණු පාරක්‌ ඔස්‌සේ ගමන් කරන කොට ගලේ පාමුල හම්බ වෙනවා. මේකට නගින්න පඩිපෙළවල් නැහැ. දියසීරාවට අහුවෙලා ගලේ හැමතැනම දියසෙවල බැඳිලා. මේ කන්දේ බෑවුම හරිම විශාලයි. මේ නිසා ටික ටික උඩට යන කොට දණහිස්‌ දෙක නළලේ වදින ගාණට බෑවුම තිබුණා.

කන්දෙ ඉහළ ඉඳලා පහළ බලන්න අමාරුයි. ඒ තරමට ප්‍රපාතය. බැරිවෙලා හරි හුළඟකට අපි අහුවුණා නම් අපිව හොයාගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. වටේ බලන කොට වැව් ගොඩාක්‌ පෙණුනා. ඒ වැව්වල නම් සැරයන් ජයරත්න විස්‌තර කළා. කොහොම හරි ගල මුදුනුට කිලිනොච්චිය මුලතිව් නගරවල උසතැන් සෑම එකක්‌ම ඉතාම පැහැදිලිව පෙණුනා.

ඒ තමයි දකුණේ වැසියන් ඇවිත් අලුතින් පදිංචි වුණු බෝගස්‌වැවේ ගම්මාන පෙළ. නන්දිමිත්‍රගම, සැලලිහිණිගම, බෝගස්‌වැව 1, බෝගස්‌වැව 2 කියන ගම්මාන අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහත්තයා හදපු නාමල්ගමත් අපිට කන්දේ ඉඳලා බලන කොට පෙනුණා. පවුල් තුන්දාහකට වැඩිය මේ ගම්මානවල ජීවත්වෙනවා. ආණ්‌ඩු මාරුවත් එක්‌ක මේ ගම්මානවල ජීවත් වෙන මිනිස්‌සුන්ට ප්‍රශ්න ගොඩයි කියලයි ඉෂාර කිව්වේ.

මේ ගැන අපි මහකච්චකොඩිය ගමේ පුරාණ ගල්ලෙන් විහාරයේ විහාරාධිපති මහකච්චකොඩියේ ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් තොරතුරු ඇහුවා.

මේ අලුත් ගම්මාන හදපු එක හරිම හොඳයි. ඒකෙන් මේ පළාත් දියුණු වෙනවා. ඒ වගේම ආරක්‍ෂාවට ඉතාම හොඳ වැඩපිළිවෙලක්‌. මේ ගම්මාන දියුණු කරන්න යුද හමුදාව ලොකු මහන්සියක්‌ වුණා. දැනටත් මහන්සි වෙනවා. දකුණු පළාතේ ඉඩම් නැති අය තමයි මේ ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නේ. මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ එක කෙළවරක්‌ මේක. තංගල්ලේ ඉඳලා මුලතිව් දක්‌වා බස්‌ එනවා. ඒ බස්‌වල යන්න එන්නේ මේ පදිංචි වෙලා ඉන්න අය.

ආණ්‌ඩුව මාරු වුණාට පස්‌සේ මේ මිනිස්‌සුන්ට අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න කෙරෙන මැදිහත්වීම මදිවෙලා තියෙනවා. මේ අයට කොහොම හරි ගෙවල් හදලා දෙන්න ඕනේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න ඕනේ. ජීවත් වෙන්න ආධාර උපකාර කරන්න ඕනේ.

මේ ගම් දියුණු වෙනකොට නන්දිමිත්‍ර යෝධයා ඉපදුණු හැදුණු වැඩුණු ඒරුපොතානත් ඊට එහායින් තියෙන කිඹුලාගල කියන පුරාවිද්‍යා ස්‌ථානත් ආරක්‍ෂා වෙනවා. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේනතුවෙන් මේ ස්‌ථාන දියුණු කරන්න ආරක්‍ෂා කරන්න නිසි වැඩපිළිවෙලක්‌ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ තැන් තහවුරු කරලා ආරක්‍ෂා කරලා ඉදිරි පරම්පරාවට රැක දෙන්න ඕනේ. අඩුම ගානේ නන්දිමිත්‍ර යෝධයා ඉපදුණේ හැදුණේ වැඩුණේ මේ පළාතේ කියලාවත් කිසිම කෙනෙක්‌ දන්නෙ නෑ.

යුද හමුදාව තමයි මේ මෑතකදි වන්නි කෞතුකාගාරයක්‌ හදලා නන්දිමිත්‍ර යෝධයාගේ රූපයක්‌ හදලා ඒ විස්‌තර සඳහන් කරලා තියෙන්නේ. මේ ස්‌ථාන තවත් දියුණු කරන්න කියලයි මම පළාතේ භික්‌ෂූන් වහන්සේ කෙනෙක්‌ විදියට ඉල්ලන්නේ.

කිඹුලාගල කන්දත්, ඒරුපොතාන කන්දත් එකිනෙකට සමාන්තරව පිහිටි කඳු දෙකක්‌. කිඹුලාගල කියන්නේ ඒ කන්දේ හැඩය හරියට කිඹුලෙකුගෙ හැඩය ගත්ත නිසා. හරියට කුරුණෑගල ඇතුගල, වඳුරාගල, ඉබ්බාගල, ආ¹ගල වගේ.

මේ කඳු දෙකේම ගල්ගුහා විශාල ප්‍රමාණයක්‌ දකින්න පුළුවන් වුණා. ඒ ගල්ගුහා නිසා යුද්ධ කාලෙදි ඒ අවට ගම්වැසියන්ට විඳින්න වුණ කරදරත් ඉෂාර ලක්‌මාල් විස්‌තර කළා.

ඊටත් එහා තොරතුරු දැනගන්න පුළුවන් වුණේ. කිරිගල්වැවේ විමලසාර පණ්‌ඩිත හාමුදුරුවන්ගෙන්.

නන්දිමිත්‍ර යෝධයා හිටිය බවට හොඳ සාධකයක්‌ තමයි මේ එක ලෙනක තියනවා කටාරම් ලිපියක මෙහෙම වැකියක්‌.

''පරුමක සෙනපති නන්දිමිත්‍ර ලෙනා....'' වශයෙන් නන්දිමිත්‍රගේ බිරිඳගේ නම පුෂ දේවිය. එයාටත් ලෙනක්‌ තිබුණා ඒ ලෙන ''පරුමක පුෂ'' වශයෙන් නම් කරලා තිබුණා. ඔවුන් ලෙන් පූජා කර තිබුණා. සක්‌මන් මළුද තවත් කටාරම් ලෙන්ද රැසක්‌ තිබීම ගැනත් මම විමලසාර හිමියන්ගෙන් තොරතුරු විමසුවා

දුටුගැමුණු සටනින් පස්‌සෙ නන්දිමිත්‍ර කළ සේවයට උපහාරයක්‌ විදියට නන්දිමිත්‍රට උතුරු නැගෙනහිර දෙපළාතම රැකගන්න ප්‍රාදේශීය පාලක ධුරයක්‌ දුටුගැමුණු රජු පිරිනමලා තිබුණා. නන්දිමිත්‍ර ඒ පාලනය කරන අතරතුරේ භාවනා කරන භික්‌ෂූන් වහන්සේට මෙතැන පහසුකම් සලසලා තිබෙනවා. ආකාශ චෛත්‍යයක්‌ සක්‌මන් මලුවක්‌ භාවනා කරපු කුටි සමූහයක්‌ පිහිටලා තියෙන්නේ ඒ නිසයි.'' විමලසාර හාමුදුරුවෝ එහෙම කිව්වා.

ඒත් ආකාශ චෛත්‍යයේ නම් ගඩොලක්‌ වත් නැහැ. ඒ තුළ තිබුණු නිධන් වස්‌තු ආකාසයෙන්ම ගෙනියන්න ඕනෙ නිසා එතැන විනාශ කරලා මේ තැනින් ගෙනිහින් තියන පුරාවස්‌තු හා නිධන්වස්‌තු කොච්චරක්‌ද කියලා කවුරුවත් දන්නේ නෑ. ඉෂාර කිව්ව කතාව මතකනේ. යුද්ධ නිසා කිසිම කෙනෙක්‌ මේ පළාතට ආවෙ නැහැ. හමුදාවත් පසුකාලෙදී මේ පළාත්වලින් ඉවත් වෙලා ඉදිරියට ගියා. ඊට පස්‌සෙ බලය තියන පිරිස්‌ මේ ස්‌ථාන සුද්ධ කළා.

මේ ගැන ඇහුවම නිලධාරියෙක්‌ කිව්වේ උතුරේ පුරාවිද්‍යා ස්‌ථානවලින් එකසිය දෙකක්‌ම අන්‍ය ආගමිකයෝ අල්ලගෙනලු. ඒවා අත්පත් කරගන්න කටයුතු කළත් ඒවා රැකබලා ගන්න යොදන්න පුරාවිද්‍යා ස්‌ථානභාර නිලධාරිවරු නැතිලු. ඒ වගේම ආරක්‍ෂක නිලධාරිනුත් නැතිලු. ඒ වගේ පරිසරයක්‌ වාතාවරණයක්‌ මැද මේ වගේ තැන්වලට නිලධාරීන් යොදවන්නේ කොහොමද කියලා මම තොරතුරු විමසපු පුරාවිද්‍යා නිලධාරියා මගෙන් ප්‍රශ්න කළා.

පී. වීරසිංහ කියන මගේ හිතවත් මහත්මයෙක්‌ වවුනියාවේ පුරාවස්‌තු ගැන පොතක්‌ ලිව්වා. නාගයන්ගේ පා සටහන් නමැති ඒ පොතේ පුරාවස්‌තු විනාශයට හේතුව කාලයාගේ වැලිතලාවෙන් වැසීයැම බව සඳහන් වෙනවා. නමුත් මේ සංචාරයේදී මට හිතුණේ ඊට අමතරව යුද්ධයත්, නිධන් හොරුත් පුරාවිද්‍යා නිලධාරිනුත් පුරාවස්‌තු විනාශයට දායක වෙනවා කියලයි.

දිනසේන රතුගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.