දැන් මොකද රටට වෙන්නේ
රටේ ගමන අලුත් දිශාවකට!

යහපාලන ආණ්‌ඩුවේ දින සියය අවසන්ය. දින සියයේ ප්‍රගතිය ගැන ආණ්‌ඩුව බොහෝ දේ කියද්දී, විපක්‌ෂයේ අදහස දින සියයෙන් රට ආපස්‌සට ගිය බවකි. දෙපාර්ශවයටම ඒ ඒ අයගේ පැත්තෙන් කියන්නට බොහෝ දේ තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින සියය අවසානයේ ජාතිය අමතමින් පැවසුවේ දින සියය තුළ තමන් ජාත්‍යන්තරය ජයගත් බවත් ජනතාවට නිදහසේ ජීවත්විය හැකි නීති ගරුක රටක්‌ බිහිකරන්නට තමන් කටයුතු කළ බවත්ය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිට රට පුරා සෑම තැනකම දේශපාලන ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව අල්ලස්‌ හා දූෂණ කොමිෂන් සභාව විසින් කර තිබුණු කැඳවීමක්‌ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්‌ෂ මන්ත්‍රීවරු විශාල කලබලයක්‌ ඇති කළහ. එහිදී අදාළ කැඳවීම ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ පාර්ලිමේන්තු සභා ගර්භයෙහි රාත්‍රියද පහන් කළහ. අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල් වරියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

116 කගේ අත්සනින් යෝජනාවක්‌ද භාරදී තිබේ.

මේ අතරේ ජනාධිපතිවරණයෙන් පසුව ඇමරිකාවට ගොස්‌ සිටි බැසිල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා පසුගිය සතියේ මෙරටට පැමිණි අතර දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවිනැයි පැවසෙන අක්‍රමිකතාවයක්‌ ගැන කටඋත්තරයක්‌ දෙන්නට පොලිස්‌ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ගිය පසු එදින සවස අත්අඩංගුවට ගෙන රාත්‍රියේ කඩුවෙල මහේස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 5 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී. මේ සිදුවීම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ විවිධ පාර්ශව සියල්ල සමගි කර ඉදිරි මහා මැතිවරණයට යන්නට ජ්‍යෙෂ්ඨයන් දැරූ උත්සාහය කණපිට පෙරළන්නක්‌ වූ අතර මේ සමඟම ඇතිවී තිබෙන තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ බෙදීමක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැකි තැනකට පැමිණ තිබේ. එසේ වුවහොත් මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ පොදුජන එක්‌සත් පෙරමුණින් පුටුව ලකුණින් ඉදිරිපත්වීමට නියමිතය. ඉදිරි දිනවලදී පසුගිය රජයේ ප්‍රබලයන් කීපදෙනකුම මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නට නියමිත බව තොරතුරු පැතිර යමින් පවතී. කෙසේ වෙතත් මෙය තවත් බරපතල ගැටුම් ගණනාවකට මුල් වනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ බෙදීමේ වාසිය එක්‌සත් ජාතික පක්‌ෂයටය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අප්‍රේල් 27 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නට සියල්ල සුදානම්ය. එහෙත් එසේ සම්මත වන්නට යන අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පත අවසන් මොහොතේ පවා වෙනස්‌ කරන්නට කටයුතු කරන බවට ඇතැම් අයට චෝදනා එල්ලවී තිබේ. වත්මන් ආණ්‌ඩුව බලයට පත් කරන්නට මුල් වුණු පිරිස්‌ අතර පවා ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ ගැටුම් ඇති කර ගත්හ. කෙසේ වෙතත් මේ අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පත කුමක්‌දැයි තවමත් රටේ ජනතාව හරිහැටි දන්නේ නැත. රටේ ජනතාවගේ මුලික නීතිය වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රටේ ජනතාවට නිසි ආකාරයෙන් නොපෙන්වා සම්මත කරගන්නට යන බව පෙනේ. කැබිනට්‌ මණ්‌ඩලයට, පාර්ලිමේන්තුවට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ කෙටුම්පත් එකිනෙකට වෙනස්‌ බවට ආණ්‌ඩුවේම පාර්ශව චෝදනා නගති. අවසානයේ කුමක්‌ ඉදිරිපත් කරාවිදැයි ඔවුන් පවා පසුවන්නේ දෙගිඩියාවෙනි. මේ කෙටුම්පත් අතරේ ජනමාධ්‍ය පාලනයට හෝ අවශ්‍ය නම් ඒවාට දඬුවම් දිය හැකි පරිදි නව නීති පැනවෙන කොටස්‌ ඇති බවට රාවයක්‌ පවතී. එවැනි ඒවා තිබේ නම් රජය වහාම ඒවා ඉවත් කර ගත යුතුය. මාධ්‍ය නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය ගැන සපථ කළ රජයකට එවැනි දේ කරන්නට අයිතියක්‌ නොමැත. අනෙක්‌ අතට මෙම පනත් කෙටුම්පතේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් අතර බරපතළ වෙනස්‌කම් ඇති බව සඳහන්ය. එහි ඇතැම් වගන්ති ඉංග්‍රීසි භාෂා මහාචාර්ය වරයකු වන තමන්ටවත් නොතේරෙන බවට යහපාලනයේ පෙර ගමන්කරුවකු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව් විඡේසිංහ පසුගියදා චෝදනා කළේය. මේ ආකාරයට සියල්ලන්ටම වසන් කර මෙවැනි දේ සිදු කරන්නට යන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නටද එසේත් නැතිනම් වෙනත් අරමුණකටද යන්න ගැටලුවකි.

මේ සියලු දේ අතින් පෙනී යන්නේ රට අමුතුම දිශාවකට ගමන් කරමින් තිබෙන බවය. ඇතැම් විට මේ සියල්ලෙහි අවසානය රට අතිශය තීරණාත්මක සන්ධිස්‌ථානයකට ගමන් කිරීම විය හැක. රටේ බෙදීම් ඇතිවන තරමට රටේ ජනතාව අතර ප්‍රශ්න ඇතිවන තරමට සුළු ජාතීන්ට තම අරමුණු කරා ගමන් කිරීම පහසුය. යුද්ධයෙන් ජයගත නොහැකිවු දේ වෙනත් ආකාරයකට ජයගන්නට කිසිවකුට ඉඩ නොදිය යුතුය.

ඇමරිකානු එක්‌සත් ජනපද මහ ලේකම් ජෝන් කෙරී ඉදිරි සති කීපයේදී මෙරටට පැමිණීමට නියමිතය. ඔහු මෙරටට එන සත්‍ය හේතුව ගැන හරි හැටි පැහැදිලි කිරීමක්‌ කිසිදු පාර්ශ්වයකින් තවමත් සිදු කර නැත. කෙසේ වෙතත් ඇමරිකාව මේ වන විට නව රජයේ ක්‍රියාමාර්ග, දින සියයේ වැඩපිළිවෙල ආදිය ගැන දැඩි අවධානයෙන් පසුවන බව ආණ්‌ඩුවේ ප්‍රබලයන්ම පවසති. ඇමරිකාව මේ ආකාරයෙන් අප වැනි රටකට ඇඟිලි ගසන්නේ ඇයි දැයි පැහැදිලි නොමැත. පසුගිය කාලයේද වරින් වර ශ්‍රී ලංකාවට ඇමරිකානු රජයේ නියෝජිතයෝ පැමිණියහ. තවත් වරෙක එක්‌සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයෝ පැමිණියහ. නව රජය බලයට පැමිණි පසු මෙලෙස පැමිණි කණ්‌ඩායම් කීපයකි. මොවුන් මෙහි පැමිණ කුමක්‌ කරන්නේද, කවුරුන් සමඟ සාකච්ඡා පවත්වන්නේද, ඒ කුමක්‌ සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව රටට නිසි ආකාරයේ පැහැදිලි කිරීමක්‌ද නැත. මේ ගැන රටේ ජනතාව දැඩි අවදියෙන් සිටිය යුතුය. කවුරුන් බලයේ සිටියත් එය කළ යුතුමය. අපේ රටේ බලයට එන ඕනෑම පක්‌ෂයක්‌ හෝ නායකයෙක්‌ අපේ රට ගැන රටේ අනන්‍යතාව ගැන සිතිය යුතුය. දේශීයත්වය, අපේකම ගැන අවධානය යොමු කළ යුතුය. එසේ නොමැතිව අප වැනි රටක වැඩිකල් බලයේ ඉන්නට බැරිය.

අපේ රටට වසර 2500 ක ඉතිහාසයක්‌ තිබේ. අපටම කියා අනන්‍යතාවක්‌ තිබේ. එය ජාති, ආගම්, සංස්‌කෘතිය, පවුල් පසුබිම, හැඟීම්, බැඳීම් ආදී සියලු ආකාරවල අනන්‍යතාවයන් අපට තිබේ. එම නිසා සියලු ආකාරයේ වෙනස්‌කම් කළ යුත්තේ මේ සියලුදේ පිළිබඳව හොඳින් හිතා බලාය. ඇමරිකාවට ඇත්තේ වසර 200 ක පමණ ඉතිහාසයකි. ලොව විවිධ රටවලින් විවිධාකාරවලින් පැමිණි පිරිස්‌ පදිංචි වී ගොඩනඟා ගත් ඇමරිකාව වැනි රටක කරන වෙනස්‌කම් හෝ විවිධ දේ ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට නොහැක. විවිධ භාෂා කතා කරන විශාල ජාතීන් ප්‍රමාණයක්‌ ජීවත්වන අසල්වැසි ඉන්දියාවේ පවා එවැනි වෙනස්‌කම් එක රැයෙන් කළ නොහැක. කොහෙන් හෝ සොයා ගන්නා ක්‍රමවේදයක්‌ කොපිකර එය අපේ රටේ බලෙන් ක්‍රියාත්මක කරන්නට බැරි බව එසේ කරන්නට උත්සහ ගන්නවුන් තේරුම්ගත යුතුය. එය අපේ රටට ගැලපෙන්නක්‌ විය යුතුය. එවැනි වෙනස්‌කම් සිදු කරන්නට ගිය ඇතැමුන්ට අතීතයේ අත්වූ ඉරණම අපට මතකය. එවැනි දේ සිදු කරන්නට ගියහොත් රටේ බලය ලබාගැනීම හෝ දේශපාලන ස්‌ථාවරත්වයක්‌ ලබාගැනීම ඒවා සිදු කරන දේශපාලනඥයන්ට සිහිනයක්‌ වනු ඇත. විදේශාධාර හෝ ජී.එස්‌.පී. ප්ලස්‌ හෝ විදේශ ආයෝජන නිසා බටහිර රටවලට අවශ්‍ය වෙනස්‌කම් ගෙඩි පිටින් අපේ රටේ සිදු කරන්නට නොහැකි බව රටේ පාලකයන් විසින් දැනගත යුතුය. විදේශ මුදල් මත යෑපෙන විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට මෙරට වෙනස්‌කම් කළ නොහැක.

අපේ රටේ විදේශ සම්බන්ධතා අලුත්වෙමින් තිබේ. අප විදේශ රටවල් දිනා ගත්තද දේශපාලකයන් වශයෙන් මැතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය වන්නේ තමන්ගේ රටේ ජනතාවගේ හදවත් දිනාගැනීමය. ලොවම දිනුවත් තමන්ගේ ගෙදර දිනා ගැනීමට බැරිනම් එය සැබෑ ජයග්‍රහණයක්‌ නොවේ. ඇමරිකාවට, ඉන්දියාවට, යුරෝපයට අවශ්‍ය ආකාරයට අපේ රටේ වෙනස්‌වීම් කළ නොහැක. අප කළ යුත්තේ අපේ රටට ගැළපෙන වෙනස්‌කම්ය. පසුගිය ආණ්‌ඩුව චීනයට අවශ්‍ය ආකාරයට බොහෝ දේ සිදුකළ අතර වර්තමාන ආණ්‌ඩුව ඉන්දියාවට අවශ්‍ය ආකාරයට සියලු දේ මෙහෙයවමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් තිබේ. අප කාගෙවත් අතකොලුවක්‌ නොවී සෑම රටක්‌ම මිතුරෙකු බවට පත්විය යුතුය.

උතුරු නැගෙනහිර සිදු කරන ඇතැම් බරපතල වෙනස්‌කම්, අධි ආරක්‌ෂිත කලාපවල ඉඩම් බෙදාදීම්, ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ගන්නා තීරණ ඇතැම් විදේශ රටවල බලපෑම් මත සිදුකරන බවට චෝදනා පවතී. ඉන්දියාව සමඟ ඇතිකර ගන්නා ලෙස ඉන්දියානුවන් විසින් බල කෙරෙන සීපා ගිවිසුම, උතුරු මුහුදේ මසුන් ඇල්ලීම, සාම්පූර් කඳවුරු ප්‍රශ්නය ආදී බොහෝ දේ ගැන රටේ ජනතාව දැඩි සෝදිසියකින් පසුවෙති. මේවා දීර්ඝකාලීන ප්‍රශ්නය. එක ප්‍රශ්නයක්‌ තාවකාලිකව විසඳාගැනීමට ඊට වඩා ප්‍රශ්න අප විසින් ඇතිකරගත යුතු නැත.

බ්‍රිතාන්‍ය කම්කරු පක්‌ෂ නායකයා වන එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් වීඩියෝ මාර්ගයෙන් නිකුත් කළ අවුරුදු සුබ පැතුමක්‌ මගින් රටේ ජනතාවගෙන් සියයට හැත්තෑවක්‌ වන සිංහලයාගේ ප්‍රධානතම සංස්‌කෘතික උත්සවයෙන් සිංහලයා අමතක කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණය පැහැදිලිය. ඒ අතරේ අපේ රටේ විපක්‌ෂ නායක ධුරය දෙමළ සන්ධානයේ සම්බන්ධන් විසින් ඉල්ලා තිබේ. මේ සියල්ල අහඹු සිදුවීම් නොවන බව වගකිවයුත්තන් තේරුම්ගත යුතුය.

මේ සියල්ලම අතරේ රටේ ඇතැම් ප්‍රධාන තනතුරු, ආර්ථිකයට Rජුවම බලපාන ඇමතිධුර, ප්‍රධාන ආයතන රැසක සභාපති ධුර ඇතුළු බොහෝ දේ සුළු ජාතීන්ට ලබාදී ඇති බවට චෝදනා පවතී. මේවා පසුපස විදේශ බලපෑම් තිබෙන බවට චෝදනා තිබේ. එය කෙසේ වෙතත් මේවා ගැන බහුතර සිංහල ජනතාවගේ කැමැත්තක්‌ නැත. බහුතරය පීඩාවට පත්කර කිසිදිනෙක සුළු ජාතීන්ගේ ආරක්‌ෂාව තහවුරු කළ නොහැක. බහුතරය ආරක්‌ෂා කළ විට සුළුතරයේ ආරක්‌ෂාව තහවුරු වනු ඇත. එසේ නොකරන තාක්‌ කල් මේ දෙපාර්ශ්වය අතර ප්‍රශ්න ඇතිවීම වැළක්‌විය. බහුතරය පීඩාවට ලක්‌වූ විට ඔවුන් සුළුතරය පීඩාවට ලක්‌ කිරීම වැළක්‌විය නොහැක.

බැඳුම්කර වංචාව නිසා මේ වන විට රටට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 4280 කි. මෙය ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. එය සම්බන්ධයෙන් පත්කළ කමිටුව මගින් මහ බැංකු අධිපතිවරයා නිදහස්‌ කළත් රටේ ජනතාව එම කමිටුව පිළිගන්නේ නැත. මීට වඩා පිළිගත හැකි ස්‌වාධීන කමිටුවක්‌ මගින් මෙම පරීක්‌ෂණය කළ යුතුව තිබුණි. අල්ලස්‌ කොමිසමේ ඇතැම් ප්‍රධානීන්ට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රමාණය ඉහළ යමින් පවතී. මේ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්‌ෂණ සිදුකර ඒවායේ හරි වැරැද්ද සොයා බැලිය යුත්තේ මේ චෝදනා නිසා අල්ලස්‌ කොමිසම මගින් සිදුකරන පරීක්‌ෂණ හෑල්ලුවට ලක්‌වීම වැළක්‌වීමටය. අල්ලස්‌ කොමිසමේ තීරණ කලින්ම ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් දැන සිටි බව ඔවුන් විසින් සිදුකළ ප්‍රකාශ අනුව පෙනේ. මේනිසා ජනතා විශ්වාසය ඇතිවන පරිදි සියලු කටයුතු සිදුවිය යුතුය.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය විරෝධතාවලට වත්මන් ආණ්‌ඩුව යටතේ කොල්ලුපිටියේදීත්,

යක්‌කලදීත් පොලිස්‌ ප්‍රහාර එල්ලවිය. පසුගිය ආණ්‌ඩුව සිදු කළ වැරදි මේ ආණ්‌ඩුව අතින් සිදු නොවන්නට වත්මන් පාලකයන් වගබලාගත යුතුය. සාමකාමී උද්ඝෝෂණවලට අවස්‌ථාවක්‌ රටේ ඇතිවිය යුතුය. ඒවාට සිදුවන පහරදීම් වැළක්‌විය යුතු සේම ඒවා සිදු කරන පොලිස්‌ නිලධාරීන්ට එරෙහිවද පියවර ගත යුතුය.

ජනතා උද්ඝෝෂණ අධිකරණ නියෝගවලින් නැවත්වීම මේ දිනවල යළිත් දක්‌නට ලැබේ. මෙය ඉතාම අහිතකර තත්වයකි. සාමකාමීව තමන්ගේ විරෝධය පෙන්වන්නට ඉඩ නොදීම තුළ සිදු වන්නේ ඊට වඩා භයානක තත්වයන්ය. පසුගිය රජය සිදුකළ වැරදි නිවැරදි කළ යුතු සමයක එවැනි දේ යළිත් සිදු කරන්නට යැම වගකිවයුතු රජයකට තරම් නොවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම සම්බන්ධ නීතිරීති දීර්ඝ කර පවත්වා ගැනීමට යන බවට චෝදනා එල්ලවී තිබේ. මේ නීති රීතිවලට එදා විපක්‌ෂයේ සිටියදී විරුද්ධවී දැන් ඒවා නිවැරදියි කියන්නට බැරිය.

පොලීසිය මේ දිනවල ක්‍රියාත්මක කරන මංතීරු නීතිය නිසා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දැඩි මාර්ග තදබදයක්‌ ඇතිවී තිබේ. මංතීරු නීතිය ක්‍රියාත්මක කරන්නට අත්හදා බලන්නට පොලීසිය තෝරාගෙන තිබුණේ අලුත් අවුරුදු දිනවල මාර්ග තදබදය වැඩිම දිනයන්ය. අපේ රටේ බොහෝ මාර්ග රටේ ඇති වාහන සංඛ්‍යාවට අනුව පුළුල් වී නොමැත. ඇතැම් මාර්ගවල වාහන දෙකක්‌ මාරුවන්නට අමාරු ස්‌ථාන පවා පවතී. මේවා මෙසේ තිබියදී මංතීරු නීති ක්‍රියාත්මක කරන්නට යාම විහිළුවකි. පොලීසිය විසින් මාළිගාවත්ත ප්‍රදේශයේ මහාමාර්ග සවසට වසා දමයි. බේස්‌ලයින් පාරේ මාර්ග තදබදයට මෙයද ප්‍රධාන හේතුවකි. රථවාහන පොලීසියේ ඇතැම් ප්‍රධානීන් පසුගිය රජය සමයේ සිටම මේ අත්තනෝමතික ක්‍රියා සිදු කළහ. කවුරුන් මේ උපදෙස්‌ දුන්නත් එයින් දුක්‌ විඳින්නේ පාරේ යන ජනතාවය. පාරවල් වසා දමා රථවාහන පාලනය කරන මාර්ග තදබදය අඩුකරන පොලීසියක්‌ ඇත්තේ ලංකාවේ පමණි. පාරේ යන වාහන හිමියන් නවතා වැරදි හොයමින් දඩ ගහන රථවාහන පොලීසියක්‌ රටකට අවශ්‍යද යන්න ගැටලුවකි.

ජනිත සෙනෙවිරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.