සෝමවංශට බුද්ධාගම මතක්‌වීම

1971 කැරැල්ල පිළිබඳ යළි ආවර්ජනය කරද්දී ජනතා විමුක්‌ති පෙරමුණු නායක රෝහණ විඡේවීර සේම නිරන්තරව නම් කියවෙන මුල්පෙළේ නායකයන් රාශියක්‌ වේ. ඒ අතර ප්‍රමුඛ නමක්‌ වූයේ ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ මහතා ය. හෙතෙම ඉකුත් වසරේ නොවැම්බර්Êමස 29 වැනිදා අභාවප්‍රාප්ත විය. එතුමාගේ අභාවයට මාස කිහිපයකට කලින් එනම් 2014 සැප්තැම්බර් 01 වැනිදා 'දිවයින' පුවත්පතේ දේශපාලනයේ මෙතෙක්‌ කතාව අතිරේකයට ඉතා වැදගත් සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා දී තිබිණි. එය නැවත සිහිකළ යුතු යෑයි සිතුණේ හිටපු ජනතා විමුක්‌ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහ මහතා ද තම පක්‍ෂයට ආයුබෝවන් කියා වෙනම පක්‍ෂයක්‌ ආරම්භ කිරීමට යන නිසා ය. දැන් සෝමවංශ අමරසිංහ මහතාට බුද්ධාගම මතක්‌ වී ඇත. තමන් පන්සිල් රැක්‌කද ජවිපෙ නිසා පන්සිල් නොගත් බව හෙතෙම කියා තිබිණි. ජනතා විමුක්‌ති පෙරමුණ එපා වී හෝ අමරසිංහ මහතාට බුද්ධාගම මතක්‌ වීම ඉතා හොඳ දෙයකි.

අප නැවත අතුල නිමලසිරි ජයසිංහ මහතා 'දිවයින' පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව දෙසට අවධානය යොමු කළ යුතුය. එහිදී අප හිතවත් මාධ්‍යවේදී එරික්‌ ජිනප්‍රිය මහතා මෙසේ ප්‍රශ්න කර තිබිණි.

"ඔබ දැන් මාක්‌ස්‌වාදය විශ්වාස කරන්නේ නැද්ද?" එහිදී ජයසිංහ මහතා මෙසේ පිළිතුරු දී තිබිණි. "එය ක්‍රියාත්මක කළ හැකි න්‍යායයක්‌ නොවෙයි. මාක්‌ස්‌වාදයේ සඳහන් ආදිකල්පිත කොමියුනිස්‌ට්‌ සමාජය බිඳ වැටුණෙත් එහෙම එකක්‌ පවතින්න බැරි නිසයි. ඒ අතරම එහෙම සමාජයක්‌ පැවතියා ද කියන ප්‍රශ්නයක්‌ මතුවෙනවා. සියල්ල වෙනස්‌වන බව තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළ දේ තමයි ඇත්ත. ඒ කියන්නේ ඔබ යළිත් කාල්මාක්‌ස්‌ වෙනුවට බුදුන් වහන්සේ පිළිගන්නවා නේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජයසිංහ මහතා මෙසේ කියයි. ඔව්. ඒක තමයි මම හිතන්නේ මාක්‌ස්‌ බුද්ධ ධර්මය අවබෝධ කරගත්තා නම් ඔය එක පොතක්‌වක්‌ ලියන්නේ නැහැ කියලා.

අතුල නිමලසිරි ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වූයේ වයස 70 දී ය. එතුමාගේ අතීත දේශපාලනය කවරක්‌ වේවා ජීවිතයේ සැඳෑ සමයේදී මේ දේශපාලකයාම සැබෑ සත්‍යය අවබෝධ කර ගැනීම ගැන ඔහුට ගෞරවාදරය පුද කළ යුතුය. දැන් සෝමවංශ අමරසිංහ ප්‍රකාශ කරන්නේ ද එවැනි කථාවක්‌ ද?

සෝමවංශ අමරසිංහ මහතා තම පක්‍ෂයට සමු දුන්නේ ඉකුත් අප්‍රේල් 16 වැනිදා ය. ඔහු ජනතා විමුක්‌ති පෙරමුණේ සිව්වැනි නායකයා ය. රෝහණ විඡේවීර, සමන් පියසිරි ප්‍රනාන්දු, ලලිත් විඡේරත්න යන තිදෙනාට පසුව නායකත්වය භාරගත් සෝමවංශ 1990 මාර්තු සිට 2014 පෙබරවාරි දක්‌වා ම ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා වශයෙන් කටයුතු කළේය. 87 - 89 ජනතා විමුක්‌ති පෙරමුණු දෙවන කැරැල්ලේදී එම පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩලයේ කටයුතු කරමින් සිටි 13 දෙනාගෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ සෝමවංශ අමරසිංහ මහතා ය.

ඉකුත් අප්‍රේල් 16 වැනිදා තම පක්‍ෂයට සමුදෙමින් ඔහු පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී මෙලෙස ප්‍රකාශ කර තිබිණි. "මේ රටේ ප්‍රධාන සංස්‌කෘතිය බෞද්ධ සංස්‌කෘතියයි. නමුත් අද අපට පන්සලකට යන්න බැහැ. අපේ සාමාජිකයන්ගේ ගෙවල්වලත් බුදු සරණයි, බුදු සසුන බැබලේවා කියලා ගහලා තියෙනවා. ඇත්තටම අපි පිරිත් නූලක්‌ ගැටගහගත්තත් ඒක කළේ කැමරාවලට පිටුපස හරවලයි. පන්සිල් ගත්තයි කියලා මාක්‌ස්‌වාදයට හානියක්‌ වෙන්නේ නැහැ" යනුවෙන් හෙතෙම පවසා තිබිණි. එදා අතුල නිමලසිරි ජයසිංහ මහතා කළ ප්‍රකාශ හා අද සෝමවංශ අමරසිංහ මහතා කරන ප්‍රකාශවල යම් සමානකමක්‌ දක්‌නට තිබේද? භෞතිකවාදී සෝමවංශ දැන් විCඳ්Cඳාණවාදියකු බවට පත්ව තිබේද? බොහෝ දෙනෙකුට පන්සල මතක්‌ වෙන්නේ ජීවිතය අවසාන කාලයේද? ආගම අබින් යෑයි මාක්‌ස්‌ කළ ප්‍රකාශ දැන් හිටපු ජනතා විමුක්‌ති පෙරමුණු නායකයා ප්‍රතික්‍ෂෙප කරන්නේ ද? කවරක්‌ නමුත් කල්ගත වී හෝ සෝමවංශ අමරසිංහ මහතාට පන්සල මතක්‌වීම ගැන අපි සතුටු වෙමු. එදා අතුල නිමලසිරි ජයසිංහ මහතා වයස 70 දී කළ ප්‍රකාශ අද 71 හැවිරිදි අමරසිංහ මහතා යළි පුනරුච්ඡාරණය කරයි. සෝමවංශ අමරසිංහ මහතා යළි පක්‍ෂ නිර්මාණය කරයි ද නැද්ද යන්න අපට වැදගත් නැත. කල්ගත වී හෝ ඔහුqට රටේ මහා සංස්‌කෘතිය මතක්‌ වීම වැදගත් ය. ජනතා විමුක්‌ති පෙරමුණ හේතුවෙන් සිය ගණනක්‌ භික්‍ෂුන් වහන්සේ ඝාතනය විය. එය අපේ රටේ ශාසනයට ද බලවත් හානියක්‌ වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ජවිපෙ නිසා ඝාතනය වූයේ ද අතිශය බහුතරය බෞද්ධයන් ය. ජ.වි.පෙ. සාමාජිකයන් වූයේ ද කැරලිකාරීත්වය නිසා අමු අමුවේ ඝාතනය වූ අතිශය බහුතරය බෞද්ධයන් ය. මෙරට බෞද්ධයන් වැඩිම ප්‍රමාණයක්‌ ඝාතනය වූයේ ප්‍රභාකරන්ගේ යුද්ධයෙන් ද විඡේවීරගේ කැරලි දෙකෙන් ද යන්න වෙනම සාකච්ඡා කළ යුතුය. නමුත් ලංකාව පමණක්‌ නොව ලෝක මට්‌ටමින් බැලූ කල කොමියුනිස්‌ට්‌වාදය හෝ වේවා, මාකස්‌වාදය හෝ වේවා ට්‍රොස්‌කිවාදය හෝ වේවා මේවා අනුගමනය කළ පක්‍ෂ හා නායකයන් නිසා බෞද්ධයන්ට පහර වැදුණි. කාම්බෝජයේ පොල්පොට්‌ විසින් වැඩියෙන් ම ඝාතනයට ලක්‌ කළේ කවුරුන්ද? බෞද්ධයන් බව අප අමතක කළ යුතු නැත.

1965 වෙසක්‌ දිනයේ පිහිටුවා යෑයි කියන ජනතා විමුක්‌ති පෙරමුණ රටට ජාතියට දායාදය කළේ කවරක්‌ ද යන්න ඉතිහාසය විසින් තීරණය කරනු ඇත. දැන් ජනතා විමුක්‌ති පෙරමුණට අවශ්‍ය වී ඇත්තේ වයෝවෘද්ධ හිටපු නායකයා කෙසේ හෝ යළි පක්‍ෂයට එක්‌කර ගැනීමටය.

ජනතා විමුක්‌ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ පක්‍ෂයේ කිසිවෙක්‌ සෝමවංශ අමරසිංහ මහතා පසුපස නොයන නමුත් ඔහුව යළි පක්‍ෂයට එක්‌කර ගැනීමට කටයුතු කරන බවයි. ජනතා විමුක්‌ති පෙරමුණු අභ්‍යන්තරයේ දෙදරීමක්‌ ඇති බවට කාලයක්‌ තිස්‌සේ විවිධ කතා පැතිරිණි. නව නායක අනුර කුමාර දිසානායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂය හා යම් සහජීවන ක්‍රියාමාර්ගයක ගමන් කිරීම පැරැණි නායකයාගේ සිත් රිදවීමට සමත්ව තිබේද? විමල් වීරවංශ මහතා නම් ප්‍රකාශ කරන්නේ ජවිපෙ නායකයා එජාපය වෙනුවෙන් සිය රතු කමිසය විකුණා දමා ඇති බවයි.

බොහෝ දෙනා මේ නව දේශපාලන අර්බුද ගැන විවිධ කතා ප්‍රකාශ කරති. කල්ගත වී හෝ සෝමවංශට බුද්ධාගම මතක්‌ වීම පිළිබඳව වූ මෙම සටහන ලිවීමේදී මට මතක්‌ වූයේ කුමක්‌ද? ඒ බුදුන්වහන්සේ කළ ප්‍රකාශයකි. 'ගූඪ බවින් තොර මගේ දහම ඉර හඳ සේ බබලන්නේ ය' යන්නයි.

චතුර පමුණුව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.