19 ජරමරේ මොකක්‌ද ඇත්ත විස්‌තරේ

ආණ්‌ඩුවේ දින 100 වැඩසටහනේ ප්‍රධාන පොරොන්දුවක්‌ වූ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බාලගිරි දොaෂයට හසු වූවාසේ කිහිප වතාවක්‌ම කල් දැමීමෙන් පසු හෙට සහ අනිද්දා (27 - 28) පාර්ලිමේන්තුවේදී විවාද කොට සම්මත කර ගැනීමට තීරණය වී ඇත.

"වෙනසකට එක්‌වෙමු. මෛත්‍රී පාලනයක්‌. 100 දින කින් අලුත් රටක්‌" යන තේමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ජනතාව වෙත ඉදිරිපත් කළ දින 100 වැඩසටහනේ 2015 ජනවාරි 21 දා ට නියමිතව තිබූ කාර්ය දක්‌වා තිබුණේ "දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට්‌ මණ්‌ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක්‌ සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යqහයක්‌ ස්‌ථාපිත කිරීම සහ 18 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරමින් ස්‌වාධීන අධිකරණ කොමිසම, ස්‌වාධීන පොලිස්‌ කොමිසම, ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්‌වාධීන මැතිවරණ කොමිසම, ස්‌වාධීන අල්ලස්‌ හා දූෂණ කොමිසම හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුළත් 19 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කෙටුම්පතක්‌ හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කර හැකි ඉක්‌මණින් සම්මත කිරීමට පියවර ගැනීම යනුවෙනි.

ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවලදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිඥ මණ්‌ඩලයක්‌ විසින් කෙටුම්පත් කොට අවසන් බවය. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ද ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පතක්‌ සකස්‌ කොට ඇති බවද එකල ප්‍රකාශ විය. එහෙත් එවැනි කිසිවක්‌ සිදුවී නොතිබුණු බව පසුව හෙළිවිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රමුඛ නීති විශාරදයන් කිහිපදෙනකු සහ නීති කෙටුම්පත් සම්පාදක ඇතුළු කමිටුවක්‌ විසින් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය කෙටුම්පත් කිරීම ආරම්භ කළේ ජනාධිපතිවරයා පදවිප්‍රාප්ත වී මාසයක්‌ පමණ ගතවීමෙන් පසුවය.

එම කමිටුව විසින් සකස්‌ කරන ලද 19 වැනි සංශෝධනය මාර්තු 13 දා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේද අදහස්‌ විමසීමට එහිදී තීරණය විය.



ඒ අනුව මාර්තු 15 දින පෙරවරුවේ පක්‍ෂ නායකයන් කැඳවූ ජනාධිපතිවරයා මෙය ඉදිරිපත් කොට ඔවුන්ගේ අදහස්‌ විමසා සිටියේය. මෙහි යම් යම් වගන්ති සංශෝධනය විය යුතු බව එහිදී පක්‍ෂ නායකයෝ පෙන්වා දුන්හ. එම සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා ඒ අවස්‌ථාවේදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ, මහාචාර්ය ජී. එල්. පීරිස්‌, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් හා නීති කෙටුම්පත් සම්පාදක ඇතුළු කමිටුවක්‌ පත්කරනු ලැබීය.

ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයාද විධායකයේ නායකයාද සේනාධිනායකයාද වන්නේය. ආණ්‌ඩුවේ නායකයා අග්‍රාමාත්‍යවරයා වන්නේය. යනුවෙන් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ දක්‌වා තිබූ වගන්තියට ජාතික හෙළ උරුමයේ නායක ඇමැති පාඨලි චම්පික රණවක මහතා බලවත්සේ විරුද්ධ විය. එබැවින් එම වගන්තිය ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයාද, විධායකයේ නායකයාද, ආණ්‌ඩුවේ නායකයාද, සේනාධි නායකයා ද වන්නේය යනුවෙන් යළි සංශෝධනය කෙරිණි. එවැනි වගන්ති ගණනාවක්‌ම ඉවත්කොට නව වගන්ති ගණනාවක්‌ ඇතුළත් කිරීමෙන් පසු එය යළි කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලදී.

මේ අතරතුර 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුව විසින් මාර්තු 16 දා රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබීය. එහෙත් ඉන් පසුව ද අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමෙන් පසු මෙයට යම් යම් සංශෝධන ඇතුළත් කිරීමට ආණ්‌ඩුව කටයුතු කළ නමුත් ඒවා ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කෙරුණේ නැත. ඒ අතර 19 වැනි සංශෝධනය ව්‍යවස්‌ථාවට එකඟ දැයි විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරිණි.

19 වැනි සංශෝධනය ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විවිධ සංවිධාන සහ පුද්ගලයන් ගණනාවක්‌ විසින් එයට පක්‍ෂව හා එය අභියෝගයට ලක්‌කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 18 ක්‌ ඉදිරිපත් කොට තිබිණි.

මේ අතර 19 වැනි සංශෝධනය සඳහා කැබිනට්‌ මණ්‌ඩලය විසින් අනුමත කරනු ලැබූ තවත් සංශෝධනයක්‌ නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත භාරදී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 19 වැනි සංශෝධනය පිළිබඳ ලැබී තිබූ පෙත්සම් විභාග කිරීම අප්‍රේල් මස 1 දා සහ 2 දා සිදු කිරීමට තීරණය කොට තිබූ නමුත් නීතිපතිවරයාට ද කරුණු දැක්‌වීමට අවශ්‍ය බැවින් අප්‍රේල් 6 දාත් විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබිණි. අප්‍රේල් 6 දා නීතිපතිවරයා 19 වැනි සංශෝධනයට තවත් සංශෝධනයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ විභාගයේ තීන්දුව අප්‍රේල් 7 දා සවස පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යවනු ලැබීය.

කථානායකවරයා එම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අප්‍රේල් මස 9 දා ය. 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා පනත් කෙටුම්පතේ 11 සහ 26 වගන්තිවල අනු වගන්ති 7 ක්‌ ක්‍රියාත්මක කරන්නේ නම් ඒවා ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව ජනමත විචාරණයට ලක්‌කොට ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු වගන්ති මෙසේය.

ෆ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්‌ඩලයේ ප්‍රධානියා වන්නේය.

ෆ අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්‌ඩලයේ ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව, අමාත්‍යාංශ සහ එම ඇමැතිවරුන්ට පවරන කාර්යයන් හා විෂයයන් නිර්දේශ කිරීම

ෆ ඇමැතිවරුන්ගේ විෂය හා කාර්යය වෙනස්‌ කිරීම සහ ඇමැති මණ්‌ඩලයේ සංයුතිය වෙනස්‌ කිරීම සඳහා අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම.

ෆ අමාත්‍ය මණ්‌ඩලයේ අඛණ්‌ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත ඇමැති මණ්‌ඩලය දරන වගකීම් අඛණ්‌ඩව පැවැත්මට එවැනි වෙනස්‌ කිරීමක්‌ බලනොපාන්නේය.

ෆ ඇමැතිවරුන්ට පැවැරිය යුතු විෂය සහ කාර්යය එකී ඇමැතිවරුන්ට යම් අමාත්‍යාංශයක්‌ භාරකරනු ලබන්නේ නම්, එම අමාත්‍යාංශය ද අගමැතිවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකිය.

ෆ අගමැතිවරයා විසින් සිදුකළ යම් භාර කිරීමක්‌ ඔහුට කවර හෝ විටෙක වෙනස්‌ කළ හැකිය.

ෆ කැබිනට්‌ ඇමැතිවරයකු වෙත පැවරී ඇති යම් විෂයකට අදාළ බලයක්‌ හෝ කාරියක්‌ හෝ යම් කිසි ලිත නීතියකින් ඇමැතිවරයකු වෙත පැවැරී ඇති බලයක්‌ හෝ කාර්යයක්‌ වෙනස්‌ කර කැබිනට්‌ නොවන අමාත්‍යවරයකු වෙත පැවරීමට අගමැතිවරයාට බලය පැවරීම.

ෆ මැතිවරණයක්‌ පැවැත්වෙන අවස්‌ථාවකදී නිදහස්‌ හා සාධාරණ ඡන්ද විමසීමක්‌ පැවැත්වීම සහතික කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන උපමාන රාජ්‍ය හෝ පෞද්ගලික කුමන හෝ මාධ්‍ය ආයතනයක්‌ උල්ලංඝනය කරනු ලැබූ අවස්‌ථාවකදී එම ආයතනයට නිසි බලධරයකු පත් කිරීමට කොමිෂන් සභාවට බලය පැවරීම.

ෆ එහිදී ඡන්ද විමසීම නිම වන තුරු එම මාධ්‍යයේ ප්‍රචාරය කෙරෙන දේශපාලන වැඩසටහන් හා ඡන්දයට බලපාන වෙනත් වැඩසටහන් සම්බන්ධයෙන් තීන්දු ගැනීම නිසි බලධරයා වෙත පැවැරීම.

ජනමත විචාරණයක්‌ අවශ්‍යයයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට ඇති 'අග්‍රාමාත්‍යවරයා ආණ්‌ඩුවේ ප්‍රධානියා වන්නේය' ආදී වගන්තිවලට කැබිනට්‌ මණ්‌ඩලයේදී පාඨලි චම්පික රණවක ඇමැතිවරයා විරුද්ධ වූ නමුත් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසු එම වගන්තිය ඇතුළු අගමැතිවරයාට වැඩි බලය පැවරෙන වගන්ති ගණනාවක්‌ සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කොට තිබිණි. ඒවාට ජනමත විචාරණයක්‌ අවශ්‍ය යෑයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම තම පක්‍ෂයේ ජයග්‍රහණයක්‌ ලෙස ජාතික හෙළ උරුමය හැඳින්වීය.

මේ අතර 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අප්‍රේල් මස 6 හා 7 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට මුලින් තීරණය කොට එය න්‍යාය පත්‍රයට ද ඇතුළත් කොට තිබිණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පමාවීම නිසා එය කල් දමනු ලැබීය.

මේ අතර 19 වැනි සංශෝධනය පිළිබඳව විවාදය අප්‍රේල් 20 හා 21 දිනවලදී පැවැත්වීමට එකඟ වූහ.

ඒ අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය ලබාගැනීම සඳහා අප්‍රේල් 19 දා පස්‌වරු 6 ට ජනාධිපති කාර්යාලයේදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම හමුවිය.

එහිදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම 19 වැනි සංශෝධනයට සහාය දීම සඳහා කොන්දේසි 3 ක්‌ ඉදිරිපත් කෙළේය.

19 වැනි සංශෝධනයත් සමග නව මැතිවරණ ක්‍රමය අඩංගු 20 සංශෝධනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීම. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කොට ඇති 19 වැනි සංශෝධනයේ වගන්තිවලට පමණක්‌ ඡන්දය දීම හා අලුතින් සංශෝධන එයට එකතු නොකිරීම යන මෙම කොන්දේසිවලට එකඟවීමට ජනාධිපතිවරයාට සිදුවිය.

මේ අතර අප්‍රේල් 20 වැනිදා පාර්ලිමේන්තුව රැස්‌වූ අවස්‌ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවා තිබීමට විරෝධය පළ කරමින් එජනිස මන්ත්‍රීවරුන් විශාල පිරිසක්‌ සභාව තුළ විරෝධතාවක්‌ හා උපවාසයක්‌ ඇරැඹීම නිසා පසුදා පෙරවරු 9.30 දක්‌වා පාර්ලිමේන්තු රැස්‌වීම කල් තැබීමට කථානායකවරයාට සිදුවිය. එහෙත් 21 දා යළි

රැස්‌වුවද මන්ත්‍රීවරුන්ගේ විරෝධය අවසන් නොවූ බැවින් පක්‍ෂ නායකයන්ගේ එකඟත්වය මත 19 වැනි සංශෝධනය පිළිබඳ විවාදය අප්‍රේල් 27 හා 28 දිනවල පැවැත්වීමට තීරණය විය.

මේ අතර නව මැතිවරණ ක්‍රමය අඩංගු 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පතට පසුගිය බදාදා (22 දා) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී අනුමැතිය ලැබී ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 සිට 238 දක්‌වා ඉහළ යනු ඇත. සෑම කොට්‌ඨාසයකටම එක්‌ මන්ත්‍රීවරයකු බැගින් කොට්‌ඨාස 160 ට මන්ත්‍රීන් 160 ක්‌ ද බහු ආසන 8 ක්‌ ද එක්‌කෙරෙන අතර එයින් මන්ත්‍රීන් 8 ක්‌ ද ඉතිරි මන්ත්‍රීවරුන් දිස්‌ත්‍රික්‌ අනුපාත ක්‍රමයට හා ජාතික ලැයිස්‌තුවෙන් පත් කෙරෙන බවද කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. මෙම නව මැතිවරණ ක්‍රමය මීළඟ මැතිවරණයේ සිට ක්‍රියාත්මක වන බවද ඒ මහතා කීය.

මේ අතර ශ්‍රීලනිපය වෙනුවෙන් ව්‍යවස්‌ථා සංශෝධන කමිටුවට එක්‌වූ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පසුගිය 20 දා පැවැති පක්‍ෂ නායක රැස්‌වීමේදී පවසා තිබුණේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට ඉදිරිපත් කොට ඇති සංශෝධන කපා කොටා අපැහැදිලි ලෙස ඉදිරිපත් කර ඇති බවත් එය පැහැදිලිව සකස්‌ කොට යළි ඉදිරිපත් කරන ලෙසත්ය.

එහෙත් ව්‍යවස්‌ථා සම්පාදක අංශ ආරංචි මාර්ග පවසන්නේ පිටු 40 කින් යුත් සංශෝධන පක්‍ෂ නායකයන්ගේ ඉල්ලීම් පරිදි පරිගණකයෙන් අනවශ්‍ය ඒවා ඉරක්‌ ගසා කපා දමා අලුතින් එක්‌කළ කොටස්‌ ඉටැලික්‌ අකුරෙන් දක්‌වා තිබූ බවය. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ පරිවර්තකයන්ගේ හිඟය නිසා එහි සිංහල හා දෙමළ පිටපත් සකස්‌ කිරීමට පමා වූ බවද දැනගන්නට ඇත.

එහෙත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ අලුත් සංශෝධන යළි අලුතින්ම මුද්‍රණය කොට භාෂා තුනෙන්ම 22 දා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත යවා තිබේ.

මේ අතර පසුගිය බ්‍රහස්‌පතින්දා පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනි සංශෝධනයට සම්පූර්ණ සහාය දීමට එකඟත්වය පළ කොට ඇත්තේ නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය පසුව ඉදිරිපත් කෙරෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව පිළිගනිමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා විද්යුත් මාධ්‍ය ඔස්‌සේ ජනතාව අමතමින් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ද 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඡන්දය දෙන ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කෙරෙන 19 වැනි සංශෝධනයට ඡන්දය දීම මන්ත්‍රීවරුන්ට ගෞරවයක්‌ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

හෙට සහ අනිද්දා (27 - 28) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මෙවර නම් බාලගිරි දොaෂයට හසු නොවී සම්මත වීමට ඉඩ තිබෙන බව පැහැදිලිය.

දයා ලංකාපුර



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.