99න් ලංකාවට ආ බැසිල්  දින 100දී සිරගතවුනේ මෙහෙමයි!



බැසිල් රාජපක්‌ෂ මහතා කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණටත්
ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයටත් රැගෙන ගිය අයුරු.

දේශපාලන වේදිකාවේ චරිත අලුත් අලුත් ආකාරයෙන් හැඩ ගැසෙමින් තිබේ. නළු නිළියන් සිය චරිත මාරු කරනවාටත් වඩා ඉක්‌මනට දේශපාලකයන්ට තමාගේ චරිතය මාරු කරන්නට සිදුවී ඇත්තේ, සිදු වී ඇති බල පෙරළියත් සමඟය. මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව ධාවනය කරවූ ප්‍රමුඛ චරිතයක්‌ වූ බැසිල් රාජපක්‌ෂ මහතා, පැවති ආණ්‌ඩුවේ Êබලවන්තම අමාත්‍යවරයෙකු වී සිටි අතර මේ මොහොත වන විට බන්ධනාගාර ගත කර කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියි. මේ සියලු පෙරළිsවලට මුල වන්නේ 2015 ජනාධිපතිවරණයය. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ පාර්ශවයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වූයේ බැසිල් රාජපක්‌ෂ මහතාය. 2005 මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රථමවරට බලයට පත්කරන විට ද එහි මෙහෙයුම් කර්තව්‍යය කරට ගත්තේ බැසිල් රාජපක්‌ෂ මහතාය. ජනාධිපති ඡේෂ්ඨ උපදේශක සහ පසුව අමාත්‍යවරයෙකු බවට බැසිල් රාජපක්‌ෂ මහතා පත්වන අතර රාජපක්‌ෂ රජයේ මෙහෙයුම යාන්ත්‍රණය ඔහුගේ කර මත පැටවෙන්නේ, දේශපාලනයේ 'වැඩකාරයෙකු' ලෙස ඔහු නම් දරා සිටීම නිසාය.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ මහතා ලැබූ පරාජයෙන් පසුව බැසිල් රාජපක්‌ෂ මහතා විදේශ ගත වුණේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහාය. පරාජයෙන් පසුව ඔහුගේ හිතවතුන් විසින් ගෙන එන ලද ආරංචි වලින් පැවසුණේ බැසිල් රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සූදානමක්‌ තිබෙන බවය. ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී අපේක්‌ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන සහ බැසිල් අතර විරසකයක්‌ පැවතුන බව දේශපාලන ක්‌ෂේත්‍රයේ රහසක්‌ නොවිය. මේ නිසා මෛත්‍රීගේ ජයග්‍රහණයත් සමඟ බැසිල් වෙත පහරක්‌ එල්ල වනු ඇතැයි කවුරුත් සිතන්නට වූහ. ඒ සමගම ඇමරිකාව බලා ගිය බැසිල් රාජපක්‌ෂ මහතා, පරාජයේ වගකීම තමන් භාරගන්නා බවත් ඒ අනුව පක්‌ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වන බවත් දැනුම් දුන්නේය.

නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ 'සිදුවූවා යෑයි කියන දුෂණ සෙවීම සඳහා' ප්‍රමුඛතාවය ලැබී තිබුණි. ඒ යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතාට එරෙහිවද චෝදනා ගොනු වී තිබුණි.

ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සමෘද්ධිලාභී පවුල් ලක්‌ෂ 14 කට එක්‌ පවුලකට නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා රුපියල් 10,000 ක්‌ ලබාදෙන වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ රුපියල් 2,500ක්‌ බැගින් රුපියල් දශලක්‌ෂ 2,900 ක්‌ ලබාදීම, සමෘද්ධි අධිකාරිය ඇතුළු ආයතන 5 ක්‌ ඒකාබද්ධවීමෙන් පිහිටුවනු ලැබූ දිවිනැගුම දෙපාර්තමේන්තුව ස්‌ථාපිත කිරීමේදී ස්‌වෙච්ඡාවෙන් විශ්‍රාමගත් සමෘද්ධි නිලධාරීන් සහ සේවකයින් 1,067 දෙනෙකුට පාර්ලිමේන්තු පනතක්‌ මගින් අනුමතවූ වන්දි සහ පාරිතෝෂිත මුදල් වශයෙන් රුපියල් දශලක්‌ෂ 1,700 ක මුදලක්‌ භාණ්‌ඩාගාරයෙන් ප්‍රතිපූර්ණය කරන තෙක්‌ දිවි නැගුම අරමුදල් වලින් ගෙවීම, වසර 2015 සමෘද්ධි ලිත් ලක්‌ෂ 50 ක්‌ මුද්‍රණය කිරීම සඳහා රුපියල් දශලක්‌ෂ 23 ක්‌ වැය කිරීම යන කරුණු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ හිටපු දිවි නැගුම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ද මෙම චෝදනා සඳහා වගකිව යුත්තන් බවට නම්කර තිබුණි.

වසර දහයක්‌ පමණ තිස්‌සේ රජයක ප්‍රමුඛ බරක්‌ කර ගැසීම නිසා බැසිල් රාජපක්‌ෂ මහතා වෙත පුද්ගලික ජීවිතයක්‌ ද නොවූ තරම්ය. දිනකට පැය දහ අටකටත් වඩා වැඩ කටයුතු කරමින් ඔහු දැඩි කාර්යය බහුලත්වයෙන් ගත කළ කාලයට විරාමයක්‌ ලැබුණේ පරාජයෙන් පසුවය. අතර තුර සිය දරු මුණුපුරු මිනිපිරියන් සමඟ ගත කිරීමටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් ඔහු සිය නිවාඩුව වෙන් කර ගෙන තිබුණි. තමන්ට එරෙහිව දුෂණ චෝදනා එල්ල වනවිට ඒ සඳහා පිළිතුරු එවමින් බැසිල් මහතා විසින් සිය නීතිඥයන් මගින් දැනුම් දී තිබුණේ, ඉක්‌මනින්ම තමන් දිවයිනට පැමිණ මේ චෝදනා සඳහා පිළිතුරු ලබා දෙන බවයි.

විවේකයෙන් ගතකිරීමට සහ ප්‍රතිකාර ලබා ගැනීමට විදෙස්‌ ගතවී සිටියත් බැසිල් රාජපක්‌ෂ මහතා හට මෙරට දේශපාලනයෙන් නම් විවේකයක්‌ නොලැබුණි. සිය හිතවතුන්, දේශපාලනඥයින් ඇතුළු පිරිස්‌ වෙතින් ඔහුගේ දුරකතනයට ඇමතුම් ගලාගෙන එන්නට විය. 2004 වසරේ මහින්ද රාජපක්‌ෂ මහතා අගමැති ලෙස පත් වූ අවස්‌ථාවේදී ඔහුගේ උපදේශකයකු ලෙස බැසිල් රාජපක්‌ෂ මහතා සිටියේය. එම අවස්‌ථාවේදී ඔහු භාවිතා කළ දුරකථන අංකය තවමත් ඔහුගේ පුද්ගලික දුරකථන අංකය ලෙස තිබීම නිසාත්, එය ඇමරිකාවේදී ද සක්‍රිය කරගෙන තිබූ නිසා, දිනය පුරාම වෙලාවක්‌ අවේලාවක්‌ නොමැතිව ඔහුට ඇමතුම් ගලාගෙන ආවේය. ඒ සියල්ලටම පිළිතුරු දෙන අතරේ තම නීතිඥයන් මාර්ගයෙන් දිවයිනට පැමිණ, තමාට සහ තමන් සමඟ සේවය කළ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සඳහාද පිළිතුරු සකස්‌ කිරීමේ කාර්යයේ ඔහු නිරත විය.

සිය සොහොයුරු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අමතමින් තමන් යළි දිවයිනට පැමිණෙන බව, බැසිල් රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කර තිබුණි. රටේ තත්ත්වය සම්බන්ධයෙන් සිය සොහොයුරා දැනුවත් කළ හිටපු ජනාධිපතිවරයා, 'ආවොත් නම් හිරේ දායි. තව ටික කාලයක්‌ ඉඳලා ආවොත් මොකද ...' යෑයි සිය සොහොයුරාගෙන් අසා තිබුණි. 'මම හොරකම් කරලා නැහැ. අනිත් එක මාත් එක්‌ක වැඩ කරපු නිලධාරීන්ට චෝදනා කරන කොට මට පැත්තකට වෙලා බලාගෙන ඉන්න බෑ. මට චෝදනා කරනකොට මහින්ද අයියාටත් හොඳ නැහැ. මම ඇවිල්ලා චෝදනා වලට උත්තර දුන්නාම ඉවරනේ...' යනුවෙන් සිය සොහොයුරා දැනුවත් කළ හිටපු අමාත්‍යවරයා, විසි එක්‌ වෙනිදා දහවල් තමන් දිවයිනට පැමිණෙන බව, 'එන්නේ කවදාදැයි' තමන්ගෙන් ඇසූ හිතවතුන්ට දැනුම් දුන්නේය.

ඇමරිකාවේ සිට ඩුබායි දක්‌වාත් එතැනින් දිවයිනටත් හිටපු ඇමතිවරයා පැමිණෙන බව ආරංචි වූ ජනතාව සහ මහජන නියෝජිතයන් විශාල පිරිසක්‌, කටුනායක ගුවන්තොටුපළේ මගීන් පැමිණෙන පර්යන්තය වෙත දහවල් වන විටම ළඟාවී සිටියෝය. ටිකට්‌ පතක්‌ රැගෙන පැමිණෙන මගීන් බැලීම සඳහා වෙන් කරන ලද පර්යන්තය එදින උදෑසන සිට වසා දමා තිබු අතර, මේ නිසා සිය නෑ හිතවතුන් රැගෙන යැමට පැමිණි ජනතාව විශාල අසීරුතාවයකට ලක්‌වී තිබුණි. මේ පිළිsබදව කරන ලද විමසීමකදී, අදාළ අංශ ප්‍රධානීන් පවසන ලද්දේ, ටිකට්‌ නිකුත් කරන යන්ත්‍රයේ දෝෂයක්‌ නිසා එම පර්යන්තය වසා දැමීමට කටයුතු කරන ලද බවයි.

දහවල් දෙක පමණ වන විට බැසිල් රාජපක්‌ෂ මහතා දිවයිනට ළඟා වූ අතර, ඈතින් ඔහු පැමිණෙනවා දැකීමත් සමඟම රැස්‌ව සිටි පන්දහකට අධික පිරිස කෑ ගසමින් ඔහු පිළිගනු ලැබිය. හිටපු ඇමතිවරයා ජනතාව වෙත ළඟා වෙනවාත් සමගම මල්මාලා පළඳවමින් ඔහු පිළිගත් ජනතාව ඔහු වට කර ගැනීම නිසා, පිරිස පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක්‌ ඇතිවූ අතර පිරිසට මැදි වූ බැසිල් රාජපක්‌ෂ මහතා අතරමංවූ ආකාරයක්‌ දක්‌නට ලැබුණි. හිටපු ඇමතිවරයා වටකරගත් පිරිස මිනිස්‌ පොදියක්‌ ලෙස එහෙ මෙහේ යන අතරේ පාර වෙන්කිරීම සඳහා එහි මැද ඉදිකර තිබු බැම්මකට බැසිල් මහතා නැංවීමට ඔහුගේ හිතවතුන් කටයුතු යෙදවූයේය. බැම්ම මතට ඔහු නැංවූ පසු පැමිණ සිටි මහා සංඝරත්නය පිරිත් දේශනා කරමින් ඔහුට ආශිර්වාද කළහ. ඉන් පසුව ජනතාව ඇමතු බැසිල් මහතා ප්‍රකාශ කළේ '1931 සිට රාජපක්‌ෂලා දේශපාලනය කරනවා. දේශපාලන තීරණ අරගත්තත් අපි කවදාවත් හොරකම් කළේa නැහැ. මෙහෙම චෝදනා කරන එක ගැන මට කනගාටුයි. ඒත් අද මෙතැනට ඇවිල්ලා ඉන්න ජනතාව දැක්‌කාම කලගුණ දන්න පිරිසක්‌ රටේ ඉන්නවා කියන එක ගැන මට සතුටුයි.'යනුවෙන් බැම්ම මත සිටගෙනම ජනතාව සහ මාධ්‍ය ඇමතු බැසිල් රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කරනවාත් සමග අත්පොළොසන් නාදයක්‌ නැගුණු අතර හිටපු ඇමතිවරයා ගුවන්තොටුපළට පැමිණි සිටි ජනතාවට සමාචාර කිරීමෙන් පසුව පිටත්ව ගියේය. ඇමැතිවරයා පිටත්ව ගිය පසු කාර්මික දෝෂයක්‌ මත වසා දමා තිබුණා යෑයි කියූ අමුත්තන්ගේ පර්යන්තය විවෘත කිරීමට බලධාරීන් කටයුතු යොදන ලද්දේ ඒ සමඟ 'කාර්මික දෝෂය' නිවැරදි වූ නිසා විය හැකිය. බැසිල් මහතා පැමිණියේ පාර්ලිමේන්තුව බලා පිටත්ව යැමට වුවත්, ඒ වනවිට පාර්ලිමේන්තුවේ ඇතිවී තිබු තත්ත්වය සමඟ පාර්ලිමේන්තුව කල් දැමීමට කථානායකවරයා කටයුතු යොදා තිබුණි. මේ නිසා මුල් සැලසුම වෙනස්‌ කරමින් සිය වැඩිමහල් සොහොයුරු කථානායක චමල් රාජපක්‌ෂ මහතා හමුවීම සඳහා පාර්ලිමේන්තුව අසල පිහිටි කථානායක නිල නිවස වෙත බැසිල් මහතා ළඟාවිය .

සැන්දෑ වරුවේ සිය නීතිඥයන් හමුවීමට ගිය හිටපු ඇමැතිවරයා, පසුදා උදෑසන කොල්ලුපිටියේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේ සිය කට උත්තරය ලබාදීම සඳහාය. පැය ගණනාවක්‌ කට උත්තර ලබාදීමෙන් අනතුරුව බැසිල් මහතා වෙත දිවා ආහාරය පිරිනමන්නට පොලිස්‌ නිලධාරීන් සුදානම් වුවත්, තමන්ට කෑම ලබාගැනීම සඳහා මානසිකත්වයක්‌ නොමැති බවට ප්‍රකාශ කරමින් නිරාහාරවම රාත්‍රිවෙන තුරුම පැය අටකට අධික කාලයක්‌ සිය කට උත්තරය හිටපු ඇමතිවරයා ලබාදී තිබුණි. ආර්ථික සංවර්_ධන හිටපු අමාත්‍යවරයා සමඟින් හිටපු ලේකම් වෛද්‍ය ජයතිලක සහ හිටපු දිවි නැඟුම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ද මෙහිදී කට උත්තර ලබා දෙමින් සිටියෝය. මේ අවස්‌ථාව වනවිට බැසිල් රාජපක්‌ෂ මහතා ඇතුළු නිලධාරීන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්‌ නිලධාරීන් ලේඛන සූදානම් කරමින් සිටියෝය. පොදු දේපළ පණත උල්ලංඝනය කිරීමේ චෝදනාවට ලක්‌ කරමින් පිරිස රිමාන්ඩ් ගත කිරීම සඳහා කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට පිරිස ඉදිරිපත් කරන බව සැලවීමත් සමඟ දෙදහකට අධික ජනතාවක්‌ ඒ අවට රැස්‌වී සිටියෝය. ඒ අතර එජනිසයේ මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන ඇතුළු විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුද බස්‌නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පළාත් අමාත්‍ය නිමල් ලන්සා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් 100 කට ආසන්න පිරිසක්‌ද මෙහිදී දක්‌නට ලැබිණි. රූපවාහිනී මාධ්‍යයෙන් සජීවී ලෙස කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සිට තත්ත්වය විකාශය කරනු ලැබූ හෙයින් ජනතාවද රාත්‍රියේදීම සිද්ධිය නරඹනු ලැබීය .

දිවි නැගුම කාර්යාලය පිහිටා තිබුණු බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ල අයත් වෙන අධිකරණ බල ප්‍රදේශය කඩුවෙල හේතුවෙන් කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණය මේ සඳහා යොදා ගනු ලැබිණි. රාත්‍රී නවයයි තිහ පමණ වනවිට රාජපක්‌ෂ මහතා ප්‍රමුඛ පිරිස අධිකරණ භූමියට පැමිණි අතර, බැසිල් රාජපක්‌ෂ මහතා පොලිස්‌ වාහනයෙන් බැස්‌සේ 'ඔන්න යහපාලනය....' කියා ගෙනය. පැය එකහමාරක පමණ කාලයක්‌ පොලිසිය විසින් චෝදනා පත්‍රය මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර අතරතුර කාලයේදී රාජපක්‌ෂ මහතා ඇතුළු තිදෙනා, මහේස්‌ත්‍රාත්වරයාගේ ගරාජය තුළ සිටගෙන සිටින ලද හෙයින් ඔවුන්ගේ නීතිඥයන් විසින් ඒ බව මහෙස්‌aත්‍රාත්වරයාට දැන්වූ පසු නීතිඥ කාර්යාලය වෙත තිදෙනා රැගෙන යන ලෙස නියෝග ලැබුණි. හිටපු අමාත්‍ය හිස්‌බුල්ලා මහතා විසින් ගෙන එන ලද රාත්‍රී ආහාරය බැසිල් රාජපක්‌ෂ මහතා විසින් ගනු ලැබුවේ එහිදීය. දිවා ආහාරයද නොමැතිව සිටි රාජපක්‌ෂ මහතා රාත්‍රී ආහාරයෙන් දෙවේලම සරිකරගනු ලැබිය. අනතුරුව මහෙස්‌ත්‍රත්වරයා විසින්, පිරිස මැයි පස්‌වෙනිදා තෙක්‌ රිමාන්ඩ් ගත කරන ලෙස නියෝග කළේය. මෙම ආරංචිය එළියේ සිටි පිරිසට ලැබෙනවත් සමගම එතන සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා පැවසුවේ 'එහෙනං ඇමතිතුමාට උපන්දිනයත් ගත කරන්න වෙන්නේ හිරේ තමයි...' යනුවෙනි. බැසිල් රාජපක්‌ෂ මහතාගේ උපන් දිනය දී ඇත්තේ අප්‍රේල් මස විසි හත් වෙනිදාටය. මේ නිමිත්තෙන් විහාරස්‌ථාන හැට එකක බෝධිපුජා පිංකම් සංවිධානය කර තිබීමද විශේෂත්වයකි.

තිදෙනාගේ නීතිඥයන් විසින් අදාළ සොඛ්‍ය වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර රෝහල වෙත පිරිස යවන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය. තීන්දුවට පැය භාගයකට පමණ පෙර සිට බන්ධනාගාර බස්‌ රථය කඩුවෙල මහෙස්‌ත්‍රාත් භුමියේ නවතා තිබූ අතර හිටපු ඇමතිවරයා සහ පිරිස එයට නැංවූ අතර රාජපක්‌ෂ මහතාගේ ඇඳුම් බෑගය බස්‌ රථයට ගැනීම බන්ධනාගාර නිලධාරීහු ප්‍රතික්‌ෂේප කළහ.

රාජපක්‌ෂ මහතාගේ ඇඳුම් සහ බෙහෙත් ඇතුළත් බෑගය ලබාදීම සදහා සුසිල් ප්‍රේමජයන්ත සහ නාමල් රාජපක්‌ෂ යන මන්ත්‍රීවරු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගියද පළමු අවස්‌ථාවේදී ඊට අවසර නොලැබුණු අතර පසුව ඒ සඳහා අවසර ලැබුණි.

පසුදා උදෑසන වැලිකඩ බන්ධනාගාරය අසල උද්ඝෝෂණයක්‌ පැවති අතර බැසිල් රාජපක්‌ෂ මහතා සිර කර තබා ගැනීම පිළිබඳව එහිදී විරෝධය පළ විය. එදිනම අල්ලස්‌ කොමිසමට හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාද කැඳවා තිබූ අතර තම කට උත්තරය ලබාදීමෙන් අනතුරුව සිරගතවී සිටින සිය සොහොයුරා බැලීම සදහා ඔහුද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණියේය.

බ්‍රහස්‌පතින්දා සන්ධ්‍යාවේදී රාජපක්‌ෂ මහතා ඇතුළු තිදෙනා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් පරික්‌ෂා කිරීමෙන් පසුව ජාතික රෝහලට ඇතුල් කිරීමට පියවර ගැණුනි.

සිකුරාදා දහවල් එකොළහ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා, සිය සොහොයුරු බැසිල් රාජපක්‌ෂ මහතා බැලීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය. දෙදෙනා අතර පැය භාගයක පමණ කතබහක්‌ සිදු වූ අතර එම අවස්‌ථාවේදී දෙදෙනා පමණක්‌ කතාබහක්‌ පැවැත් වූ අතර එය දේශපාලන කතා බහක්‌ ද නැද්ද යන්න දන්නේ දෙදෙනා පමණය. සිකුරාදා සන්ධ්‍යාව වනවිට එජනිස පාර්ලිමේන්තු නියෝජිතයන් අසූ එක්‌දෙනෙක්‌ පමණ බැසිල් රාජපක්‌ෂ මහතා බැලීම සදහා පැමිණ සිටි අතර, සභාග ආණ්‌ඩුවේ ඇමතිවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහින්ද අමරවීර, ජගත් පුෂ්ප කුමාර ඇතුළු පිරිසක්‌ ඒ අතර විය.

මනෝඡ් අබයදීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.