පුරවැසි අවකාශය තුළ මහින්ද හා අල්ලස්‌ කොමිසම

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලංකාවේ පාර්ලිමේන්තුව ඉතිහාසය තුළ ප්‍රථම වතාවට රෑ එළිවන තුරු උද්ඝෝෂණය කළහ. මේ උද්ඝෝෂණය සිදු වන්නේ රටටත්, රටේ මිනිසුන්ටත්, අනාගතයටත් අතිශය තීරණාත්මක වන 19 ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ වැදගත් විවාද අවස්‌ථාවට පාර්ලිමේන්තුව සූදානම් වන මොහොතේය. විවාදය දින කිහිපයක්‌ කල් ගියේය.

පාර්ලිමේන්තුව තුළ අරගල කිරීමෙන් ජාතියක්‌ ලෙස අත්පත් කරගත හැකිව තිබූ ජයග්‍රහණ පිළිබඳ ඉතිහාසයක්‌ තිබිණි. එහෙත් එවැනි අරගල සිදුවූයේ නැත. එවැනි පසුබිමක රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දැවැන්තම උද්ඝෝෂණයේ නිමිත්ත වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ අල්ලස්‌ හෝ දූෂණ කොමිසම වෙත කැ`දවීමය.

රටක හිටපු ජනාධිපතිවරයෙක්‌ ප්‍රකාශයක්‌ ලබාගැනීම ස`දහා අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට කැ`දවීම පමණක්‌ වුවද පාර්ලිමේන්තුවක්‌ විකල් කරවන සිදුවීමක්‌ නම් ඉන් ප්‍රකට වන්නේ ඒ රටේ පාර්ලිමේන්තුවේ හැඩය ය. එහෙත් මීට දශක කිහිපයකට කලින් අපේ රටේ ඇත්තන් මීට වඩා ගෞරවණීය තැනක සිට දේශපාලනය කළහ.

ගංජා විකුණා මුදල් හොයාගෙන, කුඩු විකුණා මුදල් හොයාගෙන, හොර හරක්‌ පටවා හෝ අරක්‌කු විකුණා මුදල් හම්බුකරගෙන, ගණිකා ජාවාරම කරවා හෝ මන්ත්‍රීකම් කරන අතරේ පාට්‌ ටයිම් ගණිකා වෘත්තිය කරගෙන උපයාගත් මුදලින් රටේ පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූ ඉතිහාසයක්‌ ඒ වකවානුවේ අප සතුව තිබිණි. ඒ නිසා පාර්ලිමේන්තුව නම්බුකාර තැනක්‌ විනි. පාර්ලිමේන්තුව රටේ මිනිසුන්ට පිළිගත හැකි තරම් ගෞරවනීය තැනක්‌ විනි. රාජ්‍ය බලය යොදා ගැනීම, අල්ලස්‌ දීම, බිය වැද්දීම ඇතුළු දේශපාලන අශීලාචාරකම් කර පාර්ලිමේන්තුවට පැමිණෙන්නට යම් ඉඩක්‌ තිබුණා නම් එවන් අනීතික ව්‍යාපෘතිවලට රටේ වලංගු නීතියෙන් ද`ඩුවම් ලැබිණි. එවන් අත්දැකීම් රට සතුව තිබේ.

ආනමඩුවේ නඩුව

මේ සිද්ධිය වන්නේ මීට අවුරුදු තිස්‌ හතකට පෙරය. වර්ෂ 1977 මැතිවරණය මේ රටේ ගමන් මග වෙනස්‌ කළේය. එක්‌සත් ජාතික පක්‌ෂය රාජ්‍ය බලය පිහිටවීය. ඒ පිsහිටවන්නේ හයෙන් පහක ජන බලයක්‌ දිනාගෙනය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දිනාගත් ආසන ගණන 8 තෙක්‌ පහළ වැටිණි. ආනමඩුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විසින් දිනාගෙන තිබූ එක්‌ ආසනයකි.

හැත්තෑව දශකයේ දී වෝල්ටර් තල්ගොඩපිටිය මැතිවරණ සීමා නිර්ණය කිරීමේ කොමිසමේ තීන්දු ප්‍රකාරව ආනමඩුව මැතිවරණ කොට්‌ඨාසය වෙන්කර තිබුණු අතර එහි බලගැන්වූ මුල්ම මැතිවරණය 1977 මහ මැතිවරණය විය. මැතිවරණය ස`දහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් ඉදිරිපත් කර තිබුණේ අබේරත්න වඩිගමංගාව නමැති ප්‍රාමාණික දේශපාලකයෙකි. එහෙත් මැතිවරණ සූදානම අතර හේ හදිසියේ මිය ගියේය. එබැවින් ඔහුගේ ඥාතියෙක්‌ වූ ප්‍රකට ඉංග්‍රීසි සාහිත්‍යධර සද්ධාතිස්‌ස වඩිගමංගාව මැතිවරණය ස`දහා නම් කෙරිණි. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් මැතිවරණය සඳහා නම්කර තිබුණේ ආනමඩුව විදුහලේ විදුහල්පති නීතිඥ එම්. එම්. චන්ද්‍රසේනය.

උණුසුම් තරගයකින් පසු වැඩි ඡන්ද 1047 ක්‌ ලබාගෙන සද්ධාතිස්‌ස වඩිගමංගාව ආනමඩුව මැතිවරණ කොට්‌ඨාසය ජය ගත්තේය. එහෙත් ඔහු එම ආසනය ජයග්‍රහණය කරනු ලැබුවේ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් බවට පවසමින් ආනමඩුවේ උපාලි ගුණවර්ධන හා සැම්සන් රණසිංහ නමැති පුරවැසියන් දේපළ අධිකරණය වෙත ඡන්ද පෙත්සමක්‌ ඉදිරිපත් කළහ. නියං සහනාධාර ලෙස අයුතු සංග්‍රහ කිරීම, ආහාර අල්ලසක්‌ වශයෙන් ලබා දීම, රැකියා ලබාදීම ආදී වූ අනීතික බලපෑම් කර ඡන්දය ලබාගත් සද්ධාතිස්‌ස වඩිගමංගාවගේ මැතිවරණ ජයග්‍රහණය නීති විරෝධී බවත්, එබැවින් ඔහුගේ නීතියට හා සදාචාරට විරුද්ධ පත්වීම බල රහිත කර ඔහු ඉන් නෙරපා හරින ලෙසත් පෙත්සම් කරුවෝ ස්‌වකීය පෙත්සමින් ඉල්ලා සිටියහ.

ස්‌වකීය චෝදනාව සාක්‌ෂි මගින් ඔප්පු කිරීමට සාක්‌ෂිකරුවන් 187 ක්‌ පෙත්සම්කරුවෝ ඉදිරිපත් කළහ. ජෝඡ් කන්දප්පා, හෙන්රි ජයමහ, දයා පැල්පොල, එස්‌. රෙන්ගනාදන් යන නීතිඥවරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. පුරා වසර තුනක්‌ හලාවත මහාධිකරණයේ දී ඇසුණු මහාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත්විය. එය ලැබී තිබුණේ විත්තියට වාසිවන ආකාරයටය. නඩු තීන්දුව අභියාචනාධිකරණය වෙත යොමු කෙරිණි.

සාක්‌ෂි විභාගයේදී නියං සහානාධාර හිතාමතා මැතිවරණ සමයේදී බෙදා දීම ස`දහා ප්‍රමාද කිරීම ගැන කියෑවී තිබිණි. සමුපකාර ප්‍රාදේශික මගින් සහනාධාර බෙදා දීමේදී සද්ධාතිස්‌ස වඩිගමංගාවගේ පෝස්‌ටරත් බෙදූ බව කියෑවිනි. ඡන්දය දිනට පෙරදින රෑ එළිවනතුරු සහනාධාර පෝරම අතින් පුරවමින් ආහාර ද්‍රව්‍ය බෙදා දෙන අතර සමූපකාර කළමණාකාරවරු හරහා ඡන්දය ලබාගැනීමට ජනතාවට බලපෑම් කළ බව කියෑවිනි. මේ කරුණු පිළිබඳ විමසා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය බලපෑම් කර ඡන්දය ලබාගෙන ජනතා පරමාධිපත්‍යයේ ප්‍රකාශනය විකෘති කිරීම හා ඊට Rජුවම හානි කිරීම සිදුකළ බව පවසා සද්ධාතිස්‌ස වඩිගමංගාවගේ පත්වීම අවලංගු කළේය. වර්ෂ 1980 මාර්තු මස ප්‍රකාශයට පත්කරන ලද එම නඩු තීන්දුව අධිකරණ නිදර්ශන න්‍යායක්‌ ලෙස නව නීති සංග්‍රහයේ සංගෘහිත කළේය.

මේ එවැනි නෛතික ආදර්ශ සහිත රටකි. එහෙත් ඒ ආදර්ශ ක්‍රියාත්මක කිරීම තබා ප්‍රකාශයක්‌ සටහන් කරගැනීමට දේශපාලන බලයක්‌ සහිතව සිටි පුද්ගලයෙක්‌ කැඳවීම රටේ පාර්ලිමේන්තුවට වලිප්පුව හදවන නිමිත්තකි. පසුගිය ජනාධිපතිවරණ මේ රටේ පැවති අශීලාචාරම මැතිවරණය බව රටේ මිනිස්‌සු දනිති. ඒ වකවානුවේ පාර්ලිමේන්තුව පොළක්‌ වූයේය. මන්ත්‍රීවරු ඒ පොළේ දමා අලෙවි කළේය. අරලියගහ මන්දිරය දන්සලක්‌ බවට පත්කර තිබිණි. ඡන්දයක්‌ වෙනුවෙන් පංචස්‌කන්ධය විකිණිය හැකිනම් ඒ ස`දහා සූදානම් අලඡ්ජී වටපිටාවක්‌ නිර්මාණය වී තිබිණි. සිල් රෙද්දේ සිට අරක්‌කු කාල දක්‌වා වූ සියලූ පරිභෝගයන් ඡන්ද අල්ලස්‌ බවට පත්කළ පරිසරය රටක මැතිවරණයකදී නිදහස්‌ ඡන්ද අයිතිය විනාශ කළ හැකි ප්‍රමාණය ගැන අදහසක්‌ දුන්නේය. මැතිවරණයේදී අල්ලස්‌ දීම පිළිබ`ද මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වන්නේ අලඡ්ජී වටපිටාවක දී ය. එම චෝදනාව එල්ල කළ ආකාරය පිළිබඳ තර්ක කිරීමට හිටපු ජනාධිපතිවරයාට පසුබිමක්‌ තිබේ. එහෙත් තිස්‌ස අත්තනායක එජාපයේ හිටපු මහ ලේකම් වරයා පක්‌ෂයෙන් බි`ද තමන් වෙත ගත් ආකාරය, මහලේකම් වරයෙක්‌ යන විට තවත් මහලේකම් වරයෙක්‌ අරගැනීම තමුන්ට කඡ්ජක්‌ නොවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කළ ආකාරය, ඔහු ලවා විපක්‌ෂ මැතිවරණ ව්‍යාපාරය කුජීත කරන්නට උත්සාහ කළ ආකාරය ගැන වූ පිළිකුල් සහගත මතක තවමත් මේ රටේ මිනිස්‌සුන්ට අමතකව ගොස්‌ නැත. ඒ මතකය තරමටම මෙවැනි චෝදනා එල්ලවන විට මොවුන් ප්‍රකට කරනා හැසිරීම පිළිකුල් සහගතය.

මහින්ද රාජපක්‌ෂ මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයා බව සැබෑය. විධායක ජනාධිපතිවරයා බුදුහාමුදුරුවන් නොවේ. මිනිසුන් අතින් සිදුවන වැරදි හෝ අතපසුවීම් පිළිබ`ද සමාජයට ප්‍රශ්නයක්‌ වන්නේ ඔහු එම අභියෝග හමුවේ හැසිරෙන ආකාරයේ ස්‌වරූපය අනුවය. මහින්ද රාජපක්‌ෂ මේ රටේ පුරවැසියෙක්‌ වූයේ විධායක ජනාධිපතිවරයා වන්නට පෙරය. කුමන දේශපාලනික අර්ථයකින් කරනු ලැබුවත් මේ කැ`දවීම පිළිබ`ද පුරවැසියෙක්‌ සලකා බැලිය යුතු අවකාශයක්‌ ඔහු සතුව තිබිණි. ප්‍රශ්නය වන්නේ ඔහු අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට නොයැම නොවේ. තම පුරවැසි භාවයේ වටිනාකම අහෝසි කරගැනීමය.

ජානක ලියනආරච්චි
ටෙරන්ස්‌ වනිගසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.