රට බේරා ගැනීම පැත්තකට...
එබෙන්නේ මහින්දගේ  කිල්ලෝටයට

එදා පාර්ලිමේන්තුවේ මොකද වුණේ

රටේ ජනතාවට අහස උසට පොරොන්දු ලබා දුන් වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ඇස්‌බැන්දුම් දින සියය ඉකුත් විසිතුන් වැනිදායින් නිමාවට පත්විය. එකී දින සියය තුළදී පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය වසර දහයක්‌ පුරා සිදු කළ දේට වඩා යමක්‌ රටට සිදු කරන්නට තමන්ට හැකි වූ බව අද යහපාලකයෝ පුන පුනා කියන්නාහ.

එම සටන් පාඨය ගෙන මේ මොහොතේ වැඩිපුරම ආතල් ගනිමින් සිටිනුයේ මෛත්‍රියේ පිහිටෙන් බලය ලබාගත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇස්‌බැන්දුම්කාරයන් යෑයි කිවහොත් එය නිවැරදි වන්නකි. නමුත් කවුරුන් කෙසේ ආතල් ගත්තද ආණ්‌ඩුවේ ගෙවී ගිය දින සියය යනු මුළු රටම හිනැස්‌සූ සුපිරි වාද බයිලා සංදර්ශනයක්‌ වූවා යෑයි කියනු හැර ඒ පිළිබඳ කියන්නට අපට නම් අන් යමක්‌ නැත.

මන්ද අද දවසේ රටේ ජනතාව "කොත්තමල්ලි අයවැය" ලෙසින් හඳුන්වනු ලබන ආණ්‌ඩුවේ අතුරු අයවැයෙන් ලැබුණු එහෙන්, මෙහෙන් සහ කන ගාවින් යන දෙයක්‌ හැරෙන්නට දින සියයේ ප්‍රධාන ඉලක්‌ක හෙවත් මූලික ජනතා පොරොන්දු කිසිවක්‌ වෙත ළඟා වන්නට ගෙවී ගිය කාලය තුළ යහපාලනයට නොහැකි වූ නිසාය.

යථාර්ථය එය වුවද ඉකුත් විසිතුන් වැනිදායින් අවසන් වූ යහපාලන දින සියය තුළ වෙනත් පැත්තකින් සිදු වූ දෙයක්‌ නම් තිබිණ. ඒ රටේ ජාතික ආරක්‍ෂාව බාල්දු කෙරෙන අතරේ මෙතෙක්‌ යටපත්ව තිබූ සුළු ජාතික බෙදුම්වාදයේ වුවමනාවන් එකින් එක ඉටු වන්නට වීමය. එය තවමත් සිදුවෙමින් තිබෙන්නකි.

ජාත්‍යන්තරය දක්‌වාම විහිද ගිය දීර්ඝ දේශපාලන සැලසුමකට අනුව 2015 වසර ආරම්භයේදී යහපාලනය මතුවෙද්දී රටේ ජනතාව තුළ ඒ කෙරෙහි තිබූ බලාපොරොත්තු අපමණ විය. රටකට ඕනෑ අපමණ අගයක්‌ යෑයි කියමින් ඔවුන් රට බේරා ගත් රාජපක්‍ෂ රජය පැත්තකට දමා යහපාලනය දිනවූයේද ඒ නිසාය.

එහෙත් එසේ බිහිකළ යහපාලනයෙන් අපමණ අගයක්‌ ලැබුණේ රටට හා ජනතාවට නොව රට තුළ ක්‍රියාත්මක බෙදුම්වාදයට මෙන්ම විජාතික වුවමනාවන්ට බව ගෙවී ගිය දින සියයයෙන් භාගයක්‌ යන විටම යහපාලනය කරළියට ගෙනා ජනතාව අවබෝධ කර ගත්තේය.

වත්මන් රජය යහපාලනය සමඟ දින සියයක්‌ තුළ ගිය ගමන එසේ වෙද්දී ආණ්‌ඩුවේ කෙරුවාව හමුවේ මෙරට දේශපාලන ඉතිහාස පොතේ නිසැකවම සටහන් වන අන්දමේ සිද්ධියක්‌ද ඉකුත් සතියේ සිදුවිය. ඒ රටේ නීතියට මුවා වී ක්‍රියාත්මකව ඇති යහපාලනයේ දේශපාලන කුහකත්වයට එරෙහි වූ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් හැටහය දෙනකු ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉකුත් විසිවැනිදා උත්තරීතර පාර්ලිමේන්තුව තුළ පැය විසිතුනක්‌ තිස්‌සේ විරෝධතා උපවාසයක යෙදීමය.

ආණ්‌ඩුවේ දින සියයේ ශීතල නාඩගමේ තවත් එක්‌ ජවනිකාවක්‌ ලෙසින් පසුගිය දිනවල අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට පත්ව ආ අලුත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් විසඳන්නට ප්‍රශ්න (පැමිණිලි) රාශියක්‌ තිබියදී අමුතු කතාවක්‌ ගොතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම කොමිසම වෙත කැඳවීමට පියවර ගැනීම එකී විරෝධතාවට හේතු වී තිබිණි. ඇය ගොතා තිබූ ඒ අමුතු කතාව වූයේ ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්‍ෂ මහතා තිස්‌ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමැතිකම දීම අල්ලසක්‌ය යන්නය.

විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් ආරම්භ කළා වූ එම විරෝධතාවත් සමග රටේ ජනතාව සුපිරි ක්‍රිකට්‌ තරගයක්‌ දෙස බලා සිටින්නාක්‌ මෙන් රූපවාහිනී ඉදිරිපිට රැස්‌වී විශ්මිතව ඒ දෙස බලා සිටින්නට වූහ. ඔවුන් දුටු ඒ තරගය අතරවාරයේ හිටපු ජනාධිපතිවරයා අල්ලස්‌ කොමිසමට කැඳවමින් යහපාලනය එක්‌වරම "උඩපන්දුවක්‌" ලබා දෙනු ලැබීය. ඒ වත්මන් ජනාධිපතිවරයාගේ පිහිටෙන් අගමැති වී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ පිති පහරකිනි.

බහුතර විපක්‍ෂයේ කණ්‌ඩායම පාර්ලිමේන්තුව තුළ බිම දිගා වී රැකගනු ලැබුවේ ඒ උඩ පන්දුවය. නමුත් එම උඩ පන්දු රැකීමත් සමග ආණ්‌ඩු පක්‍ෂය කියන්නට වූයේ එය නීතිවිරෝධී පන්දු රැකීමක්‌ කියාය. අවසානයේ තීරණය තෙවැනි විනිසුරුට භාර කෙරිණ. දැන් තෙවැනි විනිසුරු බලා සිටින්නේ වික්‍රමසිංහ මහතාගේ හෙවත් එජාපයේ විකට්‌ටුව පිළිබඳ තීන්දුව දෙන්නට මීළඟ මහ මැතිවරණය ප්‍රකාශයට පත්වන තුරුය.

එහෙත් පුදුමය වන්නේ විසිනව වතාවක්‌ එක දිගට පරාජයේ මිහිර විඳ ඇති රනිdල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්‌සත් ජාතික පක්‍ෂයට කුහක සහ ජාතිකත්වය අමතක කෙරෙන ඩීල් දේශපාලනයෙන් මේ රටත් ජනතාවත් දිනාගත නොහැකි වග තවමත් අවබෝධ වී නොතිබීමය.

බහුතර විපක්‍ෂ මන්ත්‍රිවරුන් මෙසේ විරොAධතාවක්‌ ආරම්භ කළ ඉකුත් විසි වැනිදා පාර්ලිමේන්තුව රැස්‌වූයේ ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක්‌ මුල්කරගෙන විය. ඒ මේ දිනවල කරළියේ තිබෙන එජාපයට ඉතාම වටිනා සහ රනිල් වික්‍රමසිංහ මහතාට (තරගයක්‌ මෙන්ම බහුතර බලයක්‌ද නැතිවම) බලතල හිමිවන බව කියන 19 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු සඳහාය.

නමුත් එදින පාර්ලිමේන්තුව ආරම්භ වී සුළු කාලයක්‌ ගතව යද්දී අල්ලස්‌ කොමිසම පිළිබඳ මතුවූ වාදයක්‌ සමඟ සභා ගර්භයේ කථානායක අසුන ඉදිරිපිටට පැමිණි විපක්‍ෂ මන්ත්‍රීවරුන් යහපාලනයෙන් තමන්ටත් තම දරු පවුල්වලටත් ඉතා නින්දිත ලෙස දේශපාලන අඩන්තේට්‌ටම් කරමින් හිරිහැර කරන බව පවසන අතරේ රට බේරා ගත් මහින්ද රාජපක්‍ෂ මහතා කිසිදු පදනමක්‌ නොමැතිව අල්ලස්‌ කොමිසම වෙත කැඳවීමට පියවර ගෙන තිබෙන බැවින් එය වහා නතර කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින්නට විය.

විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ජී.එල් පීරිස්‌, ඩලස්‌ අලහප්පෙරුම, ටී.බී. ඒකනායක, දිමු ජයරත්න, සාලින්ද දිසානායක, උදිත් ලොකුබණ්‌ඩාර, නාමල් රාජපක්‍ෂ, මාලනී ෙµdන්සේකා, මහින්දානන්ද අලුත්ගමගේ සහ ශ්‍රියානි විඡේවික්‍රම ඇතුළු විපක්‍ෂයේ කණ්‌ඩායමක්‌ ඒ අතර වූහ.

විපක්‍ෂ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් එසේ ඉල්ලා සිටියදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක්‌ ලබාදෙන බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා මන්ත්‍රීවරුන්ට දන්වා සිටියද ඔවුන්ගේ ඉල්ලීම වූයේ ඒ මොහොතේම විසඳුමක්‌ ලබාදිය යුතුය යන්නය.

අවසානයේ මෙම සිද්ධිය හමුවේ පාර්ලිමේන්තුව කල් තැබීමට කාථානායකවරයා පියවර ගනු ලැබූ අතර ඒ සමගම තමන් විසඳුමක්‌ ලැබෙන තුරු පාර්ලිමේන්තුවෙන් පිටව නොයන බව පැවසූ විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රතු පළස මත බිම වාඩි විය. එසේ වාඩි වූ ඔවුන් එදින රැය පහන් කළේද පාර්ලිමේන්තුව තුළම ය.

ඒ රැයේ දී සිදුවූ දේ ද බොහොමයක්‌ විය. විටෙක පානදුරේ රෙජිනෝල්ඩ් කුරේ හිමිගේ ධර්ම දේශනාවක්‌ යෑයි කියමින් රෝහිත අබේගුණවර්ධන මහතා වාඩි වී සිටි මන්ත්‍රීවරුන්ට අපූරු දේශනාවක්‌ පවත්වන්නට වූ අතර තවත් අවස්‌ථාවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාබහ සහ හැසිරීම් විලාසය පෙන්වන්නට වූ විමල් වීරවංශ මහතා වික්‍රමසිංහ චරිතයට අනුගත වන්නට වූයේ සියල්ලන් සිනා සාගරයක ගිල්වමින්ය.

මෙසේ මන්ත්‍රීවරුන් නොයෙකුත් කතා බහ සහ විවිධ අදහස්‌ හුවමාරු කර ගැනීම් අතරේ එදින රැය පාර්ලිමේන්තුව තුළ ගත කරද්දී රාත්‍රියත් සමඟ විපක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සිටිමින් වත්මන් ආණ්‌ඩුවේ ඇමැති තනතුරු ලබාගත් කිහිපදෙනකුද පාර්ලිමේන්තුව වෙත පැමිණ විපක්‍ෂ කණ්‌ඩායම සමඟ එක්‌වන්නට වූහ.

එහිදී ඇතැම් අවස්‌ථාවල සිදුවූ කතා බහ ඉතා වැදගත් ඒවාද විය. ඒ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පාර්ලිමේන්තුව තුළ ගත කෙරුණු ඒ රැය පිළිබඳ කියා සිටියේ මෙසේය.

"ඔව්. එදා පාර්ලිමේන්තුවේදී ගෙවී ගිය ඒ රැය ජනාධිපතිවරණ පරාජයෙන් පසු විපක්‍ෂයට ලැබුණු විශාල ආශීර්වාදයක්‌ වූ අවස්‌ථාවක්‌ ලෙස හැඳන්වුවහොත් හරි. එදා එකට එක්‌වී විවෘත සංවාදයක යෙදෙන්නට හැමෝටම අවස්‌ථාව ලැබුණා. නායකත්වයක්‌ නොමැතිව එතැනදී හැම දෙනාම නායකත්වය ගත්තා.

පවතින පාලනයට එරෙහිව තම තමන්ගේ මතය විවෘතව පෙළ ගස්‌වන්න එතැනදී හැම දෙනාටම අවස්‌ථාව ලැබුණා. ඇත්තෙන්ම එය එක්‌සත් ජාතික පක්‍ෂය ආණ්‌ඩු බලය ගන්න කුමන්ත්‍රණය කරමින් සිටින වත්මන් යහපාලන ආණ්‌ඩුව පෙරළා දමා රටේ ඉදිරි දේශපාලනය තීන්දු කිරීමට විපක්‍ෂය වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලිවම කතා බහ කෙරුණු විපක්‍ෂයේ ඓතිහාසික සමුළුවක්‌ වුණා කියන එක තමයි කියන්න තිබෙන්නේ.

විපක්‍ෂයේ මන්ත්‍රිවැරන් ආරම්භ කළ විරෝධතාවත් සමග පාර්ලිමේන්තුව තුළ ඔවුන්a එසේ රැය ගෙවා දමද්දී පසුදාට පහන් වෙමින් ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ වන මොහොතද ළඟා වූවේය. ඒ වන විටත් විරෝධතා උපවාසයට එක්‌ව සිටි මන්ත්‍රිවරුන් සිටියේ පාර්ලිමේන්තු සභා ගර්භයේ බිම වාඩි වූ ගමන්මය.

එදින කථානායකවරයා සිය අසුනට පැමිණීමත් සමඟ නැගී සිටි මන්ත්‍රීවරුන් පෙරදා කළ ඉල්ලීම කථානා යකවරයාගෙන් යළි කරන්නට වූ අතර එහිදී තම තීරණය දැනුම් දෙන බව කී කථානායකවරයා මන්ත්‍රීවරුන්ට අසුන් ගන්නා ලෙස කළ දැනුම් දීමත් සමඟ උපවාසයේ නිරතව සිටි විපක්‍ෂ කණ්‌ඩායම යළි තම තමන්ට අයත් ආසන වෙත ගොස්‌ වාඩි වූහ.

ඉන්පසුව කාථානා යකවරයා සිය තීරණය දැනුම් දෙමින් සභාවට පවසා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස්‌ කොමිසම වෙත ගෙන්වීම වෙනුවට ඒ මහතාගේ නිවසට ගොස්‌ ප්‍රකාශය ලබා ගැනීමට කොමිසම එකඟ වී තිබෙන බව අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා තමන්ට දැනුම් දුන් බවය. එසේම මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු අල්ලස්‌ කොමිසම හමුවට කැඳවීමේදී එහි රහස්‍යභාවය රකිමින් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා නොවන සේ තමා දැනුවත් කර එය සිදු කිරීම උචිත බවද ඒ අවස්‌ථාවේ කථානායකවරයා පාර්ලිsමේන්තුව හමුවේ පැවසීය.

කථානායකවරයාගේ එකී දැනුම්දීමත් සමඟ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ආරම්භ කරනු ලැබූ විරෝධතා උපවාසය නතර කෙරිණි. ඒ මන්ත්‍රී විරෝධතාව ආරම්භ වී පැය විසිතුනකට පසුවය.

මෙකී කාලය තුළ සිදුවූ සුවිශේෂී සිදුවීම් කිහිපයක්‌ද විය. අල්ලස්‌ කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා කාථානායකවරයා විසින් හිටපු ජනාධිපතිවරයා කැඳවීම පිළිබඳ කරුණු විමසීම හා විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා මුණ ගැසී පවතින තත්ත්වය පැහැදිලි කරමින් ලියෑවිල්ලක්‌ භාර දීම ඉන් ප්‍රධාන තැනක තිබිණ.

එහිදී හිටපු ජනාධිපතිවරයා අල්ලස්‌ කොමිසමට කැඳවීම පිළිබඳ තමන් කිසිවක්‌ නොදැන සිටි බවක්‌ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේම පිලේ පිරිස වූ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේය.

මන්ත්‍රී විරෝධතාව අවසන් කිරීමේදී අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වහාම ඉන් ඉවත් කළ යුතු බවට සඳහන් කරමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 116 දෙනකු අත්සන් කළ ලියවිල්ලක්‌ කථානායකවරයාට භාරදීමටද විපක්‍ෂ මන්ත්‍රීවරු අවසානයේ පියවර ගනු ලැබීය. ඒ ඇය සිය සීමාව ඉක්‌මවා යමින් අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව සඳහන් චෝදනාවක්‌ද එල්ල කරමිනි.

මෙසේ විරෝධතාව අවසන් වීමත් සමග පාර්ලිමේන්තුව තුළ එදින සිදුවීමට නියමිතව තිබුණේ යළිත් 19 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීමය. එහෙත් ඒ අතරේ ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර නැවතත් දැඩි වාග් සංග්‍රාමයක්‌ ආරම්භ වූයෙන් එදිනද ඒ කටයුත්ත සිදු කළ නොහැකි විය.

එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 19 සංශෝධන ඔස්‌සේ ආණ්‌ඩු බලය කුමන්ත්‍රණකාරී ලෙස ලබා ගැනීමට සැරසෙන බවට පැහැදිලි තර්කයක සිටින විපක්‍ෂ කණ්‌ඩායම 19 ගැන ජනාධිපතිවරයා හමුවී යළි සාකච්ඡා කළ යුතු යෑයි එකී වාග් සංග්‍රාමයේදී එකහෙළා පවසන්නට වූ අතර ඒසේ ඇති වු තත්ත්වය හමුවේ දෙවරක්‌ම පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබීමට කථානායකවරයාට සිදු විය.

එකී පක්‍ෂ විපක්‍ෂ තර්ක අතරේ නැවතත් අල්ලස්‌ කොමිසම පිළිබඳ හා හිටපු ජනාධිපතිවරයා එහි කැඳවීමේ කතාවද මතු වන්නට විය. එහිදී අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ හිතවතියක බැවින් ඇය එජාපයේ කොන්ත්‍රාත් ඉටු කරමින් සිටින බවට විපක්‍ෂ මන්ත්‍රිවරුන් චෝදනා කළ අතර ඇය තම පවුලේ හිතවතියක බව අගමැතිවරයාද පිළිගනු දක්‌නට ලැබිණී.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳ මෙහිදී කෙරුණු අදහස්‌ දැක්‌වීම්වලදී මහින්ද යනු වීරයකු නොව පාර්ලිමේන්තු වරප්‍රසාද කිසිත් නැති සොරදෙටුවකු යෑයි කියන්නටද එජාපය අමතක නොකළේය. යහපාලනය මතු වීමේදීද එජාපය ඇතුළු ආණ්‌ඩුවේ අය කීවේ මහින්ද ජනතා මුදල් ගිල දැමූ සොරකු යන්නය. එය කැත නැතිව දේශපාලන වේදිකාවන්හි සටන් පාඨයක්‌ කර ගැනීමටද සියල්ලෝ කටයුතු කළහ.

එහෙත් සොරුන්ට දඬුවම් දෙන බව කියමින් බලයට පැමිණි යහපාලනයට මෙතෙක්‌ මහහින්දට එරෙහි එකම එක චෝදනාවක්‌වත් ගෙන එන්නට නොහැකි විය. අවසානයේ තිස්‌ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමැතිකම දුන්නේ යෑයි කියමින් මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස්‌ කොමිසම හමුවට කැඳවීමට සැරසුණේ ආණ්‌ඩුවේ ඒ නොහැකියාව වසා ගනිමින් කුහකත්වයෙන් යුතුව රාජපක්‍ෂ මහතාට මඩ ගැසීමේ අරමුණින් බව විපක්‍ෂයේ මතය වී තිබිණ. මෙසේ පැවති විවාදයන්හිදී මහින්ද රාජපක්‍ෂ මහතාට එල්ල වූ එජාපයේ ප්‍රහාරය ඉතා දැඩි එකක්‌ම විය.

මහින්ද රාජපක්‍ෂ යනු මේ රට යක්‍ෂයාගෙන් මුදාගත් දේශපාලන නායකයාය. අද මෙන්ම හෙටත් ඒ අයිතිය රාජපක්‍ෂ මහතාගෙන් උදුරා ගන්නට කිසිවකුටත් නොහැක. එහෙත් මහින්ද සිය අභීත දේශපාලන නායකත්වය තුළින් රණවිරුවන්ට සියලු ශක්‌තිය දී මේ රට මුදා ගැනීමේදී අද මෙසේ මහින්දට හොරා යෑයි කියමින් කුහකත්වයෙන් යුතුව කතා කරන සියලු දෙනා සිටියේ කොතැනකද යන්න අපට අමතක නැත.

රාජපක්‍ෂ ආණ්‌ඩුවේ දේශපාලන නායකත්වය ඉදිරියේ රණවිරුවන් එදා සිලාවතුර කොටි බලකොටුව බිඳ දමද්දී අද ආණ්‌ඩුවේ සිටිමින් මහින්ද හොරා යෑයි කියන යහපාලන කට්‌ටිය එදා කීවේ සිලාවතුර යනු වතුර වළක්‌ යෑයි කියාය. රණවිරුවන් තොප්පිගල කොටි පරදද්දී ඇතැමුන්ට තොප්පිගල පෙනෙqනේ අමු කැලෑවක්‌ ලෙසින්ය.

එසේම රණවිරුවන් එදා එල්ටීටීඊයේ අගනගරයව පැවති කිලිනොච්චියට ළඟා වෙද්දී වත්මන් ආණ්‌ඩුවේ ඇමැති කෙනෙක්‌ කීවේ හමුදාව කිලිනොච්චි කියා මැදවච්චි යන බවය. අපේ විරුවන් දිවි පරදුවට තබා කොටින්ගෙන් අලිමංකඩ මුදා ගැනීමට සටන් වදිද්දී ඔහුට අලිමංකඩ පෙනුනේ පාමංකඩ ලෙසින්ය.

එදා වගකීම් විරහිත විපක්‍ෂයක්‌ ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය බෙදුම්වාදයට පහරදීම හමුවේ මහින්ද පිළිබඳ උපන් වෛරයෙන් යුතුව රණවිරුවන්ට නින්දා අපහාස කෙරුවේ එසේය. මේවා කාට අමතක වුවද මේ රටේ ජනතාවට හොඳින් මතකය. 2002 වසරේදී සටන් විරාම ගිවිසුමක්‌ හරහා ප්‍රභාකරන්ට රට පුදන්නට හැදූ එජාපය අවසානයේ අපේ විරුවන් රට වෙනුවෙන් සටන් වදිද්දී රණවිරුවාට කෝචොක්‌ කෙරුවේද එසේය.

අද දවසේ රට බේරාගත් මහින්ද රාජපක්‍ෂට එරෙහිව යහපාලනය තුළ සිටිමින් එජාපය කුමක්‌ කීවද යථාර්ථය ඇත්තේ එතැනය. මේ මොහොතේ ජාතික සමගිය, සහජීවනය, එකමුතුකම, අෙන්‍යාන්‍ය විශ්වාසය ආදී ලෙසින් ලස්‌සන වචන කියමින් යහපාලනයේ උරුමය දිනා ගන්නට සැරසෙන්නේද මෙවන් වූ අ (සාදු) චරිතය.

මෙකී චරිතවල යටි අරමුණු වටහා ගන්නට රටේ ජනතාවට අපහසු නැත. යහපාලනය තුළ රට බෙදුම්වාදය දෙසට තල්ලු වෙමින් තිබෙන බව අප කියන්නේද මෙකී චරිත සමඟ අද සිදුවෙමින් තිබෙන නරිනාටක අතීතයට ගැලපෙන ඒවා වී තිබෙන නිසාය.

විපක්‍ෂයේ මන්ත්‍රී විරෝධයෙන් අනතුරුවද ඉකුත් 21 වැනිදා 19 සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමකින් තොරව සභාව කල් දමන්නට කථානායකවරයාට සිදු වූයේ මේ තත්ත්වය හමුවේය. ඒ අනුව එම කටයුත්ත හෙට 27 වැනිදාට කල් තබන බව සඳහන් කරමින් කථානායකවරයා එදිනද පාර්ලමේන්තුවේ සභාවාරය අවසන් කරනු ලැබීය. ඒ අවස්‌ථාවේ ආණ්‌ඩුවේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂයේ කණ්‌ඩායම වෙතින් එක්‌ හඬක්‌ මතු වන්නට විය.

ඒ "ඔක්‌කොම හොරු.. ලැඡ්ජායි.. ලැඡ්ජායි.. ලැඡ්ජායි.. ලැඡ්ජායි.." ලෙසින්ය. එහෙත් එජාපය එසේ හඬ නගද්දී අතීත මතකයන් සමඟ මේ රට ගැන සිතා අපට කියන්නට ඇත්තේද ඒ කතාවම බව යහපාලනයට සිහිකර දිය යුතුය. මන්ද මොන මොන වෙස්‌ බැන්දත් හූ තබන්නේ මොකාදැයි අප දැන සිටින නිසාය.

සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.