දින සියයෙන් අපේක්‍ෂා කළ කේතුමති රජදහන!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළෙහි ශේෂ පත්‍රය දැන් ප්‍රකාශයට පත්ව තිබේ. ඒ පිළිබඳ විවේචන, විමර්ශන, ඇගයීම් හා ප්‍රශංසාද ඇසෙයි. ජනාධිපතිවරයාගේම වචනවලින් කිවහොත් 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ විප්ලවයක්‌ සිදුවූ අතර ඒ සමගම ප්‍රතිවිප්ලවයක්‌ද ඇරැඹී ඇත. සිය දිගු දේශපාලන ගමනේ ප්‍රබලතම සන්ධිස්‌ථානයක්‌ වූ දින සියය සාධනීය දේශපාලන ඇරැඹුමක ප්‍රථම පියවර ලෙස ජනාධිපතිවරයා හඳුන්වයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාධාරණත්වය තහවුරු කිරීමට මෙන්ම අධිකරණයේ හා නීතියේ ස්‌වාධීනත්වය ස්‌ථාපිත කිරීමට දින සියයේ වැඩ පිළිවෙළ තුළින් හැකිවීම ජනතාවගේ විජයග්‍රහණයක්‌ බවද ජනාධිපතිවරයා කියා සිටියි. සාමාන්‍ය ජනතාව තුළ නිධන්ගතව තිබුණු බිය හා අවිනිශ්චිත අඳුර දුරු කරමින් නව සමාජ හා දේශපාලන ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයක්‌ වෙත යොමුවීමට මෙම දින සියය හොඳ ප්‍රවේශයක්‌ වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. බියෙන් හා තිගැස්‌සෙමින් ජීවත් වූ සමාජ ක්‍රමය වෙනුවට නිදහස්‌ හා ස්‌වාධීන සමාජයක සමාරම්භය ඇතිවී තිබෙන බවද එතැන් සිට නව ගමන ඇරැඹිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

මේ රටේ ජනතාව තමන් බලයට පත්කළේ යහපත් දේශපාලන හා සමාජ ප්‍රතිසංස්‌කරණයක අපේක්‍ෂාවෙන් බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ඇත්ත වශයෙන්ම මෙම දින සියයේ වැඩ පිළිවෙළේ ප්‍රමුඛ අපේක්‍ෂා වූයේද එකී දේශපාලන ප්‍රතිසංස්‌කරණයයි. ඒ වෙනුවෙන් වූ 19 වැනි සංශෝධනය දැන් සියලු දෙනාගේම එකඟතාවෙන් සම්මත කර ගැනීමට රජය ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා කීවේය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව ආණ්‌ඩුව තුළම බරපතළ විවේචන තිබුණි. විපක්‌ෂයද ඒ සංශෝධනය දුටුවේ එජාපයේ සටකපට සැලැස්‌මක්‌ ලෙසය. යහපාලනය උදෙසා අවශ්‍ය සමාජ දේශපාලනයට පටහැනිව එජාපය ව්‍යවස්‌ථා කුමන්ත්‍රණයක්‌ කිරීමට සූදානම් වූ බව පාඨලී චම්පික ඇමැතිවරයා මෙන්ම අතුරලියේ රතන හිමියෝද ප්‍රසිද්ධියේම කියා සිටියහ. රජීව් විඡේසිංහ මන්ත්‍රීවරයාද සිරස රූපවාහිනිය ඔස්‌සේ ඒ දුෂ්ට ක්‍රියාවලිය පිළිබඳ අධි චෝදනා පත්‍රයක්‌ එල්ල කළේ එජාප නායකත්වයටය.

1978 ව්‍යවස්‌ථාව පිළිබඳ එදාත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යන ආණ්‌ඩුක්‍රම විශාරදයෝ බරපතළ අනතුරු හැඟවීම් කළහ. පාර්ලිමේන්තුව තුළ තමන්ට තිබුණු බලය උපයෝගී කරගත් ඡේ. ආර්. ජයවර්ධන මහතා ක්‍රියා කළේ ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම හකුලා දැමීමට බව ඔව්හු එදා චෝදනා කළහ. ජයවර්ධන මහතා එදා ගෙන ගිය පාලනය ඒකපාක්‍ෂික එකක්‌ බවත් ඔව්හු කීහ. එය සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැළඳගත් ව්‍යවස්‌ථානුකූල ජනාධිපති ඒකාධිපතිත්වයකි. සිය මන්ත්‍රීවරුන්ගෙන් දාතම රහිත ඉල්ලා අස්‌වීමේ ලිපි ලබාගත් අරුම පුදුම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එදා එජාපයේ කිසිවෙක්‌ කතා කළෝද?

ඡේ. ආර්. ගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ අගමැතිවරයා මෙන්ම අනෙක්‌ ඇමැතිවරුද රූකඩ බවට පත්වූහ. කැබිනට්‌ මණ්‌ඩලය ඔහුගේ අභිමතය පරිදි පත්වූ අතර ඕනෑම අමාත්‍යාංශ ප්‍රමාණයක්‌ ඔහු යටතේ තබා ගැනීමටද හැකිවිය. විධායක ක්‍රමය යටතේ ඇති කරන ලද සමානුපාතික ඡන්ද ක්‍රමය විශේෂයෙන් මනාප ක්‍රමය මෙරටේ දේශපාලන සංස්‌කෘතිය අගාධයක්‌ කරා ගෙන ගිය බවද රහසක්‌ නොවේ. සමානුපාතික ඡන්ද ක්‍රමය එජාපය දෙසම බලාගෙන ඇති කළ ඡේ.ආර්. ගේ කපටි සූත්‍රයක්‌ බව ඇන්.ඇම්. ගේ විවේචනය විය. ඔහුට වුවමනා වූයේ 1956 දී එජාපය ලද ආකාරයේ පරාජයක්‌ මතු දිනක තම පක්‍ෂයට ලැබීම වැළැක්‌වීම බවද ඇන්. ඇම්. කියා තිබුණි.

සිය දේශපාලන න්‍යායාචාර්ය ඡේ.ආර්. ගේ ගමන් මඟ අනුව මෙවරද බලය සිය අතට ගැනීම සඳහා එජාපය ක්‍රියා කළ බවද විපක්‌ෂයේ මෙන්ම ආණ්‌ඩුවේම සමහරු කියා සිටියහ. රජීව් විඡේසිංහ මන්ත්‍රීවරයා මේ ක්‍රියාදාමය නිර්දය ලෙස විවේචනය කළේය. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය කොළේ වසා ගැසීමක්‌, ඇහැට වැලි ගැසීමක්‌ බව අතුරලියේ රතන හිමියෝද කියා සිටියහ.

1978 ව්‍යවස්‌ථාවේ තිබුණු මේ සියල්ලට අමතරව එයට තවත් බලය කාන්දු කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියා කළේය. ඔහුගේ පාලන සමය තුළ බොහෝ දෙනෙක්‌ දැඩි පීඩනයකටද ලක්‌වූ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පමණක්‌ නොව ඔහුගේ දෙපා මුල වැතිරී සිටි අයද දැන් කියති. ඡේ. ආර්. යුගයට වඩා මහින්ද යුගය මෙම විධායක බලය රජයේ සෑම අංශයක්‌ කෙරෙහිම ව්‍යාප්ත කර තිබුණු බවද රහසක්‌ නොවේ. සිය දෙවැනි ධුර කාලය නිමවීමටත් පෙර තෙවැනි වාරය සඳහා ජන වරමක්‌ ලබා ගැනීමට මහින්ද රාජපක්‌ෂ මහතා පෙළඹෙන්නේද මෙම බල කාමයේ අනිටු ඵලයක්‌ ලෙසය.

දශක තුනක කුරිරු යුද්ධයක්‌ ජයගෙන වීරයකු ලෙස ජනතා ගෞරවයට පාත්‍ර වූ රාජපක්‌ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව කලකිරෙන්නේද ඔහු වටා සිටි ඇතැම් පිරිස්‌ විසින් කරන ලද දූෂණ වංචා අක්‍රමිකතා කිසිවකට කිසිදු පියවරක්‌ නොගැනීම නිසාමය. එතනෝල්කාරයන් හා කුඩුකාරයන් ආණ්‌ඩුව තුළ සිටින බවට බරපතළ චෝදනා හා විවේචන එල්ල වුවද ඒ කිසිවක්‌ විමර්ශනය කර නොබැලීම මහින්ද පාලනයේ නරකම ලක්‍ෂණයක්‌ විය.

කෙසේ හෝ මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාලන සමය අවසන් කළ යුතුය යන සිතිවිල්ල ජන මනසට කාන්දු වෙමින් තිබුණි. ආණ්‌ඩුව වෙනස්‌ කළ යුතුය යන තීන්දුවට ජනතාව එළඹී සිටියහ. ඒ අලුත් වෙනස ජනතාව බලාපොරොත්තු වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලබාදීමෙනි. එහෙත් මේ වෙනස තුළ ජනතාව එජාප ආණ්‌ඩුවක්‌ අපේක්‍ෂා කළේද යන්නද ප්‍රශ්නයකි.

අතුරලියේ රතන හිමියන්ට අනුව නම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුවත් එජාප මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආණ්‌ඩුවක්‌ ජනතාව අපේක්‍ෂා කර නැත. සැබැවින්ම මෙම දින සියය තුළ එජාපය හැසිරුණේ තමන්ට අලුත් ජනවරමක්‌ ලැබුණු ආකාරයටය. දූෂණ, අක්‍රමිකතා අහෝසි කිරීමට පැමිණි එජාපයේ මුල්ම ප්‍රයත්නය වූ මහ බැංකුවේ සිදුවූ දූෂණය දින සියයේ කූටප්‍රාප්තිය ලෙස හඳුන්වන්නේ වාසුදේව නානායක්‌කාර මන්ත්‍රීවරයාය. තවද ඔහු කියා සිටින්නේ දූෂිත යෑයි චෝදනා කළ කිසිවෙක්‌ දූෂිතයන් බව

නිවැරැදිව ඔප්පු කර නැති බවත් ඒ සියල්ල දේශපාලන මඩ ගැසීම් බවත්ය.

අද මේ රටට ශාපයක්‌ වී තිබෙන්නේ අල්ලස හා දූෂණය බවත් තරාතිරම නොබලා දූෂිතයන්ට දඬුවම් දිය යුතු බවත් සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති. මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය දින සියයේ කිරි කලයට වැටුණු ගොම බින්දුවක්‌ බවද උන්වහන්සේ කියති.

ඇත්ත වශයෙන්ම දින සියයකින් මේ රට කේතුමති රාජධානියක්‌ කළ නොහැකි බව අමුතු වෙන් කිවයුතු නැත. ජරපත් දේශපාලන සංස්‌කෘතියක ගිලී සිටිනා රටක්‌ ඉන් මුදා ගැනීමට අලුත් මිනිසෙක්‌ පැමිණ සිටියි. ඒ අභිනව මිනිසා සහ අලුත් ගමන යැමට එජාපය හා ශ්‍රීලනිපය යන පක්‌ෂ දෙකටවත් වුවමනාවක්‌ තිබිය යුතුය. මේ පක්‌ෂ දෙක තුළම යහපත් මිනිස්‌සු මෙන්ම දූෂිතම මිනිස්‌සුද සිටිති. ඊට අමතරව ඒ පක්‌ෂවලට වෙනම දේශපාලන න්‍යාය පත්‍රද තිබේ.

වෙනස කිරීමට ජනතාව තෝරා ගත් යහපත් මිනිසා මේ දෙපිරිසට මැදිවී සිටියි. ශ්‍රීලනිපය දෙකඩ වී එක්‌ කඳවුරක මහින්ද රාජපක්‌ෂ යළි නැගී සිටියි. ශ්‍රිලනිපය කිසියම් අවුලක හිරවී සිටියි.

දේශපාලනයට එන හැම කෙනකුගේම අරමුණ බලයයි. බලය සමග සිය පක්‌ෂය රජ කරවීමයි. ඡේ.ආර්. කළේ එයයි. චන්ද්‍රිකා කළේත් එයයි. මහින්ද කළේත් එයයි. බලය පිළිබඳ ඇල්මක්‌ නොවූයේ ජනාධිපති විඡේතුංගට පමණි. අද සිටින මෛත්‍රීපාල ජනාධිපතිවරයාද තම බලය අත්හැර රට ගැන කල්පනා කරන විරල ගණයේ නායකයෙකි. ඔහුට දේශපාලන න්‍යාය පත්‍රයක්‌ නැත. යහපාලනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාවට නැංවීම ඔහුගේ අභිලාෂයයි.

ඔහුගේ දේශපාලනය නැවුම්ය. පවුල් හෝ ඥති මිත්‍ර සංග්‍රහවලට ඔහු සූදානම් නොවන බව දැනටමත් ජනතාව තේරුම්ගෙන සිටියි. මෛත්‍රීපාල ජනාධිපතිවරයා දින සියය තුළ කිසියම් දේශපාලන නොනගතයක්‌ ගෙවා ඇති බවද අද ඔහුට විමසිල්ලෙන් සවන් දෙන කෙනකුට වටහා ගැනීම අසීරු නැත. ඡේ.ආර්. ගේ ධර්මිෂ්ට පාලනය මෙන් මෛත්‍රීපාලගේ යහපාලනය ජනතාවට තිත්ත වනු ඇතැයි සිතන අය ඔහු හොඳින් කියවා ගත යුතු වෙති.

මෛත්‍රීපාල පෙරට නොදමන්නට රනිල්ට අගමැතිකමක්‌ හෝ එජාප මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් හෝ නොලැබෙන බව කවුරුත් දනිති. එහෙත් එජාපය මේ දින සියය තුළ ක්‍රියා කළේ ඔවුන් ලද ජයග්‍රහණයක පල භුක්‌ති විඳින ආකාරයටය. µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා චෝදනා මුඛයෙන් කියා සිටියේ තම පාක්‍ෂිකයන් 40 කගේ ලේඛනයක්‌ රනිල් අතට පත්කළත් තමාගේ කිසිවකුට පියුන් තනතුරක්‌වත් නොලැබුණු බවය. එය ඇත්තකි. එජාපය හැම තැනම සිය පාක්‍ෂිකයන්ගෙන් පුරවමින් ඒ ගර්හිත මිත්‍ර සංග්‍රහයම ආරම්භ කළේය.

මේ රටේ ව්‍යසනයක්‌ බවට පත්ව තිබෙන දේශපාලන පත්වීම් ක්‍රමය යහපාලනය යටතේ ක්‍රියාත්මක වන අයුරු ජනාධිපතිවරයා උපේක්‍ෂාවෙන් බලා සිටියා විය හැකිය. එහෙත් ශ්‍රීලනිපයට ගෑවුණු කිසිවෙකුට එජාපය සුළු ඉඩක්‌ හෝ ලබා නොදුන්නා පමණක්‌ නොව එජාපයේ සමහරුන් ක්‍රියා කළේ එජාපය යනු සුජාත පාලනයක්‌ ගෙන ගිය පක්‌ෂයක්‌ය යන අවිචාර හැඟීමෙන්ය. ඡේ. ආර්. ගේ ධර්මිෂ්ට කඩතුරාව යට තිබුණු දුර්ගන්ධය හෝ ඇටසැකිලි හෝ අවනීතිය හෝ ඔව්හු නොදැන සිටියෝද?

ස්‌ත්‍රී දූෂකයන්ට සාමවිනිසුරු පදවි දීම, සරච්චන්ද්‍ර වැනි අග්‍රගණයේ කලාකරුවන්ට කාණුපල්ලේ දමාගෙන ගැසීම, නඩුකාරයන්ට හූ කීම, වර්ජකයන් කනත්තට දැක්‌කීම වැනි මුග්ධ ක්‍රියාවලියක ආදි කර්තෘ සිය දේශපාලන න්‍යායාචාර්ය ඡේ. ආර්. බව ඔවුහු නොදැන සිටියෝද?

කෙසේ හෝ එජාප, ශ්‍රීලනිප යන ප්‍රධාන පක්‌ෂ දෙකම රටට ප්‍රදර්ශනය කර ඇත්තේ එකම කාසියක දෙපැත්ත බව අමුතුවෙන් කිවයුතු නැත. මහින්දගේ ඉනිම බරපතළ දූෂණ, අක්‍රමිකතා, නාස්‌තිය යටතේ සිදු වූ බවද සැබෑය. ඔහු ඒ සියල්ල සිය යුද ජයග්‍රහණයේ කඩතුරාවෙන් වසා ගැනීමට වෑයම් කළේය. ඔහුට, රටට වුවමනා සමාජ දේශපාලන ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට වුවමනාවක්‌ද නොවීය. සිය අනුගාමිකයන් විසින් අන්දවන ලද රජ චරිතයට ප්‍රවිෂ්ට වී එහි අලස සුවයෙන් කල් ගෙවූ ඔහුගේ අවසානය සිදු වූයේ දේශපාලන පරාජයකින්ය. අද ඔහු ඒ සියල්ල වටහා ගෙන සිටියි. තම අඩුපාඩු පිළිගෙන සිටියි.

මේ අඩුපාඩු තිබුණත් රටට ඔහු වුවමනා බව ඔහුට ලැබෙන ජනතා ප්‍රතිචාරවලින් පෙනේ. එජාපය මහින්දට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ වැරදි යයි කිව නොහැක. එහෙත් ඔවුන්ගේ ක්‍රියාමාර්ගවල බලවත් අඩුපාඩු තිබේ. මෛත්‍රී හා මහින්ද දෙපසකට කර තමන්ට ලබාගත හැකි බලය ගැන එජාපය සිහින දකියි. එහෙත් ශ්‍රීලනිපයේ සහාය ලබාගෙන 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඔවුහු උපක්‍රමශීලී නොවෙති.

එදා එජාප නායකත්වය ශ්‍රීලනිපයේ සිරිමා බණ්‌ඩාරනායක මැතිනියට එරෙහිව ක්‍රියා කළ ආකාරය කවුරුත් දනිති. ඡේ. ආර්. සිය ප්‍රතිවාදී දේශපාලන චරිතය බිම දැම්මේ සියුම් ලෙස බලය හා නීතිය යොදා ගනිමින්ය. ඔහු ඇගේ ප්‍රජා අයිතිය උදුරා ගත්තේ නිවට ලෙසය. අද සිදුවන්නේද මහින්ද හිර කිරීමකි. එජාපයට තිබෙන ප්‍රබලම අභියෝගය මහින්දය. මහින්ද යළි දේශපාලනයට ඒම යනු එජාපයට අභියෝගයකි.

මාදුළුවාවේ සෝභිත හිමියන් වරක්‌ ප්‍රකාශ කළ පරිදිම වරදක්‌ කර තිබේ නම් හිටපු ජනාධිපතිට මෙන්ම අද ආණ්‌ඩුවේ සිටින ඇමැතිවරුන්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ගෙවී ගිය දින සියය තුළ ජනාධිපති ලෙස සිය බලය ක්‍රියාත්මක නොකළ මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙබඳු අවිචාරශීලී ක්‍රියාකාරකම්වලදී මැදිහත් වීම ප්‍රඥගෝචර බව කිව යුතුය. මේ රටේ ජනතාව බලයට පත් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා මිස වෙනත් කිසිවකු නොවන බවද අපගේ අදහසය.

සිය කතාව අවසානයේදි ඔහු විසින් කරන ලද අවධාරණය තුළ නිනාද වන්නේ ඔහුගේ විචක්‌ෂණ භාවය විනා අන්දෙයක්‌ නොවේ. ඔහු මේ දේශපාලන ගොහොරුවෙන් රට මුදවා ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතු නායකයකු බව ඒ වචන තුළ රැව්දෙයි.

ඇත්ත වශයෙන්ම මේ රටේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක එකිනෙකාට දොස්‌ පවරා ගැනීම මුට්‌ටියේ කළු පාට ගැන කේතලය සිනහසීම වැනි විහිළුවක්‌ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හොඳින් වටහා ගෙන සිටියි. ධර්මිෂ්ට සමාජයේ සිට යහපාලනය දක්‌වා යන ගමන ලේසි පහසු ගමනක්‌ නොවන බවද ඔහු වටහා ගෙන සිටියි. එහෙත් ඒ ගමන යනු විනා ආපසු හැරීම ඔහුගේ අරමුණ නොවන බවද පැහැදිලිය.

ගාමිණී සුමනසේකර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.