දේශපාලනයේ සැබෑ මුහුණුවර
කොල්ලුපිටියේ දී මතු වූ මොහොතක්‌!

ඥාතීත්වය යනු ගැඹුරු බැඳීමක්‌ හෙවත් එය පරපුරෙන් පරපුරට ආරක්‌ෂා කරගත යුතු දෙයක්‌ බවත් මිනිසා විසින් සිතන්නට ගන්නේ පක්‍ෂ දේශපාලනයට බොහෝ එපිටින් ආරම්භ වූ ශිෂ්ටත්වයේ ඇරැඹුමත් සමගය.

නිදහසින් පසු පක්‍ෂ දේශපාලනයත් ඉනුත් කලක්‌ ගතවීමෙන් පසු නෑකම් සහෝදරකම් පවා අකා මකා දමමින් දේශපාලන පක්‍ෂ, පාට සහ වැඩපිළිවෙළවල් ඉස්‌මතු වූ අයුරුත් අප කොතෙකුත් අසා දැක ඇත. එවැනි තැන් දේශපාලනයේ දී කිසිදා මකා නොදැමිය හැකි "කහට පැල්ලම්" බඳුය.

පසුගිය 22 දා එයට සමාන සිද්ධියක්‌ කොල්ලුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධියට මුල් වන්නේ ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ ඥති සොහොයුරෙකු යෑයි සඳහන් වන ඔන්රි මහීල් ප්‍රනාන්දු අතරය. කොල්ලුපිටියේ පිහිටි කොළඹ පිහිනුම් සමාජ ආපන ශාලාවේදී ඇතිවූ මෙම ගැටුමින් අනතුරුව දෙදෙනාම රෝහල්ගත වූ බව මාධ්‍ය මගින් වාර්තා විය. සිදුවීම පිළිබඳ කොල්ලුපිsටිය පොලීසිය සඳහන් කර ඇත්තේ මෙම ගැටුමට මුල්වී ඇත්තේ දේශපාලන කාරණාවක්‌ බවය.

සිද්ධිය සම්බන්ධව මහ ඇමැතිවරයා සහ ඔහුගේ ඥති සොහොයුරා විසිsන්a කොල්ලුපිටිය පොලිසිය වෙත වෙන වෙනම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, "මම මගේ පාඩුවෙ පැත්තකට වෙලා හිටියේ. මට බැන්නා. මමත් බැන්නා... තල්ලු කරගත්තා එච්චරයි..." යනුවෙන්ය.

මාධ්‍ය මගින් වාර්තා කර තිබූ ආකාරයට මහ ඇමැතිවරයා සහ සිද්ධියට අදාළ අනෙක්‌ පුද්ගලයා වන ඔන්රි මහීල් ප්‍රනාන්දු ඥතීත්වය සහිත දෙදෙනෙක්‌ය. බලය මෙන්ම දැන උගත්කම, වත් පොහොසත්කම අතින්ද මහ ඇමැතිවරයා පසුවන්නේ උස්‌ තැනකය. කොල්ලුපිටිය පිහිනුම් සමාජ ශාලාව යනු එසේ මෙසේ තැනක්‌ නොවන අතර එහි යන එන ගැවසෙන බොහෝ දෙනෙක්‌ මෙරට ප්‍රභූ පෙළපත නියෝජනය කරන සමාජ වටිනාකම් සහිත පුද්ගලයන් ලෙස ප්‍රකටය. මහ ඇමැතිවරයා සමග ගැටුම ඇති කරගත් පුද්ගලයා හෙවත් ඥති සහෝදරයාද එනයින් ගත්කළ සමාජ වටිනාකම් සහිත පුද්ගලයෙකු විය යුතුය.

එහෙත් දේශපාලනය යනු ගමේ ගොඩේ ඡන්දදායකයා පමණක්‌ නොව සමාජයේ මතු මහල්වල වැජඹෙන ඇත්තන් පවා භේද හින්න කරවන සුලු දෙයක්‌ බව මහ ඇමැතිවරයා සහ ඥති සහෝදරයකු අතර වූ මෙම ගැටුමෙන් රටට අනාවරණය විය.

22 දා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීමට, කීප විටක්‌ මහ ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද දුරකථන මාර්ග අවහිරතා හේතුවෙන් එම අවස්‌ථාව ඇහිරී ගියේය. එහෙත් පසුව මහ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා ඇත්තේ තමන් සමග ගැටුමකට මුල පිරූ තැනැත්තා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් අසභ්‍ය වචනයෙන් බැණ වැදුන බවත් එය නතර කරන ලෙස තමන් විසින් ඉල්ලා සිටි බවත්ය. එහෙත් ඔන්රි මහීල් ප්‍රනාන්දු නමැත්තා විසින් එය ගැටුමක්‌ දක්‌වා දුරදිග රැගෙන ගිය බවත්ය.

ඥතිකම් යනු ලෙහෙසියෙන් පළුදු කළ නොහැකි දෙයක්‌ය. බොහෝ විට මහ ඇමැතිවරයා සමග වූ ගැටුමෙන්, ගැටුමට මුල පුරන ලද පුද්ගලයා ඇඟ බේරාගෙන ඇත්තේ එබැවින් විය යුතුය. මහ ඇමැතිවරයෙකුට තබා ප්‍රාදේශීය සභා සභාපතිවරයකුට පහරක්‌ ගැසීම යනු ලංකාව වැනි රටක ඇටකටු කුඩුකර ගැනීමක්‌ බඳු යුගයක්‌ද විය. අවශ්‍ය වූයේ නම් මහ ඇමැතිවරයාගේ උපදෙස්‌ පිට කිසියම් පිරිසක්‌ විසින් ඥති සහෝදරයාට ශරීර සත්කාරයක්‌ කිරීමට හැකියාව නොතිබුණේ යෑයි කිසිවෙකුට කිව නොහැකිය. මහ ඇමැතිවරයාගේ ඉවසීම අගය කළ යුතු එකක්‌ය.

ඌව පළාතට පමණක්‌ නොව එ.ජා.ප. ය තුළ ප්‍රබල චරිතයක්‌ වන මහ ඇමැති හරීන් ප්‍රනාන්දු නිදා වුන් එ.ජා.ප. ය අවදි කළ තරුණ නායකයකු මෙන්ම දේශපාලන ඉදිරි ගමනක්‌ සහිත චරිතයක්‌ වීම මෙම "ඉවසීම" සමග ගැටගැසී තිබූ අනෙක්‌ කාරණා විය හැක.

පක්‍ෂ දේශපාලනය යනු කවදත් හැල හැප්පීම් සහිත දෙයක්‌ය. මේ වන විට දේශපාලනය වෙනුවෙන් ගහ මරා ගැනීම් සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව ඇත. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති වන්නේ එවැනි වටපිටාවක්‌ තුළය. එතුමාගේ දැක්‌ම වන්නේ ප්‍රඥවන්ත මිනිසුන්ගෙන් සමන්විත යහපත් සමාජයක්‌ තුළින් රට ඉදිරියට රැගෙන යැමය.

ඉකුත්දා කොල්ලුපිටියේ දී වූ සිදුවීම රට එවැනි ගමනක්‌ යැම සඳහා සූදානමින් පසුවන මොහොතක සිදුවීම සුදුසු නැත. මහ ඇමැතිවරයාගේ ඉවසීම නොවන්නට එය රටට ඒත්තු ගැන්වෙන්නේ වෙනත් කරුණක්‌ ලෙසින්ය. දේශපාලනය යනු තවමත් නිවැරැදිව නිර්වචනය වී නැති වචනයක්‌ බව පෙනී යන්නේ නෑකම් මිතුරුකම් පවා දේශපාලනය තුළ ගිලී නොපෙනී යන මෙවැනි සිදුවීම් සමගය. අප කොතරම් දුරට දේශපාලන සත්වයන් බවට පත්ව ඇත්දැයි හැඟී යන්නේ ගැඹුරු බැඳීම් පවා පක්‍ෂ, පාට දේශපාලනය හමුවේ ලිහිල්ව ලිහී යන අයුරු දකින විටය.

රුවන් ජයවර්ධන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.