ගිනි කන්ද පාමුළ ගිනි තපින ක්‍රීඩාව

දින 100 අහවර විය. රටේ ප්‍රශ්න හැරෙන්නට අනෙක්‌ බොහෝ දේද අහවර විය. ක්‍රීඩාවද එසේම විය. මේ සටහන තැබෙන මොහොත වන විට මෙරට ක්‍රීඩාව ඇත්තේ සක්‍රිය වූ ගිනි කන්දක ස්‌වරූපයෙනි. කොයි මොහොතේ පුපුරා යා දැයි කිව නොහැකි තැනකය.

ඉකුත් අප්‍රේල් 5 වැනි ඉරිදා 'ක්‍රීඩාවට තුන් බියක්‌ ' යනුවෙන් අපි මෙහි සටහනක්‌ තැබුවෙමු. වසර හතරේ නීතිය, අතුරු කමිටු පත්කිරීම සහ අගමැතිවරයා ක්‍රීඩා පිටුවලට ගෙරවීම යන කරුණු තුනෙහි වන ආදීනව ගැන සඳහන් කරමින් මේ තුන් බිය අපි පැහැදිළිව දැක්‌වූවෙමු. අප මේ යන්නේ ජාත්‍යන්තරයෙන් අපේ රටේ ක්‍රීඩාවට සම්බාධක පැනවෙන තැනට බව අපි හඬනගා කීවෙමු. අද වන විට අප ක්‍රීඩාවේ 'තුන් බිය' ගැන ඒවා කීවේ 'කට කහනවාට' නොවන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ.

නීතිය අතීතයට බලපාන පරිදි ජාතික මට්‌ටමේ ක්‍රීඩා පරිපාලනයේ වසර 4ක කාලයක්‌ රැඳී සිටි පිරිස්‌ ගෙදර යෑවීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය, රාජ්‍ය බලය යොදා ක්‍රීඩාව මර්දනය කිරීමක්‌ ලෙසින් ජාත්‍යන්තර විසින් අර්ථදක්‌වනු ඇතැයි එම ලිපියේ අපි සඳහන් කළෙමු. අතුරු කමිටු පත්කිරීම ජාත්‍යන්තර සම්මේලන වලට කිසිසේත් 'ජීර්ණය' නොවන්නක්‌ බවද කීවෙමු.

මේවායෙහි ඇති අවදානම ගැන එසේ සඳහන් කරද්දී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ රට තුළ ගනුලැබූ තීරණවලට ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් අතපෙවීම රටේ ස්‌වෛරීත්වයට අභියෝග කිරීමක්‌ ලෙසිනි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඒ වචන ටික නම් රැඩිකල්ය. ගැලරියට අත්පුඩියක්‌ ගැසීමට ප්‍රමාණවත්ය. නමුත් එවැනි ප්‍රකාශ වලින් අපටනම් හැඟුනේ ක්‍රීඩාවේ ජාත්‍යන්තර හැසිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පරිචය කොතරම්ද යන්නය. ක්‍රීඩාවෙහි වන ජාත්‍යන්තර බලපෑම 'ස්‌වෛරීත්වය' යන වචනයෙන් නැවතීමට හැකියෑයි සිතීම සහ හමන සුලං මකුළු දැලෙන් වළකන්නට සිතීම අතර වෙනසක්‌ නැත.

රටක භූමිය, අහස, සම්පත් සහ මානව සම්පත ආදිය රටට කැමති ලෙසින් පාලනය කර හැකි නමුත් ක්‍රීඩාව රටට වුවමනා ලෙසින් පාලනය කළ නොහැක්‌කකි. මන්ද ක්‍රීඩාව යනු සෘජුවම ජාත්‍යන්තර සංගම් සම්මේලන මගින් මෙහෙයවෙන, එහි සැබෑ ගනුදෙනුව ජාත්‍යන්තර වේදිකාවක්‌ මතදී සිදුවන්නක්‌ බැවිනි. සිරිපාල මුදලාලිගේ තේ කඩය ඉදිරිපිට දාම් අතක්‌ අදින්නට, මළගෙදර නිදිවැරීම පිණිස කැරම් බෝඩ් එකක්‌ වටා රැස්‌වීම ආදියට ජාත්‍යන්තරයෙන් බලපෑම් කළ නොහැකිය. එබැවින් ස්‌වෛරීත්වය වේවා, වෙනත් ගැලපෙන නමක්‌ වේවා ඒ මට්‌ටමින් ගැලපේ . නමුත් ක්‍රීඩාව සැබෑ පිළිගැනීමක්‌ සහිත තැනට පත්වන්නේ ජාත්‍යන්තරය සමග මුසුවීමත් සමගිනි. එතැනදී ස්‌වෛරීත්වය ගැන කතන්දර 'බයිලාවක්‌ ' පමණි.

මේ බව පැහැදිළිව පෙන්වාදෙමින් ඉකුත් අප්‍රේල් 7 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක්‌ යොමු කරනු ලැබිණි.

එහි පළමු ඡේදයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට සුබ පතා තිබේ. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසින් ඔහු ලැබූ නව පත්වීමටය.

නමුත් එම ලිපියේ දෙවැනි ඡේදයේ පටන් අවසන් ඡේදය දක්‌වා ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයා දෙසට එකඑල්ලේ දබරැඟිල්ල දිගුකර ඇත.

ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට ඔබ අමාත්‍යංශය මගින් කර ඇති බලපෑම ඔලිම්පික්‌ ප්‍රඥප්තියේ මූලධර්ම මෙන්ම ශ්‍රී ලංකාව සහ තමන් අතර එකඟතාවන්ද උල්ලංඝනය කරන්නකැයි එහි දෙවැනි ඡේදයේම දක්‌වා තිබේ. ක්‍රීඩාවේ ස්‌වාධීනත්වය ගොඩනැගී ඇත්තේ ඔලිම්පික්‌ ප්‍රඥප්තියේ මූලධර්ම මත පමණක්‌ නොව, ක්‍රීඩාවේ ස්‌වාධීනත්වය සහමුළින්ම පිළිගැනීමට ලක්‌වූ 2014 වසරේ නිව්යෝර්ක්‌ එක්‌සත් ජාතීන්ගේ සමුළුවේදී , එහි සාමාජික රටක්‌ ලෙසින් එයට සහයෝගය දීමට අපද බැඳීසිටින බව මෙම ලිපියේ පැහැදිලිවම සඳහන් කර තිබේ.

සෘජුව හෝ වක්‍රව එහි එලෙස සඳහන් කර ඇත්තේ අපට අප කැමති ලෙස ක්‍රීඩාවෙහි 'සෙල්ලම් දැමීමට' නොහැකි බවය.

එපමණක්‌ නොවේ එසේ සෙල්ලම් දැමීමට ගියහොත් රටේ ක්‍රීඩාව 'සල්ලං' වනු ඇතැයිද එම ලිපියේ නොකියා කියා ඇත.

සිව්වසරේ නීතිය ආදිය ගෙන එමින් සිය බලය යොදා වෙනස්‌ කරන ලද ක්‍රීඩා සංගම්වල නිලවරණයන්හී ප්‍රතිඵලය පිළිගැනීමට තම ආයතනය මෙන්ම අනුබද්ධිත ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනද සූදානම් නැතැයි එහි සඳහන් වගන්තිය සැහැල්ලුවෙන් තැකිය හැක්‌කක්‌ නොවේ. මේ බව නොතකා ක්‍රියා කළහොත් සියලු ජාත්‍යන්තර සම්මේලන විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව තහනමට ලක්‌කරනු ඇතැයිද, එසේ වුවහොත් ජාත්‍යන්තර ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඔබේ රට නියෝජනය වීමේ අවස්‌ථාව ඔබට අහිමිව යනු ඇතැයිද මේ ලිපියේ සඳහන්ව තිබේ.

ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව විසින් තහනමට ලක්‌වීම යන දැඩි දඬුවමට ගොදුරු නොවී වහාම ඔලිම්පික්‌ ප්‍රඥප්තියේ මාවතට ප්‍රවේශ වන මෙන් එමගින් ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි.

අනවශ්‍ය දෑ කරනු වෙනුවට 2013 වසරේ ස්‌විට්‌සර්ලන්තයේ ලොසෑන්හී පිහිටි ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටු මූලස්‌ථානයේදී එකඟ වූ පිරිදි ක්‍රීඩා පනත, ඔලිම්පික්‌ ප්‍රඥප්තියට අනුකූලවන ලෙසින් සාදා අවසන් කරන ලෙසත් ඒ සඳහා ලබාදෙන අවසන් දිනය වනුයේ මැයි 31 බවත් එම ලිපියේ සඳහන්ය. එසේම පවතින ක්‍රීඩා පනතට අනුව ජාතික සංගම්වලට සිය නිලවරණ පැවැත්වීමට අවස්‌ථාව දෙන ලෙසින්ද එහි නියෝග කර ඇත.

මේ ලිපිය වනාහි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අනාගතය ගැන හඳහනක්‌ වැනිය. ඉදිරියේදී ඇති අපළ ඒරාශ්ඨක සියල්ල එහි දක්‌වා තිබේ. නමුත් විශේෂත්වය වන්නේ ඒවායෙන් මිදීමට ඇති වත් පිළිවෙත් ගැනත් එහි සඳහන්ව තිබීමය.

ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව එසේ සිය ස්‌ථාවරය දැනුම්දෙද්දී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 10 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව වෙත පිළිතුරු ලිපියක්‌ යෑවීය.

එහි තෙවැනි ඡේදයෙන් හැඟෙනුයේ ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව වෙත නිවැරදි තොරතුරු වාර්තා නොවී ඇති බවක්‌ නොහොත් ඔවුන් වැරදි තොරතුරු මත පිහිටා ක්‍රියා කරන බවකි. එසේම ක්‍රීඩා සංගම් වලට දේශපාලන බලපෑම් සිදුවන බවට වන සඳහන ගැන තමන් විශ්මයට පත්වන බවද ඔහු එහිද සඳහන් කර තිබුණි. තවද ජාත්‍යන්තර ඔලිම්පික්‌ සංගමය විසින් නියම කරන ලද දිනවලට සංශෝධිත ක්‍රීඩා පනත ඉදිරිපත් කළ නොහැකි බවත්, ඒ සඳහා එයට වඩා මාස කිහිපයක්‌ ගතවනු ඇති බවත් එහි සඳහන් විය.

මෙවැනි ලිපියක්‌ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තරයට යොමුකළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ වගකිවයුතු අංශ පවා නොදන්නාබවක්‌ද පසුව සැලවිය. නිළවරණ පැවැත්වීම සම්බන්ධයෙන් එම ලිපියේ සමහරක්‌ තැනක සඳහන් වන කරුණු මෙරට ක්‍රීඩා පනතේ නිලවරණ පැවැත්වීමේ ක්‍රමවේදයට පටහැනි අයුරක්‌ද පෙනෙන්නට විය. කෙසේ හෝ වේවා මෙම සටහන තැබෙන මොහොත වන විට ලැබුණු විශ්වාසකටයුතු ආරංචිමා_ගයකට අනුව මෙම ලිපිය ජාත්‍යන්තරය සනසවන්නට නොව ජාත්‍යන්තරය කලකිරවන්නට හේතු වී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ඔලිම්පික්‌ සංගමය විසින් නිකුත් කළ ඉතා රළු ප්‍රතිචාරයක්‌ හෙවත් 'රතු නිවේදනයක්‌ ' ළඟ ළඟම එන බව ඒ ආරංචියෙන් දැක්‌වුණි. මේ මොහොත වන විට රටේ ක්‍රීඩාව ඇත්තේ පුපුරා යැමට ආසන්න ගිනිකන්දක තත්ත්වයේ බව සටහන ආරම්භයේ සඳහන් කළේ එබැවිනි.

ජාත්‍යන්තර ඔලිම්පික්‌ සංගමය අනුව යමින් එහි අනුබද්ධිත තවත් ජාත්‍යන්තර සංගම් රැසක්‌ මේ වන විට ශ්‍රී ලංකාවට 'ක්‍රීඩා සම්බාධක' අනතුරු හඟවා තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයද සිය ප්‍රඥප්තියට එකඟ නොමැති අතුරු කමිටුව ගැන උදහස්‌ව ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් නවතා ඇත. ඒ තමන් නොපිළිගන්නා පරිපාලනයකට සිය මුදල් ලබාදීමට බලයක්‌ තමන්ට නොමැති බව පවසමිනි. ඔවුන්ටද ස්‌වෛරීත්වයේ පාඩම කියාදීමට ක්‍රීඩා ඇමතිවරයා කටයුතු කර තිබේ. නමුත් එය නයාට පොල්ලෙන් නොව, කෝටුවකින් ගසා වරදවාගැනිමක්‌ ලෙසිනි අපටනම් හැඟෙනුයේ. ඉදිරිය අතිශයින් භයංකාරය.

මේ තේ කෝප්පයේ කිඹුල්ලු දැකීමක්‌ නොවේ. හැලිය රත්වන තුරු දිය කෙළින එකාට වඩා තේ කෝප්පයේ කිඹුලා දකින එකා සුරක්‍ෂිතය. නවීන් දිසානායක සහ ඔහුගේ කේවට්‌ටයන් පිරිස දියහැලිය නටන තුරු දියකෙළින වගකි අපට පෙනෙනුයේ.

අවසානයේ දින 100 යනු ක්‍රීඩාව අතින්, කන්දක්‌ විළිලා බිහිකරගත් මී පැටියෙකුද නොවේ. මී පැටියකු තරම් දෙයක්‌වත් වැදීමට නොහැකි වූ විලිරුදාව පමණක්‌ ඉතිරිවූ පුස්‌සක්‌ පමණක්‌ වේද එය.....?

ඉන්ද්‍රජිත් සුබසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.