ඕ... දහයල විස්‌ස කෝ?

රටේ කප්පරකට ප්‍රශ්නය. එය එසේ නොවේ යෑයි කිව හැක්‌කේ දේශපාලනඥයන්ට පමණකි. ඔවුනට ඇත්තේ එක ප්‍රශ්නයකි. ඒ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නේ කෙසේ ද යන්න පමණකි. පහුගිය කාලය පුරාම විවිධ සංශෝධන, අණපනත් සම්මත කර ගන්නට යන අවස්‌ථාවන් හි ඉස්‌මතු වූයේ මෙම "අපි රැකෙන්නේ කොහොමද" යන සංකල්පය මිස අනෙකක්‌ නොවේ. ඒ නිසාම ඉක්‌මනින්ම කළ යුතු බොහෝ දේ අවසානයටත්, අවසානයට කළ යුතු බොහෝ දේ ඉක්‌මනටත් අවසන් කරන බවක්‌ පෙනෙන්නට තිබිණි.

20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම අරඹයා ද මතුව ඇත්තේ මේ අන්දමේ පැටලිලි සහගත තත්ත්වයකි. ආණ්‌ඩුවේම සමහර උදවිය කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ඉක්‌මන් විය යුතු නැති බවය. තවත් පිරිසක්‌ කියන්නේ අද හෙටම විසුරුවා හැරිය යුතු බවය. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පසුගිය ඉරිදා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ "අද හෙටම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. මේ පාර්ලිමේන්තුවට ඉදිරියට යන්න ජනවරමක්‌ නෑ..." යනුවෙනි. (ඇත්ත තේරුම් ගත්තාට සහ ඇත්ත කීවාට ඒ මහතාට අපේ ප්‍රණාමය)

කෙසේ හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම "ඕ... දහය, විස්‌ස, තිහ" මට්‌ටමේ ළමා ක්‍රීඩාවක්‌ බවට පත්ව තිබේ. විසුරුවා හරින දිනය ගැන සතියට තුන්වරක්‌ බැගින් මාසයකට ප්‍රවෘත්ති 12 ක්‌ පමණ ලැබේ. ඒ නිසා දිනපතා පුවත්පත්, සති අන්ත පුවත්පත් හා සියලුම විද්යුත් මාධ්‍යයන්ට ප්‍රවෘත්ති වලින් අඩුවක්‌ නැත. ප්‍රබුද්ධ සිනහවකට අවශ්‍ය කරන "කාටුනයක්‌" බැලීම වෙනුවට "පාර්ලිමේන්තුව විසුරුවන" දිනය ගැන ප්‍රවෘත්ති කියවා ඊළඟ සතිය වනතුරු බඩ අල්ලාගෙන හිනාවෙන්නට පක්‍ෂ විපක්‍ෂ සියලු පාඨකයන් හුරුවී සිටී.

කෙසේ හෝ මේ "සාජන්ට්‌ නල්ලතම්බි" ගනයේ විහිළුවලට හේතුව වී ඇත්තේ 20 වැනි සංශෝධනය සම්මත නොවීමය. එය සම්මත කර ගන්නා තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. නමුත් ඇත්තම කතාව "20" සම්මත කිරීම ලෙහෙසි පහසු දෙයක්‌ නොවන බවය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225 ද 255 ද යන්න ගැන තීරණයක්‌ ගැනීමට නොහැකි වීම පැනනැගී ඇති අලුත්ම අර්බුදයයි. ප්‍රධාන පක්‍ෂ දෙකම නව මැතිවරණ සංශෝධනය සඳහා මිශ්‍ර ක්‍රමයක්‌ යෝජනා කරන විට මුස්‌ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ සංධානය ඇතුළු සුළු පක්‍ෂ වලින් මේ නව ක්‍රමයට විරෝධයක්‌ එල්ල වී තිබේ. මේ හේතුව නිසාම 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරගත් ආකාරයම නව මැතිවරණ ක්‍රමය සහිත 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරගැනීම පහසු නැත. එහෙත් 20 වැනි සංශෝධනය සම්මත කර ගන්නවානම් එය පහසුවෙන් කළ හැක්‌කේ වර්තමාන පාර්ලිමේන්තුවේදී ම බවද අමතක කළ යුතු නොවේ. ඊට පසු පත්වන පාර්ලිමේන්තුවකට තුනෙන් දෙකක බලයක්‌ නොලැබෙනු ඇතැයි වර්තමාන දේශපාලන තත්ත්වය විග්‍රහ කිරීමේදී නිසැකවම පැහැදිලි වන කරුණකි. එහෙත් ගැටලුකාරී තත්ත්වයක්‌ පැනනඟින්නේ හෙට අනිද්දා ලෝක විනාශය සිදුවෙතැයි අපේෂා කරමින් කඩිමුඩියේ කරනු ලබන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට බලනොපාන බව කීමය. එනම් මහ මැතිවරණය පවත්වන්නේ පැරණි ක්‍රමයටම බව ආණ්‌ඩුවම ප්‍රකාශයට පත් කර තිබිණි. 19 වැනි සංශෝධනය සම්මත කරගත් පසු කැබිනට්‌ටුව අඩු කිරීමේ සිට බොහෝ දේ කළ හැකි වුවත් ඒ කිසිවක්‌ සිදුවන්නේද නැත. ඒ නිසා අපට අනුමාන කළ හැක්‌කේ මේ සියල්ල සිදුවන්නේ යම් දේශපාලන න්‍යාය පත්‍රයකට බවයි. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්‌ අවශ්‍ය බව රටේ හැම දෙනාගේම බලාපොරොත්තුවයි. 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගෙන එන විට ලක්‍ෂ හැත්තෑපහක්‌ පමණ වූ රටේ ඡන්දදායක සංඛ්‍යාව මේ වන විට ලක්‍ෂ එකසිය හැටකට පමණ ආසන්නය. ඒ නිසාම ආසන සංඛ්‍යාව පවා වැඩිවන ආකාරයේ පුළුල් මැතිවරණ සංශෝධනයකට යා යුතුය.

එහෙත් එය ඉටුකරන ආකාරය ගැන නිවැරැදි හා විධිමත් කතිකාවක්‌ ගොඩනැඟී නැති බව අපේ විශ්වාසයයි.

එවැනි තත්ත්වයක්‌ යටතේ 20 වැනි සංශෝධනයද? මැතිවරණයද? යන්න නිවැරැදිව සහ ඉක්‌මණින් තෝරා බේරා ගැනීම ආණ්‌ඩුවේ වගකීමකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.