ගම් පෙරළිය ගම් පෙරැළියක්‌ද ?

වීරසේන අල්ගෙවත්ත

"කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහ විසින් වර්තමාන සිංහල මහජන වංශයෙන් බිංදු මාත්‍රයක්‌ කියනු පිණිස්‌' රචිත ගම් පෙරළිය සිංහල නවකථාවේ එක්‌ මංසලක්‌ සනිටුහන් කරන්නේ යෑ යි බොහෝ විචාරකයෝ පවසති. විසිවන සියවසේ හතරවන දශකයේ ලියෑවුණු මේ කෙරේ උගතුන් ගේ අවධානය යොමු වීමට බලපෑ කරුණු කීපයක්‌ විය.

සිංහල නවකථාව මෙතෙක්‌ ආ ගමන් ම`ග වෙනස්‌ කොට බටහිර නවකථාවේ හරයනට ළංවීමට උත්සාහ කිරීම එක්‌ හේතුවක්‌ විය. සම්භාව්‍ය නවකථාවන්හි අන්තර්ගතයට ළංවීමට ගත් උත්සාහය නිසා ම ගම්පෙරළිය මේ යුගයේ රචිත නවකථා අතර සුවිශේෂත්වයක්‌ දැක්‌වීම කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ විය. අතිශයින් ම කාල්පනික වූ මනෝ ලෝකවල සැරිසරන පෙම්වතුන් ගේ දුක්‌ඛ දෝමනස්‌සවලින් පිරී ගිය සුපුරුදු නවකථා කලාව සැබෑ මිනිසුන්ගේ වතගොත මත ගොඩනැගී පොදු අත්දැකීම් සම්භාරයක්‌ බවට පත් කිරීමට ගම්පෙරළිය තැබූ පියවර කාගේත් සැලැකිල්ලට ලක්‌ විය.

මේ සියලු කරුණු ගම්පෙරළිය ගැන කථා කරන විට අඩු වැඩි වශයෙන් දැකිය හැකි දෑ වුව ද වඩාත් ම මුල් තැනට පත් කරුණ වූයේ "සිංහල ජන වංශයේ බිංදු මාත්‍රයක්‌" මේ තුළින් දැනගත හැකිය යන මතයයි. ඒ බිංදු මාත්‍රය අපට උකහා ගැනීමට හැකි වී ඇත්තේ ද එදිනෙදා ජීවිතයේ දී දැකිය හැකි මිනිසුන් තුළින්වීම වැදගත් සේ සැලකේ.

ගම්පෙරළිය නවකථාවේ එන මුල් ම පිරිස අපට හමුවන්නේ 1904 වර්ෂයේ සිංහල අවුරුදු සමය ආසන්නයේ ය. අප මේ වසර වඩාත් අවධානයට ලක්‌කළ යුත්තේ මේ කථාවේ කේන්ද්‍රගත පුවත අධ්‍යයනය කිරීමට හොඳ පසුතලයක්‌ මේ මත ගොඩනැගෙන බැවිනි.

වැඩවසම් සමාජ ක්‍රමය බිඳ වැටී ඒ මත ගොඩනැගෙන ධනවාදයේ කථාපුවත විකාශනය කිරීමේ මුල් ම බීජය රෝපණය වන්නේ මෙසේ සැකැසෙන පරිසරයේ සාරය උකහා ගනිමිනි.

"ගෙයද මෙහි වෙසෙන්නෝද වර්තමාන ගමට නොගැලපෙන වඳවීගෙන යන අෙච්තනික සෙච්තනික වස්‌තූන් ගේ පරම්පරාවක අවසානයෝ ය" යනුවෙන් කතුවරයා ආරම්භයේදී ම සිංහල ජන වංශයේ බිංදු මාත්‍රයේ ස්‌වභාවය අපට පවසා ඇත.

මෙහිදී කතුවරයා පුන පුනා පවසා ඇත්තේ මේ පිරිස කාලීන ව සිදු වන වෙනස්‌කම් වලට හසු නොවන ගතානුගතික අදහස්‌ වල ඉතා දැඩි සේ එල්බගත් පිරිසක්‌ බවත් ඒ නිසාම එම පිරිස සමාජ පරිණාමයෙන් ඉවත් කොට වළපල්ලට දැමූ බවත් ය. ගම්පෙරළිය නව කථාවේ මූලික කරුණු කීපය තුළින් මේ මතය සනාථ වන්නේ දැයි සොයා බැලිය යුතු වෙයි.

ගම්පෙරළිය නවකථාවේ මේ පුවත විකාශනය කිරීමට දායක වන පිරිස අපට හමුවන්නේ සිංහල අවුරුදු දිනට ආසන්න දිනයක කොග්ගල මහගෙදර දීය. "වළන් පොඩිවල ඉවීම" යනුවෙන් පවුලේ නෑයන් අතර ප්‍රකට මේ උත්සවයට කැඳවන ලද එකම පිටස්‌තරයා වූ කලී ඉස්‌කෝලේ මහත්මයා යනුවෙන් ගැමියන් විසින් හඳුන්වනු ලබන 'පියල්' පමණකැ යි ප්‍රකාශ කරමින් ධනවාදයේ ප්‍රධාන නියෝජිතයා අපට මුණ ගස්‌වයි.

ඔහු පෙමින් බැඳුණු නන්දා කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ බාල දියණිය වන අතර මේ දෙදෙනා සමාන කුලයක වුවත් උන්ට කවුද හිරදෙන්නේ යයි පවසමින් මුහන්දිරම් යුවළ ලොකු අප්පු ආරච්චිගේ පුත් ජිනදාස ළමාහේවාට තම කණිටු දියණියන් සරණ කොට දෙති.

කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ මරණය ඉක්‌බිති ව සිදුවන අතර අගහි`ගකම් නිසා වෙළෙ\මක්‌ උදෙසා ගමින් බැහැර වන ජිනදාස අන්තිමේ දී තම බිරිඳ පියල් වෙතට පත්කොට සමාජ පරිණාමයේ ස්‌වභාවය පාඨකයාට පසක්‌ කොට දෙයි.

ගම්පෙරළිය කථා වස්‌තුව තුළින් නන්දා ගේ හා පියල් ගේ තිර පෙම් පුවත විකාශනය වුවත් සත්‍ය වශයෙන් ම එයින් මතුවන්නේ සමාජ විපර්යාසයන්ය යන්න හැම විචාරකයකු ම පුන පුනා කියන්නක්‌ වී තිබේ. මේ කථා වස්‌තුවෙන් හමුවන විවිධ සිද්ධි තුළින් මෙබඳු නිගමනයක්‌ සැකයකින් තොර ව ගත හැකි ද?

මෙහි ඉදිරිපත් කැරෙන සමාජ පෙරළිය සිදු වූ ආකාරය හා එහි ගති ස්‌වභාවය පෙන්නුම් කරන මූලික කරුණු දෙකක්‌ ඉස්‌මතු වී එයි.

එකක්‌ වනුයේ නූතන ධනවාදයේ පූර්ව මෙන්ම මූලික ලක්‍ෂණය වන වාණිජ ක්‍රමයේ ආරම්භය හා දියුණුව යි. එහි අතුරු ඵලයක්‌ ලෙසින් මූලික ස්‌ථානයකට පත්වන ඉංගී්‍රසි භාෂාවේ බලපෑම දෙවැන්න යි.

ගම්පෙරළියේ කථා නායකයා වන පියල් නැගී එන ධනවාදයේ නියෝජිතයා ලෙස සලකන බොහෝ දෙනෙක්‌ ඔහු වාණිජ ක්‍රමය හා ඉංගී්‍රසි බස තුළින් අතු පතර විහිදවා පැතිරෙන අන්දම පැහැදිලි කරති.

මේ සමාජ පරිණාමයට තතු නොවන කයිසාරු වත්තේ මුහන්දිරම්, මාතර හාමිනේ, අනුලා, ජිනදාස වැන්නෝ තමන් අගය කළ සියලු සාරධර්මයන් ද කුදලා ගෙන අපෙන් සමුගනිති.

පියල් කොග්ගල උපන් මුහන්දිරම් හා සම කුල ඇති ඉංගී්‍රසි උගත් තරුණයෙකි. ඔහු ගම හැර යන්නේ නන්දා හා බැඳුණු ප්‍රේමය කඩ වීමෙනි. ඔහුගේ ඒ ක්‍රියාව පියල් මව ද අනුමත කරන්නේ මුහන්දිරම් පළි ගන්නා සුළු කෲර පුද්ගලයකු බැවින් තම පුතු ද ගමෙහි විසීම විනාශයට හේතු විය හැකි යෑයි කල්පනා කළ බැවිනි.

ඔහු ගේ ඒ සංක්‍රමණය ජීවිතයේ තීරණාත්මක ගමනක්‌ විය. ඔහු ධනවාදයේ නියෝජිතයා ලෙසින් වැඩී එන්නේ මේ ප්‍රේමය බිඳීමත් පලායාමත් නිසාය. දෙවැනි වර නන්දා හා බැඳීමට ඔහු මේ තුළින් ගොඩ නගා ගන්නා සියලුම සුදුසුකම් ද එකසේ ගැලපී එයි. එසේ නම් පියල් ගමින් පලායාමත් ව්‍යාපාරිකයකු ලෙස ලබන සාර්ථකත්වයත් ස්‌ථිරසාර වූ අකලංක ප්‍රේමයේ සාරය ම මිස වෙනකක්‌ නොවන්නේ ය.

ධනවාදයේ නැගීමත් රදල වාදයේ බිඳීමත් පියල් තුළින් නිරූපණය වන්නේ ඔහු ගැමි ඉංගී්‍රසි උගත් වාණිජ ක්‍රමයට සම්බන්ධ වූ නිසා ද? එය එසේ නම් කොග්ගල ගමෙහි මේ සුදුසුකම් ලත් අය වූයේ පියල් පමණක්‌ ද? ඒ සුදුසුකම් ලැබීමට වැඩවසම් සමාජ ක්‍රමයේ සාරධර්මවලින් ඉඩක්‌ නොලැබුණා වත් ද?

වාණිජ වාදයේ නියෝජිතයා වන පියල් පමණක්‌ ම ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයා වීද ? කයිසාරුවත්තේ මුහන්දිරම් අවස්‌ථා දෙකකදී ම තම ගමෙහි වෙළෙ\ම ආරම්භ කරන්නේ වැඩවසම් ක්‍රමය ම වැළඳ ගත් නිසා ද? ඔහු ගේ අතවැසි කරෝලිස්‌ ගමෙන් බැහැර කරන්නේ ද වෙළෙ\ම සඳහා ය. අවසානයේ ජිනදාස සිංහලේ යන්නේ ද වෙළ\ම උදෙසා ම ය. මේ අය ඒ ක්‍රමය තුළ සාර්ථක අසාර්ථක වීම කෙසේ වතුදු වාණිජ සමාජයක මූලික අංගයනට ඔවුන් තුළත් තිබූ නැඹුරු ව මෙයින් පැහැදිලි වෙයි. එසේ නම් මේ පරපුර වැටී යන පරපුරක්‌ ලෙස හංවඩු ගසා විනාශ කළ හැකි ද? ඔවුන් වර්තමානයට ගැළපීමට කිසියම් කැමැත්තක්‌ නොතිබුණේ ද? පියල් ගේ මේ දීර්ඝ ගමනට අවශ්‍ය මූලික ශක්‌තිය ලබාගන්නේ ඉංගී්‍රසි උගනීමෙන් නම් නන්දා, අනුලා, ඉංගී්‍රසි උගන්නේ කුමක්‌ සඳහා ද? ඒ දෙදෙනා පසෙකට යේවා තිස්‌ස ගාල්ලේ ඉංගී්‍රසි පාසලකට යවා උගැන්වූයේ කුමක්‌ සඳහා ද? හුදු සමායාන්තර දැනීම ම සඳහා ද ? ඒ එසේ නොවේ නම් පියල් ලැබූ ධනවාදී මූලික සුදුසුකම් ලැබීමට මහ ගෙදර ඇත්තෝ උගෙනීම නොකළෝ ද?

එසේ නම් ගම්පෙරළිය නවකථාව තුළින් සමාජ පෙරළියක්‌ කියෑවෙතැයි යන්න මිථ්‍යාවක්‌ ලෙසින් බැහැර කිරීමට සිදුවෙයි. මහ ගෙදර පරිහාණිය හා ගමෙහි වෙනස්‌වීම් ආදිය අඩු වැඩි ලෙසින් කථාවේ අනුපානවී ඇති බැව් ඇත්ත වුවත් ඒ සියල්ල ගම්පෙරළිය හා මනා ව සුසංයෝගී වී ද?

එසේ නම් ගම්පෙරළියෙන් කියෑවෙන්නේ නන්දා ගේ හා පියල් ගේ පෙම් පෙරළිය නොවන්නේ ද? මුහන්දිරම් ගේ දිවමන් යුගයේ දී පවා මහගෙදර ඇත්තෝ අගහි`ගකමින් පෙළුනාහු ය. ඔහු ගේ මරණින් පසු එය වඩාත් උග්‍ර වූ අතර පදිංචි නිවසේ පියස්‌සෙන් ජලය කාන්දුවීම් දක්‌වා දරිද්‍රතාවයේ අත්දැකීම් ජීවිතය තුළට කාන්දු වන්නට විය.

මේ අතර පියල්, කොළඹ ව්‍යාපාරිකයෙකු ලෙස ඉහළ නගිමින් සිටී. නන්දා දෙවන වර විවාහ වීමෙන් පෙනෙන්නේ පියල් ගේ ස්‌ථිරසාර වූ ප්‍රෙAමයේ ස්‌වභාවය මිස ධනවාදයේ ස්‌වභාවය නොවේ. පියල් හා නන්දාගේ විවාහය සිදුවූයේ දරිද්‍රතාවයේ ඵලයක්‌ ලෙස ද නොවේ. ආදරයේ ඵලයක්‌ ලෙස යි. නන්දා දෙවන වර විවාහ වීමට පෙර සිටම වැඩ වසම් නියෝජිතයෝ හෙම්බත් වී සිටියහ. නන්දා පියල් විවාහ නොවුනද ධනවාදයේ නැගිටීමට හෝ වැඩවසම් ක්‍රමයේ බිඳීමට හෝ එය අංශු මාත්‍ර වූ බාධාවක්‌ නොකරනු ඇත.

ඒ එසේ නම් "ගම් පෙරළිය", ගම් පෙරළියක්‌ කියෑතැයි යන්න අපේ සැකයට යොමු වෙයි. මෙහි එන විවිධ චරිතද අපට මුණගස්‌වන්නේ කතුවරයා විසිනි. ඔහු ඒ අයගේ ගති ස්‌වභාවය අපට පැහැදිලි කරදී ඒ ඒ අයට අවශ්‍ය අයුරින් චරිත සහතික නිකුත් කරයි. මෙය බටහිර උසස්‌ නවකථාවක ස්‌වභාවය නොවුන ද අපි අපේ සාහිත්‍ය යේ පරිණාමික අවස්‌ථාවන් අවබෝධ කොට ගෙන ප්‍රාථමික ලක්‍ෂණ තේරුම් ගත යුතු වෙයි. ඒ නිසා ඒවා අප දැකිය යුත්තේ ඒ ඒ අවස්‌ථාවන්හි ප්‍රකට ලක්‍ෂණ ලෙසිනි.

එහෙත් "වර්තමාන ජන වංශයෙන් බිංදු මාත්‍රයක්‌ කියනු පිණිස්‌' යනුවෙන් කතුවරයාගේ ප්‍රකාශය අවිචාරයෙන් අල්ලා ගැන්මට හා එය ඒ අයුරින් පිළිගැනීමට අප ඉක්‌මන් විය යුතු නොවේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.