වාද, විවාද, සංවාද, මතවාදයන්ට
මැදි වූ ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉතිහාසය


ශ්‍රී ලංකාවේ පළමු නිදහස්‌ සමරුව (1948 පෙබරවාරි 10) එච්.ආර්. ප්‍රේමරත්න ගේ සිතුවමකි.


එස්‌. එම්. සිරිවර්ධන

දැනට භාවිතයට ගනු ලබන ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1950.02.13 වැනි දින නිල වශයෙන් පිළිගැනුණ අතර ජාතික ගීය නිල වශයෙන් පිළිගනු ලැබුවේ 1951.11.22 දාය. එතැන් සිට අද දක්‌වාම අඩ සියවසකට අධික කාලයක්‌ විවිධ මතවාද, නිර්වචන, විවේචන, නිර්ණායක රැසකට සහ සංශෝධනයන්ට ලක්‌ වූ අපගේ ජාතික ගීයේ ප්‍රභවය, විකාශනය සහ සිදුවූ විශේෂ ප්‍රවණතාවන් සංක්‍ෂිප්තව විමසා බැලීම කාලෝචිතය. එහි ඓතිහාසික විකාශනය අනුස්‌මරණීය වූ අවස්‌ථා රැසකින් සමන්විතය.

කිසියම් රටක්‌ හෝ රාජ්‍යයක්‌ නිල වශයෙන් පිළිගනු ලබන ජනතාව අතර පොදු ව්‍යවහාරයට, සම්භාව්‍ය බවට, පොදු පිළිගැනීමකට සහ විශ්වසනීයත්වයට පාත්‍ර වූ වචන සහිත දේශාභිමානී ගීතයක්‌ හෝ වචන රහිත ස්‌වර නිර්මිතයක්‌ ජාතික ගීයක්‌ ලෙස හැඳින්විය හැකිය. ස්‌වදේශීයත්වය, අභිමානය, අනන්‍යතාව, භක්‌තිය, ලෙන්ගතුකම, ඇගයීම පක්‍ෂපාතීත්වය, ඇප කැපවීම සහ ගෞරවනීය බව ජාතික ගීයක අන්තර්ගතව ඇත. විප්ලවීය හැඟීම, විජයග්‍රහණයන් සහ ප්‍රශස්‌ති ස්‌වරූපයන්ද ජාතික ගීයකින් ඉස්‌මතු විය හැකිය. කිසියම් රටක, ජාතියක හෝ ජන කොටසකට අයත් ප්‍රපංචයන් රැසකින් සමන්විත වූ සාධනීය සහ ගතික ස්‌වරූපයන් ජාතික ගීයකින් විශදවන බව පෙනේ.

ලෝකයේ පැරැණිතම ජාතික ගීය ලෙස හඳුනාගෙන ඇත්තේ නෙදර්ලන්තය සතු එරට ජාතික ගීයයි. එහි ඉතිහාසය ක්‍රි.ව. 1626 දක්‌වා ඈතට දිවෙන බව පෙනේ. බ්‍රිතාන්‍ය ජාතික ගීය නෙදර්ලන්ත ජාතික ගීයට වඩා ඓතිහාසික අගයකින් වැඩි බව ප්‍රකාශ වී ඇතත් එරට ජාතික ගීය ආරම්භ වී ඇත්තේ 1745 දීය. කිසියම් රටක ජාතික ගීයක්‌ නිර්මාණයේa දී කෘතහස්‌ත සංගීත ගාන්ධර්වයන් සහ කෘතහස්‌ත ගේය පද රචකයන්ගේද සුසංයෝගයක්‌ අත්‍යවශ්‍ය වේ. ඇතැම් විට මෙම උභය පාර්ශ්වයම එකම පුද්ගලයෙකු සතුව පැවතීමටද ඉඩ ඇත. පද රචනයට මෙන්ම ස්‌වර රචනයටද අතිශයින් දක්‍ෂ පුද්ගලයන් භාරතීය සම්භාව්‍ය සංගීතයේ දී හඳුන්වනු ලබන්නේ වාගේයියාකාර යනුවෙනි. භාරතයේ සංගීත ගරානාවන්හි ජනිත වූ ඇතැම් සංගීතඥයන් මෙයට නිදසුනක්‌ ලෙස දැක්‌විය හැකිය.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණයේ දී ආනන්ද සමරකෝන් සූරීන් පද රචනයෙන් සහ ස්‌වර රචනයෙන්ද එකල ස්‌වාමීත්වයක්‌ ලැබූ බව පෙනේ. මීට අමතරව රවීන්ද්‍රනාත් ඨාකූර්, මෝසාට්‌, හේඩන් සහ ආචාර්ය පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ජාතික ගීය නිර්මාණයේදී ජගත් ප්‍රකට පුද්ගලයන් කීපදෙනෙකි. ඒ අතර ආචාර්ය පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සහ ආනන්ද සමරකෝන් දෙපළ යුග පුරුෂයන් ලෙස ශ්‍රී ලාංකික අපට සුවිශේෂ පුද්ගලයන් දෙදෙනෙකි.

ජර්මන් ජාතික ගීය නිර්මාණයේ දී හේඩන්ද, භාරතීය ජාතික ගීය නිර්මාණයේ දි රවීන්ද්‍රනාත් තාගෝර්තුමාද, මාලදිවයින් ජාතික ගීය නිර්මාණයේ දී ආචාර්ය අමරදේව සූ+රීන්ද පුරෝගාමීව කටයුතු කර ඇත.

ජාතික ගීයක්‌ තෝරා ගැනීමේදී ඒ ඒ රටවල සහ ජාතීන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රමෝපායන් දෙකක්‌ දක්‌නට ඇත. එනම් අභිනවයෙන්ම ජාතික ගීයක්‌ නිර්මාණය කිරීම සහ ඒ වන විටද භාවිතා කරනු ලබන ගීයක්‌ ජාතික ගීයක්‌ බවට පත් කර ගැනීමයි.

ලෝකයේ විවිධ රටවල් සහ ජාතීන් තම ජාතික ගීය නිර්මාණයේ දී ප්‍රධාන අරමුණු සහ ප්‍රස්‌තුත කීපයක්‌ තේමා කරගෙන ඇති බව පෙනේ. එක්‌සත් ජනපද රජය තම ජාතික ගීයට යුද්ධය තේමා කරගෙන ඇති අතර ප්‍රංශ ජාතික ගීයට විප්ලවය පසුබිම් කරගෙන ඇති බව පෙනේ. ජාතිකාභිමානය පදනම් කරගත් ජාතික ගීයට නිදසුනක්‌ ලෙස කැනඩාවේ ජාතික ගීය හැඳින්විය හැකිය. සමාජ දේශපාලනය ආදී ක්‌ෂේත්‍රවල සිදුවන විශේෂ ප්‍රවණතා හේතුවෙන් ජාතික ගී සංශෝධනය වීම සහ අලුතින් විකල්ප ගීත නිර්මාණය වූ අවස්‌ථාද දක්‌නට ඇත. සෝවියට්‌ දේශයේ දැනට භාවිතා වන එරට ජාතික ගීය 1994 දී ආරම්භ වූවකි. ඊට පෙර එරට භාවිතා වී ඇත්තේ කම්කරුවන් අතරින්ම නිර්මාණය වී ඔවුන් අතර බෙහෙවින් ප්‍රචලිත වූ ගීයකි. වචන රහිත වාදන වෘන්දයක්‌ පමණක්‌ යොදාගෙන තම ජාතික ගීය නිර්මාණය කළ රටක්‌ ලෙස ඉරාකය හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික ගීයේ ප්‍රභවය, ඓතිහාසික විකාශනය සහ ඊට අදාළව සිදු වූ සුවිශේෂී ප්‍රවණතා දෙස බැලීමේදී ඒවා අනුස්‌මරණීය කරුණු රැසකින් සමන්විත බව පෙනේ.

1796 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතුවිය. ඉන් අනතුරුව මෙරට ජාතික කොඩිය සහ ජාතික ගීය ලෙස භාවිතා වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගීය හා ජාතික කොඩියයි. මේ අතර මෙම පාලන සමය තුළ මෙරට ජාතික පුනරුද ව්‍යාපාරයක්‌ ආරම්භ විය. ස්‌වාධීනතාව පදනම් කරගත් ප්‍රතිවිරෝධී ආකල්ප වර්ධනය වන්නට විය. දේශාභිමාන ගී කවි රචනා වීම ඇරැඹීමෙන් පසු ජාතික ගී නමින්ම රචනා කරන ලද කවි සහ ගීත බහුලව නිර්මාණය වී ඇත.

එස්‌. මහින්ද හිමි සහ එම්. ඡේ. පෙරේරා මහතා සහ ආනන්ද සමරකෝන් මහතාද මේ අතර වැදගත් පුද්ගලයන් තිදෙනෙක්‌ වූහ. ගාන්ධර්ව සභාවේ ශාඛාවක්‌ මහනුවර විවෘත කළ අවස්‌ථාවේදී භාවිතා කර ඇත්තේ සංගීතඥ එම්. ඡේ. පෙරේරා මහතා විසින් නිර්මාණය කරන ලද ජාතික ගීයකි. 1948 පමණ වන විටද ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි. මේ අතර 1939 දී පමණ ආනන්ද සමරකෝන් සූරීන් විසින් ජාතික ගීයක්‌ නිර්මාණය කර ඇත.

මෙම කාලපරිච්ඡේදය වන විට භාරතයේ අතිශයින්ම සම්භාවනාවට පත්ව තිබූ "වන්දේ මාතරම්" යනුවෙන් ඇරැඹෙන ගීතය සහ එරට ජාතික ගීය ශ්‍රී ලංකාව තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත්වී තිබුණි.

1937 පමණ වන විට ශ්‍රී ලංකාවටද ජාතික ගීයක අවශ්‍යතාව විද්වතුන් සහ දේශප්‍රේමීන් විසින් පෙන්වා දෙන ලදී. 1947 කාලයේ මෙරට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ජාතික ගීයක්‌ රචනා කළ බවට තොරතුරු අනාවරණය වී ඇත. එහි ආරම්භය වන්නේ "සිරි ලක මාතා නමදිමු සැමදා" යනුවෙනි. එවකට ඒ සම්බන්ධයෙන් උද්ගත වූ වාද විවාද නිසා යථෝක්‌ත ගීතය භාවිතයෙන් ඉවත් වී ඇත.

ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමේ දිනය ආසන්න වීමත් සමඟම අපටම ආවේණික ජාතික ගීයක අවශ්‍යතාව දැඩි සේ දැනෙන්නට විය. මේ අතර ලංකා ගාන්ධර්ව සභාව මගින් ජාතික ගීත රචනා තරගයක්‌ද සංවිධානය කරන ලදී. ගීත විනිශ්චය සඳහා කමිටුවක්‌ද ස්‌ථාපිත කරන ලදී. ලයනල් එදිරිසිංහ මහතා එහි ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ විය.

1948.01.31 වැනි දින යථෝක්‌ත තරගය පැවැත්විණ. නමෝ නමෝ මාතා ගීතයද මෙම තරගයට ඉදිරිපත් කොට තිබූ නමුත් ඒ වන විට එහි පද රචනය කළ ආනන්ද සමරකෝන් මහතා දිවයිනේ නොසිටි බව සඳහන් වේ. එම ගීතය තරගයට ඉදිරිපත් කරන ලද්දේ ද ආනන්ද සමරකෝන් මහතාගේ බිරිඳ වූ කැරලයින්ද සිල්වා මහත්මිය විසිනි. ගීතය පුහුණු කිරීම ස්‌වර්ණා ද සිල්වා මහත්මිය විසින් සිදු කරන ලදී. මෙම තරගයෙන් තෝරාගෙන තිබුණේ ඉලංගසිංහ නම්වූ පුද්ගලයෙකු විසින් රචනා කරන ලද "ශ්‍රී ලංකා මාතා යස මහිමා" යන්නෙන් ඇරැඹි ගීතයකි. ප්‍රථම නිදහස්‌ උත්සවයේ දී භාවිතයට ගැණුනේ ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කළ ජාතික ගීය නොවේ.

ජාතික ගීත විනිශ්චය මණ්‌ඩලයේ සිටි ලයනල් එදිරිසිංහ මහතා විසින් සංගීතය සැපයූ ගීතයක්‌ තෝරා ගැනීම පිළිබඳ වාද විවාද පැන නැඟුණි. මෙම විරෝධතා හේතුවෙන් 1949 දී පැවැති නිදහස්‌ අනුස්‌මරණ උත්සවයේ දී ආනන්ද සමරකෝන් සූරීන් විසින් රචිත "නමෝ නමෝ මාතා" යන ගීතය භාවිතයට ගෙන ඇත.

නමෝ නමෝ මාතා යන ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිගත යුතු බවට 1950 අප්‍රේල් මාසයේ දී කැබිනට්‌ සංදේශයක්‌ ඉදිරිපත් විය. එවකට මුදල් අමාත්‍ය ධුරය දැරූ ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් මෙම සංදේශය ඉදිරිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1951.11.22 වැනි දින අප දැනට භාවිතා කරන ජාතික ගීය නිල වශයෙන් පිළිගැනුණි. ආනන්ද සමරකෝන් මහතා එවකට සේවය කරමින් සිටි ගාල්ලේ මහින්ද විද්‍යාලයේ විද්‍යාර්ථීයන්ට එතුමා විසින්ම එම ගීතය පුහුණු කරන ලදී. 1953 දී පමණ එම ගීතයේ තනුව සංශෝධනය කර ඇත. ජාතික ගිය රචනය සඳහා රු. 2500 මුදලක්‌ පිරිනැමීමට එවකට පැවති ආණ්‌ඩුව තීරණය කර තිබුණද සමරකෝන් මහතාට එය හිමි වුණේ නැත.

1956 වන විට යථෝක්‌ත ගීතය සංශෝධනය විය යුතු බවට මතිමතාන්තර පළවන්නට විය. මෙහිදී ප්‍රධාන වශයෙන් චෝදනා තුනක්‌ කෙරෙහි විශේෂ අවධානය යොමුවිය. නමෝ නමෝ මාතා ලෙස ආරම්භ වන ගීතයේ "න" අක්‍ෂරය අපායාක්‍ෂරයක්‌ වීම, ආරම්භක ගණය අනිෂ්ට ගණයක්‌ වීම සහ භක්‌ති රසය ජනනය වීම එම චෝදනා තුනයි. නමෝ නමෝ මාතා යන ගීතය ජාතියටම ශාපයක්‌ සහ වස්‌ වැදීමක්‌ සිදුවිය හැකි බවටද චෝදනා එල්ල වන්නට විය. ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූ මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ හදිසි අභාවය සහ සර් ජෝන් කොතලාවල මහතාගේ ක්‍ෂණික බිඳ වැටීම එම ගීතයේ දුර්විපාකයක්‌ ලෙස සිදු වූවක්‌ බවටද ජන මතයක්‌ ගොඩනැඟුණි.

එම චෝදනා නිසා ආනන්ද සමරකෝන් මහතා බලවත් ලෙස උරණ වීමටත් කම්පාවටත් පත්විය. තම ගීතය පිළිබඳ ඒ මහතාගේ අදහස වූයේ යහපත් සිතුවිල්ලකින් එනම් සත් භාවයෙන්ම එය රචනා කළ බවත්, පද රචනයේ දී ඉෂ්ටානිෂ්ඨ ගති යල්a පැනගිය ඒවා බවත්ය. 1950 දශකයේ අග භාගය වන විට යථෝක්‌ත ගීතයට කෙතරම් විරෝධතා එල්ල වූයේද යත් මෙය ජාතික ගීයක්‌ නොව ජාතියේ වස්‌ කවියක්‌ ලෙසටද හඳුන්වන්නට විය. සමරකෝන් මහතා තව තවත් වේදනාවටද දොම්නසටද පත්විය. තත්ත්වය මෙසේ පවතින අතර එවකට අධ්‍යාපන ඇමැතිව සිටි ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා සහ ඩබ්ලිව්. ඩී. මකුලොලුව මහතා විසින් සමරකෝන් මහතාට නොදන්වා යථෝක්‌ත ගීතයේ මුල් පද පෙළ "ශ්‍රී ලංකා දිනේ දිනේ මාතා" ලෙස වෙනස්‌ කරන ලදී. මෙය අත්තනෝමතික ක්‍රියාවක්‌ ලෙස සැලකීම නිසා සමාජය තුළ නොසන්සුන් බවක්‌ද ඇතිවිය. 1960 දශකයේදී නැවත වරක්‌ මෙම ගීතය සංශෝධනය විය යුතු යෑයි මතයක්‌ ගොඩනැඟුණ අතර විද්වතුන්ගේ සහ සංගීතඥයන්ගෙන් සමන්විත මණ්‌ඩලයක්‌ද පත් කෙරුණි. කෙසේ වෙතත් 1961 වසරේ මහනුවර පැවැති නිදහස්‌ උත්සවය සඳහා ජාතික ගීතයේ අනුවාදනය පමණක්‌ ඉදිරිපත් කිරීමට සිදුවිය. 1961 වසරේදීම ජාතික ගීතයේ ආරම්භය වූ "නමෝ නමෝ මාතා" යන්න "ශ්‍රී ලංකා මාතා" යනුවෙන් සංශෝධනය විය. මෙය රචකයාගේ කිසිම අනු දැනීමකින් තොරව සිදු වූවක්‌ බව සඳහන් වේ.

යථෝක්‌ත ගීතය සම්බන්ධයෙන් වූ විවේචන 70 දශකයේ දීද යළි හිස ඔසවන්නට විය. මෙහිදී ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ මතය වී ඇත්තේ පද රචනය හා ස්‌වර රචනය අනුව මෙම ගීතය ජාතික ගීයකට උචිත නොවන බවයි. මහගම සේකර මහතාගේ අදහස වී ඇත්තේ එම ගීතය යටත්ව කරන ඉල්ලීමකට සහ නැළවිල්ලකට සමීප වන බවකි. හින්දි ගීතයක අනුකරණයක්‌ ලෙසද ඇතමුන් විසින් එම ගීතය හඳුන්වා දෙන ලදී.

ජාතික ගීතය නිර්මාණයෙන් අනතුරුව එහි රචකයා වූ ආනන්ද සමරකෝන් මහතාගේ පෞද්ගලික ජීවිතය පවා බලවත් සේ අවුල් වියවුල් සහගත තත්ත්වයකට පත්වූ බව සඳහන්ව ඇත. එතුමා ශාරීරික හා මානසික ලෙස බලවත් ලෙස විශාල පසුබෑමකටත් ගිලන් බවකට පත්විය. එතුමා උකටලී ස්‌වරූපයෙන් කල් ගෙවූ බව සඳහන් වේ. මේ නිසාම දෝ එතුමා නිදි පෙති පානය කිරීමෙන් සිය දිවි හානි කරගත් බවටද ප්‍රමාණවත් තොරතුරු සඳහන්ව ඇත. සියදිවි හානිකර ගැනීමට පෙර ආනන්ද සමරකෝන් මහතා විසින් අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා වෙත යෑවූ ලිපියක සඳහන්ව ඇත්තේ තමාගේ හදිසි වියෝවට තම ගීතයට සිදුකළ අත්තනෝමතික සංශෝධනය ඉවහල් වූ බවයි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ පාලන සමයේ දී එම ගීතයට කරන ලද සංශෝධන සමරකෝන් මහතා විසින්ම හඳුන්වාදී ඇත්තේ ගීතයේ ගෙල සිඳ දැමීමක්‌ ලෙසය.

ප්‍රථම වරට කොළඹ කලාභවනේ දී මෘත දේහයක්‌ තැන්පත් කර අවසන් ගෞරව දැක්‌වීම ආරම්භ වී ඇත්තේ ආනන්ද සමරකෝන් මහතාගේ දිවංගත වීමෙන් අනතුරුවය. "ආනන්ද සමරකෝන් මහතා මියගියේ නැත. අපි ඔහු මරා දැමුවෙමු" යනුවෙන්ද රාවයක්‌ එකල සමාජයේ ප්‍රචලිතව පැවතුණ බවද සඳහන් වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.