රාජකීය උරුමයක්‌ වූ ලක්‌දිව කාසි

ඇතිපොළ මංගල හිමි

atipolamangalathero@gmail.com


මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පලවිය


ලක්‌දිව මෙතෙක්‌ සොයා ගන්නා ලද රන්-රිදී රෝම කාසි සංඛ්‍යාව පිළිබඳව විමර්ශනය කර බලන කල්හි, රෝම අධිරාජ්‍යය සමඟ කරන ලද වෙළෙඳ ගණුදෙණුවලදී භාවිත වූයේ රෝම තඹ කාසි පමණක්‌ම යෑයි කියා කිසිවිටකත් නිගමනය කළ නොහැකිය.

ලක්‌දිව විවිධ ප්‍රදේශවලින් රෝම කාසි රාශියක්‌ හමුවී තිබේ. ලක්‌දිවෙන් හමු වූ රෝම කාසි පිළිබඳව ලිපියක්‌ සපයන ආර්. සිවෙල් (R. Sewell) මහතා ඒවා වර්ග පහකට බෙදා දක්‌වයි. (JRAS-1904/P27). ඒ මෙසේය.

I. කොන්සල්වරුන්ගේ (Consulate) රාජ්‍ය පාලන සමය - මෙම රාජ්‍ය පාලන සමයට අයත් රෝම කාසිවලින් ලක්‌දිවෙන් සොයා ගෙන ඇත්තේ ක්‍රි.පූ. 124-110 අතර කාලවකවානුවට අයත් "ඩිනේරියන් කාසි" (Denarion Coins) පමණි.

II. ඔගස්‌ටස්‌ සීසර් අධිරාජ්‍යාගේ (Emperor, Augustus Caesar 27 BC-14AD) රාජ්‍ය පාලන සමයේ සිට නීරෝ අධිරාජයාගේ (Emperor Nero54- 68 AD) රාජ්‍ය පාලන සමය දක්‌වා - මෙම කාලවකවානුවට අයත් රෝම කාසි දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් හමුවී ඇතත් මේවන තෙක්‌ම ඒවා ලක්‌දිවෙන් හමුවී නැත.

III. නීරෝ අධිරාජ්‍යාගේ රාජ්‍ය පාලන සමයේ සිට කරකලා අධිරාජ්‍යාගේ (Emperor Caracalla 198- 217 AD) රාජ්‍ය පාලනය සමය දක්‌වා - මෙම කාලවකවානුවට අයත් රෝම කාසි වර්ග කිහිපයක්‌ම ලක්‌දිවෙන් හමු වී ඇත.

IV. කරකලා අධිරාජයාගේ රාජ්‍ය පාලනය සමයෙන් ඉක්‌බිතිව පෙරදිග රෝම වෙළෙඳාම සම්පූර්ණයෙන්ම ඇනහිටියේය. µsයස්‌ ඇන්ටෙතියේනස්‌ අධිරාජ්‍යාගේ (Emperor Pius Antoninus 138-161 AD), රාජ්‍ය පාලන සමයට අයත් බාල රිදියෙන් තනන ලද කාසියක්‌ ද, මාර්කස්‌ අව්රේලියස්‌ අධිරාජ්‍යාගේ (Emperor Marcus Aurelius 161-180 AD) රාජ්‍ය පාලන සමයන්ට අයත් ඇලෙක්‌සැන්ඩීරියන් තඹ කාසි කිහිපයක්‌ ද ලක්‌දිවෙන් හමු වී ඇත.

ඪග ක්‍රි.ව. 330 දී පමණ පෙරදිග රෝම වෙළඳාමේ සුළු දියුණුවක්‌ ඇතිවිය.මක්‌සිමින් අධිරාජ්‍යාගේ (EmperorMaximian 286- 305 AD) රාජ්‍ය පාලන සමයේ සිට I වැනි ලීසීනියස්‌ අධිරාජ්‍යයාගේ (EmperorLicinius the i /308-324 AD) රාජ්‍ය පාලන සමය දක්‌වා භාවිත වූ රෝම කාසි කිහිපයක්‌ ii වැනි කොන්ස්‌ටන්ටයින් අධිරාජ්‍යයාගේ (Emperor Constantine the ii/ 337-340 AD) (රාජ්‍ය පාලන සමයේ සිට හොනෝරියස්‌ අධිරාජ්‍යාගේ (Emperor Honorius 339 - 423 AD) රාජ්‍ය පාලන සමය දක්‌වා භාවිතා වූ රෝම කාසි කිහිපයක්‌ද ලක්‌දිවෙන් හමු වී ඇත.

මෙම රෝම කාසි එකල්හි කොතරම් ජනප්‍රිය වී ඇත්දැයි කිවහොත් ? ඒවා අනුකරණය කොට මෙරටේ ද කාසි නිකුත් කරන ලදී. එපරිදි අනුකරණය කොට තනවන ලද රන්කාසි කිහිපයක්‌ මීරිගම හා වේයන්ගොඩ අතර ප්‍රදේශයෙන් හමුවී ඇත. හැඩය අතින් ගෙන බලන කල්හි, ඒවා රෝම කාසිවලට වඩා තරමක්‌ රළු බවින් යුක්‌තය. ඒවායේ දකින්නට ලැබෙන ප්‍රධානම දුර්වලතාවය නම්? අක්‍ෂර නිවැරදිව කොටා නොතිබීමයි. එසේ සිදුවන්නට ඇත්තේ.. ලක්‌වැසියන්ට රෝම අක්‍ෂර පිළිබඳව නිසි අවබෝධයක්‌ නොමැති වීමෙන් බව සිතිය හැකිය. එපරිදි රෝම කාසි අනුකරණය කොට දේශීය කාසි තැනීම ඉන්දියාවේ ද ප්‍රචලිතව තිබුණු බව එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා පෙන්වා දෙයි. (Ceylon Coins And Currency/p.31-32).

මෙම යුගයේදී භාවිත කරන ලද තවත් කාසි වර්ගයක්‌ වනුයේ "වෘෂභ කාසියි" (Oxen Coins). මෙහිදී සිංහ කාසියේ මෙන්ම ඉදිරිපස වෘෂභ රුවක්‌ ද පිටුපස රවුමකින් වට කරන ලද තිත් තුනක්‌ ද දැක්‌වේ. තඹ ලෝහයෙන් නිපදවා ඇති මෙම කාසියේ බර සිංහ කාසියේ බරට (එනම් ගේ්‍රන්ස්‌ 15 සිට ග්‍රේන්ස්‌ 40 දක්‌වා) සමාන වේ. මෙය එකම යුගයේදී භාවිත කරන ලද කාසි වර්ගයක්‌ බවට ප්‍රබල සාධක පවතී.

ලක්‌දිව නිපදවූ කාසි අතර තවත් වැදගත් වූ කාසියක්‌ ලෙස "රන් කහවණුව" (Gold Kahavanuva) හැඳින්විය හැකිය. මෙම කහවණු (පාලි - කහාපණ) යන නාමය ක්‍රි.ව. 1 වැනි සියවසේ සිට ක්‍රි.ව. 7 වැනි සියවස දක්‌වා අතර කාලවකවානුවට අයත් වූ බව පෙනේ. මහාවංශයේ 10 වැනි සියවසට අයත් කාලවකවානුවේදීත් එය පිළිබඳව විස්‌තර වන බැවින් කහවණුව එකල්හි භාවිත කරන ලද කාසි වර්ග කිපයකටම ව්‍යවහාරය කරන ලද සාමාන්‍ය නාමය වූ බව ද පෙනේ. මෙම කහවණුවක්‌ පිළිබඳව මුලින්ම සඳහන් වනුයේ ක්‍රි. ව. 7-8 යන සියවස්‌වලට අයත් වූ දමිළ සෙල් ලිපියකිනි (Ceylon Coins And Currency/p.193)' අප සඳහන් කරන මෙම මධ්‍යතන යුගයේ ඉතාම පූර්ව යුගයයි, එහි සඳහන් වන "ඉලක්‌කාසු තිහ" කුමක්‌දැයි? කියා එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතාගේ මතය අනුව (Ceylon Coins And Currency - p.37) නිගමනය කළ හැකිය. පුරාණ දමිළ භාෂාවේ "කාසු" යන වචනය කහවණු වෙනුවට යොදාගෙන ඇත. "ඉලඛෛක" (ඉලංකෛ) යනු ලක්‌දිව යන වචනයට අරුත දෙයි. එවිට "ලක්‌දිවේ කහවණු" යන අරුතින් යොදා ගෙන ඇති බව පැහැදිලිය.

දැනට පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවී ඇති මෙම කහවණුවක බර ග්‍රේන්ස්‌ 67-70 දක්‌වා වේ.

මෙම කහවණුවේ උඩපැත්තේ නෙළුම් දඬුවක්‌ මත හිඳිනා දෝණියක්‌ හැඳ ගත් මිනිස්‌ රුවක සටහනකි. උඩුකුරු කොට වමතින් යම්කිසිවක්‌ ගෙන හිඳින අයුරු දිස්‌වේ. දකුණට වන්නට ත්‍රිශූල ලක්‍ෂණයක්‌ දිස්‌වේ. මෙය චාමරයක්‌ බව සී. ඇම්. ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි (Spolia Zeylanica, Vol iv/p 30) මෙයට පටහැනි වූ මතයක්‌ දරක එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා පෙන්වා දෙනුයේ මෙය රජුගේ ආගම් භක්‌තිය පෙන්වනු වස්‌ බිම තබන ලද හා එල්ලන ලද පහන්වල රූප බවයි (Ceylon Coins And Currency/p.54)'. මහාපරාක්‍රමබාහු රජුගේ (ක්‍රි. ව. 1153-1186)අගබිසව විසින් ඉදිකරන ලදැයි සැලකෙන පොළොන්නරුවේ වූ පොත්ගුල් විහාරයේ සෙල් ලිපියේ (EZ vol ii, 1912-1927, No 39/ P.240) 8 වැනි පෙළ අවසානයේත්, ඒ.ෙ-. රැප්සන් මහතා (A.J.Rapson) විසින් රචිත "ඉන්දියානු කාසි" (Indian Coins - 1892) නම් වූ ග්‍රන්ථයේ සඳහන්"පඤචාල"නම් වූ කාසියේත් මෙවැනි වූ සටහනක්‌ ඇත. මිනිස්‌ රූ සටහනට වම් පැත්තේ කුඩා ගෝලාකාර ලක්‌ෂණයකි. මෙය පොහෝ දින හඟවනු වස්‌ යොදා ගත්තකැයි කියා සී.ඇම් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. (Spolia Zeylanica, Vol iv/p 30). මෙම කහවණුවේ යටි පැත්තේ උක්‌කුටකයෙන් හිඳින මිනිස්‌ රුවක (මෙය උඩපැත්තේ වූ මිනිස්‌ රූ සටහනට බෙහෙවින් සමානය.) සටහනකි. මෙහිද අතින් යම්කිසිවක්‌ මුහුණට ළංකර ගෙන සිටින බවක්‌ දැකිය හැකිය. එසේම මෙහි රූ සටහනකට පිටුපසින් දිගට හරහට අඳින ලද රේඛා කීපයකි. දකුණත පැත්තට වන්නට අපැහැදිලි වූ නාගර අක්‍ෂරද කීපයකි. මෙම අක්‌ෂර "ලාංකේෂ්වර" යනුවෙන් සී. ඇම්. ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. (Spolia Zeylanica, Vol iv/p 31). පාලි ධාතුවංශයේ 5 වැනි පරිච්ඡේදයේ "ලංකිස්‌සර" යනුවෙන් මහසෙන් රජු (ක්‍රි. ව. 276-303) හා කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු (ක්‍රි. ව. 301-331) වෙනුවෙන් යොදා තිබීමද කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද සෙල්ලිපි කීපයකම තමාව "ලංකේශ්වර" (ලකිසුරු, ලක්‌දිවට අධිපති (EZ ii, 15.1,EZ v,22,B 13-14,45.1) යන නාමයෙන් හඳුන්වා ගෙන තිබීමද ඉහත සඳහන් කරන ලද මතය සනාථ කරනු වස්‌ කදිම සාධකයක්‌ වේ. එසේම මෙම අක්‌ෂර "ලංකාවිඟ" යනුවෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ද, "ශ්‍රී ලංකා විභූ" යනුවෙන් එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතාද, "ලාංකිවිඟ" යනුවෙන් ඊ තෝමස්‌ (E.Thomas) මහතාද "ශ්‍රී ලංකා සිංහ" යනුවෙන් මහාචාර්ය නීලකණ්‌ඨ ශාස්‌ත්‍රී (Prof.K.A Nilakanta Sastri) මහතාද හඳුන්වයි. එස්‌. කාසිසෙට්‌ටි (S.Casie Chitty) මහතා රාජකීය ආසියාතික සඟරාවට ලිපියක්‌ සපයමින් කියා සිටින්නේ මෙකී කාසි "පේයි කාසි" හෙවත් "යක්‌ෂ කාසි" බවයිs (JRAS (CB) voli,/1845/45).

මෙහි වූ දිගට හරහට අඳින ලද රේඛා කීපය පිළිබඳව ද විද්වතුන් අතර විවිධ මතවාද රාශියකි. මෙම රේඛා කීපය මඟින් පෙන්වනුයේ සිංහල රජවරුන් කොණ්‌ඩය බැන්ද බව යෑයි කියා සිටී. ඇම්. ප්‍රනාන්දු මහතා කියයි (Spolia Zeylanica, Vol iv/p 31). මෙම කහවණු ඉන්දීය රාජකීය කහවණුවලින් විකාශනය වූවා යෑයි කියා ශ්‍රීමත් ඩබ්ලියු. එලියට්‌ (Sir W. Elliot) මහතා කියයි (Coins of South India-1886/p35). මෙම කහවණුවේ යටි පැත්තේ උක්‌කුටකයෙන් හිඳින මිනිස්‌ රූපය ක්‍රි. පූ. 3 වැනි සියවසට අයත් වූ යටාල දාගැබෙන් හමුවූ උක්‌කුටකයෙන් හිඳිනා රූපයත් ඉසුරුමුණි විහාරයේ වූ අශ්වාරෝහක කැටයමත් එසේම හිඳගල විහාරයේ වූ මාතෘදිව්‍ය රාජයාගේ රූපයත් එකිනෙක සමානකම් දක්‌වන බව මෙහිදී සිහිපත් වේ.

මධ්‍යතන යුගයට අයත් වන තවත් කාසියකි, "අඩ කහවණුව" (Half kahawanuva). ග්‍රේන්ස්‌ 34-35 ක්‌ පමණ බර මෙම කාසියේ "ශ්‍රී ලංකා" යන සඳහනකි. එහි "කා" අක්‌ෂරය යට "ක" අක්‌ෂරයක්‌ තිබීමෙන් මේවා මුල්ම කහවණු යෑයි කියා එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා නිගමනය කරයි (Ceylon Coins And Currency/p.56). මෙය සනාථ කරනු වස්‌ පුරාණ පුස්‌කොළ පොත්වල "ක" අක්‌ෂරය පිටුවල මුලින්ම සඳහන් කිරීම පෙන්වා දිය හැකිය. මෙම සාධකය පිළිගත් විට පෘතුගීසි පාලන සමයේදී ලක්‌දිව භාවිත වූ තංගම හා ද්වීතංගම යනාදිය සේම "කහපණ"වෙන්ව හඳුනා ගැනීමට සිදුවන නමුදු "ද්විකහපණ" යෑයි කියා කිසිවක්‌ නොතිබුණු හෙයින් "කා" යන්න කි යන්නට ගෙන "ශ්‍රී ලංකික" යෑයි කියා හැඳින්වීම මැනවැයි ලීලානන්ද කල්දේරා මහතා කියයි.(ලංකාවේ මිල මුදල් -1959, 09 වැනි පිටුව.)

කහවණු 1/4 කාසිය "දෙඅක" හෙවත් "පලය" නමින් භාවිත කරන්නට ඇතැයි කියා සිතිය හැකිය. එහි යටි පැත්තේ "ලක්‍ෂමි" යනුවෙන් සඳහන් කර ඇත. ග්‍රේන්ස්‌ 8 ක්‌ පමණ බර වූ මෙම කාසි කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රද_ශනයට තබා ඇත.

කහවණු 1/8 කාසිය "අක"(Aka) නමින් හැඳින්වේ. මෙම කාසියේ යටි පැත්තේ අපැහැදිලි වූ අක්‌ෂර කීපයකි. මෙය "තම්රකි" (Tamraki) යනුවෙන් රිස්‌ ඩේවිස්‌ (Rhys Davids) මහතා ද (On The Ancient Coins and Measures of Ceylon - 1877/P.29) "නන්දක" (Nandaka) යනුවෙන් එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා ද හඳුන්වයි (Ceylon Coins And Currency/p.61)' මෙය වූ කලී ලක්‌දිව භාවිතා වූ කුඩාම කාසිය ද වේ.

ක්‍රි. ව. 985-1021 අතර කාලවකවානුව තුළ රජකම් කළ රාජ රාජ රජුන් (Kings of Raja - raja) කහවණුව අනුගමනය කරමින් "චෝල කාසි" (Cola coins) නිකුත් කළ බවට සාධක හමුවී ඇත.එකල දේශීය කාසිවල තිබූ "ශ්‍රී ලංකා විභූ" යන්න වෙනුවට ඔවුන් විසින් "ශ්‍රී රාජ රාජ'(Sri Rajaraja) යන අක්‌ෂර යෙදීය. එසේම ඔවුන් මෙම කාසි රන් හා තඹ ලෝහයෙන් නිකුත් කොට ඇත. මේ අතර ආර්ය චක්‍රවර්ති (King Arya Cakravarti) නම් වූ දමිළ රජතුමා විසින්ද සේතු නම් වූ නාමය සටහන් කරමින් "සේතු" (Setu) යන නමින් කාසි වර්ගයක්‌ද භාවිතා කර ඇත.

කීර්ති ශ්‍ර්‍රS නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද රුවන්මැලි සෑ සෙල්ලිපියේ (EZ vol ii, 1912-1927, No13/P .77) සඳහන් වන "තිරම්" (Tiram) (13/ණින් සැදී තමන් වහන්සේ හා තුන්දෙනා වහන්සේ තුලාභාර නැගී සත්රුවන් හා ඇතුළු රිදී තිරම් හා අනන්ත කොටැ..) යන්නද මධ්‍ය යුගයේදී භාවිතා වූ තවත් රිදි කාසි වර්ගයකි.

මේ පිළිබඳව පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියෝ මෙසේ සඳහන් කරති.

"තිරම් යන සංස්‌කෘත දාම්ම ශබ්දයේ දමිළ ස්‌වරූපය වේ. දාම්ම (ඇතැම් විට දාම) ශබ්දය තෝරන ලීලාවතිය "වරායකාන දශද්වයං යත් සාකාකිණ. තාශ්ව පණශ්වත සුරි තෙශෝඩශ දාම්ම" යෑයි කීය.

අරුත - වරාටක (කවඩි) 20 ක්‌ කාකිණි තුට්‌ටුවකැයිද, කාකිණි 4 ක්‌ පණමකැයිද, පණම් 10 ක්‌ දාම්මයකැයිද ඉහත වැකියෙන් කියෑවේ.

තුට්‌ටු 4 ක පණමක්‌ සත 6 ක්‌ පමණ වන අතර දාම්මයකට සත 96 ක්‌ වේ. එය තුට්‌ටුව ගණනේ රුපියලකි. එය සත ගණනේ නම් සත 100 කි. මෙහි සඳහන් වන තිරම §දියෙන් සාදන ලද්දකැයි බව නිගමනය කළ හැකි වන බැවින් ක්‍රි. ව. 12 වැනි සියවසෙහි "තිරම්" නමින් රිදී කාසි විශේෂයක්‌ තිබුණු බවත් තිරමක වටිනාකම සත 96 ක්‌ බවත් දත හැකිය. "කහාන" යන වචනයත් දාම්මයට ව්‍යවහාරය කළ ඉන්දියානු නාමයක්‌ සේ පෙනේ. එය කහපණ ශබ්දයෙන් සකස්‌ වූවක්‌ නම් කහපණයක වටිනාකම සම්බන්ධයෙනුත් තව තවත් මතභේද පැන නගින්නට පුළුවන. කහවණුවේ වටිනාකම කලින් කල වෙනස්‌ වූ හෙයින් කාලානුරූපව විනා සාකල්‍යයෙන්ම කහවණුවක වටිනාකම නියම කිරීම දුෂ්කර කාර්යයකි."

(සිළුමිණ ශාස්‌ත්‍රීය අතිරේකය ,6 වැනි කාණ්‌ඩය - 1960)

1 වැනි විජයබාහු රජුගේ (ක්‍රි. ව. 1055-1111) සිට 1 වැනි බුවනෙකබාහු රජු (ක්‍රි. ව. 1273-1284) දක්‌වා යන කාලවකවානුවේදී බහුලව "සිංහල මෂු" (Sinhala massu) නොහොත් "දඹදෙණි කාසි" (Dambadeni Coins ) භාවිතා විය. මෙකී කාසිය 17 වැනි සියවස දක්‌වාම භාවිත වූ බව දොස්‌තර ජෝන් ඩේවි (Dr.John Davy) මහතා කියයි (An Account of the Interior of Ceylon - 1821/P.225). එසේම මෙම කාසිවල නිකුත් කරන ලද රජවරුන්ගේ නම් සඳහන් වීම ද විශේෂයකි.

අනුරාධපුර යුගයේ සිට දඹදෙණි යුගය දක්‌වා රාජ්‍යත්වයට පත් විවිධ රජවරුන්ගේ නාම සඳහන් කාසි වර්ග රැසක්‌ අපට හමුවේ. එකී කාසිවලින් සමහරක්‌ සුදු පැහැති ඊයම්වලින් නිෂ්පාදිත ඒවා විය. මේවායේ කාල නිර්ණය බොහෝ විට නිවැරදි විය හැකි යෑයි කියා නිගමනය කළ හැකිය.

මෙලෙස පුරාතනයේ සිට ඇති වූ භාණ්‌ඩ හුවමාරු ක්‍රමවේදය සමාජ සංවර්ධනය සමඟින් යුගයෙන් යුගයට වෙනස්‌ වෙමින් කාසි නිෂ්පාදනයට අවතීර්ණය වී එය ලක්‌දිව කාසි සංවර්ධනයට සෘජුවම බලපා ඇති අයුරු ලක්‌දිව පුරාතන කාසිවල මූලාරම්භය හා විකාශනය විමර්ශනය කිරීමෙන් අපට මනාව අවබෝධ කරගත හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ

1. Ancient Ceylon by H. Parker - 1909
2. Ceylon Coins And Currency by H.W. Codrington - 1924
3. On the Ancient Coins and Measures of Ceylon by Rhys Devids - 1877
4. ලංකාවේ මිල මුදල් - ලිලානන්ද කල්දේරා - 1959

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.