"ගනර් සුපර්ක්‍රොස්‌" ධාවනයට තරගකරුවන් 150 ක්‌

ගයාශාන් විතානආරච්චි



කැප්ෂන් - සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අළෙවි අධ්‍යක්‌ෂක කුමාර සමරසිංහ මහතා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක චෙක්‌පත මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මහතාට හා මේජර් ජෙනරාල් හතුරුසිංහ මහතා වෙත පිරිනැමූ අවස්‌ථාව ඡායාරූපයේ වේ. ඡායා - ධර්මසේන වැලිපිටිය

ශ්‍රී ලංකා කාලතුවක්‌කු හමුදාව ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය හා එක්‌ව දසවන වරටත් සංවිධානය කරනු ලබන "ගනර් සුපර්ක්‍රොස්‌ - 2015" මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය එලැඹෙන ජූලි මස 5 වැනිදා මින්නේරිය කාලතුවක්‌කු හමුදා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා කාලතුවක්‌කු හමුදාවේ කර්නල් සේනා විධායක වශයෙන් රාජකාරි කටයුතු සිදු කළ මේජර් ජෙනරාල් එස්‌. ඩී. තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව 2004 වර්ෂයේදී "ගනර් සුqපර්ක්‍රොස්‌" තරගාවලිය ආරම්භ කරන ලදී. ජාතිය වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත තත්වයට පත්වූ සහ දැනට සේවයේ යෙදී සිටින ශ්‍රී ලංකා කාලතුවක්‌කු හමුදාවේ සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ සුබසාධක කටයුතු සදහා අරමුදල් රැස්‌කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

දක්‌ෂතම යතුරුපැදි ධාවකයා හා දක්‌ෂතම මොටර් රථ ධාවකයා තේරීමට නියමිත මෙම තරගාවලිය සඳහා යතුරුපැදි(12) හා මෝටර් රථ(11) යන දෙඅංශයෙන් සමස්‌ථ තරග 23 ක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉකුත් වසරේ අදාළ තරගාවලිය සඳහා දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයින් 120 දෙනෙක්‌ සහභාගී වූ බවත් මෙවර එය 150 ඉක්‌මවනු ඇතැයි තමන් අපේක්‌ෂා කරන බවත් ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන සංගමයේ උප සභාපති යෝගා පෙරේරා මහතා මාධ්‍ය හමුව අමතමින් පැවසුවේය.

අදාළ තරගාවලියට මෙතෙක්‌ අයදුම්පත් යොමු නොකළ තරගකරුවන්ට මෙම මස 19 වැනිදා දක්‌වා ඒ සඳහා අයදුම්පත් ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය වෙත යොමු කිරීමට අවස්‌ථාව සලසා දී ඇත. මීට අමතරව අයදුම් කරුවන් එක්‌ එක්‌ ඉසව්වන් වෙනුවෙන් පළපුරුදු ධාවකයන් විය යුතු වන අතර ඔවුන් ධාවන ඉසව්වන් සඳහා බලපත්‍ර හිමි ධාවකයන් විය යුතු බවට තරග සංවිධායකයන් මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙවර තරගාවලිය සාර්ථක කරගැනීමෙහිලා අනුග්‍රාහක භවතුන් වශයෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගම, සියෑට්‌ කැලණි ටයර් සමාගම, බ්‍රවුන්ස්‌ සහ සමාගම, පෙරේරා සහ පුත්‍රයෝ සමාගම, අලියා සිසිල් බීම සමාගම, බ්‍රැන්ටෙල් ලංකා සමාගම සහ ශ්‍රී ලංකා වාණිජ බැංකුව ඇතුළු පොළොන්නරුව ප්‍රදේශයේ සහ දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන රාශියක්‌ ශ්‍රී ලංකා කාලතුවක්‌කු හමුදාව සමග අත්වැල් බැඳගෙන ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.