හිටපු ජනපතිට ජීවිත තර්ජන
පොලිස්‌පතිට පැමිණිල්ලක්‌

අනුර බාලසූරිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජීවිත ආරක්‌ෂාවට තර්ජනයක්‌ එල්ල වෙමින් පවතින බවත් මේ පිළිබඳව පොලිස්‌පති වරයාට තමා පැමිණිල්ලක්‌ කළ බවත් ජනතා මාධ්‍ය මධ්‍යස්‌ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා සඳහන් කළේය.

පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී ඊයේ (19දා) පස්‌වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.

ගෙවුනු දශක දෙක ඇතුළත මෙරට ජනප්‍රිය දේශපාලන නායකයන් ඝාතනය සඳහා නිර්මාණය වූ සමාජ හා දේශපාලන වටපිටාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වටා අද වන විට ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ආරක්‌ෂාව හා එතුමාගේ ජීවිතයට එල්ල වෙමින් පවතින තර්ජනය පිළිබඳව පසුගිය 9 වැනිදා පොලිස්‌පතිවරයාට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළ පසු එය කඩිනමින් විමර්ශනය කිරීමට පොලිස්‌පතිවරයා විසින් විශේෂ විමර්ශන ඒකකයට යොමු කළ බවත් හෙතෙම පැවැසීය.

අදාළ පැමිණිල්ල පිළිබඳව පසුගිය 15 වන දින තමා නීතිඥවරුන් සමග ගොස්‌ පැය 6 කට ආසන්න කාලයක්‌ ප්‍රකාශයක්‌ ලබාදුන් බවත් එහිදී තමා මූලික කරුණ ලෙස මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජීවිතක්‍ෂයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව සාක්‌ෂි සහිතව ප්‍රකාශය ලබා දුන් බවත් නිමල් වීරතුංග මහතා සඳහන් කළේය. රජයේ එක්‌තරා ඇමැතිවරු කිහිපදෙනකු කර ඇති ප්‍රකාශ පිළිබඳව පොලිස්‌ විමර්ශන ඒකකයට ප්‍රකාශයක්‌ දුන් බවත් කී වීරතුංග මහතා එම කරණාවලින් මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජීවිතයට තර්ජනයක්‌ තිබෙන බවට සැකයක්‌ පවතින බවට ප්‍රකාශ ලබා දුන් බව පැවැසීය.

එමෙන්ම ඒ සම්බන්ධව තිබෙන ගෝලීය දෙමළ සන්ධානයේ අතපෙවීම් පිළිබඳව තමා පෙන්වා දුන් බවත් නිමල් වීරතුංග මහතා කියා සිටියේය.

වර්තමාන ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර දුරස්‌ බවක්‌ හා සතුරු බවක්‌ ඇතිකර ඔවුන් අතර යම් ගැටුමක්‌ ඇති කිරීමට යම් කණ්‌ඩායමක්‌ කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ලබාදී තිබූ හමුදාවේ නිල වෛද්‍යවරයා හා සාත්තු සේවිකාව ඊයේ වනවිට ඉවත්කර ඇති බවත් නිමල් වීරතුංග මහතා මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසිSය.

හිටපු ජනාධිපතිවරයාගේ ජීවිත ආරක්‌ෂාව සම්බන්ධයෙන් පැමිණිල්ලක්‌ කළ විට එතුමාට ආරක්‌ෂාව ලබාදීම වෙනුවට එම පැමිණිල්ලේ සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ප්‍රකාශ ලබා ගන්නේ කාගේ වුවමනාවකට දැයි නීතිඥ ප්‍රෙAමනාත් සී. දොලවත්ත මහතා පැවැසීය.

රට බේරාදුන් නායකයාගේ ජීවිත ආරක්‌ෂාව උදෙසා පක්‌ෂ පාට බේද නොතකා කටයුතු කිරීම සියලුම දෙනාගේ වගකීමක්‌ බවත් නීතිඥ දොලවත්ත සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.